පසුගිය (11) දින ගාසා තීරයේ එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලස්තීනුවන් 38 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
ඉන් වැඩි පිරිසක් මිය ගොස් ඇත්තේ, උතුරු ගාසා තීරයේ බෙයිට් ලහියා හි නිවස්නයක් වෙත එල්ල වූ ගුවන් ප්රහාරවලිනි. එහිදී අවම වශයෙන් පුද්ගලයින් විසි දෙදෙනකුවත් මිය ගොස් ඇතැයි, රොයිටර්ස් පුවත් සේවය පවසයි.
ප්‍රහාරයට පෙර, එම මහල් ගොඩනැගිල්ලේ පුද්ගලයින් 40කට අසන්න පිරිසක් රැඳී සිට ඇතැයි වාර්තා වේ.
මිය ගිය පිරිසට අමතරව තවත් පුද්ගලියින් අතුරුදන්ව ඇතැයි, පලස්තීන සෞඛ්‍ය බලධාරීහු පැවසූහ. ජීවිත මුදා ගැනීමේ මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මක බව ද වාර්තා වේ.
බෙයිට් ලහියා සහ ජබාලියා අතර පිහිටි කාමල් අද්වාන් රෝහලේ තවමත් රැඳී සිටින හමාස් ත්‍රස්තයින් වෙත එම ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල හමුදා පවසති. මාස දෙකකටත් අධික කාලයක් තිස්සේ එම ප්‍රදේශ අඛණ්ඩ ඊශ්‍රායල ප්‍රහාර වලට නතුව පවතී.
මධ්‍යම ගාසා තීරයේ නුසෙරත් සරණාගත කඳවුර ආසන්නයේ ඊයේ එල්ල කළ තවත් ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීනුවන් හත් දෙනකුවත් ජීවිතක්ෂයට පත් වී තිබේ.
මේ අතර, ගාසා නගරයේ ජනකායක් මධ්‍යයට සහ තවත් නිවාස දෙකකට එල්ල කෙරුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ පුද්ගලයෝ නව දෙනෙක් මරණයට පත් වූහ. ඒ අතර ජනමාධ්‍යවේදිනියක වූ එමාන් අල්-ශාන්තී, ඇගේ ස්වාමි පුරුෂයා සහ දරුවන් තිදෙනා ද වෙති. ඇය, 2023 වසරේ ගාසා යුද්ධය ඇරඹි තැන් සිට, යුද්ධය නිසා ගාසා තීරයේ මිය ගිය 193 වැනි මාධ්‍ය සාමාජිකවයි.
සිය ප්‍රහාර හමුවේ, 2023 ඔක්තෝබර 7 දා ඊශ්‍රායලයේ සිදු කළ මිනිස් සංහාරයට නායකත්වය දුන් තවත් ජ්‍යෙෂ්ඨ හමාස් සාමාජිකයින් දෙදනකු ද ඝාතනය වී ඇතැයි ඊශ්‍රායල හමුදා පවසති.
මධ්‍යම ගාසා තීරයේ සිට ඊශ්‍රායලය දෙසට ඊයේ රොකට් ප්‍රහාර දෙකක් එල්ල වූ බව ඊශ්‍රායල හමුදා පැවසූහ. එහෙත් ඒවා විවෘත භූමියකට පතිත වී පුපුරා ගිය බවත්, කිසිදු පුද්ගල හෝ දේපල හානියක් සිදු නොවූ බවත් ඔවුහු ප්‍රකාශ කළහ.
(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත - the leader)