
ව්‍යාජ ලිපිලේඛන භාවිතා කරමින් ඉතාලියට යාමට උත්සහ කළ ශ්‍රී ලාංකික තරුණයෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ව්‍යාජ නේවාසික ගමන් බලපත්‍රයක් සකස් කරමින් කටාර් රාජ්‍යයේ දෝහා හරහා ඉතාලියට යාමට උත්සහ කළ තරුණයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ගුවන් ප්‍රවේශපත්‍ර ලබාගැනීමේ කවුළුව වෙත පැමිණි එම තරුණයා, ඉතාලියට ඇතුළුවීම සඳහා නිකුත් කර තිබූ නේවාසික වීසා කාඩ්පත පිළිබඳව ඇති වු සැකය මත කටාර් ගුවන් සේවයේ නිලධාරීන්, ඒ පිළිබඳ වැඩිදුරටත් විමර්ශනය කිරීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ තුළ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ නිලධාරීන් වෙත භාර දී තිබේ.
එහිදී එම නිලධාරීන්, තරුණයා ඉදිරිපත් කළ නේවාසික වීසා කාඩ්පත සහ අනෙකුත් ලියකියවිලි තාක්ෂණික පරීක්ෂාවන්ට ලක්කරන අතරතුර, ඔහුගෙන් මේ පිළිබඳව වැඩිදුර ප්‍රශ්න කිරීම් ද සිදුකර ඇත.
එහිදී ඔහු හෙළිකර ඇත්තේ, ඉතාලියේ නේවාසික වීසා කාඩ්පතක් හිමි අයෙකුගේ තොරතුරු යොදා, ඊට තමාගේ ඡායාරූපය පමණක් අදාළ වීසා කාඩ්පත හා ගුවන් ගමන් බලපත්‍රය ද සකස් කර ඇති බවය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම, වෙල්ලාලකුලම් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.
අත්අඩංගුවට ගත් තරුණයා වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