දියෙගෝ ගාර්සියා : ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් පිරිසකට 'අපායක්' වූ ඝර්ම කලාපීය දූපතක පිහිටි එක්සත් රාජධානියේ දුරස්ථ හමුදා කඳවුර
නීතිවිරෝධී ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් පිරිසක් ඔවුන්ගේ අබලන් ධීවර බෝට්ටුවෙන් මුදා ගැනීමෙන් පසු ඉන්දියන් සාගරයේ බ්‍රිතාන්‍යයට අයත් කුඩා දූපතක මාස ගණනක් තිස්සේ අතරමංව සිටිති.
ආරක්ෂිත ස්ථානයකට යාම පිළිබදව අපේක්ෂා භංගත්වයට පත්ව සිටින ඔවුන් පවසන්නේ, දූපතේ ජීවන තත්ත්වය අපායකට සමාන බව ය. එම දූපතේ ක්‍රියාත්මක අසාමාන්‍ය නීති පද්ධතිය හේතුවෙන් ඔවුහු බියට සහ අසරණභාවයට පත් ව තිබේ.
මෙහි සඳහන් සියලු සංක්‍රමණිකයින්ගේ නම් වෙනස් කොට තිබේ.
2021 වසරේ ඔක්තෝබර් මාසයේ දිනක හිමිදිරි උදෑසන දියෙගෝ ගාර්සියා දූපත අසල අබලන් වූ ධීවර බෝට්ටුවක් දක්නට ලැබිණි.
එම යාත්‍රාව ක්ෂණයකින් දූපතේ බලධාරීන්ගේ අවධානයට ලක් විය. වෙනත් රටකට වඩා සැතපුම් සිය ගණනක් ඈතින් පිහිටි මෙම දූපතේ බ්‍රිතාන්‍ය-අමෙරිකා රහසිගත හමුදා කදවුරක් පවතින අතර අවසරයක් නැති ආගන්තුකයින්ට දූපතට ඇතුළු වීම තහනම් ය.
| සංක්‍රමණිකයින් පිරිසක් සිය බෝට්ටුව මත සිටින ආකාරය දැක්වෙන සංක්‍රමණිකයෙකු එවූ ඡායාරූපයක්
එම යාත්‍රාවෙහි "වධ හිංසා නිසා පළා ගිය" බව කියන ශ්‍රී ලාංකික දෙමළ වැසියන් 89 දෙනෙකු සිටි බව පැහැදිලි විය. ඔවුන් පැවසූ පරිදි එම දූපතට ගොඩබැසීමට කිසිදු අරමුණක් ඔවුන්ට නොවී ය.
රළූ කාලගුණයට සහ එන්ජිමේ දෝෂයකට මුහුණ පෑමට පෙර ඔවුන් සැලසුම් කර තිබුණේ, කැනඩාවේ සරණාගතභාවය ඉල්ලීමට බව සිතියම්, දිනපොත් සටහන් සහ GPS දත්ත මගින් තහවුරු විය.
යාත්‍රාව අබලන් තත්ත්වයක පවතින බව දැන ගත් විට ඔවුන් ආසන්නතම ආරක්ෂිත ස්ථානය සෙවූ බව යාත්‍රාවේ සිටි අයෙක් බීබීසීයට පැවසීය. "අපි පොඩි ආලෝකයක් දැක්ක නිසා දියෙගෝ ගාසියා දූපත දිහාවට බෝට්ටුව ගෙනිච්චා."
පසුව රාජකීය නාවික හමුදාවට අයත් නෞකාවකින් යාත්‍රාව ගොඩබිමට ගෙන ගිය අතර, එහි සිටි පිරිස තාවකාලික නවාතැන් වෙත යොමු කරන ලදී.
එය සිදුවූයේ මීට මාස 20කට පෙරදී ය. එම සංක්‍රමණිකයින් - ඔවුන් මුහුණ පා සිටින දරුණු තත්ත්වය හේතුවෙන් සිය දිවි නසා ගැනීමට ද උත්සහ කළ ඇතැම් සංක්‍රමණිකයින් - තවමත් එහි සිටින්නේ මන්දැයි යන ප්‍රශ්නයට දූපතේ සහ ලන්ඩනයේ නිලධාරීන් අතර පැවති සන්නිවේදන සබදතාවලින් ඉඟි සපයයි.
