2024 වසර ශ්‍රී ලංකාවේ දේශපාලන හැඩතලය වෙනස් කරවීමට සුදුසු අඩිතාලමක් දමා ගැනීමට මුල පුරණ වසරක් කර ගනිමු.
නොයෙක් අභියෝගයන් තර්ජන ගර්ජන මැද ජාති හිතෛෂී පුරවැසියන් මහජන ඡන්දයෙන් 2019 තේරීපත් ජනාධිපතිවරයා නුසුදුස්සෙකු බව තේරුම් ගෙන 2022 ජූලි මස 09 වැනිදින රටින් පන්නා දැමීමට පෙරමුණ ගත්හ. ඊට ප්‍රථම සහ ඉන් පසු සිදුකරන ලද දේශපාලන පෙරළියන් මගින් ජන මතය නිවැරදිව පිලිඹිමු වෙන රජයක් පත් කරගැනීමට ශ්‍රී ලාංකිකයින් අපොහොසත් වූහ. මෙම සන්ධර්බයට මුල පිරූ අරගලය පුස්සක් බවට හඳුන්වා අරගල කරුවන්ට හිරිහැර සහ අඩන්තේට්ටම් කිරීම සම්මුතියක් බවට පත්කරවීමේ උත්සහයන් අධිකරණයේ මැදිහත් වීමෙන් යම්තාක් දුරට පාලනය වී ඇත .
අරගල කරුවන් කෑමොර දුන්නේ, System Change පද්ධතිමය වෙනසක් රට තුල ඇතිවීම මුල් කරගෙනය. එහෙත් අරගල කරුවන් හෝ අරගලය දියාරු කල වියත් දේශපාලකයින් ජනතාව අපේක්ෂා කරන පද්ධතිමය වෙනස කුමක් වියයුතුද යන්න පිලිබඳ අවබෝධයක් ඇතිකර ගැනීමට අවංක උත්සහයක් ගත් බවට සාක්ෂි නොමැත. උගුලෙන් හෝ හබෙකින් කෙසේ හෝ රාජ්‍ය බලය ඩැහැ ගැනීමට දඟලන දේශපාලන සුත්තර යොදමින් ජනතාව මුලාකිරීමේ වංක උත්සහයක යෙදෙන කපටින් රැලක් හොරා පොලිස් ක්‍රීඩාවේ නිරතවන අයුරු දැනට පවත්වාගෙන යන පාර්ලිමේන්තුව තුලින් දැක ගතහැක. රටේ පවතින උග්‍ර ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට සරිලන ආර්ථිකයේ ප්‍රසාරණය ඇති කෙරෙන උපාය මාර්ග ගැන වත්මන් දේශපාලන පක්ෂ අතර පැහැදිලි වැඩ පිලිවෙලක් ගැන සාකච්ඡාවන් ඉස්මතු වන වගක් පෙනෙන මානයක නොමැත. ඒ සියළු දෙනාම තම ප්‍රතිවාදීන් හෙළාදකිමින්, දොස් පවරමින් අපට බලය දෙන්න යැයි පොදු ආයාචනයක් කරති. උනුත් එකයි මුනුත් එකයි අපි විතරයි යන හේතු පාඨය හඬ නඟමින් මැතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂකයින් දැඩි උත්සහයක් ගනු ඇත.
දේශපාලන රාජ්‍ය බලය දිනා ගැනීම සහ ජනතා අපේක්ෂාවන් මුදුන්පත් කරවීම
නියෝජිත ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක වන රටවල පසුගිය දශක කිහිපයකම පැවැතුණු මැතිවරණ වල ප්‍රථිපලයන් විමර්ශනය කලවිට ඡන්ද දායකයින් පවතින ක්‍රමවේදය සහ පාලන තන්ත්රයන් කෙරෙහි අප්‍රසාදය ප්‍රකාශ කරමින් පාලන තන්ත්රය වෙනස් කරවීමට මුල්වූහ. මෙම තත්වයන් තුල ජනප්‍රිය රැල්ලකින් මතුවෙන අවර ගනයේ දේශපාලනඥයින් අතට රාජ්‍ය බලය පත්වෙන ආකාරය සම්මතයක් විය.
2024 නියෝජිත ප්රජාතන්ත්රවාදය පවතින බොහෝ රටවල මැතිවරණ පැවැත්වීමට නියමිතය. දැනට කර ඇති සමීක්ෂණයන්ට අනුව 70% මැතිවරණ ප්‍රථිපලයන් පවතින ක්‍රම වේදයන් වෙනස් කරවීමට මුල් වන බවට අනාවැකි පල කර ඇත. මෙම තත්ත්වයට හේතු වන්නේ පාලකයින් සහ පාලිතයින් අතර දැඩි විශ්වාසය පළුදු වීමක් සිදුවෙමින් පවතින නිසාය.
