ජාවාරම්කරුවන් මදිවට ඇමැතිලත් සුද්දෙ දාන යෞවනයේ රට රස්සා හීන

e-8-visa
  • ඒ මදිවට මිනිස් ජාවාරමත් ජයට
  • විදේශ සේවා නියුක්ති කාර්යාංශය අසල E 8 වීසා යටතේ කොරියාවට යන්න හැදූ තරුණ තරුණියන් 107 දෙනකු විරෝධතාවයක
  • ප්‍රචාරය වන විදෙස් රැකියා මුදල් ලබාගැනීම පිළිබඳ චෝදනාව තමන් මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කරනවා - හිටපු කම්කරු ඇමැති මනුෂ නානායක්කාරගෙන් නව ඇමැතිට ලිපියක්
  • E8 වීසා ක්‍රමයට රට යැවීමට අත්සන් කළ ගිවිසුම නීත්‍යානුකූල එකක් නොවෙයි - විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ
  • ලාඕසයේ සිට මෙහෙයවනු ලබන තවත් මිනිස් ජාවාරමක සුලමුල එළියට
  • සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ තරුණ තරුණියන්ට රටවල රස්සාවල් පෙන්වා මුදල් ගරලා

සමාජ මාධ්‍ය ඔස්සේ විදේශයන්හි රැකියා ලබාදෙන බවට පළවන දැන්වීම් ඕනෑතරම් ය. ඉන් වැඩිමනක්ම ඊශ්‍රායල්, කොරියා, ජපන්, කැනඩා, රුමේනියා යන රාජ්‍යයන්වල රැකියා ඇබEර්තුය. අවම සුදුසුකම් හා ඉතා ඉහළ වැටුප් තල පෙන්වා ඇති සමාජ මාධ්‍ය ජාලයේ පළකෙරෙන දැන්වීම් දුටු බොහෝ අය ඒ හරහා විදෙස් රැකියාවක් ලබාගන්නට පෙළඹෙන්නේ දෙවරක් නොසිතා ය. එහෙත් මේ කියන රැකියාවලට හසුවී තමන්ගේ මිල මුදල් ගේ දොර වතු පිටි අහිමිකරගත් අයද අද සමාජයේ බහුලය. එයට හේතුව සමාජ මාධ්‍ය ඔස්සේ පළකරන දැන්වීම්වලින් වැඩිමනක් පළකරනුයේ හොර තක්කඩියන් වීමය. පසුගිය කාලය පුරාවටම එවැනි හොර තක්කඩින්ට අසු වූ බොහෝ අයට සිදු වූයේ තම වටිනා කාලයත් මුදලත් අහිමි කර ගැනීමට ය. පසුගියදා මහත් ආන්දෝලනාත්මක සිද්ධියක් වූ E 8 කතාවද එවැන්නකි.

හිටිහැටියෙම එළියට ආ මොකක්ද මේ E8 කතාව

අද බොහෝ දෙනකු කතාකරන්නේ E 8 වීසා කාණ්ඩය නිකුත් කිරීම පිටුපස මිනිස් ජාවාරමක් සිදුවන බවය. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අසල E 8 වීසා යටතේ කොරියාවට යවන්න යැයි සත්‍යග්‍රහයක නිරතව සිටින තරුණ තරුණියන් 107 දෙනකු කියාසිටින්නේ දකුණු කොරියාවෙන් මෙරටට ලබාදුන් රැකියා කෝටාවලට අනුව තමන්ව ඉක්මනින්ම පිටත් කර හරින ලෙසය. එහෙත් ඒ පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති වරයා කියන්නේ E-8 වීසා ක්‍රමයට රට යැවීමට අත්සන් කළ ගිවිසුම නීත්‍යානුකූල නොවන එකක් බවය. දැන් හෙළිවන්නේ මෙතෙක් කල් එහෙම රැකියා ක්‍රමයක් මෙරට තුළ ක්‍රියාත්මක නොවූ බවකි. දැනට ලැබී ඇති තොරතුරු අනුව හෙළිවී ඇත්තේ 2022 වසරෙන් පසු කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයට විදේශ නියුක්ති කාර්යාංශය පත්කිරීමෙන් අනතුරුව එවකට සිටි ඇමැතිවරයකු E-8 වීසා ක්‍රමය හඳුන්වාදුන් බවත් එමගින් ඝෘතුමය රැකියා අවස්ථා මෙරටට ලබාදීමට පියවර ගෙන තිබූ බවය. කෙසේ වුවද මෙරට තුළ කෙළවරක් නොමැති මෙවැනි මිනිස් ජාවාරම්වලට ගොදුරු වී ඇත්තේ රටේ අහිංසක තරුණ තරුණියන් හා ඔවුන්ගේ සිහිනයන් ය.

