දරුවන් වැඩි වැඩියෙන් පාසලෙන් ඉවත්කර රැකියාවන් වෙත යොමු කිරීම නිසා මිලියන ගණනක දරුවන්ගේ අනාගතය අවදානමක වැටී ඇතැ යි, එක්සත් ජාතීන්ගේ කම්කරු සංවිධානයේ ප්‍රධානියා බීබීසීය වෙත ප්‍රකාශ කළේ ය.
ගෝලීය ආර්ථික ගැටලු මධ්‍යයේ ලොව පුරා විවිධ කලාපවල "පසුබෑමක්" සිදුවී ඇතැ යි, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) අධ්‍යක්ෂ ජෙනරාල් ගිල්බර්ට් හුන්ග්බෝ කියා සිටියේ ය.
මේවායින් නරකම අන්දමේ වැඩෙහි යෙදවීම් ලිංගික සූරාකෑම හා සම්බන්ධ ය.
මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගත යුතුබව ඔහු පැවසීය.
"කොවිඩ්වල බලපෑම එක්ක උද්ධමනය වැඩිවෙලා, ඊළඟට ජීවන වියදම ඉහළ ගිය නිසා තත්ත්වය වඩාත් නරක අතට හැරිලා තියෙනවා," ඔහු සඳහන් කළේ ය. "අපි දැන් පියවරක් ගත්තෙ නැත්නම්, අපි තීරණාත්මක සහ වේගවත් පියවරක් ගත්තෙ නැත්නම්, මේ ප්‍රශ්නය [දිගටම] තවත් නරක අතට හැරේවි."
| ලෙබනනයේ සෑම පවුල් 10කින්ම එකකට වැඩි ගණනක් ඒවායේ දරුවන් රැකියාවකට යවනබව යුනිසෙෆ් පවසයි
2020 වසරේ දී එක්සත් ජාතීන් විසින් සම්පාදිත දත්තවලින් පෙන්නුම් කළේ ළමුන් මිලියන 160ක් පමණ ළමා ශ්‍රමය සඳහා යොදවා ඇතිබව යි. එසේම, ළමා ශ්‍රමය අවසන් කිරීමේහිලා වූ ගෝලීය ප්‍රගතිය, වසර 20කට පසු පළමු වරට ඇණහිට ඇතිබව ද ඉන් සොයාගැණුනි. ටෝගෝ රාජ්‍යයේ හිටපු අගමැතිවරයෙකු වූ අධ්‍යක්ෂ ජෙනරාල් හුන්ග්බෝ, මෙම ප්‍රවණතාවය දිගටම පවතිතැ යි පෙර මුල් දත්තවලින් පෙන්නුම් කරනබව පැවසීය.
ජීවන වියදමේ බර වැඩිවීම (මීට යුක්රේන යුද්ධය නිසා ආහාර හා බලශක්ති මිල ඉහළයෑම ද යම් තරමකට බලපා තිබේ) නිසා, ඇතැම් පවුල් "දවසකට එක් කෑම වේලක්වත් ලබාගන්නේ ද නැද්ද යන තීරණාත්මක වෙනස ඇතිකළ" බව ඔහු කියා සිටියේ ය. ඇතැම් සිදුවීම්වල දී, "ළමා ශ්‍රමයේ නරකම ආකාරය" සඳහා මෙය මුල්වී ඇත. පවුල්වල බර අඩු කිරීම සඳහා දෙමාපියෝ දරුවන් ලිංගික ශ්‍රමය සැපයීම සඳහා යොමුකරති.
| ළමයින්, ශ්‍රමය සූරාකෑමේ රැකියාවලින් ඉවත්කර ගැනීමට ලෝකය කඩිනමින් ක්‍රියාකළ යුතුබව එක්සත් ජාතීන්ගේ කම්කරු සංවිධානය පවසයි
ගිනිකොණදිග කෙන්යාවේ පිහිටි මුහුදුබඩ නගරයක් වන මොම්බාසාවේ වෙසෙන එක් 14-හැවිරිදි දැරියක් බීබීසීයට පැවසුවේ, ඇය හා ඇගේ සොයුරු සොයුරියන් දෙදෙනා සඳහා ආහාර සැපයීමටත් පාසැල් ගාස්තු ගෙවීමටත් ඇගේ මවට අපහසුබැවින් රැකියාවක යෙදෙනවා හැරෙන්නට වෙනත් විකල්පයක් ඈ වෙත නැතිබව යි.
මුදල් සෙවීම සඳහා ඇය "මිනිස්සු එක්ක බුදියනවා, රෙදි හෝදනවා, කොණ්ඩ ගොතනවා" බව දැරිය පැවසුවා ය.
ඇයට පාසැල් යෑමට ලැබෙන දිනවල දී, ඇතැම්විට ඇයට කෙතරම් කුසගින්නක් දැනෙන්නේ ද යත් ඇයට "පෑනෙන් ලියාගන්න හයියක් නෑ"යි ඇය කියා සිටියා ය.
ඔවුන්ගේ කුඩා නිවසෙහි සිට ඇගේ මව, "දරුවෙක්ට ඒ වගෙ දෙයක් කරන්න කියන එක ලේසි නැතැ"යි පැවසුවා ය.
නමුත් වසංගත සමයේ දී රැකියාව අහිමිවූ බැවින් පවුල නඩත්තු කිරීමට අපොහොසත්වූ බවත්, දැන් රෙදි සේදීම මඟින් ජීවිතය ගැටගසා ගැනීමට තැත්කරනබවත් ඇය ප්‍රකාශ කළා ය.
