ආයතන වැහුවේ අපි නෙවෙයි - නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස්

anton-marcus-ftz

නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය රටේ නිදහස් වෙළෙඳ කලාපවල විශාලතම සංගමයයි. සාමාජිකයන් 17 දෙනකුගෙන් පමණ ආරම්භ කළ එය මේ වන විට සාමාජික සාමාජිකාවන් 20000 කට අධික ප්‍රමාණයකින් යුතු සංගමයකි. රෙදි පිළි, ඇඟලුම්, සපත්තු රබර්, ආහාර සහ ඉංජිනේරු කර්මාන්ත යන ක්ෂේත්‍රවල සේවකයන් නියෝජනය කරමින් වසර 43ක කාලයක් මෙරට ක්‍රියාත්මක වෘත්තීය සමිතියකි. නමුත් වෘත්තීය සමිති හා වෘත්තීය සමිති නායකයන් පිළිබඳව සමාජයේ ඇත්තේ යහපත් ආකල්පයක් නොවේ. ඒ පිළිබඳ නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් මහතා මෙසේ අදහස් දැක්වීය.

ඔබගේ වෘත්තීය සමිති ක්‍රියාකාරකම්වල බලපෑමෙන් පසුගිය කාලය තුළ සේවකයන් ට දිනා දුන් අයිතිවාසිකම් හෝ විශේෂ වරප්‍රසාදයන් මොනවා ද?

බලයට පත් වූ ආණ්ඩු සේවක අයිතිවාසිකම් උදුරා ගැනීමට උත්සාහ දැරූ සෑම අවස්ථාවකදීම අපි ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව ඉදිරිපත් වී තිබෙනවා. 1984 බලයේ සිටි ආණ්ඩුව කම්කරු කාන්තාවන් රාත්‍රී සේවයේ යෙදවීමට තිබූ තහංචි සම්පූර්ණයෙන් ඉවත් කරන්න උත්සාහ කළා. ඒ අවස්ථාවේදී අපි පෙන්නලා දුන්නා ඒකෙන් ඇති වෙන්න පුළුවන් සමාජමය බලපෑම. ඒ යෝජනාව ඉදිරිපත් කළේ ආයෝජකයන් ආකර්ෂණය කරන්න කියලා. මේ නීතිය අහෝසි කරන තෙක් බහුජාතික සමාගම් බලන් ඉන්නවා කියලා කිව්වා. නමුත් අපි මැදිහත් වෙලා පෙන්නලා දුන්නා කොන්දේසි විරහිතව කාන්තාවන් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් ඇති විය හැකි මේ අගතිගාමී තත්ත්වය පිළිබඳව. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි ආණ්ඩුවට සිද්ධ වුණේ යම් යම් කොන්දේසිවලට යටත්ව එය ක්‍රියාත්මක කරන්න. මූලික හා පළමු කොන්දේසිය වෙන්නේ රාත්‍රී සේවයට කම්කරු කාන්තාවගේ කැමැත්ත. ඇයට කුමන හෝ අපහසුතාවක් තියෙනවා රාත්‍රී සේවය ප්‍රතික්ෂේප කිරීමට අයිතියක් තියෙනවා.

දෙවෙනි එක තමයි යම්කිසි දවසක උදේ සේවා මුරයට වැඩ කළ සේවකයකුට එදිනම රාත්‍රී දහයෙන් පසු සේවයේ යෙදවීම තහනම්. තුන්වෙනි එක එහෙම වැඩට ගත්තත් සේවිකාවකගෙන් ඒ සේවය ලබාගත හැක්කේ මාසෙටම දින දහයයි. මේ සේවිකාවන්ට පැයට පැය එකහමාරක වැටුපක් ලබා දිය යුතුයි. සේවිකාවන් බලාගන්න ආයතනයේ පාලිකාවක් සිටිය යුතුයි. ආයතනයෙන් ආහාර හා ප්‍රවාහන පහසුකම් ලබා දිය යුතුයි. එවැනි කොන්දේසි වලට යටත්ව තමයි රාත්‍රී කාලයේ කාන්තාවන් සේවයේ යෙදවීමට අවස්ථාව දුන්නෙ.

ඒ වගේම තවත් නීතියක් ගේන්න හැදුවා කාන්තාවන්ට සාමාන්‍යයෙන් මාසෙකට වැඩ කරන සේවා කාලයට අමතරව අතිකාල පැය සියයක් අනිවාර්ය කරන්න. ඒකටත් අපේ සංගමය විරුද්ධ වුණා. අපි කරුණු ඉදිරිපත් කළාට පසුව තමයි එය පැය හැටක් දක්වා සංශෝධනය කළේ. නමුත් ඒකෙදිත් එක කොන්දේසියක් දාලා තමයි අපි ඒකට එකඟ වුණේ. සේවිකාවගේ කැමැත්ත අනුව තමයි අතිකාල සේවය ලබාගත හැක්කේ. එවකට සිටි කම්කරු ඇමැතිවරයා ඊට එකඟ වුවත් එය නීතිගත කරන අවස්ථාවේ දී සේවකයාගේ කැමැත්ත ලබාගත යුතුය යන කොටස ඇතුළත් කර තිබුණේ නෑ. අපි කම්කරුවන්ට දිනා දුන් එවැනි අයිතිවාසිකම් ගණනාවක් පෙන්නලා දෙන්න පුළුවන්.