E 8 වීසා ගනුදෙනුවත් හිටපු ඇමැතිගේ වැඩක්ද

තරුණ තරුණියන් 107 දෙනකුට දකුණු කොරියාවේ E 8 වීසා මත ඝෘතු රැකියා පෙන්වා මුදල් ගරාගැනීමේ චෝදනාව හිටපු කම්කරු හා විදේශ රැකියා ඇමැති වරයාටද සෘජුවම එල්ල වන්නකි. ඒ හිටපු ඇමැතිවරයා රජයේ අනුමැතිය පවා නොගෙන මෙම ක්‍රියාව සිදුකර ඇතැයි ද යන්නය. කිසිදු නෛතික පදනමක් රහිතව දේශපාලන ජාවාරම්කරුවන් සහ තැරැව්කරුවන් හරහා දියත් කරන්නට හැදූ E 8 වීසා ජාවාරමට කිසිම ආකාරයක නීත්‍යානුකූල මුහුණවරක් ලබාදිය නොහැකි බව වත්මන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස පසුගියදා ප්‍රකාශ කළේය. ඒ පිළිබඳව වත්මත් ඇමැතිවරයා පැවැසුවේ මෙවැන්නකි.

“ඩොලර් උත්පාදනයේ ප්‍රධානම ක්‍ෂේත්‍රයක් තමයි විදෙස් ප්‍රේෂණ. එතැනදී දැනට කොරියාවේ සේවය කරන 28,000 ක් – 30,000 ක් අතර වන විදෙස්ගත ශ්‍රමිකයන් ලංකාවට ලබාදෙන මුදල් අතිශ්‍ය වැදගත්. ඒ සඳහා රජය මැදිහත්ව විදේශ සේවා කාර්යාංශය සමඟ එක්ව යම් නියමිත නීත්‍යනුකූල ක්‍රමවේදයක් මෙතෙක් දියත් කරමින් සිටියා. ඒක තමයි E 9 වීසා ක්‍රමවේදය. නමුත් මේ කියන E8 වීසා ක්‍රමවේදය විදේශ සේවා නියුක්ති කාර්යාංශයවත් දන්නේ නැති විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගිවිසුමකට ලක් නොවුණු අනීතික ක්‍රියාවලියක් නීත්‍යනුකූල කරන්න රජයට බැහැ. E 8 එක නීත්‍යනුකූල කළොත් අපිට E 9 එකක් නැති වෙන තත්ත්වයක් තියෙන්නේ. අපිට ලැබිලා තියෙන ආරංචි මාර්ග හැටියට කලින් උදවිය මේ තරුණයන් නොමග යවලා ඔවුන්ට ඒ රටට ගියාට පස්සේ පැනලා යන්න අවස්ථාවක් තියෙනවා කියලා බොරු මතයක් හදලා තමයි මේ වීසා හදලා තියෙන්නේ.”

E 8 වීසා ගැන හිටපු ඇමැතිගෙන් වත්මන් ඇමැතිට ලිපියක්

මෙරට හා කොරියානු ජනරජයේ ක්‍රියාත්මක නීති තත්ත්වයන් ගලපාගනිමින් නීත්‍යනුකූල සහ විනිවිද භාවයකින් යුතුව තමන් කටයුතු කළ බව හිටපු කම්කරු ඇමැති මනුෂ නානායක්කාර වත්මන් විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් වෙත ලිඛිතව දැනුම්දී ඇත. එමගින් ඔහු කියා සිටින්නේ ඩොලර් මිලියන 200 ක තිබූ මාසික විදේශ ප්‍රේෂණ ඩොලර් මිලියන 500 දක්වා වැඩිකිරීමට දියත් කළ ක්‍රියාවලියේදී ද්වි පාර්ශ්වික ගිවිසුම් හරහා ශ්‍රමිකයන් යොමු කිරීම වර්ධනය කරගැනීමට කොරියාවේ සෘතුමය රැකියා අවස්ථා විවෘත කරදීමට පියවර ගත් බවකි. සමාජ මාධ්‍ය ඔස්සේ සහ විවිධ මාධ්‍ය හරහා තමන්ගේ පුද්ගලික ජීවිතයට මෙන්ම දේශපාලන ජීවිතයද විනාශ කරමින් ප්‍රචාරය වන විදෙස් රැකියා මුදල් ලබාගැනීම පිළිබඳ චෝදනාව තමන් මුලුමනින්ම ප්‍රතික්‍ෂේප කරන බවද එම ලිපියේ සඳහන් ය.