සංක්‍රමණිකයන් කිහිප දෙනෙකු වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෙකු විසින් විදේශ කාර්යාලය වෙත තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ කළ ඉල්ලීමක් මගින් ලබා ගත්, සංක්‍රමණිකයින් පැමිණි වහා ම සිදුවූ සන්නිවේදනයන්ගේ තොරතුරු බීබීසී සමග බෙදා ගන්නා ලදී. එමගින් පෙනී යන්නේ, "නොසිතූ විරූ තත්ත්වයක් වර්ධනය වීම හේතුවෙන් " නිලධාරින් පොර බැඳීමකට මැදිව සිටින බවයි.
මුල් පණිවුඩවල දැක්වෙන කරුණු අනුව "යාත්‍රාවේ එන්ජිම අලුත්වැඩියා කළ හැකි විකල්ප සොයා බැලීමේ" සැලසුම් ගැන කතාබහක් සිදුවුව ද, සංක්‍රමණික කණ්ඩායම දියෙගෝ ගාර්සියා දූපතේ සිට සරණාගතභාවය ඉල්ලා සිටියහොත් "ඔවුන් ඉන් ඉවත් කළ නොහැකි" බව ද පවසා තිබේ.
ඊළග දිනයේ කතාව යථාර්ථයක් බවට පත් විය.
යාත්‍රාවේ සිටි දෙමළ වැසියන් දූපතේ යුද්ධ හමුදාවේ අණදෙන නිලධාරීවරයා වෙත ලිපියක් යොමු කරමින් පවසා තිබුණේ, දින 18කට පෙර වධ හිංසා හේතුවෙන් ඔවුන් ඉන්දියාවේ තමිල් නාඩුවේ සිට යාත්‍රාවෙන් පැමිණි බව ත්, "ආරක්ෂිත රටකට යාමට කැමැත්තෙන් පසුවන බව ත්" ය.
2009 දී අවසන් වූ සිවිල් යුද්ධයෙන් පරාජයට පත්වූ ශ්‍රී ලංකාවේ දෙමළ කොටි කැරලිකරුවන් සමග තමන් සබඳතා පැවති බව බොහෝ දෙනා ප්‍රකාශ කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් පීඩාවට ලක්ව සිටින බව පැවසූහ. ඇතැමුන් චෝදනා කරන්නේ, ඔවුන් වධ හිංසාවලට හෝ ලිංගික අතවරවලට ගොදුරු වූවන් බව ය.
බ්‍රිතාන්‍යයට අයත් විදේශීයව පිහිටි භූමි සම්බන්ධ අධ්‍යක්ෂ පෝල් කැන්ඩ්ලර් විසින් ලන්ඩනයේ අනුමත කරන ලද නිල "තොරතුරු සටහනකින්" ප්‍රකාශ වූයේ, මෙම කණ්ඩායමේ "අනපේක්ෂිත පැමිණීම," British Indian Ocean Territory (දූපතේ නිල නාමය) - දූපතේ සරණාගතභාවය ඉල්ලා සිටි පළමු අවස්ථාව සනිටුහන් කළ බව ය.
මාධ්‍යය විසින් විමසීමක් කළහොත්, නිලධාරීන්ට ප්‍රතිචාර දැක්විය හැකි නිල "ආරක්ෂක රේඛාව" වනු ඇත්තේ "සිද්ධිය පිළිබඳව තමන් දැනුවත්ව" සිටින බව ත්, "තත්ත්වය විසඳීමට කඩිනමින් ක්‍රියා කරන" බවත් ලෙස පැවසීම බව එහි සඳහන් ව තිබුණි.
මෙම කණ්ඩායමට "දැනට බාහිර ලෝකය සමග සබදතා පැවැත්වීමට කිසිදු අවස්ථාවක් නැත... (නමුත්) කාලය ගත වන විට පුවත් පැතිර යාමේ වැඩි ඉඩකඩක් පවතින" බව ද එහි සදහන් විය.
