විශ්මා සඳමාලි: සොයුරියගේ මරණය සම්බන්ධයෙන් ජපානයට එරෙහිව නඩු කියන සොයුරියන්

විශ්මා සඳමාලි: සොයුරියගේ මරණය සම්බන්ධයෙන් ජපානයට එරෙහිව නඩු කියන සොයුරියන්

අවසානය දක්වා නඩුව ඉදිරියට ගෙනයනබව විශ්මා සඳමාලිගේ සොයුරියන් පවසයි

මයෝත්සුජී විහාරය, ජපානයේ අයිචි ප්‍රාන්තයේ එතරම් ප්‍රසිද්ධියක් නොමැති නගරයක් වන අයිසායිහි පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ කඩවත ප්‍රදේශයේ පිහිටි රත්නායක ලියනගේ විශ්මා සඳමාලිගේ නිවසේ සිට කිලෝමීටර් 9,000කට වඩා දුරින් පිහිටා ඇති එය ඇගේ අවසන් විවේකස්ථානය යි.

අයිචි ප්‍රාන්තයේ අගනුවර වන නාගොයාහි රැඳවුම් මධ්‍යස්ථානයක දී විශ්මා සඳමාලි මියගියේ 2021 වසරේ මාර්තු 6 වන දා ය. ශිෂ්‍ය වීසා බලපත්‍රය කල් ඉකුත්වීම හේතුවෙන් ඇය මාස හතක කාලයක් රැඳවුම් භාරයේ සිටි අතර, පසුව සරණාගත තත්ත්වය ඉල්ලා සිටියා ය.

"හීනෙන් පවා අපි අපේ අක්කව දකිනවා," මාර්තු මාසයේ දී බීබීසී පුවත් සේවයට කතා කළ 30 හැවිරිදි වයෝමි සඳමාලි පැවසීය. "එයා මැරෙනකොට යන්තම් අවුරුදු 33යි. එයාට තවත් අවුරුදු ගාණක් ජීවත් වෙන්න තිබුණා."

මාධ්‍ය වාර්තා අනුව, 2007 වසරේ සිට ජපානයේ ආගමනික රැඳවුම් භාරයේ සිටිය දී මියගිය 18 වැන්නා විශ්මා ය.

රැඳවුම් භාරයේ සිටියදී ආතතිය මත ඇති වූ උදරාබාධ තත්ත්වයක් හේතුවෙන් ඇගේ බර කිලෝග්‍රෑම් 20කින් අඩුවිය. ඇගේ තත්ත්වය සොයා බැලූ මානව හිමිකම් ක්‍රියාකාරීන් පැවසූ පරිදි, දැඩි ආතතිය හේතුවෙන් ඇගේ සෞඛ්‍ය තත්ත්වය දිගින් දිගට ම නරක අතට හැරෙමින් පැවැතිනි. අවසන් දින කිහිපයේ දී ඇය ලේ වමනය කරමින් සිටියා ය.

තමා රෝහලක් වෙත රැගෙන යන ලෙස ත් තාවකාලිකව මුදා හරින ලෙස ත් ඇය දිගින් දිගට ම ඉල්ලා සිටිය ද, එම ඉල්ලීම් ප්‍රතික්ෂේප විය.

2021 වසරේ අගෝස්තු මාසයේදී ජපානයේ ආගමන සේවා ඒජන්සිය විසින් කරන ලද විමර්ශන වාර්තාවකින් නිගමනය කෙරුණේ, රැඳවුම් මධ්‍යස්ථානයේ කාර්යය මණ්ඩලය මානව හිමිකම් පිළිබඳ අඩු අවධානයක් යොමු කර ඇති අතර ඇගේ රෝගී තත්ත්වය පිළිබඳ තොරතුරු දැනුම්දීමට අපොහොසත් වී ඇති බව ය.

තාවකාලිකව රැඳවුම් භාරයෙන් නිදහස්වීම සඳහා රැඳවියන් ව්‍යාජ රෝගී තත්ත්වයන් පෙන්වන බවට ඇතැම් රැඳවුම් නිලධාරීන් උපකල්පනය කර ඇතිබව, එහි වැඩිදුරට ත් සඳහන් විය.