එහෙත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා අදාළ රැකියා කෝටාව ගැන කියන්නේ මෙවැනි කතාවකි.

“E 8 වීසා ක්‍රමයට රට යැවීමට අත්සන් කළ ගිවිසුම නීත්‍යානුකූල එකක් නොවෙයි. හිටපු ඇමැතිවරයා මේ ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ පෞද්ගලිකව. රජය ඊට අවසර ලබාදී නැහැ. ඔවුන් දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසමින් එක් අයෙකුගෙන් රුපියල් ලක්‍ෂ 12 සිට 20 දක්වා මුදල් අයකරගෙන තමයි මේ සෘතු රැකියා සඳහා පිරිස තෝරාගෙන තියෙන්නේ. ඒ අය කියලා තියෙන්නේ මාස 5-6 ක කාලයකට කොරියාවට යවලා ඒ කාලය ඉවර වුණාම පැනල ඒ රටේ තව අවුරුදු 5ක් ඉන්න පුළුවන් කියලයි. මේක මිනිස් ජාවාරමක්.”

ඒ එක් ජාවාරමක් පමණි. මිනිස් ජාවාරම් එක් ජාවාරමකට පමණක් සීමා වන්නේ නැත. එවැනි ජාවාරම් පිළිබඳව විමසීමේදී සමාජ මාධ්‍ය භාවිත කරමින් ජයටම සිදුකෙරෙන මිනිස් ජාවාරම් ගැනද අපට වාර්තා විය. මේ එවැනි තවත් ජාවාරමකි.

කැනඩා රැකියා පෙන්වා සල්ලි ගරන තවත් ගේමක්

කැනඩා රැකියා දෙන බව සහ විදේශ සංචාරයන් සඳහා රැගෙන යන බව පවසා සිදුකළ මහා පරිමාණයේ මිනිස් ජාවාරමක් මේ දිනවල සිදුවෙමින් පවතින බවට තොරතුරු ලැබී ඇත. එම ජාවාරම සිදුවන්නේ ද ලාඕසයේ සිට මෙහෙයවනු ලබන ශ්‍රී ලාංකික පුද්ගලයන් කණ්ඩායමක් මගිනි. ඒ සිදුවන්නේ මෙසේය. අප මෙම ජාවාරමේ මහමොළකරු ‘රණවන’ යැයි හඳුන්වමු. රණවන ද වෙනත් මිනිස් ජාවාරම්කරුවන් මෙන් සිය කූට උපාය මාර්ග යොදා අහිංසක ජනතාවට රට රැකියා සිහින පෙන්වා මුදල් ගරන්නෙකි. ඔහු ඇතුළු ඔහුගේ අනෙකුත් සහචරයන් ද ලාඕසයේ සිට සිදුකරන්නේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ තරුණ තරුණියන්ට කැනඩා ඇතුළු රටවල රස්සාවල් පෙන්වා රවටා ඔවුන්ගෙන් මුදල් ලබාගැනීමය. නමින් ‘රණවන’ ලෙස පෙනී සිටින ඔහුට ව්‍යාජ කැනඩා ගමන් බලපත්‍රයක්ද ඇත්තේය. යූටියුබ් නාලිකාවක් පවත්වාගෙන යමින් නිතරම රටේ ජාතික ආරක්‍ෂාව ගැන කතා කරන ඔහු නිතරම කතා කරන්නේ රට ජාතිය බේරාගැනීමටය. හුදෙක් නරිවාදන් දෙන්නේ ජාතිය ආගම බේරාගැනීම යැයි කියාය. කිසිවකුටත් සැක නොසිතන ආකාරයට ඔහු මුහුණපොත හරහාද, යූටියුබ් නාලිකා පවත්වාගෙන යන්නේ රටේ ජාතික ආරක්‍ෂාවේ අඩුපාඩු ඇතැයි කියා ආරක්‍ෂක හමුදාවට දෝස් මුර තබන්නටය. මේ නැරඹූ බොහෝ අයට ඔහු කෙරෙහි විශ්වාසය තබා ඔහුගේ ජාවාරමට ගොදුරු වන්නෝය. අප ඒ පිළිබඳව ලියා තබන්නේද සමාජය දැනුවත් කිරීම උදෙසාය.