තවත් උදාහරණයක් විදියට 2018 අවුරුද්දේ ගෙනාව කම්කරු නීති ප්‍රතිසංස්කරණය නැවැත්තුවේත් අපේ සංගමයේ මැදිහත්වීම නිසා. කම්කරුවන්ට අහිතකර නීති රෙගුලාසි පනවන හැම අවස්ථාවකම අපි ඒවට විරුද්ධව මැදිහත් වෙලා, කටයුතු කරලා, ඒවා වෙනස් කරලා තියෙනවා.

  • සමාජයේ යම් ස්ථරයක මතයක් තිබෙනවා, ඔබ ඇතුළු යම් සංවිධාන වෘත්තීය සමිති ක්‍රියාකාරකම් කරනු ලබන්නේ තමන්ගේ පෞද්ගලික අභිමතාර්ථයන් උදෙසා මිසක සැබෑවටම සේවකයන් පිළිබඳ හැඟීමකින් නොවන බවට. එසේ නොවේ නම් උදාහරණ කීපයකින් එය පැහදිලි කරන්න පුළුවන්ද?

අද ලංකාවේ වෘත්තීය සමිති කෙරේ දැඩි විරෝධයක් ඇති වෙලා තියෙනවා. මොකද බහුතර මතය වෙලා තිබෙන්නේ වෘත්තීය සමිති කරන අය ඔවුන්ගේ පෞද්ගලික වුවමනාවන් ඉටුකර ගැනීම සඳහා තමයි වෘත්තීය සමිති කරන්නේ කියන එකයි. එහෙම කරන අයත් ඇති. නමුත් අපි ගැන ප්‍රශ්න තියෙන අය බලනවා නම් බලන්න ඕනේ අපි කරලා තියෙන දේවල්, අපි දිනාගෙන තියෙන දේවල් සහ අපි අරන් තියෙන ස්ථාවරයන් එක්කයි. ඒ කිසිවක් පෞද්ගලික වුවමනාවන් ඉටුකර ගැනීම උදෙසා ගත් ක්‍රියාමාර්ග නෙමෙයි.

සමාජය පොදුවේ දකින වෘත්තීය සමිති කියන ආකල්පය උඩ තමයි අපි දිහාත් බලන්නෙ. ඒකට ඇතැම් වෘත්තීය සමිතිත් වගකියන්න ඕනේ. මොකද සමහර වෘත්තීය සමිති, විශේෂයෙන්ම දේශපාලන පක්ෂවලට සම්බන්ධ වෘත්තිය සමිති, වගේම රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති ජනතාවට දුෂ්කරතාවන් ඇති කරන විදිහට හිටි හැටියේ වැඩවර්ජන කැඳවලා කරන ක්‍රියාවන් නිසා සමාජයේ වෘත්තීය සමිති විරෝධී ආකල්පයක් ගොඩනැඟිලා තියෙනවා.

ඒකට වග කියන්න ඕනේ සෑම දේශපාලන පක්ෂයක් යටතේම තියෙන වෘත්තීය සමිති. ඒ අය විරුද්ධ පක්ෂයේ ඉන්නතාක් කල් ආණ්ඩුවට විරුද්ධව අරගල කරනවා. බලයට ආවට පස්සේ ඒවා ඔක්කොම අමතක කරලා විරුද්ධ පක්ෂෙ ඉන්න අය මර්දනය කරන්න යනවා. මේ නිසා තමයි සමාජයේ වෘත්තීය සමිති විරෝධී ආකල්පයක් හැදිලා තියෙන්නේ.

නමුත් පෞද්ගලික අංශයේ ඉතාමත් සීමිත වෘත්තීය සමිති සංඛ්‍යාවක් තමයි තියෙන්නේ. අපේ රටේ වෘත්තීය සමිතිවල සාමාජිකත්වය ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතියක් වුණාට අපේ රටේ කම්කරු ශ්‍රම බළකායෙන් 9% යි තාමත් වෘත්තීය සමිතිවල සාමාජිකත්වය අරන් තියෙන්නේ. මේ 9%ට රාජ්‍ය අංශයත් වතුකරයත් ඇතුළත්.

