මතුගම නෑබඩට පිහිටි දුගී දුප්පත් කුලී නිවසත් ඒ තුළ ජීවත් වූ දරු පැටවුන් තිදෙනාත් තම ස්වාමිපුරුෂයා සමග තනි කරන රාමචන්ද්‍රන් දර්ශනී ඉකුත් සැප්: මස 17 වන දින සෞදි අරාබිය බලා පිටත්ව යන්නේ ගෘහ සේවය පිණිසය.
කුඩා දරුවන් තිදෙනකු මෙරට තනි කොට ඇය විදෙස් ගෘහ සේවය බලා පිටත්ව යෑම පිණිස බලපාන ලද මූලික හේතුව බවට පත්වන්නේ පොල් කැඩීම රැකියාව කර ගත් තම සැමියා විසින් උපයන ආදායත් වතු කම්කරු රැකියාවෙන් මසකට වරක් දර්ශනී වෙත ලැබෙන සොච්චම් වැටුපත් පස්දෙනකුගෙන් යුත් තම පවුලට ජීවත් වීමට ප්‍රමාණවත් නොවීම හේතුවෙන්ය.
ඇය සෞදිය බලා පිටත්ව යන්නේ බත්තරමුල්ල පිහිටි විදේශ රැකියා ඒජන්සියක් මාර්ගයෙන්ය. රාමචන්ද්‍රන් දර්ශනී සහ ඇගේ සැමියා වන නිලන්ත කුමර් හමුවේ සෞදි ගෘහ සේවය පිළිබඳ මනරම් මනෝ සිතුවමක් මවන බත්තරමුල්ල ඒජන්සිය එහි ප්‍රතිඵලයක් ලෙස ඉහත සඳහන් සැප්. 17 වැනි දින ඇයව රට පටවන අතර ඇයට සමුදෙන නිලන්ත කුමාර් නම බිරිඳ රැගත් ගුවන් යානය තිතක් වී නොපෙනී යන තුරු හිඳ නැවත කටුනායක සිට මතුගම නෑබඩ බලා පිටත්ව එන්නේ අන්ත අසරණ දුප්පත් තාත්තා කෙනෙකු ලෙසය.
ඉන් අනතුරුව තම බිරිඳට මුහුණ දීමට සිදුවූ දහසකුත් එකක් දුක් කරදර පිළිබඳවත් ඉන් අනතුරුව ඇයව නැවත ලංකාවට ගෙන්වා ගැනීමට යෑමේදී ස්වාමි පුරුෂයකු ලෙස ඔහුට මුහණ දීමට සිදුවූ දුෂ්කරතා ආදියත් මෙතැන් සිට විස්තර කර සිටින්නේ නිලන්ත කුමාර් විසින්ය.
“මමයි මගේ නෝනයි දෙන්නම වතු කම්කරුවන් විදිහට අපේ ගෙවල් ළඟ වත්තක කාලයක් රස්සාව කළා. නමුත් දරුවෝ තුන් දෙනෙක් උස්මහත් කරන්න ඒ වැටුප් ප්‍රමාණවත් මදි නිසා මම රස්සාවෙන් අස් වෙලා පොල් කැඩීම රස්සාව බවට පත් කර ගත්තා. මගේ නෝනා වත්තෙ රස්සාව කළා. මේ අවුරුද්ද මුළුල්ලෙම වැස්ස තිබුණ හින්ද මට රස්සාව කර ගන්න බැරි වුණා. නෝනාත් එහෙමයි වැස්ස දවසට වැඩ නෑ. දරුවෝ තුන්දෙනාට කන්න අඳින්න දෙන්නයි ඉස්කෝලේ යවන්නයි ඕන හින්ද ණයට සල්ලි අරගෙන ඒ දේවල් කළා. නමුත් දවසින් දවස ණය බර වැඩි වුණ මිසක් කන්න බොන්න ටිකවත් ගන්න බැරි තත්ත්වයක් ඇති වෙන්න ගත්තා. එතැනදී තමයි මගේ නෝනා කිව්වෙ කොහොමහරි දරුවෝ තුන්දෙනාට උගන්ව ගන්න ඕන නිසා එයා රට යන්නම් කියලා. හොයලා බලද්දි බත්තරමුල්ලේ විදේශ රැකියා ඒජන්සියක් තිබුණා. අපි ඒ ඒජන්සියට ගිහින් කතාබහ කරගත්තා. ඊට පස්සෙ ඒ අය ලියකියවිලි හදලා ලොකු උනන්දුවකින් ඒ වැඩ ටික කරලා දුන්නා. ඊට පස්සෙ තමයි මගේ නෝනා දැනට මාස දෙකකට කලින් සෞදි අරාබියේ ගෘහ සේවයට යන්නෙ.