ඉදිරි මාසවලදී, ලන්ඩනය සමග හුවමාරු වූ පණිවුඩ අනුව, තව ත් බෝට්ටු දියෙගෝ ගාර්සියා වෙත පැමිණියේ ය. ශ්‍රී ලංකාවේ සිට පැමිණ තව ත් පුද්ගලයින් පිරිසක් ද සමග එක් අවස්ථාවකදී කඳවුරේ සිටි සංඛ්‍යාව අවම වශයෙන් 150 දක්වා ඉහළ ගොස් තිබූ බවට නීතිඥයින් ඇස්තමේන්තු කර තිබිණි.
| මාරායන් නම් බෝට්ටුවේ පොඳි ගැසී සිටින මෙම දෙමළ ජනතාව කැනඩාවට ගොස් එහි සරණාගතභාවය ලබා ගැනීමට අදහස් කර තිබේ.
මේ අතරතුර තමන් මුහුණ දී සිටින තත්ත්වය පිළිබඳ යථාර්ථය සරණාගතයින්හට පසක් වන්නට විය.
"ජීවිතය බේරුණ නිසා ත්, ආහාර ලැබෙන නිසා ත්, වධ හිංසාවලින් මිදුණ නිසා ත් මුලදී මම සතුටින් හිටියේ," සංක්‍රමණිකයින් අතර සිටින ලක්ෂානි පසුගිය මාසයේදී බීබීසී වෙත පැවසීය.
එහෙත්, ඇය පැවසුවේ, එම ඝර්ම කලාපීය දූපත කෙටි කලක් තුළ "අපායක් බවට පරිවර්තනය වූ" බව ය.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී තමන් සිටි කූඩාරමේ ම සිටි පුද්ගලයෙකු තමාට ලිංගික අතවර කළ බව ඇය පවසයි.
"මම හයියෙන් කෑගැහුවා. ඒත් උදව්වට කවුරුවත් ආවෙ නෑ," ඇය පැවසීය.
ඇයට නිල වශයෙන් පැමිණිල්ලක් කිරීමට හැකි අවස්ථාවක් පැමිණි විට, ඇයට දන්වා තිබුණේ ඇයගේ ඇඳුම් සේදීම නිසා සාක්ෂි ලබා ගැනීම දුෂ්කර බව ය.
ඔහුව මාරු කරන ලෙස කළ ඉල්ලීමට බලධාරීන් ප්‍රතිචාර දක්වන තෙක් සතියකට ආසන්න කාලයක් ඇයට අතවර කළා යැයි කියනු ලබන පුද්ගලයා සමග එම කූඩාරමේ ම දිගට ම රැඳී සිටීමට සිදුවූ බව ඇය පවසයි.
මෙම චෝදනා සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජය සහ දියෙගෝ ගාර්සියා දූපතේ පරිපාලනය ප්‍රතිචාර දැක්වූයේ නැත.
ලක්ෂානි සහ තව ත් කිහිප දෙනෙකු බීබීසීයට පැවසුවේ, මානසික පීඩනය දරා ගැනීමට නොහැකිව තමන් හෝ තමන් දන්නා අය සිය දිවි හානි කර ගැනීමට උත්සහ කර ඇති බව ය.
නීතිඥයින් පවසන්නේ, කඳවුර තුළ අවම වශයෙන් සිය දිවි හානි කර ගැනීම් 12ක් සහ ලිංගික අතවර චෝදනා දෙකක් පිළිබදව වාර්තා වී ඇති බව ය.
"අපි මානසිකව සහ ශාරීරිකව වෙහෙසට පත් වෙලා ඉන්නේ... අපිට ජීවිතයක් නෑ. මට දැනෙන්නේ මම මැරිච්ච මිනිහෙක් කියලා," තව ත් සංක්‍රමණිකයෙකු වන විදූෂන් පැවසීය. ඔහු බීබීසීයට පැවසුවේ, ඔහු දෙවරක් තම ජීවිතය හානි කර ගැනීමට උත්සහ කළ බව ය.
තව ත් අයෙකු වන ආධවන් පැවසුවේ, ආරක්ෂාව සම්බන්ධයෙන් වූ ඔහුගේ මූලික ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඔහු "සියලු බලාපොරොත්තු සුන් වී" සිය දිවි නසා ගැනීමට තීරණය කළ බව ය.