කෙසේ වෙත ත්, ඇගේ මරණය සම්බන්ධයෙන් නගොයා රැඳවුම් මධ්‍යස්ථානයේ නිලධාරීන් 13 දෙනෙකුට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීම නීතිඥයියෝ ප්‍රතික්ෂේප කළහ. එම තීරණය සාධාරණ නොවන බව ස්වාධීන විනිසුරු මඩුල්ලක් පසුව තීන්දු කළේ ය.

විශ්මාට නිසි ආහාර සහ සෞඛ්‍ය පහසුකම් ලබාදීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින්, විශ්මාගේ සොයුරියන් වන 28 හැවිරිදි වයෝමි සහ පූර්ණිමා ප්‍රමුඛ රත්නායක පවුල ජපාන රජයට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගෙන තිබේ. මෙම නඩු විභාගය 2022 වසරේ මාර්තු මාසයේ සිට සිදු කෙරෙමින් පවතියි.

"අක්කාට හරි ප්‍රතිකාර ලැබුණා නම්, එයා මැරෙන්නෙ නෑ," වයෝමි පැවසීය. "අපට අපේ අක්කා වෙනුවෙන් යුක්තිය ඉෂ්ට වෙන්න ඕන. විශ්මාට සිදුවුණ දේ ගැන ජපාන රජය වගකියන්න ඕන."

A detention centre worker attempts to revive Wishma Sandamali

 | "මං හිතන්නෙ එයාගෙ ඇඟිලි තුඩු ටිකක් සීතලයි වගේ," විශ්මා සඳමාලි මියගිය දිනයේ දී රැඳවුම් කඳවුරේ කාර්යය මණ්ඩල සාමාජිකයෙකු පවසයි

ඇගේ මරණයට පෙර ගතවූ දින කිහිපයේ දී නගොයා රැඳවුම් මධ්‍යස්ථානයේ රැඳී සිටිය දී සටහන් වූ විශ්මාගේ පැය 295ක CCTV දර්ශන තිබේ.

එම දර්ශනවලින් පැය පහක කොටසක් සාක්ෂි ලෙස නාගොයා අධිකරණයක් වෙත ඉදිරිපත් කර තිබේ. ඉන් කොටස් කිහිපයක් අප්‍රේල් මාසයේ දී පවුලේ නීතිඥයින් විසින් මාධ්‍ය වෙත නිකුත් කෙරිණි.

පවුලේ නීතිඥයින් විසින් බීබීසී පුවත් සේවයට පෙන්වන ලද දර්ශනවල, ඇතිරිල්ලක් පොරවාගෙන ඇඳක වැතිරී සිටින දුර්වල පෙනුමක් සහිත විශ්මා රැඳවුම් මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු සමග කතා කරනු දැකි ය හැකි ය. "මට මොනව ත් බොන්න බෑ," ඇය පවසයි. "මට හුස්ම ගන්න බෑ. මාව මැරෙන්න යි යන්නේ."

ජපාන මාධ්‍ය මාර්තු 23 වන දා වාර්තා කළේ, වමනය දැමීමෙන් පසු තමන් රෝහල වෙත රැගෙන යන ලෙස විශ්මා දිගින් දිගට ම ඉල්ලා ඇති බව ය: "මාව අද මැරෙයි." ඊට ආරක්ෂකයෙකු ප්‍රතිචාර දක්වන්නේ මෙසේ ය: "ගණන් ගන්න එපා. ඔයා මැරුණොත් ගැටලුවක් වෙයි. වෙන දෙයක් ගැන හිතන්න."

ඇය මියගිය දිනයේ දී, කාර්යය මණ්ඩලයේ සාමාජිකයින් දෙදෙනෙකු ඇය සිහි ගැන්වීමට උත්සහ කරන බවක් දක්නට ලැ‌බේ. "මං හිතන්නෙ එයාගෙ ඇඟිලි තුඩු ටිකක් සීතලයි වගේ," එක් අයෙක් පවසයි. තව ත් අයෙක් කෑගස යි. "මිස් සඳමාලි, මං කියන දේ ඇහෙනවා ද?"

