ශ්‍රී ලාංකිකයින්ට යුද්ධය අලුත් අත්දැකීමක් නොවන්නේ දශක තුනකට අධික කාලයක් මෙරට තුළ ද යුදමය තත්ත්වයකට මුහුණ දී සිටීම නිසා ය. නමුත් නොදන්නා රටක රැකියාවකට ගොස් සිටිය දී යුදමය තත්ත්වයකට මුහුණ දීමට සිදුවුවහොත් එය කෙබඳු අත්දැකීමක් වනු ඇත්ද ?
ඉකුත් අප්‍රේල් මාසයේ 15 වෙනිදා සුඩානයේ ආරක්ෂක අංශ සහ පැරා මිලිටරි හමුදාවන් අතර ඇතිවූ යුදමය තත්ත්වය හේතුවෙන් එරට රැඳී සිටි විදේශ ජාතිකයින් තම මව්බිම් කරා පිටත්ව යෑම ආරම්භ කරනු ලැබුවේ ය.
සුඩානයේ රැඳී සිටි ලාංකිකයින් අතරින් පළමු කණ්ඩායම ලෙස 13 දෙනෙකුගෙන් යුත් පිරිසක් සෞදි අරාබි රජයේ සහයෝගය ඇතිව මුදා ගැනීමට ශ්‍රී ලංකා බලධාරීන්ට හැකිවූයේ පසුගිය අප්‍රේල් මස 26 වෙනිදා ය.
මෙලෙස සුඩානයේ සිට මුදාගනු ලැබූ ශ්‍රී ලාංකිකයෙකු වන මාතර, වැලිගම ප්‍රදේශයේ පදිංචි සංඛ ප්‍රමුදිගේ බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් කියා සිටියේ තමන් ඇතුළු පිරිසට දින කිහිපයක උත්සාහයකින් අනතුරුව පෝට් සුඩාන් හි සිට සෞදි අරාබිය බලා ඒමට හැකිවූ බව යි.
කිමිදුම්කරුවන් ලැබූ යුද අත්දැකීම
"අපි හිටියේ පෝට් සුඩාන් කියන නගරයේ. එහෙදි අපි රැකියාවක් වශයෙන් කළේ කිමිදුම්කරුවන් ලෙස විසිතුරු මසුන් ඇල්ලීමේ වෘත්තිය යි. එක පාරම යුද්ධය ඇතිවුණා. ඒ නිසා නේවි එකෙන් අපිට මුහුදට යන්න දුන්නේ නැහැ යුද්ධය හින්දා. යුද්ධය හොදටම තිබුනේ කාර්ටුම් කියන නගරයේ. අපි හිටපු නගරයේ යුද්ධය තිබුනා නමුත් ලොකුවට නෙමෙයි. අපිට පාරකටවත්, කඩේකටවත් යන්න ලැබුනේ නැහැ. අපේ පැත්තටත් යුද්ධය ඇතිවෙන්න පටන් ගත්තේ කාර්ටුම්වල හිටිය කට්ටිය පෝට් සුඩාන් වලට එන්න පටන් ගත්තට පස්සේ.
"පස්සේ අපිට දැනගන්න ලැබුනා සෞදි රජයෙන් එනවා කියලා කට්ටිය අරන් යන්න. ඒ වෙද්දී අපි වැඩකරපු ආයතනයේ බොස්වත් හිටියේ නැහැ අපිව බලන්න. අපි හිටිය ගෙදර අයිතිකෙනාට අපි මේ ගැන කිව්වම ඔහු කිව්වා අපිව එක්කන් යන්නම් කියලා වරායට. ඔහු තමයි අපිව නේවි කෑම්ප් එක ළඟට එක්කන් ආවේ," යනුවෙන් සංඛ ප්‍රමුදිගේ තමන් මුහුණ දුන් අත්දැකීම බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේ ය.
තමන් ඇතුළු සෙසු සාමාජිකයින් සයදෙනා පෝට් සුඩාන් හි පිහිටි නාවික හමුදා කඳවුර වෙත රැගෙන පැමිණියේ හමුදා නිලධාරියෙකුගේ ද සහාය ඇතිව බව ප්‍රමුදිගේ පවසා සිටියේ ය.