"කූඩුවක දාපු සතෙක් වගේ මෙහෙ ජීවත් වෙන්න මට ඕනේ නෑ," ඔහු පැවසීය.
ඔහු තමන් සිය දිවි හානි කර ගන්නා බවට කදවුරේ සිටි තව ත් කාන්තාවකට පැවසූ විට, ඇය කදවුරේ බලධාරීන් දැනුවත් කිරීමෙන් පසු ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දී තිබිණි.
තව ත් කාන්තාවක වූ ශාන්ති පැවසුවේ, ඇයගේ සැමියා ද සිය දිවි හානි කර ගැනීමට උත්සහ කළ බව ය.
2021 වසරේදී සෙබළුන් පිරිසක් තමාට ලිංගික අතවර කර වධහිංසා පමුණුවා ඇති බවට චෝදනා කරන ලක්ෂානි, ඇයව ශ්‍රී ලංකාවට ආපසු එවන බවට කඳවුරේ නිලධාරියෙකු පැවසීම නිසා සිය දිවි හානි කර ගැනීමට තරම් ආවේගයක් ඇති වූ බව පැවසුවා ය.
බ්‍රිතාන්‍ය රජය සහ සංක්‍රමණික කඳවුර ආරක්ෂා කිරීම සඳහා යොදවා ඇති G4S පුද්ගලික ආරක්ෂක සමාගම මෙම නිශ්චිත ප්‍රකාශය පිළිබඳ අදහස් දැක්වීම සඳහා කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වූයේ නැත.
G4S කියා සිටියේ එහි නිලධාරීන් දූපතේ සිටින සංක්‍රමණිකයන්ට "සෑම විට ම අභිමානයෙන් සහ ගෞරවයෙන්" සලකන බව ය. බ්‍රිතාන්‍ය රජයේ ප්‍රකාශකයෙකු පැවසුවේ, සංක්‍රමණිකයන්ගේ "ශුභසාධනය සහ ආරක්ෂාව" "ඉතා ම වැදගත්" බවත් "අවිචාර ලෙස සැලකීමේ සියලු චෝදනා බැරෑරුම් ලෙස සලකන බව ත් ඒවා සම්පූර්ණයෙන් විමර්ශනය කර ඇති," බව ත් ය.
දූපතේ පරිපාලනය "පුළුල් වෛද්‍ය සහයක්" ලබා දුන් බව එම ප්‍රකාශකයා වැඩිදුරට ත් පැවසීය.
එම දූපතේ සංක්‍රමණිකයින් උපවාසවල ද නිරත වූ අතර ඒවාට දරුවන් ද සම්බන්ධ වූ බව නීතිඥයෝ පවසති.
| සංක්‍රමණිකයෙකු විසින් එවන ලද තවත් ඡායාරූපයකින් ඔවුන් ලැඟුම් ගෙන සිටින කුඩාරම් පෙන්වන අතර; එක කුඩාරමක 12 පමණ පිරිසක් රැඳී සිටින අතර ආරක්ෂක භටයින් විසින් ඔවුන් නිරීක්ෂණය කෙරේ.
BIOT පරිපාලනය උසාවි ලේඛනවල මෙම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති අතර, එක් උපවාසයකට ප්‍රතිචාර වශයෙන් කඳවුරෙන් තියුණු වස්තු ඉවත් කළ බව ත්, ස්වයං හානි වැළැක්වීම සඳහා වෙනත් ක්‍රියාමාර්ග ගත් බව ත් පවසා තිබේ.
දියෙගෝ ගාර්සියා හමුදා කඳවුර සරණාගතයින් නවාතැන් ගැනීමට අරමුණු කළ ස්ථානයක් නොවන බවට සියලු දෙනාට ම එකඟ විය හැකි ය.
බ්‍රිතාන්‍යය 1965 දී එවකට යටත් විජිතයක් වූ මොරිෂස් දිවයිනෙන් දියෙගෝ ගාර්සියාහි කොටසක් වන චාගෝස් දූපත් සිය පාලනයට ගත් අතර හමුදා කඳවුරට ඉඩ සැලසීම සඳහා එහි ජනගහනයෙන් 1,000 කට වඩා ඉවත් කිරීමට සැලසුම් කළේ ය.