දෙමසකට පෙර යහපත් ශරීර සෞඛ්‍යයෙන් යුතුව මැද පෙරදිග ගෘහ සේවය පිණිස පිටත්ව ගිය දර්ශනී දෙමසක් ගතවී දින පහක් සම්පූර්ණ වූ ඉකුත් 22 දා උදෑසන නැවත මෙරට බලා පැමිණෙන්නීය. ඇය එලෙස සිය රට බලා පැමිණ ඇත්තේ නොරට සිට දහසක් දුක් කම්කටලු ආදියට මුහුණ දීමෙන් අනතුරුවය. මෙම සටහන තබන අවස්ථාව වනවිට ද ඇය කළුතර නාගොඩ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින්ය. ගතවූ අමිහිර මාස දෙක පිළිබඳ අදහස් දැක්වූ ඇයගේ සැමියා වන නිලන්ත කුමාර් තම බිරිඳට මුහුණපෑමට සිදුවූ වධ වේදනාවන් පිළිබඳ විස්තර කර සිටින්නේ මේ අයුරින්ය.
“මගේ නෝනා රට ගියාට පස්සෙ සතියකට වරක් මටයි මගේ දරුවන්ටයි කතා කළා. සිකුරාදා දවසට තමයි එයා කතා කරන්නෙ. සෞදියේ ගෙදරක තමයි එයා වැඩ කළේ. සැප්. 17 ගියාට පස්සෙ සතියක් ගිහින් තමයි මුල් වතාවට කතා කළේ. එදා කිව්ව එයා වැඩ කරන ගෙදර ඉන්න අමාරුයි ඒජන්සියට කියලා වෙන ගෙදරකට මාරු කරලා දෙන්න කියලා. මම ගිහින් බත්තරමුල්ල ඒජන්සියට කිව්ව නෝනා ඉන්න බෑ කියනවා වෙන තැනක රස්සාව දෙන්න කියලා. ඒජන්සියේ හිටිය කාන්තාවක් මට කිව්වා එහෙම කරන්න බෑ. රස්සාව කරගෙන ඉන්න කියලා නෝනාට කියන්න කියලා. ඊළඟ සතියේ නෝනා කතා කළාට පස්සෙ මට ඒ බව මගේ නෝනට කිව්වා. එයා “හා” කිව්වා. ඔහොම තවත් සතියක් ගත වුණා. ඊළඟ සතියෙත් නෝනා කතා කළේ නෑ. මගේ හිතට අමුත්තක් දැනණා. මම ඒජන්සියට ගිහින් කිව්වා නෝනා කතා කළේ නෑ. ඒ හින්දා මට කෝල් එකක් අරන් දෙන්න කියලා. ඒ අය මට කිව්වා “ඔයා ගෙදර යන්න” කෝල් එකක් අරන් දෙන්නම් කියලා. නමුත් එදත් කතා කළේ නැහැ. ඒජන්සියෙන් මාව රැවට්ටුවා. ඊට පස්සේ සෙනසුරාදා දවසක එයා මට කතා කළා. එදා පැයක් විතර කතා කළා. වීඩියෝ කෝල් එකක් නිසා මම දැක්ක එයා හරි අමාරුවෙන් ඉන්නෙ කියලා. ඔය අතරේ එක පාරට ම කෝල් එක කට් වුණා.”
දුප්පත්ව ඉපදුණත් ඔවුන් දෙදෙනා අතර පැවැති දැඩි අඹු සැමි බැඳීම හේතුවෙන් තම බිරිඳ පිළිබඳ දිගින් දිගට ම විමසිලිමත් වන කුමාර් නැවත බත්තරමුල්ල පිහිටි විදේශ රැකියා ඒජන්සිය බලා පිටත්ව යන අතර එහිදීි ඔහු අමතමින් ඒජන්සිකරුවන් පවසා සිටින්නේ දර්ශනී හොඳින් රැකියාවේ නිරත වන බවත් ඇයට කිසිදු දුෂ්කරතාවක් නොමැති බවත්ය. එහිදී කුමාර් ඉල්ලීමක් කරමින් සඳහන් කර ඇත්තේ එසේ නම් දුරකථන මාර්ග හරහා ඇයව සම්බන්ධ කරන ලෙසය.
“එදා පහුගිය දීපාවලී දවස. මම ඒජන්සියට ගිහින් කිව්වා දීපාවලි දවස හින්දා මටයි දරුවන්ටයි කතා කරන්න ඕන කියලා. එදත් මට කිව්වා “ඔයා ගෙදර යන්න” අපි කොහොම හරි සම්බන්ධ කරලා දෙන්නම් කියලා. එදා නෝනා කතා කළා. ඒ කතා කරද්දී තමයි එච්චර දවසක් හිතේ හිරකරගෙන හිටිය හැම දෙයක්ම මා එක්ක කිව්වෙ. ඒ ගෙදර කාන්තාව මහ නපුරු ගැහැනියක්. එතැන ඉන්න බෑ කියලා අන්තිමට ම තමයි කිව්වෙ. යකඩ ඇණ දෙකකුයි යකඩ බොලෙකුයි දීලා මේක ගිලපං කියලා තර්ජනය කළා කියලා. ඊට පස්සෙ කරන්න දෙයක් නැති තැන නෝනා ඒ දේ කරලා තිබුණා. ඒ බවක් කාට හරි කියලා තිබුණොත් මරලා දානවා කියලා තර්ජනය කරලත් තිබුණා. එදා ඉඳලා එයාට ලේ වමනෙ ගිහින් තියෙනවා. වැසිකිළියට ගියත් ලේ පිට වෙන්න අරන් තියෙනවා. දීපාවලී දවස වෙද්දීත් මගේ නෝනා හිටියේ එයා වැඩට ගිය ගෙදර නොවෙයි. ඒ වෙද්දි මෙරට ඒජන්සියට අයත් එරට බෝඩිමකට මෙයාව ගෙනැත් තිබුණා. එතැන තව ලංකාවෙ කාන්තාවන් අසූවක් විතර ඉඳලා තියෙනවා. ඒ හැමෝට ම දවල්ට බත් ටිකක් දීලා රෑට පොඩි රොටිය ගාණේ දුන්නලු. සමහරු වැඳලා කියනවලු කන්න දෙන්න කියලා. මගේ නෝනව ඒ බෝඩිමේ කාමරයක දවස් තුනක් හිර කරලා තියලා තියෙනවා. ඒ බෝඩිමේ ඉන්න ලංකාවෙ අය මට කිව්ව නෝනාට අමාරුයි එයාව ගෙන්න ගන්න කියලා.”