මෙම තත්වය ඇතිවීමට ප්‍රධානතම කාරක බලවේගය දැනට සීඝ්රයෙන් ව්‍යාප්තවන සමාජ මාධ්‍ය ජාලයේ බලපෑමයි. බොහෝ රටවල පැවැති මැතිවරණ වලදී ජනමතය දෝලනය කරවීමට සමාජ මාධ්‍ය දායකවී ඇත්තේ සත්‍ය වෙනුවට අසත්‍ය තොරතුරු සූක්ෂම ලෙස කලමනාකරණය කරමින් සාවද්‍ය මතය ඵලදායී ලෙසට ඡන්ද දායකයින් වෙත සංනිවේදනය කරවීම හරහාය.
ශ්‍රී ලංකාවේ නම් සමාජ මාධ්‍ය අභිබවමින් ප්‍රධාන ජනමාධ්‍ය මෙම කාර්ය අකුරටම ඉටුකලහ. මෙම තත්වයන් තුලින් සුදුස්සන් පරයා නුසුදුස්සන් විරුවන් කරවීමට ජනමතය පෙලගස්වා ගත්හ. මේ ආකාරයෙන් බලයට පත්වෙන රජයන්ට දිනාගත් ජනමතය ජනතා අපේක්ෂාවන් ඉටු කරදීමට අවශ්‍ය රාජ්‍ය පාලනය විස්වශනීයව ක්‍රියාත්මත කරවීමට බැරිවිය. එහෙත් ජනමතය නොමග ඇරීමට මුල් වූ අය සිය අපේක්ෂාවන් ආර්ථික ප්රතිලාභ අත්කරගෙන තැලෙන පෙලෙන ජනතාව කබලෙන් ලිපට තල්ලු කලහ. එකී තැනැත්තන්ද නැවතත් බැටළුහම් පොරවාගෙන මැතිවරණ වලට ඉදිරිපත්වීමටද සැරසෙති.
මෙම තත්වය නැවත ඒ ආකාරයෙන්ම සිදුවීමට හැකි බව මෙම ලියුම්කරුගේ මතයයි. 2024 පැවැත්වීමට නියමිත මැතිවරණ වලදී ඡන්ද දායකයින්ගේ වගකීම කෙබඳු විය යතුද යන්න මුල් කරගනිමින් සමාජ කථිකාවකට ආරම්භයක් ඇතිකරවීමට මෙම ලිපිය සටහන් කරමි. මන්ද ශ්‍රී ලාංකේය ඡන්ද දායකයින්ගේ මානසිකත්වය සහ හැසිරීම සටකපට දේශපාලකයින් හොඳින් අවබෝධ කරගෙන සිටී. මෙම ඡන්ද දායකයින් හේතුඵලය හෝ තර්කණය පදනම් කොට සිය ඡන්දය ප්‍රකාශ කරනවා වෙනුවට අන්ධ විශ්වාසය මුල් කරගෙන හැඟීම් උත්තේජනය මත කතිරය ගැසීමට යොමුවෙනු ඇත.
මෙම සන්ධර්භය තුල, රටේ අනාගතය සහ ආර්ථිකය යහපත් තත්වයකට යොමු කරවීමේ පද්ධතිමය වෙනස පණ ගැන්වීමට සමත් බුද්ධිමත් මානව හිතවාදීන් 25-30 පාර්ලිමේන්තුවට පත් කරයැවීමට චන්දදායකයින් වගබලා ගතයුතුව ඇත. එම කණ්ඩායම ජාති, ආගම්, කුළ, පක්ෂ භේදයකින් තොරව බඩගෝස්තරවාදී දේශපාලනයට යට නොවී ජාතියේ අනන්‍යතාවය සහ අනාගතය රැක ගැනීමට අවශ්‍ය නායකත්වය නිර්මාණය කරගැනීමට ඉදිරිපත් විය යුතු වන්නේය. ඔවුන් හරහා යල්පැනගිය අකාර්යක්ෂම සහ නාස්තිකාරී පරිපාලන ව්‍යුහය වෙනස් කරවමින් 21 වැනි ශත වර්ෂයට ඔබින පරිපාලන පද්ධතිය හඳුන්වාදී ජනතාවගේ අනුමැතිය සහ එකඟතාවය මත ජාතිය ගොඩනැගීමේ වැඩපිළිවෙල සමාජගත කරවීමට පෙළඹවිය යුතුය. මෙය තනි පුද්ගලයෙකුට හෝ සර්වබලධාරී ඒක් නායෙකයෙකුට කල නොහැක එය කණ්ඩායමක නායකත්වයකට පමණක් කල හැක්කකි. එම නායකත්වයේ ඒකායන අරමුණ වියයුත්තේ ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික සහ දේශපාලනික කටයුතු නව දර්ශනයක් මත පිහිටවා ස්වෛරීය ජාතියක් හැටියට ආත්ම විශ්වාසයකින් නැගීසිටවීමට පෙරමුණ ගැනීමය.