අධිකරණයේදී දර්ශන කිහිපයක් නැරඹීමට අවස්ථාව ලැබුණ ද, එය සම්පූර්ණයෙන් බැලීමට තරම් ශක්තියක් නොමැති වූ පූර්ණිමාට එය වේදනාකාරී නැරඹුමක් විය. "එයාව ඉස්පිරිතාලයකට ගෙනියන්න තිබුණා. රැඳවුම් මධ්‍යස්ථානයේ මිනිස්සු එයා ගැන අවධානයක් යොමු කළේ නෑ."

"රැඳවුම් මධ්‍යස්ථානවල සිටින රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු වන ආකාරයට ජපාන ක්‍රමයේ වෙනසක් සිදුවිය යුතු යි," වයෝමි පැවසීය.

විශ්මාගේ මරණය ජපානයේ කැළඹීමක් ඇති කිරීමට සමත් වූ අතර, මතභේදාත්මක සංක්‍රමණ පනතක් ඉවත් කිරීමට රජයට බල කෙරිණි.

එහෙත්, ඇය මියගොස් වසර දෙකක් ඉක්මවූ පසු, ආගමන පාලන සහ සරණාගතයින් හඳුනාගැනීමේ පනතේ යෝජිත සංශෝධන පසුගිය ජුනි මාසයේ දී පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත වූ අතර ලබන වසරේ සිට බලාත්මක වේ. දිගින් දිගට ම සරණාගතභාවය අයැදුම් කරන්නන් පිටුවහල් කිරීමට එම පනතින් අවසර ලැබේ.

ජපානය, ලෝකයේ සරණාගතභාවය පිළිගැනීමේ අවම අනුපාතයක් සහිත රටකි. නිල දත්ත අනුව, පසුගිය වසරේ ලැබී තිබුණු අයැදුම් පත් 3772ක් අතරින් සරණාගතයින් ලෙස හඳුනා ගැනුණේ අයැදුම්කරුවන් 202 දෙනෙකු පමණි.

"සංක්‍රමණිකයන් සහ සරණාගතයින් දින නියමයකින් තොරව රඳවා තබා ගැනීම අවසන් කිරීමට ජපන් රජය ස්ථිර පියවර ගත්තා නම්, විශ්මා සඳමාලි ඇතුළු [රඳවා සිටින විදේශිකයන්ගේ] මරණ වළක්වාගත හැකිව තිබුණා," හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ තෙප්පෙයි කසායි බීබීසී පුවත් සේවයට පැවසීය.

ජපානයේ සංක්‍රමණ සහ සරණාගත ප්‍රතිපත්තිය දිගු කලක් තිස්සේ ව්‍යාකූල තත්ත්වයක පැවති බව ත්, "අනවශ්‍ය සීමාකාරී ක්‍රියාමාර්ග" පැවති බව ත් ඔහු මීට පෙර සඳහන් කළේ ය. ඇතැම් සරණාගත අයැදුම්කරුවන් අධිකරණ ක්‍රියාමාර්ග නොමැතිව, සමහර විට වෛද්‍ය සේවාවන්ට ප්‍රමාණවත් ප්‍රවේශයක් නොමැතිව දීර්ඝ කාලයක් රැඳවුම් මධ්‍යස්ථානවල රඳවාගෙන සිටිනවා," ඔහු පැවසීය.

ජපානයේ සියලු දෙයට ආදරය කිරීම

මාස 15ක වීසා සහිතව විශ්මා 2017 වසරේ ජූනි මාසයේ දී ජපානයට පැමිණියේ, චිබා ප්‍රාන්තයේ ජපන් භාෂා පාසලක අධ්‍යාපනය ලැබීමට ය.

ඉංග්‍රීසි ගුරුවරියක වූ ඇය ඔෂීන් වැනි ජපාන ටෙලිනාට්‍ය රසිකාවියක වූ අතර, ජපාන සංස්කෘතියට කළ ආදරය නිසා ඇයට ජපානයේ වාසය කිරීමට අවශ්‍ය වූ බව වයෝමි ආවර්ජනය කළා ය. "එයා ගොඩක් අහිංසක, සංවේදී කෙනෙක්. එයා අම්මා කෙනෙක් වගේ අපිව බලා ගත්තා. අපි ගැන හොයලා බැලුවා."

