ක්‍රීඩා දිවියට සමුදුන් රිටි පැනීමේ ශූරිය අද මැදපෙරදිග ගෘහ සේවිකාවක්

ක්‍රීඩා දිවියට සමුදුන් රිටි පැනීමේ ශූරිය අද මැදපෙරදිග ගෘහ සේවිකාවක්

ක්‍රීඩාව කායික, මානසික සුවපත්භාවයට මඟ සලසන බව පැවැසුවද මෙරට ක්‍රීඩා බලධාරීන් ක්‍රීඩාවේ නිරත වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කායික-මානසික සුවපත්භාවය සම්බන්ධයෙන් කෙතෙක් දුරට මැදිහත් වනවාද යන්න මේ වන විට ප්‍රශ්නගත කරුණක් වී ඇත. ඒ මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය ඉදිරි ක්‍රීඩා ජීවිතය පිළිබඳව මැවූ සිහිනවලට තිත තබන්නට සිදුවූ බවට පසුගිය කාලය පුරාවටම තොරතුරු වාර්තා වීමයි. ඒ අතර ජාතික තලයේ වාර්තා පොත් අතර සිය නම රන් අකුරින් ලියා තැබුවෝද සිටීම කනගාටුවට කරුණකි.

සචිනි කොෂල්‍යා පෙරේරා නම් ඇය මෙරට මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉහළින්ම වැජඹුණු ක්‍රීඩිකාවකි. ඇගේ නම ඉදිරියේ ජාතික තලයේ වාර්තා නවයක්ම ලියැවී ඇත්තේ කුඩා කල සිටම ඇගේ අප්‍රතිහත මහන්සියක ප්‍රතිඵලයක් ලෙසය. ඒ මෙරට සිටින දක්ෂතම කාන්තා රිටි පැනීමේ ශූරිය ලෙසය. එහෙත් තවදුරටත් එය එසේ නොවේ. අද වන විට අෑ සිය ක්‍රීඩා ජීවිතයට සමුදී අවසන්ය. එපමණකින් නොනැවතී අෑ සිය මවු රටෙන්ද සමු අරන්ය. හුරුපුරුදු ක්‍රීඩා පථය වෙනුවට මැද පෙරදිග ඩුබායි රටේ දරු නැළවිල්ල අෑට උරුම වී ඇත. දිගු රිට හැසිරවූ දෑත අරාබිකරයේ ඉවුම් පිහුම් සඳහා යෙදවීමට අෑට සිදුව ඇත.

අවස්ථා නවයකදී ජාතික වාර්තා අලුත් වූයේ අෑ නමිනි. කාන්තා රිටි පැනීමේ අංශයේ යුද හමුදා වාර්තාව මෙන්ම ආරක්ෂක සේවා වාර්තාව තවමත් අෑ නමින්ය. කෙටියෙන්ම පැවැසුවහොත් කාන්තා රිටි පැනීමේ අංශයේ ශූරිය අෑය. ඒවා සියල්ල අතීතයේ කතා පමණි. තවදුරටත් ක්‍රීඩාවෙන් ලෝකයට අභියෝග කරන්නට හැකියාව තිබූ අෑට ඒ සියල්ල පසෙකලා ජීවිත සටනට උර දෙන්නට සිදුවූයේ දිගින් දිගටම එල්ලවූ ආර්ථික අභියෝග දරා ගැනීමට නොහැකි තැනය.

ජීවිතයට අත්වැල් සැපැයූ ඇගේ මව ලෙඩ ඇඳටම වැටී එක් තැන් වූයේ අංශභාග රෝගයේ ගොදුරක් වෙමින්ය. ජීවිතය දිනෙන් දිනම දුෂ්කර වද්දී ආර්ථික තත්ත්වය දිගින් දිගටම අෑට බැට දෙන්නට වූයේ අෑ ක්‍රීඩාව අතහැර මැද පෙරදිග ගෘහ සේවිකාවක සේ මෙරටින් පිටව යන තැනට ඇද වට්ටවමිනි. එයට ක්‍රීඩා බලධාරීන්ගේද නිහඬ පිළිවෙත මහත් වූ රුකුලක් සැපැයීය.

“මම ඉල්ලුවේ ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවීමක් හරි ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියකට හරි සහභාගි වෙන්න අවස්ථාවක් දෙන්න කියලා විතරයි. ඒක ඉන්දියාවේ තියෙන තරගාවලියක් හරි වෙන මොකක් හරි පොඩි තරගාවලියක් වුණත් මට කමක් නෑ. මට ඕනෙ වුණේ ජාත්‍යන්තර තලයේ අත්දැකීමක් ගන්න විතරයි. ලංකාව ඇතුළේ මං රිටි පනින අවස්ථාවලදී මම මීටර් 3.50ක උසක් පනිනවා නම් දෙවැනි තැන ගන්න කෙනා පනින්නේ මීටර් 3.20ක් විතර. මට කිසිම තරගයක් තිබ්බේ නෑ. මම ඉල්ලුවා මොනවාම හරි සහනයක් දෙන්න කියලා. එතකොට මට ආසියාතික මට්ටමට ළඟා වෙන්න පුහුණු වීම් කරන්න පුළුවන්. එහෙම දෙයක්වත් සිදුවුණේ නෑ. ගෙදර අම්මගේ ප්‍රශ්න එක්ක මම හිතුවා මේක කරලා වැඩක් නෑ කියලා.”