“කැනඩා සිහිනය සැබෑ කරගන්න අප හා එකතු වන්න” මුහුණුපොතේ මෙසේ පළවන පෝස්ටුව ඔහුගේ තම ඉලක්කය සපුරා ගැනීමට යොදා ගන්නා පළමු පියවරය. මේ මිනිස් ජාවාරම්කරුවාගේ දැලට තවත් අහිංසක ගොදුරක් හසුවන්නේ මෙසේය.

“අයැදුම් කිරීමට පහත වට්ස්ඇප් අංකයට හා සම්බන්ධ වන්න” කාරුණික උපදෙස් මාලාවකින් පිළිගන්නා බොහෝ කූට මිනිස් ජාවාරම්කරුවන්ගේ සාම්ප්‍රදායික ඇන්දවීමේ කලාවේ මේ ආකාරය.

අපි කතාකරන රණවන සිය කූට ජාවාරමේ මුල්පියවර තබන්නේ මෙසේය.

“ඔයාට මේ ලැබෙන්නේ කාටවත් නැති චාන්ස් එකක්. අපිට ඇප්ලයි කරපු අයගෙන් තෝරගත්ත මුල් දහයට තමයි අපි මේ වේකන්සි ටික දෙන්නේ… මේවා ලොකු සැලරි තියෙන් ජොබ්. ඔයාට තියෙන්නේ හැකි ඉක්මනින් පොඩි ඇඩ්වාන්ස් එකක් කරල ජොබ් එක බුක් කර ගන්න එක විතරයි. පොඩි ලෝන් එකක් හරි දාල ඉක්මනින්ම පේ කරන්න. මොකද තව ටික දවසයි මේ ජොබ්ස් ටික තියෙන්නේ. දැනටමත් අපි අනිත් අයව රෙඩි කරලා ඉවරයි. මොකද ගිහිල්ල එක පඩියෙන් ඔයාට ලෝන් එක සෙට්ල් කරගන්න පුළුවන්.”

මේ ගැටේට හසුවන වැඩිදෙනකු කරන්නේ තමන්ගේ සේසත විකුණා සල්ලි කර අදාළ ජාවාරම්කරුවාට බැඳීමය. ඉන් පසු ලහිලහියේම පාස්පෝට් හදන්නට ඔහුට සිදුවන්නේය. පාස්පෝට් කන්තෝරුවේ ද රස්තියාදුවේ යෙදී පාස්පෝට් එක ගන්නේ ජාවාරම්කරු කියන හදිස්සිය නිසාමය. දින සති මාස ගණන් වැඩේ කල් යන බැවින් ඔහු පෙර කී ඒජන්සිකරුවාට අමතන්නේ ටිකට් එක එන දිනය ගැන අසන්නටය.

“මේ මහත්මයා අර මම අහවලා… දැන් ඔයාලට මම සල්ලි බැඳල මාසයක් විතර… කෝ තවම ආවේ නෑනේ ටිකට් එකයි වීසා එකයි..”

“අයියෝ ඕකට හදිස්සි වෙන්න එපා.. ඔන්න බලන්න මේ තියෙන්නේ ටිකට් එක තමයි.. බොරුනම් සූම් කරලා බලන්න… (වංචාකරු වට්ස්ඇප් ඔස්සේ ටිකට් එකක් පෙන්වයි.) අද උදේ තමයි ඕක අපිට ආවේ. දැන් ඕක හෙට නැත්නම් අනිද්දා අපිට ලැබෙනවා. මේ දවස් ටිකේ නිවාඩුනේ. දැන් ඕකට ක්‍රමවේදයක් තියෙනවානේ. ඔයාට තේරුණාද..? ඕක හදිස්සිවෙලා හරියන්නේ නැහැ.. බොරුවට කලබලවෙන්න එපා… දවස් කිහිපයක් අපට යයි ටිකට් එකයි වීසා එකයි ඔයාට දෙන්න. මොකද මේක වෙන කෙනෙකුට තිබුණ චාන්ස් එකක් ඔයාට දීල තියෙන්නේ.”

