පසුගිය සමයේ රට තුළ ඇති වූ ආර්ථික හා දේශපාලනික අර්බුදයන් හේතුවෙන් බොහෝමයක් පිරිස් විදෙස්ගත වීමේ අරමුණින් තම විදේශ ගමන් බලපත්‍රය ලබා ගන්නට බලාපොරොත්තු වූ නමුත් විදෙස් රටකට පිටව යනවාට වඩා වෙහෙසක් හා වියදමක් විදෙස් ගමන් බලපත්‍රය සකස් කරගැනීම සඳහා වැය කිරීමට සිදු විය.
රටේ එක් පසෙකින් ආර්ථික හා දේශපාලනික අර්බුදයක් පවතින අවස්ථාවක විදෙස් ගමන් බලපත්‍රය සකස් කර ගැනීම යනු මීට මාස කිහිපයකට පෙර දැවැන්ත මෙහෙයුමකට සමාන කටයුත්තක් විය. දුර ඈත ගම්බද ප්‍රදේශවල සිට පැමිණෙන ජනතාව තමන්ගේ සේවය ලබා ගැනීම සඳහා බත්තරමුල්ල විදේශ ගමන් බලපත්‍ර ප්‍රධාන කාර්යාලය වෙත පැමිණ වෙහෙසකර හා පීඩාකාරී දින කිහිපයක් ගත කිරීමත් සමඟය.
එසේම විදෙස් ගමන් බලපත්‍ර ලබාදීමේදී සිදුවන අක්‍රමිකතා පිළිබඳවද පසුගිය දිනවල විවිධ මාධ්‍ය තොරතුරු ටොන් ගණනින් අනාවරණය කරන ලද්දේ එකී මුළු පරිශ්‍රයම දූෂණ වංචාවලින් පිරී තිබුණු අයුරු සිහිකැඳවීමටය.
ආගමන විගමන දෙපාර්තමේන්තුව එක් දින සේවය යටතේ දිනකට ගමන් බලපත්‍ර 1000ක් පමණ නිකුත් කරමින් සේවය ලබාදුන් නමුත් අධික තදබදය හේතුවෙන් එක් දින සේවය යටතේ නිකුත් කරනු ලබන විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාව 2300ත් 2500ත් අතර සංඛ්‍යාවක් දක්වා ඉහළ දමන්නට සිදු විය.
අධික තදබදයක් ඇති වීමට පෙර දෙපාර්තමේන්තුව දිනකට අයැදුම්පත් 2000ක් පමණ භාර ගැනීමට කටයුතු කර තිබේ. ඇතැම් දිනයන්හි එම අගය 500ක් තරම් වැනි අඩු අගයක් ගනු ලැබූ බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා පෙන්වා දී තිබේ. රට තුළ ඇති වූ අර්බුදයට විසඳුම් සොයන්නට විදෙස්ගත වීම තෝරාගත් විශාල සංඛ්‍යාවකගේ බලාපොරොත්තු සමඟ බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව අතුරු සිදුරු නොමැතිව පිරී උතුරන්නට පටන් ගත්තේ දින සති මාස කෙමෙන් කෙමෙන් ගෙවා දමමිනි.
එහි ප්‍රතිඵලයක් ලෙස එහි දිගු පෝලිම් දක්නට ලැබුණු අතර ඇතැමුනට දින ගණන් පෝලිම්වල සිටීමට සිදුවිය. පෝලිම් ක්‍රමයෙන් දිගුවෙත්ම පෝලිම්වල සිටින ජනතාවගේ කටුක බවද ක්‍රමයෙන් වැඩි වන්නට පටන් ගත්තේ අම්පාර, ත්‍රිකුණාමලය, මැදවච්චිය, නුවරඑළිය, මඩකළපුව සහ යාපනය වැනි ඉතා දුර බැහැර ප්‍රදේශවල සිට ඔවුන් පැමිණ තිබීම නිසා පමණක් නොව, දිවා රෑ වෙනසකින් තොරව තම කිරිදරුවන්ද ඇකයේ හොවාගෙන හිසට සෙවණක් හෝ කුසට අහරක් නොමැතිව තම බලාපොරොත්තු දල්වාගෙන සිටීමෙනි. මෙම පෝලිමක සිටි ගැබිනි අම්මා කෙනෙක් එම පෝලිමක සිටියදී නිරෝගීමත් දරු ප්‍රසූතියක්ද සිදුකර තිබීම විශේෂත්වයකි. එය විශේෂත්වයකටත් වඩා මිනිස්සු සිටින ලද වෙහෙසකර හා පීඩාකාරී තත්ත්වයට කදිම නිදසුනකි.