පෞද්ගලික අංශය ගත්තොත් තාම 3%ක් වත් සාමාජික වෙලා නෑ. උදාහරණයක් හැටියට ඇඟලුම් කර්මාන්තශාලා 350කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා. අවුරුදු 44කට පස්සේ එකම එක ඇඟලුම් කර්මාන්ත ශාලාවක තමයි සාමූහික ගිවිසුමක් තියෙන්නේ. වෘත්තීය සමිති පිහිටුවීම එවැනි තත්ත්වයක් යටතේ තිබියදී පෞද්ගලික වුවමනාවන් සාක්ෂාත්කර ගැනීම උදෙසා ක්‍රියා කිරීම අපේ සංගමයට ආදේශ කරනවා නම් ඒක වැරැදියි.

  • ඉහත කී සමාජ ස්ථරය කියන්නේ ඔබගේ ක්‍රියාකරම් නිසාම කර්මාන්ත ශාලා කිහිපයක් වැසී ගිය බවත් බොහෝ ආයෝජකයන් වෙනත් රටවලට ගිය බවත් ය. ඒ පිළිබඳ ඔබේ අදහස කුමක් ද?

මම හිතන්නේ මෙය වෘත්තීය සමිති විරෝධයේම දිගුවක්. වෘත්තීය සමිතියක් හදපු ගමන් වැඩපොළ වැහෙන බවට අදහස් කරනවා. කොහේ හරි ආයතනයක සේවකයෝ වෘත්තීය සමිති හදන්නේ තමන්ගේ ප්‍රශ්න තනිවම විසඳගන්න උත්සාහ කරලා බැරිව ගියාම, සාමූහිකව තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට. සාමූහිකව වෘත්තීය සමිතියක් පිහිටුවා ගැනීම කලින් කිව්වා වගේම මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර ඇති මූලික අයිතියක්. ඒ මූලික අයිතිය පාවිච්චි කරලා යම් ආයතනයක සේවකයෝ වෘත්තීය සමිතියක් පිහිටුවා ගත්ත ගමන් ඒ ආයතනය වසා දමනවා නම් ඒකට වැරදිකාරයා කවුද? ආයතනයේ සේවකයෝද, නැත්නම් ඒ සේවකයන් සාමාජිකත්වය ගත්ත වෘත්තිය සමිතියද, නැත්තං ඒ සමාගමද? මොකද ඒ කම්කරුවන්ට මූලික අයිතිය භුක්ති විඳින්න, ක්‍රියාත්මක කරන්න අවස්ථාව නොදී වැඩපළ වහනවා නම් වරද ඒ සමාගමේයි. මම අභියෝග කරනවා අපේ සංගමය නිසා ආයතන වැහුවයි කියන අයට මාත් එක්ක ප්‍රසිද්ධ සංවාදයකට එන්න කියලා නම් ගම් සහිතව. මොකද ඔය වහපු වැඩපළවල් හැම එකක්ම වහලා තියෙන්නේ වෙනත් හේතූන් නිසා. එක ආයතනයක් කියනවා ඒ ආයතනය වැහුවේ අපි නිසා කියලා. ඇත්තටම ඒක වැහුවේ සේවකයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළාය කියන චෝදනාවට ඇමෙරිකන් ආණ්ඩුව එයාලට තහංචි පනවපු නිසා. ඒක සමාගම ලිඛිතව කම්කරු කොමසාරිස්ට දන්වලා තියෙනවා. තවත් ඒ වගේ ආයතනයක් වහලා දැම්මා. ඒත් අපි නිසා නෙවෙයි.

කම්කරුවො වෘත්තීය සමිතිවලට බැඳුනම ඒගොල්ලන්ගේ වුවමනාවල් වෙනුවෙන් ඉල්ලීම් දිනාගන්න නොයෙක් අරගලවල යෙදෙනවා. එවැනි අවස්ථාවල ඒවා සමනය කරගැනීමට ඒවා සම්බන්ධව කටයුතු කිරීමට ක්‍රම සහ විධි තියෙනවා. ඒවා අනුගමනය නොකර සේවකයන් වෘත්තීය සමිතියක් පිහිටුවූ නිසා ආයතනය වසා දැමුවා කියනවා නම් ඒක බොරු. වෘත්තීය සමති නිසා කිසිම ආයතනයක් වසා දමා නෑ. ඔය වෘත්තීය සමිති විරෝධී කතා සමහර සේවායෝජකයන් විසින් ගෙන යන ප්‍රචාර හැටියටයි අපි සලකන්නේ.

  • නූතන යුගයේ බහුතරයක් කර්මාන්ත තම සේවකයන් සමග කටයුතු කරන්නේ ජාත්‍යන්තරව පිළිගත් මිණුම් දඬු මතයි’ එවැනි කාල වකවානුවක වෘත්තීය සමිති ක්‍රියාකාරකම්වල අවශ්‍යතාව හා වර්තමාන තත්ත්වය මොකක්ද?

