දිළිඳු රටවල අපේක්ෂා සුන්වෙයි: පැරිස් දේශගුණික මූල්‍ය සමුළුව අසාර්ථකයි

දිළිඳු රටවල අපේක්ෂා සුන්වෙයි: පැරිස් දේශගුණික මූල්‍ය සමුළුව අසාර්ථකයි

පැරිස් දේශගුණික මූල්‍ය සමුළුව ණය සමාව දීමේ සැලැස්ම ඉදිරිපත් කිරීමට අසමත් වෙයි

| ඔබේ නිවස ගිනි ගෙන තිබේ නම් ඔබ කිසිවිටෙක එම ගින්නට තෙල් සහ ගෑස් වත් කරන්නේ නැහැ. ඔබ දිගින් දිගටම ෆොසිල ඉන්ධන එකතු කරමින් තෙල් හා ගෑස් වලට වැඩි මුදලක් යොදවන්නේ නම්, ඔබ කරන්නේ ගිනි ගෙන දැවෙන ඔබේ නිවසේ ගිනිදැල්වලට ඉන්ධන සැපයීම පමණයි

වැඩෙන ණය අර්බුදයක් සමඟ පොරබදමින් සිටින දිළිඳු රටවල් පැරිසියේ පැවති ගෝලීය මූල්‍ය සමුළුවේදී ධනාත්මක ප්‍රතිචාරයක් අපේක්ෂා කළ ද එම අපේක්ෂා බිඳ වැටී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කියයි.

අද දින (23 වැනි සිකුරාදා) අවසන් වූ සමුළුව සඳහා ලෝක නායකයින් 40කට ආසන්න සංඛ්‍යාවක් සහ ගෝලීය ආයතන ප්‍රධානීන් හමු වූ බැවින් දේශගුණික හදිසි අවස්ථා විසඳීමට උපකාරී වන ප්‍රතිසංස්කරණවල ප්‍රගතියක් දැකගත හැකි විය.

| ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් දේශගුණික ක්‍රියාමාර්ග සඳහා අරමුදල් සැපයීම සඳහා නැව්ගත කිරීම, ගුවන් සේවා සහ ධනය මත ගෝලීය බදු පැනවිය යුතු බව ඉල්ලා සිටියේය.

“අද මූල්‍ය ගනුදෙනු සඳහා බද්දක් අය නොකරන සහ අද ගුවන් ටිකට්පත් සඳහා බද්දක් අය නොකරන රටවල් සොයා ගැනීමට අපට උදවු කරන්න. ජාත්‍යන්තර බදුකරණයක් ඇති වන පරිදි ජූලි මාසයේදී ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ [නැව් බදු ගැන සාකච්ඡා කිරීමේ රැස්වීම] බලමුළු ගැන්වීමට අපට උදව් කරන්න, ”ඔහු ප්‍රංශ මාධ්‍යවේදීන්ට පැවසීය.

එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන්, බිඩෙන් පරිපාලනය නැව් බද්ද සලකා බලනු ඇතැයි සංඥා කළාය. නමුත් ඇය එය අනුමත කිරීමෙන් වැළකී සිටියාය.

ලෝක බැංකුවේ නව සභාපති අජේ බංගා, සංවර්ධනයේ ප්‍රගතිය විනාශ කිරීමට තර්ජනය කරන දේශගුණික අර්බුදය අවධාරණය කරමින් ජනතාව දරිද්‍රතාවයෙන් මුදවා ගැනීමේ සාම්ප්‍රදායික අවධානය ඒකාබද්ධ කරන ආයතනය සඳහා නව දැක්මක් සකස් කළේය.

“මගේ අදහස නම් ලෝක බැංකුවේ දැක්ම පරිණාමය විය යුතුයි. ඔව්, අපි දරිද්‍රතාවයෙන් තොර ලෝකයක් නිර්මාණය කරන්නෙමු. නමුත් එය නිර්මාණය කළ යුතු වන්නේ ජීවත්වීමට සුදුසු ග්‍රහලෝකයක් මතය. එනම් දේශගුණය, වසංගත, අස්ථාවරත්වය, ආහාර අනාරක්ෂිත භාවය වැනි අපගේ ඇති හැකියාව අඩු කරන දේවල් පරාජය කළ යුතුය. ජීවිතයේ ගුණාත්මක භාවය, බලාපොරොත්තුව සහ ශුභවාදී බව ඇති කර ගැනීමට එය වැදගත් වේ ”ඔහු පැවසීය.