මෙම තදබදය කොතරම්ද යත් කළමනාකරණ සේවා නිලධාරි සේවයේ නිලධාරීන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත තාවකාලිකව අනුයුක්ත කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ඒකාබද්ධ සේවා අධ්යක්ෂ ජනරාල්වරයා කටයුතු කළේය. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කොළඹ කාර්යාලය වෙත සේවය ලබා ගැනීමට පැමිණෙන පිරිසට සේවය ලබාදීමට කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් කළමනාකරණ සේවා නිලධාරි සේවයේ නිලධාරීන් තාවකාලික පදනම මත මාස තුනක කාලයක් සඳහා අනුයුක්ත කරන ලෙස ආගමන හා විගමන පාලක ජනරාල්වරයා සිදු කළ ඉල්ලීමකට අනුව මෙම අනුයුක්ත කිරීම සිදු කළේය.
නිලධාරීන් හා බලධාරීන් කුමන වැඩපිළිවෙළක් දියත් කළද අයැදුම්කරුවන්ගේ කිසිදු අඩුවීමක් සිදු වූයේ නැත. දිවා රෑ නොබලා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ කැපවීම මත දිගු පෝලිම් අවසන් කරන්නට ඔවුන්ට තරමක් දුරට හැකියාව ලැබිණි.
එක් දින සේවයටත් මාස තුනක පෝලිමක්
විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට පවතින අධික ඉල්ලුම නිසා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඒ සඳහා ‘ඔන්ලයින්’ දින වේලා වෙන් කරන ක්‍රමයක් හඳුන්වා දුන් නමුත් අධික තදබදය නිසා දිනයක්, වේලාවක් වෙන්කර ගෙන ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්රමයද ඔවුන්ට තාවකාලිකව අත්හිටුවන්නට සිදු විය.
විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේදී කලින් දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමේ පහසුකම ඉතා ප්‍රයෝජනවත් හා කාර්යක්ෂම යැයි යමකුට සඳහන් කරන්නට පුළුවන. නමුත් එක් දින සේවය ලබාගත යුතු පුද්ගලයකුට පවතින දැඩි තදබදයත් සමඟ එක් දින සේවාව එක් දිනයකදී ලබාගත නොහැකිය. ඉතා හදිසියේ විදෙස්ගත වීමට අවස්ථාවක් ලැබෙන ඕනෑම පුද්ගලයකු තම විදෙස් ගමන් බලපත්‍රය සකස් කර ගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් දිනයක් වෙන් කර ගත යුතුව තිබිණි. බොහෝ අවස්ථාවලදී විදෙස් ගමන් බලපත්‍රය සඳහා ඡායාරූප ලබා ගැනීමේදී එම දින වෙන්කර ගැනීම සිදු කරනු ලබයි.
ජනවාරි මාසයේ යම්කිසි දිනක එක් දින සේවය ලබා ගැනීමට අවශ්‍ය නම් ඔහුට මාර්තු හෝ අප්‍රේල් මාසයේ දිනයක් ආගමන විගමන දෙපාර්තමේන්තුව ලබාදෙනු ලබයි. එම දිනය ඇතුළත දිගු පෝලිමක පැය ගණනාවක් රැඳී සිටීමෙන් පසු රාත්‍රි කාලයේ හෝ තම විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීමට හැකියාව තිබිණි. සාමාන්‍ය සේවාව යටතේ තිබුණේ මාස 03කට පසු බලපත්‍රය නිවෙසට ගෙන්වා ගැනීමේ ක්රමවේදයකි. පැවැති අධික තදබදය හේතුවෙන් එක් දින සේවයත් ලබා ගන්නට හැකිවුණේ මාස 03කට පසුවයි. මෙවැනි තත්ත්වයක් රට තුළ නිර්මාණය වීමත් සමඟ ආගමන විගමන දෙපාර්තමේන්තුව අවට හොර තිප්පොළක් බවට නිරායාසයෙන්ම පරිවර්තනය වුණි.