"අපි හය දෙනා නවාතැන් ගෙන ඉදපු ඇනෙක්ස් එකේ අයිතිකාරයා කිව්වා යුද්ධය ඇතිවුන ගමන්ම එළියට යන්න එපා කියලා. කාගේ කවුද කියලා හොයලා බලන්නේ නැතිව පාරේ හිටියොත් වෙඩි තියනවා, කපනවා කියලයි ඔහු කිව්වේ. ඒ නිසා අපි ඇනෙක්ස් එක ඇතුළටම වෙලා හිටියා. අපි හිටපු ගමේ අයත් හරි හොද මිනිස්සු. එයාලා අපි ගැන හොයලා බැලුවා."
"අපේ ඇනෙක්ස් එකේ අයිති එක්කෙනාම තමයි ඔහුගේ වාහනයකින් අපිව පෝට් සුඩාන්වල තිබ්බ නේවි කෑම්ප් එකට එක්කන් ආවේ. අපි ආව වාහනේ හිටියේ එහේ ආමි එකේ එක්කෙනෙක්. එයා තමයි අපිව එක්කන් ආවේ. නැත්නම් එන්න බැහැ එතනට. එයා අතරමඟ දී තිබ්බ මුරපොළවල්වලට කතා කරලා අපිව එක්කන් ආවා. සොල්ජර් කියලයි එයාට කියන්නේ," ඔහු තමන් මුහුණ දුන් අත්දැකීම විස්තර කළේ එලෙස ය.
පෝට් සුඩාන්හි පැය 23ක් බලා සිටීම
තමන් ඇතුළු පිරිස සතුව විදෙස් ගමන් බලපත්‍ර නොතිබීම හේතුවෙන් පෝට් සුඩාන්හි දී ගැටලුවකට මුහුණදීමට සිදුවූ බව මෙහිදී සංඛ ප්‍රමුදිගේ බීබීසී සිංහල වෙත පැවසුවේ ය.
"අපි පෝට් සුඩාන්වලට ආවම එහෙ තිබුණ නාවික හමුදා කඳවුරෙන් කිව්වා අපි ළඟ පාස්පෝට් නැති නිසා සෞදියට යවන්න බැහැයි කියලා. අපේ පාස්පෝට් වැඩකරපු කම්පැනි එකට දීලා තිබුනේ. අපි පැය 23ක් බලන් හිටියා ඒ නාවික හමුදා කඳවුර ළඟට වෙලා. අවසානයේ දී ඔවුන් සෞදි රජයෙන් විමසීමක් කරලා තිබුනා අපි ගැන. පස්සේ එහෙන් කියල තිබුනා පාස්පෝට් නැතත් එවන්න කියලා. ඒ අනුව තමයි අපිට නැවෙන් සෞදියට එන්න ලැබුනේ.
"සෞදි අරාබියේ දී අපිට විශාල පිළිගැනීමක් ලැබුනා වගේම අවශ්‍ය සියලු දේ ඔවුන් සොයා බැලුවා. ඉන්න හෝටල් කාමර පවා ලබාදුන්නා. සෞදියේ තිබෙන ලංකාවේ තානාපති කාර්යාලේ නිලධාරීන් අපිව මුණ ගැසිලා ලංකාවට එන්න ටිකට් අරන් දුන්නා.
"මම වැඩකරපු ආයතනයෙන් තවම මාස දෙකක වැටුප් ගන්න තියෙනවා මට. යුද්ධය පටන් ගනිද්දී කිව්වා සල්ලි දාන්නම් කියලා නමුත් මේ වෙනකම් ඒක වෙලා නැහැ," යනුවෙන් ඔහු තමන්ට අත්විදීමට සිදුවූ තත්ත්වය ගැන කරුණු දක්වා සිටියේ ය.
යුද්ධයට මැදිවූ විධායක ශ්‍රේණියේ හෝටල් නිලධාරියා ලැබූ අත්දැකීම
මේ අතර සුඩාන ආරක්ෂක අංශ සහ පැරා මිලිටරි හමුදාවන් අතර දරුණු ගැටුම් ඇතිවූ කාර්ටුම් නගරයේ පිහිටි හෝටලයක විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතුව සිට සිය බිරිඳ සහ දියණිය සමග මෙරටට පැමිණි අශෝක ගුණරත්න තමන් මුහුණ දුන් සිදුවීම් පිළිබඳව බීබීසී සිංහල සේවයට අදහස් පළකළේ ය.
