විදේශ්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබාදීමට කටයුතු කරමින් සිටිනවා - අමාත්‍ය විජිත හේරත්

විදේශ්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබාදීමට කටයුතු කරමින් සිටිනවා - අමාත්‍ය විජිත හේරත්

විදෙස් ගත ශ්‍රි ලාංකිකයින්ගේ ඡන්ද අයිතිය අපි ගොඩක් කාලයක් බලන් හිටපු දෙයක්. ඒක ඔවුන්ගේ අයිතියක්. ඒක වහාම ලබාදිය යුතුයි. ඒ සඳහා දැනටමත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් විශේෂ කමිටුවක් පත්කරලා තියෙනවා. ඒ හරහා අපි බලාපොරොත්තු වෙනවා අවශ්‍ය නෛතික තත්ත්වය ඇති කරන්න. පහුගිය දවස්වල එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යම් කණ්ඩායමකුත් ලංකාවට ආවා. මැතිවරණ ක්‍රමය පිළිබඳව සාකච්ඡා කළා. ඒ හරහා ලෝකයේ විසිරිලා ඉන්න ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබාදෙන්න අවශ්‍ය පියවර ගනිමින් ඉන්න බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ 40 වන සංවත්සරය නිමිත්තෙන් විශේෂ සමරු කවරයක් නිකුත් කිරීම (27) දින අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රකාශ කර සිටියේය.

එහිදි වැඩිදුරටත් කතා කළ අමාත්‍යවරයා පවසා සිටියේ, පහුගිය කාලේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය පිළිබඳව ජනතාව තුළ තිබුණේ හොඳ ප්‍රතිචාරයක් නෙවෙයි. රට යවන්න ලක්ෂ ගණන් සල්ලි ගන්නවා. වංචාකරුවන්ට හසුවෙනවා. විවිධ ආයතන මගින් මුදල් අරගෙන ලාංකිකයෝ අතරමං කරනවා. අපි පහුගිය වසරේ පියවර ගත්තේ කාර්යාංශය හරහා විදේශ ගතවීමේදී සිදුවන අක්‍රමිකතා නතර කරන්න. අපි සතුටු වෙනවා, අද වෙනකොට දේශපාලන අධිකාරිය විදේශ රැකියා ලබාදෙන්න මුදල් ගන්නවා කියන්නේ නෑ. නමුත් ඉතිහාසයේ එහෙම නෙවෙයි අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, අමාත්‍යවරුන්ගේ පුද්ගලික ලේකම්වරුන් විදේශ රැකියා ලබාදෙන්න මුදල් අරන්, නාස්ති කරලා, දැන් චෝදනා එල්ල වෙලා තියෙනවා. අද එවැනි කිසිම දෙයක් දේශපාලන අධිකාරියෙන් සිද්ධ වෙන්නේ නෑ. ඒ වගේම නිළධාරී මහත්ම මහත්මීනුත් කැපවීමෙන් අද රාජකාරි සිදුකරනවා. ඒ ගැන අපි ආඩම්බර වෙනවා.

ඒ වගේම කාර්යාංශය හරහා මේ දිනවල වැඩිවශයෙන් ඊශ්‍රායලයේ රැකියාවලට යවනවා. කාර්යාංශය එය හරියට ක්‍රියාත්මක කරන්නේ නෑ කියලා චෝදනාවක් එල්ල වෙනවා. ඇත්තටම එය වැරදි අවබෝධයක්. ඊශ්‍රායල් රැකියා ලබාදීමේදී අනුගමනය කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒක අපි නෙවෙයි ඊශ්‍රායල් රජය තමයි තීරණය කරන්නේ. ඊශ්‍රායල් රජය වෙනුවෙන් පීබා ආයතනය තමයි අදාළ තේරීම් කටයුතු සිදුකරන්නේ. මෑත කාලීනව ඊශ්‍රායල් රැකියා බහුලව ලැබෙනවා. ඒ ඔස්සේ යම් තරඟකාරීබවක් ඇතිවෙලා තියෙනවා. නමුත් දේශපාලන අධිකාරිය තමන්ගේ හිතවතුන් මේ ලැයිස්තුවලට ඇතුළත් කරන්න කිසිසේත්ම මැදිහත් වෙන්නේ නෑ. ඒ සංස්කෘතිය අපි වෙනස් කරලා තියෙනවා. මේ රැකියා ක්‍රමවේදය අපි විනිවිද කරලා තියෙනවා ඔබට මේ රැකියාවලට යන්න පුළුවන් වෙන්න.