ජාත්‍යන්තර ඇනවුම් ලබා දීමේදී කම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් ලබා දෙනවා ද යන්න පිළිබඳව විශේෂයෙන්ම සැලකිලිමත් වෙනවා. කම්කරුවන්ට සංවිධාන වීමේ අයිතිය ලබා දෙනවා කියන්නේ සේවකයන්ට ගරුත්වයක් ඇතුව සලකනවා කියන එක. එම කොන්දේසි අනුව ජාත්‍යන්තර ප්‍රමිති යටතේ කම්කරුවන්ට අයිතියක් ලබා දී තිබෙනවා ඒ ගැනුම්කරුවන්ට පැමිණිලි කිරීමට. පැමිණිලි කිරීම තුළින් තමයි මේවා නිවැරදිව කරන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා මේ වෘත්තීය සමිති තුළින් කෙරෙන්නේ ඒ සමාගම්වල කම්කරුවන්ට අවශ්‍ය ශක්තිය ලබා දීමයි. ඔවුන්ට ඒ ශක්තිය ලැබෙන්නේ ඒ ආයතනවල සංවිධානගත වෙලා ඉන්නවා නම් විතරයි. ඒක නිසා ඒ ක්‍රියාදාමය තුළ ඒක නිවැරදිව ක්‍රියාත්මක කරවා ගැනීමට අවශ්‍යයි කම්කරුවන්ගේ සංවිධාන. වෘත්තීය සමිතිවලින් විතරයි කම්කරුවන්ට ශක්තියක් ලැබෙන්නේ ඔවුන්ට ගෞරවනීය ලෙස රැකියා සහතික කරගැනීමට. ඒකෙදී ඒ ආයතනවල අයිතිකරුවන් සහ සැපයුම්කරුවන් සහ කම්කරුවන් කියන පාර්ශ්වයන් තුනම එකට ක්‍රියාත්මක වුණොත් තමයි බලාපොරොත්තු වන ක්‍රියාදාමය කළ හැකි වන්නේ.

  • බොහෝ වෘත්තීය සමිති ක්‍රියාකාරකම් ඉලක්ක කරන්නේ රටේ පිළිගත් විශාල ජාලයක් ඇති සමාගම් පමණක් බව ඔබ ඇතුළු වෘත්තීය සමිතිවලට තිබෙන චෝදනාවක්. ඔවුන්ගේ විශාල සේවක සංඛ්‍යාව හා ලොව ප්‍රකට සන්නාමයන් නිසා ඔවුන්ට ප්‍රබල බලපෑමක් කරන්න පුළුවන් නිසා බවයි ඊට හේතුව ලෙස දක්වන්නේ, කුඩා පරිමාණයේ කර්මාන්තශාලාවල ඔබ වැනි වෘත්තීය සමිති ක්‍රියාකාරීන් ඒවා මගහරින බවයි. මේ සම්බන්ධව ඔබේ අදහස කුමක් ද?

එය කරුණු නොසොයා නොබලා කළ චෝදනාවක්. මොකද අපේ සංගමය පොඩි ආයතනවලත් අපේ වෘත්තීය සමිති ශාඛාවන් පිහිටුවා තියෙනවා. අපේ සංගම් ව්‍යවස්ථාව යටතේ ඕනම ආයතනයක සාමාජිකයන් දහ දෙනකුට වැඩියෙන් ඉන්නවා නම් ඒ ආයතනයේ අපේ වෘත්තීය සමිති ශාඛාවක් පිහිටුවන්න පුළුවන්. ඒ ආකාරයේ පොඩි ආයතන අපේ සංගමය යටතේ තියෙනවා.

නමුත් අනිත් පැත්තෙන් ඔය විශාල සේවකයන් සංඛ්‍යාවක් යොදාගෙන ඉන්න කර්මාන්තශාලාවල ඒ සේවකයන් මුහුණ දෙන ගැටලු දිහා බලද්දි ඒ සේවකයන්ට බරපතළ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒක නිසා ඒ ආයතන වල සේවකයන් ඉදිරිපත් වෙනවා වෘත්තීය සමිති හදාගන්න. මොකද ඒ සමහර කර්මාන්ත ශාලා හිමියන් කියනවා ඒගොල්ලන්ගේ සමාගම්වල එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ සේවකයො හොඳට ඉන්නවා සේවකයන්ට හොඳට සලකනවා කියලා. ඉතින් ඒ ආයතනවලට නිදහසේ වෘත්තීය සමිති හදා ගැනීමේ අයිතියත් ලබා දෙන්න පුළුවන්නෙ.

| සෝභා කෝලියවංශ (දිවයින ඉරිදා සංග්‍රහය)