"මම රැකියාව කළේ සුඩානයේ, කාර්ටුම් නගරයේ අල් සලාම් හෝටලයේ. අප්‍රේල් 15 වෙනිදා එක පාරම යුද්ධය ඇතිවුණා. මේක අපිට අලුත් අත්දැකීමක්. අපි හිතුවේ දවසකින් දෙකකින් මේක ඉවරවෙයි කියලා. දෙපැත්තේ අය ගහගන්නකොට අපි හිටියේ ඒ ගැටුමට මැදිවෙලා.
"ඒ වෙලාවේදී එල්ල කරපු ස්ට්‍රේ බුලට් හෝටලයේ ජනේලවලට එහෙම වැදිලා තිබුණා. ඒ වගේම මෝටාර් උණ්ඩවල කෑලි එහෙම හෝටලයේ භුමියේ වැටිලා තිබුණා. එක මෝටාර් උණ්ඩයක් හෝටල් භූමියට වැටිලා තිබුනා, නමුත් වාසනාවකට ඒක පිපිරිලා තිබුණේ නැහැ. ඒත් හමුදා දෙකින්ම සිවිල් වැසියන්ට ලොකු බලපෑමක් එල්ල වුනේ නැහැ.
"අපේ හෝටලයේ 150ක විතර කාර්ය මණ්ඩලයක් හිටියා, ඒ වගේම ගැටුම් ඇති වෙද්දී 200ක් වගේ ගෙස්ට්ලා හිටියා. ඒ අතර එක එක රටවල අය හිටියා. සමහර වෙලාවට අපි හිටපු හෝටලය අවට වෙඩි ශබ්ද වගේම පිපිරීම් ශබ්ද ඇහෙනකොට අපි බේස්මන්ට් එකට ගිහින් හිටියා.
"යුද්ධය පටන් අරන් දවස් දෙකක් යනකොට කරන්ට් එක නැතිවුණා. පස්සේ ජලය නැතිවුණා. හෝටලයේ ජෙනරේටර්වලින් තමයි දිව්වේ. අපිට සිද්ධවුණා අවසානයේ දී අමුත්තන් ඇතුළත්කර ගැනීම සීමා කරන්න. ඒ වගේම දවස් කිහිපයක් යද්දී හෝටලයේ හිටිය ගෙස්ට්ලා ඔවුන්ගේ රටවල්වලින් කණ්ඩායම් කණ්ඩායම් විදිහට ඉවත්කර ගත්තා," යනුවෙන් අශෝක ගුණරත්න තමන් මුහුණදුන් අත්දැකීම විස්තර කළේ ය.
ඊජිප්තුවෙන් ලැබුණු උපදෙස්
යුද්ධය ආරම්භවීමත් සමග සුඩානයේ රැඳී සිටි ලාංකිකයින් හට ඊජිප්තුවේ කයිරෝ නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැන උපදෙස් ලැබුණු බව අශෝක ගුණරත්න කියා සිටියේ ය.
"ඊජිප්තුවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් යුද්ධය ඇතිවූ ගමන්ම අපිට උපදෙස් ලබාදුන්නා කුමක්ද අපි කළ යුත්තේ කියන එක ගැන. අපිට පුළුවන් තරම් ඉක්මනින් ඉවත්වෙන්න කියලා දැනුම් දුන්නා. අපේ විස්තර ඔක්කොම වගේ එයාලා අර ගත්තා. අපිට කිව්වා පෝට් සුඩාන්වලට ගියාම ඉන්දියාවේ කට්ටිය එහෙන් ඉවත් කරනවා, ඒ අයත් එක්ක ඉවැකියුවෙට් වෙන්න කියලා.
"මම ඒ වෙලාවේ දී වට්ස්ඇප් ගෘප් එකක් හැදුවා. ඒ වේලාවේ දී ලංකාවේ අය 20කට වැඩිය කට්ටිය හිටියා. අවසානයේ දී මම මුල් වෙලා බස් එකක් ඕර්ගනයිස් කළා පෝට් සුඩාන්වලට එන්න. අපේ අයටත් ආරාධනා කළා මම මෙහෙම යනවා ඒ නිසා යන අය එන්න කියලා. මම ඒ වෙනකොට එහෙ තිබුණු ඉන්දියන් එම්බසි එකේ අයවත් පර්සනලි අඳුරනවා. මොකද මම හෝටලයේ වැඩ කරපු නිසා.