1968 දී එක්සත් රාජධානියෙන් නිදහස දිනා ගත් මොරිෂස් දූපත් ස්වාධීනව පවත්වාගෙන යන අතර එක්සත් ජාතීන්ගේ ඉහළ ම අධිකරණය විසින් එක්සත් රාජධානිය එම භූමිය පරිපාලනය කිරීම "නීති විරෝධී" බව ත් එය අවසන් කළ යුතු බව ත් තීන්දු කර ඇත.
විවෘත සාකච්ඡා සඳහා එකඟ වූ පසුගිය වසරේ අගභාගය දක්වා එක්සත් රාජධානිය දූපත් පිළිබඳ සාකච්ඡා ආරම්භ කරන ලෙසට පැවති ජාත්‍යන්තර බලපෑම්වලට විරුද්ධ විය.
මෑත දශකවලදී, ඇෆ්ගනිස්ථානයට සහ ඉරාකයට බෝම්බ හෙලීම සඳහා අමෙරිකානු ගුවන් යානා කඳවුරෙන් යවා ඇති අතර එය, ත්‍රස්තවාදී සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීම සදහා යොදා ගත් බව කියන CIA "කළු අඩවිය" ලෙස ද භාවිත කර ඇති බව වාර්තා වේ.
ලන්ඩනයේ ගොනු කර ඇති අධිකරණ ලේඛනවලින් පෙනී යන්නේ, කොවිඩ් සමයේ කොවිඩ් වැළඳුණු හමුදා නිලධාරීන් වෙන් කර තැබීම සදහා ඉදිකර තිබූ කූඩාරම් තාවකාලික සංක්‍රමණික කඳවුරක් ලෙස භාවිත කරන බව ය.
"අපි කූඩු කරලා ඉන්න ගිරව් වගේ," නිදහසක් නැති ජීවිතය පැහැදිලි කරමින් ශාන්ති පැවසීය.
සංක්‍රමණිකයන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥයින් පවසන්නේ, මීට වසරකට පමණ පෙර මූලික අධ්‍යාපනයක් ලබා දුන් නමුත් මී උවදුරක් හේතුවෙන් ඇතැම් අවස්ථාවල පන්ති එළිමහනේ පැවැත්වීමට සිදු වූ බව ය.
ඇතැම් සංක්‍රමණිකයන් ඔවුන්ගේ ඉල්ලීම් අත්හැරීමෙන් හෝ ඒවා ප්‍රතික්ෂේප වීමෙන් පසු ආපසු සිය නිවෙස් කරා පැමිණ ඇත. තව ත් සමහරුන් සරණාගතභාවය අපේක්ෂාවෙන් ප්‍රංශයට අයත් භූමියක් වන ඉන්දියන් සාගරයේ පිහිටි රීයුනියන් දූපත වෙත යාත්‍රා කළ බව නීතීඥයෝ පවසති.
මේ වන විට, දියෙගෝ ගාර්සියා දූපතේ අවම වශයෙන් දෙමළ ජාතිකයින් 60 දෙනෙක් ඉතිරි වී සිටිති. ඔවුහු සැතපුම් දහස් ගණනක් එපිටින් එක්සත් රාජධානියේ ක්‍රියාත්මක වන ව්‍යාකූල නෛතික ක්‍රියාවලීන්හි ඔවුන්ගේ ඉරණම පිළිබඳ තීරණ ලැබෙන තුරු හෝ පෙර දෙන ලද තීන්දුවලට අභියෝග කරමින් බලා සිටිති.
එක්සත් රාජධානිය සරණාගතයින්ට සැලකීම පිළිබඳ ජාත්‍යන්තර නීතිවලට අත්සන් තබා ඇති අතර, අධිකරණ පත්‍රිකා පවසන්නේ මෙය "ව්‍යවස්ථාපිතව වෙනස් සහ එක්සත් රාජධානියෙන් වෙන් වූ" ප්‍රදේශයක් ලෙස සැලකෙන BIOT සඳහා අදාළ නොවන බව ය.