දිගු පෝලිම්වල සිටින අහිංසක මිනිස්සු තමන්ගේ “හීන හොයන” ගමනේ තවත් එක් පිටුවක් පෙරළන්නට ඇඟිලි ගැණ ගැණ පෝලිමක කට්ට කන මොහොතේ තවත් සමහර උදවිය රන් වන් පාට නෝට්ටු දික්කර වැඩේ කර ගන්නේ පනින රිළවුන්ට ඉණිමං බඳින අයුරිනි. ජාවාරම්කරුවන්ගේ නිජබිමක් බවට පත්වෙන ආගමන විගමන කාර්යාල පරිශ්‍රයේ අණසක නිලධාරීන්ට නොව ජාවාරම්කරුවන්ටම උරුම වූ කාලයක් තිබිණි.
විදෙස් ගමන් බලපත්‍රය සාමාන්‍ය සේවය ඔස්සේ අයැදුම් කරන ලද පුද්ගලයකුට එක් දින සේවයට මාරුකර ගැනීමට රුපියල් 10,000ක් ද, එක්දින සේවයේ ගමන් බලපත්‍රයක් පෝලිමේ නොසිට ලබා ගැනීමට රුපියල් 20,000ක්ද, සමාන්‍ය සේවයේ විදෙස් ගමන් බලපත්‍රයක් එක් දින සේවයෙන් පෝලිමේ නොසිට ලබා ගැනීමට නම් රුපියල් 25,000ක් ද කිසිදු බිය සැකයකින් තොරව අය කර ගැනීමට ඔවුහු පුරුදු පුහුණු වී සිටියහ. ආරක්ෂක අංශ නිලධාරීන්ගේ සාක්කුවට කොළ වර්ණයෙන් බැබළෙන ගිරා මලිත්තාගෙන් හැඩවුණු නෝට්ටුවක් දමමින් කාර්යාල පරීශ්‍රයේ පිටුපස දොරටුවෙන් ඇතුළු වන මෙවැනි ජාවාරම්කරුවන්ට ආයතනයේ ඉහළ තනතුරුවල සිටින නිලධාරීන්ගේද සහයෝගය ඇති පදමට ලැබිණි.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව එවැනි දැවැන්ත අර්බුදකාරී වාතාවරණයක පසුවන අවස්ථාවක ජනාධිපතිවරයාගේ අස්සනින් යුතුව 2022 ඔක්තෝබර් 05 වැනිදා ප්‍රකාශයට පත් කෙරුණු ගැසට් පත්‍රයක් මඟින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව සහ අන්තරායකාරී ඔෟෂධ පාලක මණ්ඩලය මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් යටතට පවරාදෙන ලදී.
මේ වන විට විදේශ ගමන් බලපත්‍ර කාර්යාලයේ වැඩකටයුතු සම්බන්ධයෙන් ජනතාව අතර පැවැතියේ විශාල අප්රසාදයකි. එසේම මෙම වංචනික ක්‍රියා මාධ්‍ය ඔස්සේ අනාවරණ වීමත් සමඟ විෂය භාර ඇමැතිවරයාගේ අවධානය මේ වෙත යොමු විය. පවතින තත්ත්වය අවබෝධ කරගත් මහජන ආරක්ෂක අමාත්‍යාංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් එම පරිශ්‍රයට යෙදවීමට කටයුතු කළ අතර විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්රමවේදයද වෙනස් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව කටයුතු කළේය. සිදුවන අක්‍රමිකතා සම්බන්ධයෙන් බුද්ධි අංශ නිලධාරීන් යොදා සිදුකරන ලද විමර්ශනවලදී ජාවාරම්කරුවන් 25 දෙනකු හා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් දින 02ක් තුළ අත්අඩංගුවට ගැනීමට හැකි වුණි.
උඩුයටිකුරු කළ ආගමන විගමන දෙපාර්තමේන්තුව
විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු කරමින් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක 25 හි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51ක මාර්ගගත ක්‍රමය ඔස්සේ විදෙස් ගමන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ මධ්‍යස්ථාන ආරම්භ කරන ලදී. රටේ සෑම ප්රදේශයකින්ම කොළඹට පැමිණීම වෙනුවට තමන්ගේ දිස්ත්‍රික්කය තුළ මෙම පහසුකම් සලසා දීම රජයේ අදහස විය. අවසානයේ එම අදහස සාර්ථක කර ගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවට හැකි විණි.