නමුත් දේශගුණික ප්‍රචාරකයින් කියා සිටියේ සමුළුව වෙනසක් ඇති කරන සංයුක්ත පියවර කිහිපයකට එකඟ වී ඇති බවයි. අවම වශයෙන් රටවල් 52ක් මේ වන විට ණය පීඩාවකට ලක්ව  ඇති අතර ඔවුන්ගේ ණය ගෙවා දැමිය නොහැකි තත්ත්වයකට හෝ ඊට ආසන්න තත්ත්වයකට පත්ව ඇත.

සෝමාලියාවේ කෙයාර් ඉන්ටර්නැෂනල් හි උපදේශක සම්බන්ධීකාරක වෝල්ටර් මාවෙරේ පැවසුවේ “එය බලාපොරොත්තු සුන්වීමක්. දේශගුණික බලපෑම්වල බර උසුලන ජනතාවට සහන ලබා දීමට සමුළුවට හැකියාවක් තිබුණේ නැහැ’’

වසර 40කට පසු සෝමාලියාවේ ඇති වූ දරුණුතම නියඟය ඔහු පෙන්වා දුන්නේය. “අපි සෑම දිනකම දේශගුණික විපර්යාසවල දරුණුතම බලපෑම් දකිනවා. මම හෙට මගේ රටට ගිය විට එයාලට මොනවා කියන්නද? මෙම ජාත්‍යන්තර තාක්ෂණික සමුළු මෙම යථාර්ථයට ප්‍රතිචාර දැක්විය යුතු අතර අපගේ පණිවිඩවලට සවන් දිය යුතුයි’’.

ලෝක බැංකුව දේශගුණික විපත් සමඟ පොරබදමින් සිටින රටවල් සඳහා ණය ආපසු ගෙවීම නවත්වනු ඇත. නමුත් නව ණය මත පමණි. එක්සත් රාජධානිය එහි පවතින ණය සඳහා ද එයම කරනු ඇත. ඒ අප්‍රිකාවේ සහ කැරිබියන් කලාපයේ රටවල් 12ක් සඳහා පමණය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සපයනු ලබන මුදල් වර්ගයක් වන SDRs (Special Drawing Rights) ලෙස හඳුන්වන මෙවලමක් හරහා දුප්පත් රටවලට ඩොලර් බිලියන 100ක් පමණ ලබා දීමට නියමිතය. ප්‍රංශය, ජපානය සහ එක්සත් රාජධානිය ඔවුන්ගේ SDR හි විවිධ අනුපාත වලින් දුප්පත් රටවලට ආධාර කිරීමට ප්‍රතිඥා දුන්නේය. එය ඩොලර් බිලියන 80ක් පමණ වේ. ධවල මන්දිරයට කොන්ග්‍රසයෙන් එකඟතාවක් ලබා ගත හැකි නම් තවත් ඩොලර් බිලියන 21ක් එක්සත් ජනපදයෙන් ලැබිය හැකිය.

| ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා පැවසුවේ “අපට සාර්ථක කතාවක් තිබෙනවා. අපි පොරොන්දු වූ දෙයක් එය ලබා දුන්නා”

හරිතාගාර වායු විමෝචනය කපා හැරීමට සහ දේශගුණ අර්බුදයේ බලපෑම්වලට අනුවර්තනය වීමට දුප්පත් රටවලට උදව් කිරීමට පොරොන්දු වී ඇති SDR මුදල් වසරකට ඩොලර් බිලියන 100ක කැපවූ දේශගුණික මූල්‍යකරණයෙන් වෙන්ව පවතී.

දේශගුණික ව්‍යසනයෙන් පීඩාවට පත් රටවල් ගලවා ගැනීමට උපකාර කිරීම සඳහා අලාභ හා හානි අරමුදල (loss and damage fund) ලෙස හැඳින්වෙන සැලසුම්ගත නව අරමුදලකින් දෙකම වෙන්ව ඇත. සමහර ඇස්තමේන්තු අනුව වසරකට ඩොලර් බිලියන 5ක් රැස් කළ හැකි ගෝලීය නැව් බද්දක් ආරම්භ කළ හැකි නම් එය මෙම අරමුදලට සහනයක් වනු ඇත.