වධහිංසාවලට හෝ අමානුෂික සැලකිලිවලට මුහුණ දෙන රටකට කිසිවෙකු ආපසු නොයැවිය යුතුය යන අදහස මත පදනම්ව ඔවුන් ආපසු ශ්‍රී ලංකාවට එවිය යුතු ද නැතහොත් "ආරක්ෂිත තුන්වන රටකට" යැවිය යුතු ද යන්න තීරණය කිරීමට වෙන ම ක්‍රියාවලියක් පවතී.
නීතීඥ ටෙසා ග්‍රෙගරි පවසන්නේ, ඇය සේවය කරන ලන්ඩන්හි ලී ඩේ ආයතනය, දියෙගෝ ගාර්සියාහි සරණාගතයින් ගණනාවක් වෙනුවෙන් අධිකරණ සමාලෝචනයක් ආරම්භ කර ඇති අතර මෙම ක්‍රියාවලියේ "නීත්‍යනුකූලභාවය" අභියෝගයට ලක් කර ඇති බව ය. - එය "මූලිකව අසාධාරණ කටයුත්තක්" ලෙස ඇය විස්තර කරයි.
ඇතැම් සංක්‍රමණිකයන් ශ්‍රී ලංකාවට ආපසු යැවීමට තීරණ ගනු ලැබුවේ, කඩිමුඩියේ පැවැත්වූ සම්මුඛ සාකච්ඡා මත පදනම්ව බව ත් පසුව ඔවුන්ගේ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡා පරිවර්තන දෝෂ නිසා ව්‍යාකූල වූ බව ත් ඇය පවසයි. බ්‍රිතාන්‍ය රජය තවමත් සුදුසු ආරක්ෂිත තුන් වන රටක් හඳුනාගෙන නොමැති බැවින් සෙසු පුද්ගලයින් "ව්‍යාකූල තත්ත්වයක" තබා ඇති බව ඇය පැවසුවාය.
මේ අතර, බ්‍රිතාන්‍ය රජය පැවසුවේ BIOT පරිපාලනය "BIOT නීතිය යටතේ සහ ජාත්‍යන්තර නීතිමය බැඳීම්වලට අනුකූලව සංක්‍රමණිකයින්ගේ ආරක්ෂණ හිමිකම් පිළිබදව සලකා බලමින් සිටින," බව ය.
එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබද මහ කොමසාරිස් කාර්යාලය (UNHCR) බීබීසීයට පැවසුවේ, දියෙගෝ ගාර්සියාහි "සෞඛ්‍ය තත්ත්වය පිරිහීම" පිළිබඳ වාර්තා පිළිබඳව කනස්සල්ලට පත්ව සිටින අතර ඊට ප්‍රවේශ වීමට එක්සත් රාජධානියේ බලධාරීන්ගෙන් අවසර ඉල්ලා ඇති නමුත් තවමත් ලබා දී නොමැති බව ය.
හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ එක්සත් රාජධානියේ උපදේශක සහ සන්නිවේදන සම්බන්ධීකාරක එමිලි මැක්ඩොනල් පැවසුවේ, "බ්‍රිතාන්‍ය පාලන ප්‍රදේශයක සිටින මෙම සරණාගතයින්ගේ ශුභසාධනය සහතික කිරීම සඳහා ගත යුතු ඕනෑ ම සහ සියලු විකල්ප බ්‍රිතාන්‍ය රජය සලකා බැලිය යුතු බව ත් සරණාගතයින් ආරක්ෂා කළ යුත්තේ බ්‍රිතාන්‍ය රජය," බවත් ය.
නීතීඥයින් පවසන පරිදි, හිමිකම් අනුමත කර ඇති දියෙගෝ ගාර්සියා සරණාගතයින් කිසිවෙකු ත් භාර නොගන්නා බව එක්සත් රාජධානිය පවසා තිබේ.
| එක් අවස්ථාවක, සංක්‍රමණිකයන් පස් දෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර සඳහා රුවන්ඩාවට යවන ලදී - දෙදෙනෙකු පසුව ඩියාගෝ ගාර්ෂියා වෙත ආපසු යවන ලදී.