කොතෙක් බලා සිටිය ද ඔහුට ඊළඟ දිනයෙහි අදාළ ජාවාරම්කරු සම්බන්ධ කරගැනීමට සිදුවන්නේ නැත. ඔවුන් දුන් දුරකථන අංක, වට්ස්ඇප් අංක ඇතුළු විද්‍යුත් ලිපිනයන් කිසිවකට ජාවාරම්කරුවන්ගේ ප්‍රතිචාර නොමැත. මෙම ජාවාරම්වලට අසුවන්නන්ට ඉන්පසු සිදුවන්නේ රට යන්නට නොව උකසට තැබූ දේපළ බේරාගැනීමට රට වටේටම සිඟමන් යැදීමටය. රට රැකියා ගැන සිහින ගොන්නක් පොදිබැඳ තබාගත් අය මෙවැනි ජාවාරමුන්ගේ පහසුම ඉලක්කය ය. මේ කියන ජාවාරම්කරුවා ද යූටියුබ් නාලිකාවක් හරහා රට ජාතිය ගැන මහ ඉහළින් කතා කර ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලබමින් සිටින්නෙකි. සිය මිනිස් ජාවාරම සුපුරුදු පරිදි කරගෙන යන ඔහුට පසුගිය කාලය තුළ දේශපාලන රැකවරණද පවා නොඅඩුව ලැබුණේය. හොර ඒජන්සි අටවාගෙන සිටින මේ කියන ජාවාරම්කරුවාද තරුණ තරුණියන් රවටා ගෙන මුදල් කොල්ල කන්නේ රට ජාතිය පවා විකුණමින්ය. මෙම මිනිස් ජාවාරමේ මහමොළකරුවකු ලෙස හඳුන්වන රණවන නමැත්තා ට විරුද්ධව උසාවිවල නඩු පවරා ඇත්තේද, වෙනත් රටවල විදේශ තානාපති කාර්යාලවල පැමිණිලි කර ඇත්තේ අහිංසක මිනිසුන්ගේ මුදල් රට රැකියා සිහින පෙන්වා කොල්ලකෑම නිසාය. ඔහු නිසා අනාථ වූ බොහෝ අය විවිධ රටවල්වල අනාථ කඳවුරුවල දුක්විඳින්නේ සිය උපන් රටට පවා ඒමට නොහැකිවය.

මෙවැනි ජාවාරම් සිදුකරන්නේ ඔහු පමණක් නොවේය. පසුගිය කාලය තුළ කුවේට්හි රැකියා අහිමි වූ ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසකට යළි මෙරටට පැමිණීමට රුපියල් ලක්‍ෂ 9 බැගින් ඉල්ලා සිටින බවට කරන චෝදනාව ද අපට බැහැර කළ නොහැකිය. එම කාන්තාවන් ද පවසන්නේ රැකියා ඒජන්සිකරුවන්ට හසුවී තමන් ඇතුළු කණ්ඩායම කුවේට් හි කඳවුරකට වී සිරවී සිටින බවත් යළි දිවයිනට පැමිණීමට ඒජන්සිකරුවන් මුදලින් ලක්‍ෂ 9ක් ඉල්ලා සිටින බවය. මෙවැනි ඒජන්සිකරුවන්ට අසුවී අසරණ වූ අයගේ කතා තවත් බොහෝය. අදටත් E 8 වීසා ක්‍රමයට රට යැවීම වැනි ජාවාරම් සිදුවන්නේද රටේ නීතිය වල්වැදී ඇති නිසාය. එයට හේතුව තවමත් නිදැල්ලේ සිය මිනිස් ජාවාරම් මෙහෙයවන ‘රණවනලා’ වැන්නන් අප සමාජයේ අනන්තවත් ඇති නිසාය.

| රමින්ද මාවතගේ (දිවයින)