“මාර්ගගත ක්‍රමය” ඔස්සේ දිවයින පුරා විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සමාරම්භක වැඩසටහනට සහභාගි වෙමින් පසුගිය බ්‍රහස්පතින්දා (15දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ කීය.
“විදෙස් ගමන් බලපත්‍ර අයැදුම්කරුවන්ට තම විදෙස් ගමන් බලපත්‍රය වඩාත් පහසුවෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ දිවයින පුරා දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51ක් හරහා විදේශ ගමන් බලපත්‍ර මාර්ගගත ක්‍රමය ඔස්සේ නිකුත් කිරීමේ වැඩසටහන අද අපි ආරම්භ කරනවා. මේ සමඟ රටේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ ශීඝ්‍රයෙන් ඉදිරියට ගෙන යමින්, ඊළඟ වසර කිහිපය තුළ රටේ සෑම ක්ෂේත්රයකම ඩිජිටල්කරණය ක්‍රියාත්මක කිරීම අපේ අරමුණයි.
අපි දියුණු රටක් ලෙස ඉදිරියට ගමන් කරනවා නම් ඩිජිටල්කරණය අත්‍යවශ්‍යයි. එහි ආරම්භය අද මෙම ස්ථානයේදී සිදුවනවා. ඇතැම් දෙපාර්තමේන්තු තුළ මෙය ක්‍රියාත්මක වෙනවා. ඇතැම් ඒවායෙහි ක්‍රියාත්මක වන්නේ නැහැ. ඇතැම් දෙපාර්තමේන්තු මෙම වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යෑමට කැමැතියි. කුමන හෝ හේතුවක් නිසා ඇතැම් දෙපාර්තමේන්තු සහ ආයතන මේ කටයුත්තට අකැමැතියි. නමුත් මේ සියලුදෙනා එක මට්ටමකට ගෙන ඒමයි අපේ අපේක්ෂාව වන්නේ. මේ වගකීම මුලින්ම ආරම්භ කළ ටිරාන් අලස් මැතිතුමාට සහ එම අමාත්‍යාංශයට මම ස්තූතිවන්ත වෙනවා.
මාතෘ නිවාසයේ සිට සුසාන භූමිය දක්වා තිබෙන ලියකියවිලි කටයුතු එක අමාත්‍යාංශයකට මම භාරදී තිබෙනවා. ආගමන, විගමන බලපත්‍ර, ජාතික හැඳුනුම්පත් ලබාදීම මේ සියල්ල අපේ ජීවිතයට අදාළ කරුණු. ඒ නිසා ටිරාන් අලස් අමාත්‍යවරයා ප්රමුඛ අමාත්‍යාංශය ඒ කටයුතු සාර්ථකව ඉදිරියට කරගෙන යනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.”
ජනාධිපතිවරයා සඳහන් කළ ආකාරයට තම සේවාව නිසි ආකාරයෙන් සිදු කරනු ලැබූ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කාර්යය පැසසිය යුතුමය. ලංකාව පුරා ජීවත්වන ජනතාවට ඉතා පහසු ආකාරයෙන් තම සේවාව ලබා ගැනීමට අවස්ථාව සලසා දෙමින් රාජ්‍ය වගකීම ඉටුකරන ලද මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ කීය.
“ජනාධිපතිතුමා මට මේ අමාත්‍යාංශය භාර දෙනවිට ආයතන හතරක් භාර දුන්නා. ආගමන විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, අන්තරායකර ඔෟෂධ පිළිබඳ අධිකාරිය, රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ අධිකාරිය එම ආයතන හතරයි.