Wishma Sandamali with her sisters Wayomi and Poornima

| විශ්මා සඳමාලි ඇගේ සොයුරියන් වන වයෝමි සහ පූර්ණිමාට ඉතා සමීපව සිටියා ය

විශ්මාට වඩා ත් සමීපව සිටි පූර්ණිමා ඇයගේ වැඩිමහල් සොයුරිය පිළිබඳ මතකයන් අවදි කළේ සතුටිනි. "අපි එකට කෑම ඉව්වා. අපි නටන්න ගොඩක් කැමති යි ඒ කාලේ."

මේ සොයුරියෝ දිනපතා, ඇතැම් විට දිනකට දෙවරක් දුරකතනයෙන් කතා කළහ. විශ්මා පසුව ජපානයේදී හමුවූ ශ්‍රී ලාංකික පෙම්වතෙකු සමග වාසය කළා ය.

බලධාරීන් විසින් සකස් කරන ලද වාර්තාවට අනුව, විශ්මා 2018 මැයි මාසයේ දී ජපන් භාෂා පාසලට යෑම නවතා ඇති අතර, ඊළඟ මාසයේ දී ඇය පාසලෙන් නෙරපා දැමිණි.

ඉන්පසු, ඇය ෂිසුඕකා ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවය කිරීම ඇරඹූ අතර, සැප්තැම්බර් මාසයේ දී සරණාගතභාවය සඳහා අයැදුම් කළා ය. 2019 වසරේ ජනවාරි මාසයේ දී ඇගේ අයැදුම්පත ප්‍රතික්ෂේප කෙරිණි.

ඊළඟ අගෝස්තු මාසයේ දී ඇය ගෘහස්ත අපයෝජනයකට ලක්වූ බවට චෝදනා කරමින් පොලිසියට පැමිණියා ය. කෙසේ වෙත ත්, වීසා කල් ඉකුත් වී තිබීම නිසා ඇය අත්අඩංගුවට ගෙන නගොයාහි රඳවා තැබිණි.

මුල දී, ශ්‍රී ලංකාවට යළි පැමිණීමට විශ්මාට අවශ්‍යවුව ද, කොවිඩ් සීමා හේතුවෙන් ගුවන් යානයක් සොයා ගැනීමට නොහැකි විය. 2020 දෙසැම්බර් මාසයේ දී ඇය තීරණය වෙනස් කරමින් තවදුරට ත් රැඳවුම් භාරයේ සිටීමට තීන්දු ක‌ළා ය.

2021 වසරේ ජනවාරි මාසයේ සිට ඇය රෝගී තත්ත්වයකින් පෙළුණු බව වාර්තාවේ දැක්වේ. ඊළඟ මාසයේ දී ඇගේ තත්ත්වය වඩා ත් නරක අතට හැරෙන්නට විය.

'අපි හිතුවේ ඒක අත්වැරදීමක් කියලා'

එහෙත්, මේ කිසිවක් සඳමාලිගේ පවුලේ සාමාජිකයින් දැන සිටියේ නැත. ඔවුන්ගේ මව අවසන් වරට විශ්මාට කතා කළේ 2018 මැදභාගයේ දී ය. එහිදී ඇය ඔවුන්ට දැනුම් දී තිබුණේ, තමන්ට දුරකතනයෙන් සම්බන්ධ වීමට නොහැකි වුවහොත් කරදර නොවන ලෙස ය.

2019 ඔක්තෝබර් මාසයේ දී විශ්මාගෙන් වයෝමිට කෙටි පණිවුඩයක් ලැබිණි. ඒ, ඇගේ විවාහයට සුබ පතමිනි. ඉන්පසු දිගින් දිගට ම ඇය සම්බන්ධ කර ගැනීමට දැරූ උත්සහයන් ව්‍යර්ථ විය.

2021 වසරේ මාර්තු මස අටවන දා ශ්‍රී ලංකා පොලිසිය විසින් පවුලේ සාමාජිකයින් වෙත විශ්මාගේ මරණය සැල කරන ලදී. "අපි හිතාගන්නවත් බැරිවුණා. අපට ඇතිවුණ දුක ගැන කියන්න වචන නැහැ," වයෝමි පැවසීය.