දියෙගෝ ගාර්සියා වෙත පැමිණි දෙමළ ජාතිකයින් තිදෙනෙකු ස්වයං හානි සහ සිය දිවි නසා ගැනීමේ උත්සාහයන් හේතුවෙන් දිවයිනෙන් ඉවත් කර මේ වන විට රුවන්ඩාවේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටිති. ඔවුන්ගේ ස්ථාන මාරුව, බ්‍රිතාන්‍ය සහ රුවන්ඩා රජයයන් විසින් එක්සත් රාජධානියේ සිට සරණාගතයින් කිහිප දෙනෙකු නැගෙනහිර අප්‍රිකාවේ පිහිටි රුවන්ඩාවට යැවීමට ඇති කර ගත් ගනුදෙනුවේ කොටසක් නොවේ.
බීබීසීය විසින් දකින ලද, BIOT පරිපාලනය මැයි මාසයේදී ඉන් එක් පුද්ගලයෙකුට යනව ලද ලිපියක සදහන් වන්නේ, රුවන්ඩාවේ ප්‍රතිකාර ලබන කාලය තුළ ඔවුන් සංක්‍රමණිකයින්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ නවාතැන් පහසුකම් සදහා ගෙවීම් කරන බව ය.
"ඔබ මෙම යෝජනාව පිළිබදව සෑහීමකට පත් නොවන්නේ නම්... ඔබට යළි දියෙගෝ ගාර්සියා වෙත යාමට කටයුතු සැලසිය හැකි ය. මේ මොහොතේ කළ හැකි වෙනත් විකල්පයක් නොමැත," යනුවෙන් එහි සදහන් වේ.මෙම වසර මුලදී පැවති උපවාසයකට ප්‍රතිචාර වශයෙන්, BIOT කොමසාරිස්වරයා සංක්‍රමණිකයින්ගේ දුරකතන රාජසන්තක කර, ප්‍රජාව අතර සන්නිවේදන ප්‍රවේශය නතර කළ බව ත්, "BIOT පරිපාලනයේ ඇතැම් වගකීම් ප්‍රතික්ෂේප කරන පෝරමයකට අත්සන් කිරීමට කැමති නොවන්නේ නම්" එම පුද්ගලයින්ගේ වෛද්‍ය ප්‍රතිකාර ඉවත් කර ගත් බව ත් නීතිඥයෝ පවසති.
සරණාගතයින් සිව් දෙනෙකු "ආරක්ෂිත තුන් වන රටකට" යැවීම සම්බන්ධයෙන් කරන ලද ඉල්ලීම් අනුමත කර ඇත. ඔවුන්ගෙන් එක් අයෙකුට මාස දෙකකට පෙර යවන ලද (බීබීසී දුටු) ලිපියක, "මෙය කඩිනමින් කිරීමට සෑම උත්සාහයක් ම දරනු ඇත," යනුවෙන් සටහන් කර තිබිණි.
මෙම සතියේ බීබීසීයට වෙන ම ප්‍රකාශයක් කරමින්, බ්‍රිතාන්‍ය රජය පැවසුවේ, "(සංක්‍රමණිකයන්) මුහුණ දී සිටින වත්මන් තත්ත්වයට දිගු කාලීන විසඳුමක් සෙවීමට BIOT පරිපාලනය සමග වෙහෙස නොබලා කටයුතු කරන," බව ය.
එහෙත්, ආරක්ෂිත තුන් වන රටක් සොයා ගැනීම සඳහා පැහැදිලි කාල රාමුවක් නොමැතිවීම සහ එම අවස්ථා ප්‍රතික්ෂේප කිරීම් සම්බන්ධයෙන් පවතින දීර්ඝ නීතිමය ක්‍රියාදාමය හේතුවෙන් සියල්ලන්ගේ තත්ත්වය පවතින මට්ටමෙන් ම ඉදිරියට යා හැකි ය.
මාස 20ක කාලයක් තිස්සේ බලා සිටීමෙන් පසු, සරණාගතයෙකු පැවසුවේ, සියලු දෙනා "බලාපොරොත්තු සුන් වුණු තත්ත්වයක" පසුවන බව ය.
| ඇලිස් කඩී සහ ස්වාමිනාදන් නටරාජන් / බීබීසී - සිංහල