නායකයා සහ නායකත්වයේ වෙනස පළමුව හඳුනාගනිමු
එකගතාවයන් මත පිහිටා පොදු යහපත වෙනුවෙන් ප්‍රතිපත්ති සැළසුම් කිරීමේ පරිචය ශ්‍රී ලාංකේය පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය තුල ක්‍රියාත්මක වූ අවස්ථාවක් අපට සොයාගත නොහැක. ජනතා අපේක්ෂාවන් මුදුන් පත් කොට අපේක්ෂිත පද්ධතිමය වෙනස ඇරඹීමේ මූලික පියවර කරගත යුත්තේ මෙම ආකල්පමය වෙනස සමාජගත කරවීමය. කන්න නැතත් ඉන්න රටක් සඳහා රොඳ බැඳි සියළු දෙනාටම අද අත්විඳීමට සිදුව ඇත්තේ නායකයා හෝ විරුවා යැයි හඳුනාගත් තැනැත්තා කණ්ඩායම් හැඟීමෙන් බැහැර වී අත්භූත බලවේග වල විශ්වාසය මත හිතුමතයට තීන්දු තීරණ ගැනීම නිසා වර්තමානය මෙන්ම අනාගතයම නැතිකරගත් ජාතියක පුරවැසියෙක් වීමය.
තැල්ල බැදීමට නම් බෙල්ල බේරාගැනීම මුලින් සිදුවිය යුතුය
හුදු නායකයෙකු හඹාගොස් 2015 සහ 2019 ජනාධිපති වරණ ජනමතය උඩුයටිකුරු වූ ආකාරය නැවත මතක් කර ගැනීම ශ්‍රී ලාංකේයන්ට වැදගත් වනු ඇත.
පොදු අපේක්ෂකයෙකු හැටියට 2015 ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා පැහැදිලි ජනවරමක් ලබාගත් නමුදු ඔහුගේ යහපාලන රජය තුළ නායකත්වයක් නොතිබුනේය. ජනාධිපතිවරයකු,අගමැතිවරයකු,කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුවක් තිබුණුද, රාජ්‍ය බලය ක්‍රියාත්මක කිරීමට ශක්තිමත් රජයක් නොවීය. නායකත්වයක් නිර්මාණය කර ගැනීමට අත්‍යාවශ්‍ය කණ්ඩායම් හැගීම යහපාලන රජයේ නැතිවීම ජනතා අපේක්ෂා මුදුන්පත් කරගැනීමට බාධකවීය. ඉන් අනතුරුව බල අරගලය සහ විවිධ පාර්ශවයන් අතර ගැටුම් හැලහැප්පීම් අතර සම්ප්රදායක හොරා පොලිස් සෙල්ලම සිදුවී අවසානයේදී රටේ අනාරක්ෂිත භාවය පාස්කු ඉරිදා ත්රස්තප්රහාරය සමඟ ඉස්මතු වුයේය.
ඉන් අනතුරුව රටේ ආරක්ෂාව ස්ථාපනය කරවීමට හිට්ලර් කෙනෙකු වැනි විරුවෙකු ජනාධිපතිධූරයට පත්කර ගතයුතු ඇතැයි අපේක්ෂාවෙන් 2019 හැටනම ලක්ෂයක ජනවරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති තනතුරට පත්කල ගතිමු. ඔහුවටා එක්රොක්වුයේ තමා හා සමීප හමුදා නිලධාරීන් සහ රාජපක්ෂ ගජමිතුරු කල්ලිවල ව්‍යාපාරිකයින් සහ අනාවැකි සහ අත්භූත කටයුතු යෙදුනු මෑණිවරුන්ය. ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පොහොට්ටු නඩය තුල මොනයම් ආකාරයක නායකත්වයක් හෝ රට ගොඩනැඟීමට උපාය මාර්ග නොතිබිනි. මේ සියළු කල්ලි ගැසීම්වල අවසානය වුයේ රට සමාජ, ආර්ථික, සහ දේශපාලනිකව අරාජිකත්වයට පත්වීමය. ජනඅරගලයකින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පන්නා දැමූවද ඔහු බලයට පත්වූ භූමිකාව නිවැරදි විශ්ලේෂණයකට මේතාක් භාජනයවී නොමැත.