 අෑ ක්‍රීඩාව අතහරිනුයේ ශරීර ශක්තිය ගිලිහුණු නිසා නොවේ. අෑට අත දෙන්නට ක්‍රීඩා බලධාරීන්ට අවශ්‍යතාව නොතිබූ නිසාය. ජාත්‍යන්තර තරගාවලියකට ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවීමක් සඳහා අෑට මූල්‍යමය සහනය සලසාලන්නට වගකිව යුත්තෝ පෙරමුණ ගත්තේ නැත. කෝටි ගණනින් අනවශ්‍ය දෑ සඳහා මුදල් වෙන්වුවද මෙරට ජාතික තලයේ ක්‍රීඩිකාවක් රැක ගන්නට ඉන් එකදු බලධාරියකු හෝ උත්සුක වී නැත. එහි ප්‍රතිඵලය වූයේ අෑ ක්‍රීඩාවට සමුදෙන තැනට ඇද දැමීමය.

තම දියණිය ක්‍රීඩාවෙන් ලෝකය දිනනතුරු ආශාවෙන් දෑස් දල්වා බලා සිටි අම්මා කෙනෙක් අද ලෙඩ ඇඳේදීද දුක් සුසුම් හෙළනුයේ ඒ නිසාමය.

“පොඩි කාලේ ඉඳලම දුව හරි දක්ෂයි ක්‍රීඩාවට. ක්‍රීඩාවෙන් ළමයා කලකිරුණා. කවුරුත් අනුග්‍රහයක් දැක්වුවේ නෑ. ඒ නිසාම එයා රට ගියා” ඒ සචිනිගේ මවගේ වදන්ය. අෑ සිය දියණියගේ හැර යෑම ගැන අදහස් දක්වනුයේ හැඬූ කඳුළිනි.

පියාගේ කියාද වෙනසක් ඇත්තේ නැත. ඔහුද සිය දියණියට අත්වූ ඉරණම පිළිබඳව පසුතැවිල්ලකින් පසු වේ.

“අම්මා අසනීපෙන් ඉන්නේ. දුවට ඒ හැම වියදමක්ම දරන්න සිද්ධ වුණ නිසා තමා එයාට රට යන්න වුණේ.”

දරුවන් දෙදෙනකුගෙන් යුතු පවුලක බාලයා වූ අෑට සිය ක්‍රීඩා සිහින සියල්ලම අතහැර දමන්නට සිදුවූයේ ප්‍රතිපත්ති සියල්ලක්ම පිළිපදින බවට මානයෙන් උදම් අනන සිංහ හම් පොරවා ගත්තවුන් නිසාය. “මෙතැනින් පස්සේ ක්‍රීඩකයන්ට රට හැර යන්න වෙන්නේ නැති තැනට ලංකාවේ මලල ක්‍රීඩාව හදමු. ඔවුන්ට ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න අවශ්‍ය දේවල් හදලා දෙන්න.”

අෑට තවදුරටත් අහිමි වීමට දෙයක් ඇත්තේ නැත. අෑ මින් වසරකට පෙර ඩුබායි හි ගෘග සේවිකාවක සේ පිටව ගොස් ඇත්තේ ඇගේ ක්‍රීඩා සිහින සියල්ලටම පයින් ගසා දමාය. වසරක් ක්‍රීඩා පිටියෙන් අෑත් වුවත් ක්‍රීඩාවම ජීවිතය කොට ගත් අෑට යළි ක්‍රීඩා පථය ආගන්තුක නොවනු ඇත. හැකි නම් යළිදු අරාබිකරයේ දරුවන්ට සෙනෙහස පානා ඇගේ දෑඟිලි අතරට රිට ගෙනැවිත් දිය හැකිය. එහෙත් ඇගේ අනාගතය ශක්තිමත් කරන්නට ඇගේ ආර්ථිකය යහපත් කරන්නට බලධාරීන්ට හැකි නම් පමණක් ඒ සඳහා මැදිහත් වන්නැයි අපි ඉල්ලමු. එසේ නොහැකි නම් ඇගෙන් පසු පරපුරට ශක්තිමත් ලෙස හිස ඔසවා නැඟී සිටින්නට මාර්ගය සකසා දෙන ලෙස අපි යළිදු ඉල්ලමු.

(මව්බිම)