"අපෙන් හයදෙනෙකු කැමති වුණා සල්ලි ගෙවලා එන්න. අපි ගණන් හදලා බැලුවා එක්කෙනෙක්ට ඩොලර් 300ක් ගෙවන්න ඕන බස් එකට. වියදම් කරන්න කැමැති අයට අප්‍රේල් 23 වෙනිදා තමයි මම බස් එක ඔර්ගනයිස් කලේ. අපි සැලසුම් කරපු විදිහට කට්ටිය හිටියේ නැති නිසා ඉන්දියන් එම්බසි එකට කිව්වම එයාලා කිව්වා සල්ලි ගෙවලා එන්න කැමති ඉන්දීය ජාතිකයින් ඉන්නවා කියලා.ඒ අනුව අපි ඔක්කොම 48 දෙනෙක් බස් එකේ එකතු වුණා."
"කාර්ටුම් ඉදලා පෝට් සුඩාන්වලට එන්න කිලෝමීටර් 850ක් එන්න ඒ වෙනුවට බස් එක අපෙන් ඉල්ලුවා ඇමෙරිකානු ඩොලර් 18,500ක්. අප්‍රේල් 24 වෙනිදා උදේ 9.00ට විතර අපි ගමන එන්න පිටත්වුණා.
"ලංකාවේ කට්ටිය මම සේවය කරපු හෝටලය ළඟ ඉදලා බස් එකට එකතුවුණා. ඉතුරු ඉන්දීය ජාතිකයින් වෙනත් තැනකින් බස් එකට ගොඩවුණා.
"මමයි, බිරිඳයි, දුවයි අතේ අරන් යන්න පුළුවන් බෑග් එක ගානේ අරන් ආවේ. ඇඳුම් පොඩි ප්‍රමාණයක් විතරයි අරන් ආවේ. වැඩිපුරම අරන් ආවේ කෑම සහ වතුර. මම සේවය කරපු හෝටලයෙන් ඒවා ලැස්ති කරලා දුන්නා.
"අතරමඟ දී හමුදාවන් දෙකේම ආරක්ෂක මුරපොළවල්වලින් අපිව පරික්ෂාවට ලක් කළා. ඒ අතර වාරයේ දී අපි එනකම් කයිරෝවල තිබුණු ලංකාවේ එම්බසි එකෙන් මාත් එක්ක සම්බන්ධ වෙලා තොරතුරු සොයා බැලුවා. ඒ වගේම පෝට් සුඩාන්වලට ගියාට පස්සේ එහෙදි අපි සම්බන්ධ වෙන්න ඕන ඉන්ඩියන් එම්බසි එකේ අයගේ නම්බර්ස් පවා ලබා දුන්නා. එයාලා උපරිම සහයෝගය දුන්නා," අශෝක ගුණරත්න පැවසුවේ ය.
ඉන්දියාවෙන් කඩවුණු පොරොන්දුවක්
ඉන්දීය තානාපති කාර්යාලය පෙර ප්‍රකාශ කළ ආකාරයට තමන් ඇතුළු පිරිස නැවකට නැංවීමට අපොහොසත්වීම හේතුවෙන් දින තුනක කාලයක් බලා සිටීමට සිදුවූ බව අශෝක ගුණරත්න පවසා සිටියේ ය.
"අපි කාර්ටුම් සිට පෝට් සුඩාන්වලට ආවට පස්සේ එහි තිබ්බ ඉන්දියන් එම්බසි එකේ රෙජිස්ටර් වුණා. එතන ඉන්න පහසුකම් මඳියි. එහෙ තිබුණු ඉස්කෝලයක් තමයි දීලා තිබුනේ. වැසිකිලි පහසුකම් එහෙම මඳියි. හොද වෙලාවට මටයි, මගේ බිරිදට සහ දියණියට හෝටලයක නතර වෙන්න හැකියාව ලැබුනා. පෝට් සුඩාන්වල සෙනග පිරිලා. හැම ජාතියකම අය එහෙ හිටියා.
"ඊජිප්තුවේ තියෙන ලංකාවේ එම්බසි එකයි, මමයි මාරුවෙන් මාරුවට ඉන්දීය එම්බසි එකට කතා කරනවා. එයාල අපිව දවස් තුනක් තියා ගත්තා, 'හෙට හෙට' කිය කිය. යන නැවේ නම හිටන් කිව්වා අපිව දාන්න යන. ඒත් අන්තිමේ දී එයාලා කියනවා අනිත් නැවට දාන්නම් කියලා.