ඉහත සංසිද්ධීන් දෙක සටහන් කරවුයේ රෑ වැටුණු වලේ වැටුණු ඡන්ද දායකයින් නැවතත් හුදු නායෙකයෙකු සොයා යමින් දවාලේත් වැටීම වැලැක්වීමටය. ඒබැවින් 2024 පවතින මැතිවරණ වලදී ඡන්ද දායකයින් තම ප්රජාතන්ත්රවාදී අයිතිය නිවැරදිව ක්රියාවේ යෙදවීමට කල් ඇතුවම සියළු දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයින් පෙළඹවිය යුත්තේ සර්වබලධාරී නායෙකයෙකු වටා රොක්නොවී, එම සියළු කණ්ඩායම් වලින් රටේ වර්තමාන අභියෝගයන්ගෙන් මිදීමට සුදුසු කෙටි කාලීන සහ මධ්‍ය කාලීන පිලිගතහැකි වැඩපිලිවෙලක් ඉදිරිපත් කරන කණ්ඩායමකට ජනවරම ලබාදීමය. එබැවින් හුදු නායෙකයෙකු මත විශ්වාසය තබනවා වෙනුවට රාජ්‍ය පාලනයට සුදුසු නායකත්වයක් මත ජනවරම ශක්තිමත් කරවීම පුරවැසියන්ගේ වගකීම වන්නේය.
මෙකී අවශ්‍යතාවය තවදුරටත් වැදගත් වනුයේ දැනට බලපැවෙත්වෙන ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුවට සහ අගමැතිවරයාට විධායකය මෙහෙයවීමට ඇති අවකාෂ වැඩි නිසා පාර්ලිමේන්තුව තුල ස්ථාවර රජයක් පවත්වාගෙන යාමේ නිවැරදි දැක්මක් සහිත නායකත්වයක් පවත්වාගැනීම පහසු කරගත යුතු නිසාය.
එබැවින් රටේ අනාගතය හරි අතට යොමු කරවීමට පාර්ලිමේන්තු බෙල්ල බේරා ගතහැකි නායකත්වය හඳුනාගෙන කණ්ඩායම් හැඟීමෙන් ජාතිය ගොඩනගමින් රටට අවශ්‍ය පද්ධතිමය වෙනස සමාජගත කලහැකි පිරිසකට පාලන බලය පැවරිය යුතු බව මෙම ලියුම් කරුගේ මතයයි. එම බෙල්ල මත ජනාධිපති තැල්ල පැළදිය හැක. පළමුව තැල්ල තෝරාගෙන ඉන්පසුව බෙල්ල සොයාගැනීමට යාම එතරම් නුවණට හුරු නොවේ. මන්ද බලයට ලොල් පාලකයින් අනෙකාගේ බෙල්ල කපාදැමීමට නිතරම සූදානම් බව ලාංකේය ඉතිහාසය හොඳින් පසක් කර තිබෙන බව සිහිකරගතයුතුවේ.
නායකත්වය තුල කණ්ඩායම් හැගීම ගොඩනගා ගැනීමට පළමුව රට, දෙවනුව ජාතිය සහ තෙවැනුව ආගම යන අනුපිලිවෙලට ප්‍රමුකතාවය දෙමින් වැඩකටයුතු සැළසුම් කරගත යුතුව ඇත. මෙහිදී ජාතිය යනුවෙන් අර්ථ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ උපන් සියළුම ජනවර්ග වලට අයත් පුරවැසියන්ය. මැතිවරණ වල ප්‍රථිපලය වාසි දායක ලෙසට පෙරලා ගැනීමට අතීතයේ සිදුකලාක් මෙන් ජනවර්ගය සහ ආගම ඉස්මතු කරවමින් ප්‍රමුඛතා අනුපිලිවෙල පටලවා නොගැනීමට වග බලාගත යුතුව ඇත. මෙකී නායකත්වය සිය කටයුතු සැළසුම් කොට ක්‍රියාත්මක කරවීමේදී තම කණ්ඩායමේ නායකයින් සහ අනුගාමිකයින් නිතරම සිය සිතුම්, හැඟුමි සහ ක්රියාකාරීකම් ශ්‍රී ලාංකේය (රට) යන පොදු අනන්‍යතාවය මත පිහිටාගත යුතුව ඇත. නිදහස ලබාගෙන 76 වසරක් නික්ම යෑමෙන් පසුව හෝ ශ්‍රී ලාංකේය ජාතියේ ඉරණම නිවැරදි කරගැනීමට හැකි දර්ශනය හඹායන නැවුම් නායකත්වය මතුකර ගතහැකි පරිසරයක් නිර්මාණය කර ගැනීමට එක්වෙමු.
| ජයශ්‍රී ප්‍රියලාල්