"මට මහා දුකක් දැනුණා. මාත් කැමතියි මගේ දරුවා අනිත් දරුවො වගේ ඉස්කෝලෙ යනවා නම්. එතකොට එයාට අනාගතේට උදව්වක් වෙන හොඳ ජොබ් එකක් හොයාගනන පුළුවන්. ඒ වුණාට මට ඒක කරන්න පුළුවන්කමක් නැති හින්දා එයාට ඒ රස්සාව කරන්න සිද්ධවෙලා තියෙනවා."
අසල ගණිකා මඩමක් පවත්වාගෙන යන කාන්තාවක්, මුදල් අවශ්‍යතාවෙන් දැඩිව පෙළෙන ළාබාල දැරියන් දැන් ඇයට වැඩි වැඩියෙන් ලැබෙන නිසා ඇගේ ව්‍යාපාරය "ජයටම" සිදුවෙනබව ප්‍රකාශ කළා ය.
අධ්‍යක්ෂ ජෙනරාල් හුන්ග්බෝ පවසන්නේ පහළ, මධ්‍යම සහ ඉහළ ආදායම් ලබන රටවල ද, කෘෂිකර්මය, පතල් කැණීම් සහ ඉදිකිරීම් ඇතුළු ක්ෂේත්‍රවල ද ළමා ශ්‍රමිකයන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙනබව යි.
"පැහැදිලිවම අපි ඉන්නෙ මොහොතකැ"යි පවසන ඔහු, "මේකේ මූලික හේතුව වී තිබෙන්නේ දුප්පත්කමයැ"යි ද සඳහන් කළේ ය.
| ලෙබනනයේ ඇතැම් දරුවන්ට ඔවුන්ගේ පවුල් වෙනුවෙන් මුදල් ඉපයීම සඳහා පාසල හැරයෑමට සිදුවෙයි
එක් එක් රටවල ගැටලු එකිනෙකට වෙනස්වුව ද, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) පවසන පරිදි උද්ධමනය හා ඉහළ යන ජීවන වියදම යනු ළමුන්ට විවිධ වශයෙන් බලපෑම් කරන "විශ්වීය ගැටලුවක්" බව යි.
"කරකියාගන්න දෙයක් නැතුව අසරණවෙලා ඉන්න පවුල්වලට සිද්ධවෙනවා ඔවුන් කවදාවත් නොගන්නා විදියෙ තීරණ ගන්නයි, එය හසුරුවාගන්න සෘණාත්මක ක්‍රමෝපායන්ට යොමුවෙන්න යි. ඒවා දරුවන්ට වර්තමානයේ දීත්, දිගුකාලීනවත් බලපෑම් කරනවා," UNICEFහි සමාජ ප්‍රතිපත්ති සහ සමාජ ආරක්ෂණ වැඩසටහනේ අධ්‍යක්ෂිකා නතාලියා වින්ඩර්-රොසි පැවසුවා ය.
ආර්ථික ප්‍රශ්න දරුවන්ට බලපාන්නේ කෙසේදැ යි සොයා බැලීම සඳහා බීබීසීය රටවල් කීපයකට සංචාරය කළේ ය.
දකුණුදිග ලෙබනනයේ සයිඩන් නගරයේ දරුවෝ, ඔවුන්ගේ පවුල් නඩත්තු කිරීම සඳහා පාසැල අත්හැරගොස් සිටිනබව පැවසූහ.
"මං ඉස්කෝලෙ යද්දී මගෙ හීනෙ වුණේ ටීචර්කෙනෙක් වෙන එක. [දැන්] මං හීන දකින්නේ නෑ," මිනිසුන්ගේ ගෙවල් පිරිසිදු කරන 14 හැවිරිදි අලා බීබීසීයට පැවසුවා ය.
ලෙබනනයේ සෑම පවුල් 10කින්ම එකකට වැඩි ගණනක් ඒවායේ දරුවන් රැකියාවකට යවනබව යුනිසෙෆ් පවසයි. එරට, එහි ආර්ථිකය මුළුමනින්ම පාහේ කඩාවැටීමට මුහුණදී සිටියි.
"ඇත්තටම මං ඉස්කෝලෙ යන්න ආසයි, ඒ වුණාට මේ වගෙ තත්ත්වෙක දි ඉස්කෝලෙ යන එක ගැන හිතන්නේ කවුද? අපි අපේ පවුලට හම්බකරන්න ඕන. මට මහා බරක් තියෙනවා... ඒ වුණාට මට ඒක දරාගන්න වෙනවා," මාර්ගයේ දිවෙන වාහනවල ටිෂූ කඩදාසි විකුණන 15 හැවිරිදි මුහම්මද් පැවසීය.
තත්ත්වය "ඉතා කණස්සළුදායී" වුව ද, ඊට විසඳුම් සොයාගත හැකියැ යි සුබවාදී චින්තනයකින් ඔහු පසුවෙනබව අධ්‍යක්ෂ ජෙනරාල් හුන්ග්බෝ ප්‍රකාශ කළේ ය.
මෙහිදී "හැමෝටම හරියන එක ප්‍රවේශයක්" නැතිවුව ද, ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග අතර අධ්‍යාපනය වෙත අවධානය යොමුකරන ප්‍රතිපත්ති, රැකියා උත්පාදනය, සහ නීතිවිරෝධී කර්මාන්ත මැඬලීම තිබෙන බව ඔහු පැවසීය.
රජයයන් දැන් "පියවරක් ගත යුතු යි," ඔහු කියා සිටියේ ය.
අතිරේක වාර්තාකරණය බාබරා ප්ලෙට්-අෂර් සහ කැරොලයින් හව්ලි විසිනි
(bbc/sandeshaya)