එම ආයතන ලබාදීමේදී ජනාධිපතිවරයා මට උපදෙස් ලබා දුන්නේ මහජනතාවට හරිහමන් සේවාවක් සැපයීම විධිමත් කරන්න කියලයි. මීට මාස ගණනකට පෙර ආගමන විගමන දෙපාර්තමේන්තුව ගාව විශාල පෝලිම් තිබුණා. ඩිජිටල්කරණය හදුන්වාදීම මඟින් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මීට මාසෙකට පෙර සිට පෝලිම් නැති කිරීමට අපට හැකි වුණා. අද අප මාර්ගගත ක්‍රමය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර ලබාදීම ආරම්භ කර තිබෙනවා. මෙම මාර්ගගත ක්‍රමය ඔස්සේ දවස් තුනෙන් බලපත්‍ර ලබාගන්නා අය සඳහා රුපියල් 15,000කටත්, දින 14න් ගමන් බලපත්‍ර ලබාගන්නා අයට රුපියල් 5,000කටත් බලපත්‍ර නිකුත් කිරීමට අප කටයුතු කර තිබෙනවා.”
ලොකු වෙනසක් කරන්න කළේ සුළු දෙයක් විදෙස් ගමන් බලපත්‍රය මාර්ගගත වෙයි
දුර ඈත ගම්මානවල සිට කොළඹට පැමිණි විදෙස් ගමන් බලපත්‍ර අයැදුම්කරුවන්ට මේ වන විට කොළඹට පැමිණීමට අවශ්‍යතාවක් නොමැත. තමන්ගේ අවශ්‍යතාව තම දිස්ත්‍රික්කය තුළ සිදු කර ගැනීමට සියලු පහසුකම් සකස් කර අවසන්ය. ඒ අනුව හෙට දිනයේ කෙනකුට තම විදෙස් ගමන් බලපත්‍රය සකස් කර ගැනීමට අවශ්‍යතාවක් මතු වුවහොත් සිදුකළ යුත්තේ තම දිස්ත්‍රික්කය තුළින් මාර්ගගත ක්‍රමවේදය හරහායි.
ජනතාවට උසස් සේවාවක් හා අපහසුතාවක් ඇති නොවන පරිදි තමන්ගේ අවශ්‍යතාවන් ඉටු කර ගැනීමට අවශ්‍ය ක්‍රමවේදයක් මෙලෙස සකස් කිරීමට ගනු ලැබූ තීරණය බොහොමයක් දෙනාගේ පැසසුමට ලක්විය. මෙම ව්‍යාපෘතිය සඳහා නව ඇඟිලි සලකුණු යන්ත්‍ර හා පරිගණක යන්ත්‍ර පමණක් භාවිත කර විදෙස් ගමන් බලපත්‍ර මුද්‍රණය කිරීමේ පැවැති ක්රමවේදයම අනුගමන කිරීමෙන් රජයට අධික වියදමක් දරන්නට සිදු නොවේ. ජනතාවගේ මුදල් අනිසි ලෙස නාස්ති නොකර ගුණාත්මක සේවාවක් ලබාදීමට ගනු ලබන උත්සාහය ජනාධිපතිවරයාගේද පැසසුමට ලක් විය. මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආගමන විගමන පාලන ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මෙසේ කීය.
“මේ සඳහා අපි ඇඟිලි සලකුණු යන්ත්රයයි, කැමරා දෙකක් හා පොඩි මේසයක් පමණක් එක් කාර්යාලයකට අලුතින් ගත්තා.
අපි සාමාන්‍යයෙන් භාවිත කරන ක්‍රමවේදයක් තමයි මේකට භාවිත කළේ. දැන් මෙහෙමයි, අපි සම්පූර්ණයෙන්ම භාවිත කළේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සතුව තිබෙන තාක්ෂණයක්. ප්‍රාදේශීය ලේකම් කාර්යාල 331ක් ජාතික හැඳුනුම්පත් කාර්යාලය සමඟ 2017 දී සම්බන්ධ කිරීමට කටයුතු කළා. එතකොට මම මේ දෙපාර්තමේන්තුවේ තමයි සේවය කළේ. එහෙම සකස් කරන ලද වී.පී.එන්. එක තමයි අපි දැනුත් භාවිත කරන්නේ. මෙතනදි අපි භාවිතයට ගන්නේ එම දෙපාර්තමේන්තුවේ සිටින නිලධාරීන් හා ඔවුන්ගේ උපකරණයි. ඇත්තටම අපිට මේ වැඩේ කරන්න ගියා නම් නිලධාරීන් අලුතින් බඳවාගෙන ඔවුන් පුහුණු කර මේ භාණ්ඩ මිලදී ගැනීමට සිදුවෙනවා. ඊටත් වඩා වී.පී.එන්. නෙට්වර්ක් ජාලයක් අලුතින් හදන්න ගියොත් අපිට ලොකු මුදලක් දරන්න වෙනවා. අපිට මේ සඳහා විශාල මුදලක් වැය කරන්න මුදලක් නැහැ. දැනට තියෙන දේවල් භාවිත කරලා ජනතාවට හොඳම සේවය ලබා දෙන්න අපිට පුළුවන් වුණා.