නැව්ගත කිරීම සඳහා නව බද්දක් පැනවීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය ලබන සතියේ රැස්වේ. අයර්ලන්තයේ පරිසර අමාත්‍ය Eamon Ryan, පැවසුවේ තීරණය සියුම්ව සමතුලිත වීමට ඉඩ ඇති බවයි.

“එය 50/50,” ඔහු පැවසීය.

රටවල් දරිද්‍රතාවයෙන් සහ දේශගුණික අර්බුදයෙන් මුදා ගැනීමට අවශ්‍ය ආයෝජන සඳහා ලෝකයේ ප්‍රවේශය පරිවර්තනය කිරීමට සහ මෙම අරමුණු සාක්ෂාත් කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ නැවුම් සාකච්ඡා සඳහා මාර්ග සිතියමක් සැකසීමට අවශ්‍ය බව ලෝක නායකයින් එකඟ වීමත් සමඟ සමුළුව අවසන් විය. අවශ්‍ය අරමුදල් ප්‍රමාණය බිලියන ගණනක් නොව ට්‍රිලියන ගණනක් දක්වා දිවෙන බවත්, එයින් වැඩි කොටසක් මහජන මුදලින් ආරම්භ කරන ලද පුද්ගලික අංශයෙන් පැමිණිය යුතු බවටත් වන කේන්ද්‍රීය මූලධර්මයක් මත රටවල් සැලසුමට එකඟ විය.

ලෝක බැංකුව සහ අනෙකුත් සංවර්ධන බැංකු වැනි ආයතන සංවර්ධනය වෙමින් පවතින රටවල ආයෝජන “අවදානම ඉවත්” කිරීමටත්, අවශ්‍යතා ඇති දුප්පත් රටවලට ඉතා ඉහළ මූල්‍ය ප්‍රවාහයක් ගෙන ඒමට කටයුතු කළ යුතු බවටත් එකඟ විය.

එහෙත් සමුළුව තුළ පොහොසතුන් සහ දුප්පතුන් අතර බෙදීම් ගැඹුරු වූ අතර අනාගත ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රධාන ප්‍රශ්නාර්ථයන් (නැව්ගත කිරීම, ගුවන් සේවා, පොසිල ඉන්ධන සහ ධනය මත ඇති විය හැකි නව ගෝලීය බදු ඇතුළුව) පවතී.

Greta Thunberg සහ Vanessa Nakate ඇතුළු පැරිසියේ තරුණ උද්ඝෝෂකයින් පැවසුවේ ගැටලුවේ විශාලතම මූලාශ්‍රය වන ෆොසිල ඉන්ධන කෙරෙහි අවධානය යොමු කිරීමට අපොහොසත් වීමෙන් සමුළුවට කාරණය මග හැරී ඇති බවයි. ධනවත් රටවල් පොසිල ඉන්ධන අත්හැරිය යුතු බවත්, ලෝකයේ ඉතිරි සංක්‍රාන්තිය සඳහා ගෙවීමට උදව් කළ යුතු බවත් ඔවුන් පැවසූ නමුත් සමුළුව ඒ ගැන කිසිම අවධානයක් යොමු කළේ නැත.

| ග්‍රේටා තුන්බර්ග් මෙසේ පැවසුවාය: “ඔබේ නිවස ගිනි ගෙන තිබේ නම් ඔබ කිසිවිටෙක එම ගින්නට තෙල් සහ ගෑස් වත් කරන්නේ නැහැ. ඔබ දිගින් දිගටම ෆොසිල ඉන්ධන එකතු කරමින් තෙල් හා ගෑස් වලට වැඩි මුදලක් යොදවන්නේ නම්, ඔබ කරන්නේ ගිනි ගෙන දැවෙන ඔබේ නිවසේ ගිනිදැල්වලට ඉන්ධන සැපයීම පමණයි

https://www.theguardian.com/world/2023/jun/23/paris-climate-finance-summit-fails-to-deliver-debt-forgiveness-plan

(climate alert)