සංක්‍රමණිකයන් 49 දෙනකුගේ මළසිරුරු ලිබියාවේ මිනීවළවල් දෙකකින් මතුවේ

සංක්‍රමණිකයන් 49 දෙනකුගේ මළසිරුරු ලිබියාවේ මිනීවළවල් දෙකකින් මතුවේ

යුරෝපා රටවලට සංක්‍රමණය වීම සඳහා ලිබියාවට පැමිණි සංක්‍රමණිකයන් 49 දෙනකුගේ මළසිරුරු සහිත දැවැන්ත සමූහ මිනී වළවල් දෙකක් එරට ගිණිකොණදිග කාන්තාරයේ තිබී සොයා ගැනීමට ලිබියානු බලධාරීන් විසින් පියවර ගෙන තිබේ. මේ යටතේ ඉකුත් සිකුරාදා ගිණිකොණදිග ලිබියාවේ පිහිටි ‘කුෆ්රා’ නගරයේ තිබූ සමූහ මිනී වළක තිබී මළසිරුරු 19ක් සොයාගෙන ඇති අතර එම නගරයේම තිබූ තවත් සමූහ මිනී වළක තිබී මළසිරුරු 30ක් පෙරේදා (09දා) දිනයේ සොයාගෙන ඇති බව වාර්තා වේ.

මෙම සමූහ මිනීවළවල් දෙක සොයාගෙන ඇත්තේ ලිබියානු ආරක්ෂක අංශ විසින් කුෆ්රා නගරයේ තිබූ සංක්‍රමණිකයන් රඳවා තබන මධ්‍යස්ථානයක සිදු කළ වැටලීමේදීය. මෙම සමූහ මිනී වළවල් සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති නැගෙනහිර හා දකුණු ලිබියාවේ සිටින සංක්‍රමණිකයන් හා සරණාගතයන් සඳහා උපකාර කරන ‘අල් අබ්රින්’ නමැති පුණ්‍ය ආයතනය පවසා ඇත්තේ සමූහ මිනීවළවල්වල තිබී සොයාගත් සංක්‍රමණිකයන් වෙඩි තබා මරා දමා මෙසේ වළලා තිබූ බවයි. ඉකුත් වසරේද ලිබියානු බලධාරීන් විසින් යුරෝපයට සංක්‍රමණය වීම සඳහා ලිබියාවට පැමිණ මරණයට පත් වූ 65 දෙනකුගේ සිරුරු සමූහ මිනීවළක තිබී සොයාගෙන තිබිණි.

(දිවයින)