මාර්තු මාසයේ දී සොයුරියගේ සිරුර හඳුනා ගැනීම සඳහා ජපානයට ගිය පවුලේ සාමාජිකයින්ට ඇය හඳුනාගත නොහැකි විය. "විශ්මාව දැක්කා ම එයාගේ මූණ පෙනුණේ හරියට අපේ ආච්චි වගේ," වයෝමි ආවර්ජනය කළා ය. "එයාගේ බර ගොඩක් අඩු වෙලා තිබුණා."

වසර දෙකහමාරකට පසු ඔවුන් ඇය දුටු පළමු අවස්ථාව එය විය. කොවිඩ් සීමා මෙන් ම දරාගත නොහැකි අධික වියදම නිසා ඔවුන්ට විශ්මාගේ මෘත දේහය යළි ලංකාවට රැගෙන ඒමට නොහැකි විය.

එහෙයින්, ඇය නගොයාහි දී ආදාහනය කරන ලදී. අවමංගල උත්සවයට සොයුරියන් සහභාගී වුව ද මව සහභාගී නොවී ය. "විශ්මාගේ මළ සිරුර බලන්න තරම් මානසික ශක්තියක් ඇයට ඒ වෙලාවෙ තිබුණෙ නෑ," වයෝමි පැවසීය.

ශ්‍රී ලංකාවේදී මුදල් අයකැමිවරියක ලෙස කටයුතු කළ වයෝමි සහ පෙර පාසල් ගුරුවරියක ලෙස කටයුතු කළ පූර්ණිමා මෙම නඩුව පවත්වාගෙන යාම සඳහා සිය රැකියාවලින් ඉවත් වූහ. ඔවුන්ගේ වියදම්වලට මෙන් ම නීති ගාස්තුවලට පවා අරමුදල් සැපයෙන්නේ ජපාන පුරවැසියන්ගේ පරිත්‍යාගවලිනි.

එහෙත්, සෑම කෙනෙකු ම අනුකම්පාසහගත වූයේ නැත. මැයි මාසයේ දී නීති සම්පාදක මිසුහෝ උමෙමුරා විසින්, සමාජ ක්‍රියාකාරීන්ගේ පෙළඹවීම මත සිදුකළ උපවාසයක් නිසා විශ්මාගේ මරණය සිදු වන්නට ඇතැ යි පාර්ලිමේන්තුවේ දී යෝජනා කිරීමෙන් පසු ඇගේ පක්ෂය විසින් ඇගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීය.

විශ්මාගේ සිදුවීමට අදාළ CCTV දර්ශන අන්තර්ජාලය ඔස්සේ සංසරණය වීම ත් සමග ඒ පිළිබඳව ශ්‍රී ලංකාව තුළ දැඩි කතාබහක් නිර්මාණය විය. ජපානය සමග මෙම ගැටලුව විසඳා ගන්නා ලෙස විපක්ෂය සහ වෙනත් පාර්ශව රජයට බල කර තිබේ.

එහෙත්, ශ්‍රී ලංකාවේ සන්ඩේ ඔබ්සර්වර් ඉංග්‍රීසි පුවත්පතේ කර්තෘ ප්‍රමෝද් ද සිල්වා බීබීසීයට පැවසුවේ, ජපානය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන්ගේ ඇති "අතිශයින් ම ධනාත්මක" අදහස්වලට මෙම සිද්ධිය බලපා ඇතැ යි තමා නොසිතන බව ය.

ජපානය ශ්‍රී ලංකාවේ විශාලතම ආධාර පරිත්‍යාගශීලී සහ ආයෝජක රටවල් අතරින් එකක් වන අතර විදේශ ශ්‍රමිකයන්ට සහ විදේශ සංක්‍රමණිකයන්ට එහි දොරටු විවෘත කරන බැවින්, ශ්‍රී ලංකාවට "සැලකිය යුතු කෝටාවක්" ලබාදීමට ඉඩ ඇති බව ද සිල්වාගේ අදහස යි.

විශ්මාගේ සොයුරියන් පවසන පරිදි නීතිමය සටන ඉදිරියට යයි. "අපි මේක අතාරින්නේ නෑ. අවසානයක් දක්වා අපි මේ සටන කරගෙන යනවා."

(bbc/sinhala)