එම ආරංචිය සැලවීමත් සමග විදේශ සේවා නියුක්ති කාර්යාංශය බලා පිටත් වන කුමාර් ඒ තොරතුර කාර්යාංශ නිලධාරීන් හමුවේ සැලකර සිටිමින් තම බිරිඳ නැවත මෙරටට ගෙන්වා දෙන ලෙස ඉල්ලීමක් කර ඇත. ඒ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අදාළ ඒජන්සිය වෙත දැන්වීමත් සමග ඒජන්සිකරුවන් කුමාර් අමතමින් සඳහන් කර සිටින්නේ ඒ සඳහා රුපියල් ලක්ෂ 10ක වියදමක් යන බවත් එම මුදල් ගෙවීමට හැකියාවක් ඇත්නම් පමණක් ඇයව මෙරට ගෙන්වා දියහැකි බවත්ය.
“මට ලක්ෂ 10 ක් තිබුණා නම් නෝනව රට යවන්නෙ නෑ. මම ආපහු විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ගිහින් මේ බව කිව්වා. එදා මම කාර්යාංශයට ගිය වෙලාවේ බත්තරමුල්ල ඒජන්සියේ කළමනාකරුවෙක් වෙනත් වැඩකට එතැනට ඇවිත් හිටියා. ඒ පාර මම එතැන නිලධාරි මහත්තයකුට කිව්වා නෝනව රට යවපු ඒජන්සියේ කෙනෙක් ඇවිත් ඉන්නවා පුළුවන් නම් එයත් එක්ක කතා කරලා මට විසඳුමක් අරන් දෙන්න කියලා. ඒ පාර ඒජන්සියෙන් ආව පුද්ගලයා මාවත් එක්කගෙන ඒජන්සියට ගියා. ඒ ගිහින් ලිපියකට අත්සන් කරන්න කියලා මට ලිපියක් දුන්නා. මම බෑ කියලා ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. ඊට පස්සෙ මම ගෙදර එන්න බස් එකකට නැග්ගා. ටික දුරක් යද්දි මට කෝල් එකක් දීලා ඇහුවා ආපසු විදේශ සේවා එකට ද යන්නෙ කියලා. මම කිව්වා නෑ මම ගෙදර යනවා කියලා. ගෙදර ගිහින් කෝල් එකක් දෙන්නත් කිව්වා. මම ගෙදර ගිහින් කෝල් එක දුන්නට පස්සෙ තමයි කිව්වෙ “ඔන්න ඔයාගේ නෝනා හෙට උදේ (22 දා) කටුනායකට එනවා ගිහින් භාර ගන්න කියලා. දරුවන්ට කන්න අඳින්න දෙන්න කීයක් හරි හොයාගෙන එන්න මැදපෙරදිග ගිය එයා ජීවිත විතරක් බේරගෙන ලංකාවට ආවෙ එහෙමයි.”
මැද පෙරදිග ගෘහ සේවයේ පිණිස ගිය දහස් ගණනක් වූ මෙරට කාන්තාවන් අතර දර්ශනී තවත් එක් කාන්තාවක් පමණය. ඇය වැනි ම දහස් ගණනක් කාන්තාවන් එරට කඳවුරු ජීවිත ගත කරමින් ඇත. ඔවුන් ගැන සොයා බැලීම පිණිස ඔවුන්ට සහනයක් වීම පිණිස විදිමත් යාන්ත්‍රණයක් මෙරට තුළ තවමත් ක්‍රියාත්මකව නැත. කනගාටුවට කරුණ නම් මෙරට වැවෙන අ, බතල ටික රට පැටවීම වෙනුවට දුප්පත් කාන්තාවන් රට පැටවීම ඇතැමුන් විසින් ජාවාරමක් ලෙස සිදුකරගෙන යන වටපිටාවක් තුළ කිරි අල පවා මෙරටට ආනයනය කරන කුසීත ජනතාවක් වෙසෙන රටක් බවට මෙරට පත්වෙමින් තිබීමය.
රුවන් ජයවර්ධන (දිවයින)