දිය යුතු ප්‍රතිකාරය වෙනුවට දිය හැකි ප්‍රතිකාරය

දිය යුතු ප්‍රතිකාරය වෙනුවට දිය හැකි ප්‍රතිකාරය

මේ මොහොතේ හෝ සෞඛ්‍ය සේවාවේ පාලන විධික්‍රමය වෙනස් කරල හදිසි ආපදා තත්ත්වයක් ලෙස සළකා තීරණ ගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත් කල යුතු වෙනවා. ඒ සඳහා සියළු පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වය තහවුරු කර ගැනීම ඉතා වැදගත් වෙනවා.

ඒ වගේම මේ මොහොතේ සෞඛ්‍ය සේවාව තුල සමස්ථයක් ලෙස සියළු අවශ්‍යතාවයන්ගේ හිඟතාවයක් තියෙනවා. ඒ අනූව ලබා දිය යුතු හොඳම ප්‍රතිකාරය වෙනුවට ලබා දිය හැකි ප්‍රතිකාරය සඳහා අනුවර්තනය වීමට සත්කාර සේවාවට සිදුවෙලා තියෙනවා.

ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය සැපයුම් සේරම හිගයි

මේ වෙන කොටත් සෞඛ්‍ය සේවාවේ අත්‍යාවශ්‍ය ඖෂධ 40ක පමණ බරපතල හිඟයක් පවතිනවා. තව මාසයක් මේ තත්ත්වය පැවතුනොත් එම සංඛ්‍යාව 150ක් පමණ වෙන්නටත් ඉඩ තියෙනවා.

ඒ වගේම CT Scan, MRI Scan, Linear Accelerator සහ සමහර රසායනාගාර ස්වයංක්‍රීය යන්ත්‍ර වගේම රෝගීන් කළමණාකරනයට යොදා ගන්නා වෙන්ටිලේටර් වැනි උපකරණ සඳහාද නිර්දේශිත නඩත්තු නිසි කාලයන් තුල සිදු කිරීම අත්‍යාවශ්‍ය වෙනවා. උපකරණ නඩත්තුව සඳහා පමණක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ණය බිල රු. බිලියන 5 ක් පමණ වෙනවා. මේ තත්ත්වය ඉදිරියට පැවතීම හරහා එම සේවාවන් නතර වෙනවා වගේම එම උපකරණ වල ආයු කාලය කා කාර්යක්ෂමතාවය විශාල අවධානමකට ලක් වෙනවා.

ඖෂධ ගෙන්වීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය දිගින් දිගටම පෙන්වීමට උත්සහ කලේ ඉන්දියානු ණය සහන පැකේජය හරහා එය ඉතා පහසුවෙන් කළමණාකරණය කර ගත හැකි බවක්. නමුත් අප රටට ගෙන්වන ඖෂධ වලින් 80%ක් පමණ ගෙන්වනු ලබන්නේ ඉන්දියාවෙන් නොවන බව ඔවුන් දැන දැනම ඒ බව වසං කරන්නට උත්සහ කරමින් සිටියා. එහි ප්‍රතිඵලයක් විදිහට බොහෝ විශේෂිත ඖෂධ මේ වන විට අර්බුධයකට ලක් වෙලා තියෙනවා. Streptokinase, Anti Rabies Serum, Tenecteplase වැනි සිවිශේෂී අත්‍යවශ්‍ය ඖෂධ, පිළිකා ඖෂධ, ප්‍රතිජීවක, වේදනානාශක සහ නිර්වින්දන ඖෂධ සොයා ගැනීම පවා අසීරු වෙලා තියෙනවා.

ඒ වගේම බෝ නොවන රෝග සඳහා නිතිපතා අඛණ්ඩව ලබා දිය යුතු ඖෂධ හිඟවීම දීර්ඝ කාලීන ගැටළුක් බවට පත්වෙන්න පුළුවන්.

පතුල දිහා බලලා තීරණ ගන්න. වහාම මානුෂීය ආධාර ඉල්ලන්න

කොහොම වුනත් සෞඛ්‍ය සේවාවට එල්ල වෙමින් පවතින මෙම අර්බුධයේ පතුල, එහෙමත් නැත්නම් නිමා වෙන දවස පිළිබඳ තක්සේරු කරන්නට හෝ පුරෝකථනය කරන්නට මේ මොහොත වන විටත් කිසිවෙකුත් සමත් වෙලා නැහැ. ඒක රටේ සෞඛ්‍ය අමාත්‍යාංශයට හෝ රජයට විසඳන්න පුළුවන් මට්ටමෙන් ඔබ්බට ගිහින් ඇති බවක් තමයි පෙනෙන්න තියෙන්නේ. ඒ නිසා වෙන දෙයක් වෙච්ච දෙං කියලා ඔහේ බලා ගෙන ඉන්න එක හෝ එහෙම ප්‍රශ්ණයක් නෑ කියමින් ප්‍රශ්ණය යට ගහන්නේ නැතුව අඩුම තරමේ සෞඛ්‍ය සේවාව පවත්වා ගැනීම සඳහා මානුෂීය ආධාර ඉලලුම් කිරීම වැනි විකල්පයකට අවතීර්ණ වීම ගැන මේ මොහොතේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉතා සංකීර්ණ ලෙස සලකා බැලිය යුතු වෙනවා.

Ravi kumudesh photo 2

| රවී කුමුදේශ්, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය - (عنوان البريد الإلكتروني هذا محمي من روبوتات السبام. يجب عليك تفعيل الجافاسكربت لرؤيته.)