"පස්සේ අපිට දැන ගන්න ලැබුනා සෞදි රජයෙන් මුදා ගැනීමේ මෙහෙයුමක් සිද්ධ කරනවා කියලා. අපි අවසානයේ දී එතනට ආවා. අපිත් එක්ක හිටියා ජගත් කියලා මහත්මයෙක්. ඔහු ඒ අවස්ථාවේ දී අපිට ගොඩක් උදව් කළා. එයාට ආරාබි භාෂාව එහෙම පුළුවන්. ඒ අවස්ථාවේ දීම සෞදි රජයේ මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාවලියට අපිව රෙජිස්ටර් කළා.
"මම ඊට පස්සේ ලංකාවේ එම්බසි එකට කතා කරලා කිව්වා අපි අලුතෙන් රෙජිස්ටර් වුණා කියලා සෞදි රජයේ පහසුකම් යටතේ ඉවත්වෙන්න. ඒ වෙලාවේ දී දැන ගන්න ලැබුනා තවත් ලාංකිකයින් 11 දෙනෙක් ඊට පසුවදා පෝට් සුඩාන්වලට එනවා කියලා. මම ඒ වෙලාවේ දී එම්බසි එකට කිව්වා ඉන්දියන් එම්බසි එකට යන්න එපා, එයාලා අපිව ගණන් ගන්නේ නැහැ කියලා. අපිට සැලකීමක් නැහැ, එයාල කියන්නේ එයාලගේ කට්ටිය වැඩි නිසා ප්‍රයෝරිටි එක එයාලගේ කට්ටියට දෙන්න ඕන කියලා. ඒ හින්ද මෙතනට එන්න කියලා. ඒ අනුව ඒ 11 දෙනාත් එතනට ඇවිල්ල තිබුණා. මම හැකි තරම් විස්තර දුන්නා එම්බසි එකට, මොකද ඉස්සරහට ලංකාවට එන්න ඉන්න අයට ඒක වැදගත් වෙන නිසා," අශෝක ගුණරත්න ප්‍රකාශ කළේ ය.
සෞදියෙන් ලැබුණු ආගන්තුක සත්කාරය
සෞදි රජය විසින් ක්‍රියාත්මක කරන ලද මුදවා ගැනීමේ මෙහෙයුම පිළිබඳව අදහස් දක්වමින් අශෝක ගුණරත්න පවසා සිටියේ එය කිසිදු අවස්ථාවක බලාපොරොත්තු නොවූ දෙයක් බවයි.
"අපි ලියාපදිංචි වූ දවසෙම රෑ පෝට් සුඩාන්වලින් පිටවෙන්න නෞකාවක් ලබාදුන්නා සෞදි රජය. සෞදි රජයේ මැරීන් භටයින් අපිව හොදට බලා ගත්තා. අවශ්‍ය කෑම ඇතුළු සියලු දේ සොයා බැලුවා. පැය 24ක් යාත්‍රා කරලා තමයි අපි සෞදියේ ජෙඩාවලට ආවේ. එහිදී සෞදි රජයෙන්ම හෝටල් ලබාදීලා තිබුනා ආපු සියලුම දෙනාට නතර වෙන්න. එහෙ තිබ්බ ලංකාවේ තානාපති කාර්යාලයේ නිලධාරීන් ඇවිල්ල තිබුනා අපි ගැන සොයා බලන්න. එයාලා අපේ තොරතුරු අරන් ගුවන් ප්‍රවේශපත් ලෑස්ති කරලා දෙනවා කියලා දින දෙකක් ඇතුළත.
"නමුත් මගේ බිරිදට සහ දුවට ටිකක් අමාරු නිසා ලංකාවේ තානාපති කාර්යාලයෙන් ගුවන් ටිකට් පත් ලෑස්ති කරන්න කලින් ලංකාවට එන්න මට පෞද්ගලික වියදමින් ගුවන් ප්‍රවේශපත් වෙන්කර ගන්න හැකිවුණා.
"අපි ආපු ගමන ගැන තමයි විශේෂයෙන්ම කියන්න ඕන. ඒ ගමන බයෙන් බයේ අපි ආවේ. නමුත් ඊජිප්තුවේ වගේම සෞදියේ ලංකාවේ තානාපති කාර්යාලවල නිලධාරීන් සහ සෞදි අරාබියෙන් ලැබුණු සහයෝගය ගැන විශේෂයෙන්ම ස්තුතිය පුද කරන්න ඕන," අශෝක ගුණරත්න කියා සිටියේ ය.
(bbc/sinhala)