මේක ඇත්තටම රජයට විශාල මුදලක් ඉතුරු කරලා දීලා, ජනාධිපතිවරයාගේ සහ විෂය භාර ඇමැතිවරයාගේ විද්‍යුත්කරණයේ දැක්ම ක්‍රියාවට නඟන්න අපි කටයුතු කරලා තියෙනවා.”
විදෙස් ගුවන් ගමන් බලපත්‍ර ස්ථාන 51ක මාර්ගගත ක්‍රමවේදය යටතේ නිකුත් කරන අතරවාරයේ වංචනික ක්‍රියා මැඬලීමේ අරමුණින් “ඊ පාස්පෝට්” හෙවත් විද්‍යුත් ගුවන් ගමන් බලපත්‍රයක් හ¾දුන්වා දීමටද ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඊට අවශ්‍ය සියලු කටයුතු මේ දිනවල සිදුකරමින් පවතින අතර මේ වසර අවසානයට පෙර එය නිකුත් කිරීමට පියවර ගන්නා බවත් ඒ සඳහා කැබිනට් මණ්ඩලය මඟින් කමිටුවක්ද පත්කර ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පසුගියදා ප්‍රකාශ කළේය. නව විදේශ ගමන් බලපත්‍රය සඳහා ජීවදත්ත තොරතුරු ඇතුළත් විද්‍යුත් කාඩ්පතක් (චිප් එකක්) ඇතුළත් වන අතර මෙම ක්‍රමවේදය ලොව බොහෝ රටවල් අනුගමනය කරන බවද ඔහු සඳහන් කළේය.
ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතාට අනුව විද්‍යුත් ගමන් බලපත්‍රය සඳහා ප්‍රසම්පාදන කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර ඒ සඳහා විදෙස් රටවල් කිහිපයක් පහසුකම් සැපයීම සඳහා ඉදිරිපත් වී තිබේ.
“ඊ-පාස්පෝට්” ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍රය හෝ “ජෛවමිතික ගමන් බලපත්‍රය” යනු විදේශ ගමන් බලපත්‍ර හිමියාගේ අනන්‍යතාව තහවුරු කළ හැකි “ජෛවමිතික තොරතුරු” අඩංගු “ඉලෙක්ට්‍රොනික මයික්‍රොප්‍රොසෙසර්” චිපයක් සහිත විදේශ ගමන් බලපත්‍රයකි. එම මයික්‍රොප්‍රොසෙසර් චිපය විදේශ ගමන් බලපත්‍රයේ ඉදිරිපස හෝ පසුපස කවරයේ හෝ මැද පිටුවේ තැන්පත් කර ඇති අතර වඩාත් ආරක්ෂා සහිත සහ නිවැරදි ක්රමවේදයකි. බොහෝ රටවල් මේ වනවිට තම පුරවැසියන්ට විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගනිමින් සිටී. හඳුනා ගැනීමේ පද්ධති සඳහා දැනට භාවිත වන ප්‍රමිතිගත ජෛවමිතික වන්නේ මුහුණ හඳුනා ගැනීම, ඇඟිලි සලකුණු හඳුනා ගැනීම සහ ඇසේ කළුඉංගිරියාව හඳුනා ගැනීමයි. එක් එක් ජෛවමිතික විශේෂාංගයේ ඩිජිටල් රූපය චිපය තුළ ගබඩා කර ඇත. ජෛවමිතික ලක්ෂණ සංසන්දනය කිරීම පරිගණකයක් මඟින් සිදු කෙරේ. ව්‍යාජ ගුවන්ගමන් බලපත්‍ර යොදා ගනිමින් වංචනික ක්‍රියාවල නිරත වන පුද්ගලයන් මැඬලීම සඳහා ශ්‍රී ලංකාවද “ඊ පාස්පෝට්” ක්‍රමවේදය වෙත යොමු වී තිබේ.
මිතුන් ජයවර්ධන (මව්බිම)