යම් සිදුවීම් කිහිපයක් වාර්තා වුණා. ඒකට අපි නීතිමය ක්‍රියාමාර්ග ගත්තා. ඊයෙත් අපිට සිද්ධ වුණා විදේශ ගතකරන්න මුදල් අරගත්ත චෝදනා අනුව මේ ආයතනයේ හිටපු රියදුරෙක් අත්අඩංගුවට ගන්න. එවැනි තත්ත්වයන් හරහා මේ ආයතනය යථා තත්ත්වයට ගෙනත් පිරිසිදු ආයතනයක් කරන්න අපි කැපවෙලා ඉන්නවා. ඒ නිසා කිසිඳු ආකාරයක මුදල් ගෙවීමක් වෙනත් පාර්ශවයකට කරන්න එපා රට යන්න කියලා. විදේශ රැකියාවකට මුදල් ගෙවනවා නම් අදාල ආයතනය බැඳිලා ඉන්නවා ඒ රැකියාවට අයකරන මුදල කාර්යාංශයට දැනුම් දෙන්න. ඒකට අපි ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වාදීලා තියෙනවා. ඒ නිසා කිසිම වෙලාවක බාහිර පුද්ගලයින්ට මුදල් දෙන්න එපා කියන පණිවිඩයත් මම මේ වෙලාවේ දෙනවා.

ඒ වගේම යම් යම් ඒජන්සි ආයතනවලින් සිදුවෙන අඩුපාඩු අපි හඳුනාගෙන තියෙනවා. විදේශ රැකියා දෙන්න කියලා සල්ලි අරන් තියෙනවා විශේෂයෙන්ම රුමේනියාව වගේ රටවල. ලක්ෂ 18/ 19ක් අරන් රැකියාව ලබාදීලාත් නෑ. අපි ඒ දේවල්වලට නීතිමය ක්‍රියාමාර්ග අරන් තියෙනවා. සමහර වෙලාවට කාර්යාංශ පනත බාධාවක් වෙලා තියෙනවා මේ නීතිමය ක්‍රියාමාර්ග ගන්න. ඒක ප්‍රමාණවත් නෑ. යාවත්කාලීන විය යුතුයි. ඒ නිසා අපි නව පනතක් සකස් කරමින් ඉන්නවා අපි බලාපොරොත්තු වෙනවා යථා කාලයේදී නව පනතක් හඳුන්වා දෙන්න.

ඒ වගේම විදෙස් ගත ශ්‍රි ලාංකිකයින්ගේ ඡන්ද අයිතිය අපි ගොඩක් කාලයක් බලන් හිටපු දෙයක්. ඒක ඔවුන්ගේ අයිතියක්. ඒක වහාම ලබාදිය යුතුයි. ඒ සඳහා දැනටමත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් විශේෂ කමිටුවක් පත්කරලා තියෙනවා. ඒ හරහා අපි බලාපොරොත්තු වෙනවා අවශ්‍ය නෛතික තත්ත්වය ඇති කරන්න. පහුගිය දවස්වල එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යම් කණ්ඩායමකුත් ලංකාවට ආවා. මැතිවරණ ක්‍රමය පිළිබඳව සාකච්ඡා කළා. ඒ හරහා ලෝකයේ විසිරිලා ඉන්න ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබාදෙන්න අවශ්‍ය පියවර ගනිමින් ඉන්නවා.    

ඒ වගේම විදෙස්ගත ශ්‍රි ලාංකිකයින්ට විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් ලබාදෙන්න අපි දැනටමත් මැදිහත්වීමක් කරනවා. දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදය සාර්ථක ක්‍රමයක් නෙවෙයි. වැඩි මුදලක් විශ්‍රාම වැටුපක් විදිහට ගන්න පුළුවන් ක්‍රමයක් අපි ආරම්භ කරනවා. සමාජ සේවා දෙපාර්තමේන්තුවේ තියෙන අරමුදල් භාවිතා කරලා විදෙස් ගත ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදුන්වා අවශ්‍ය නෛතික ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න පියවර ගන්නවා.