සේවාස්ථානයේදී පොදුවේ කම්කරුවන් මුහුණ දෙන ගැටළු හා ඊට අදාළ පිළිතුරු -IV

සේවාස්ථානයේදී පොදුවේ කම්කරුවන් මුහුණ දෙන ගැටළු හා ඊට අදාළ පිළිතුරු -IV

සේවා ස්ථානවලදී සේවකයින් බොහෝ කම්කරු ගැටළුවලට මුහුණ දෙන අවස්ථා සුලභ වෙන අතර යම් ලෙසකින් කම්කරු නීති හෝ සහන ලබා ගත හැකි ආකාර ගැන නොදැනුවත්කම නිසා එවැනි අවස්ථාවල සේවකයින්ට හිමි සහන ලබා ගැනීමට නොහැකිවී යන අවස්ථා ඇත.

 
කෙසේ වෙතත් බොහෝ කම්කරුවන් කම්කරු නීති හෝ කම්කරුවන් ලෙස ඔවුන්ට හිමි සහන ලබා ගැනීම ගැන නොදැනුවත් කම නිසා මහත් අසරණභාවයට පත්වෙන අතරම ඊට යම් සහනයක් ලෙස වැඩබිම අපි සේවාස්ථානයකදී පොදුවේ කම්කරුවන් මුහුණ දෙන ගැටළු හා ඊට අදාළ පිළිතුරු ගැන ලිපි පෙළක් මෙලෙස පල කිරීමට කටයුතු කළෙමු.
 
ඊට අදාළ ගැටළු හා පිළිතුරු ලිපි පෙළේ IVවන ලිපිය පහතින් කියවන්න.ඔබටත් යම් කම්කරු ගැටළුවක් ඇත්නම් එය අප වෙත عنوان البريد الإلكتروني هذا محمي من روبوتات السبام. يجب عليك تفعيل الجافاسكربت لرؤيته. යන ඊමේල් ලිපිනයට යොමු කරන්න. 
 

01. ගැටළුව:

ශ්‍රී ලංකාවේ කර්මාන්තශාලාවල සේවය කරන සේවකයින්හට සිදුවිය හැකි අනතුරු වැලැක්වීමට සේවක - සේවා යෝජකයන් විසින් පිළිපැදිය යුතු නීතීන් මොනවාද?

පිළිතුර :

විශේෂයෙන් අප රටේ කර්මාන්තශාලාවල සේවය කරන සේවක සේවිකාවන් හදිසි අනතුරුවලට මුහුණ දීම සුලභව අසන්නට ලැබෙන තත්ත්වයකි.

ඒ සම්බන්ධයෙන් සේවක සේවායෝජක දෙපාර්ශවයම විසින් පිළිපැදිය යුතු උපදෙස් අඩංගු නීති සංග්‍රහයකි. 1942 අංක 45 දරණ කර්මාන්තශාලා ආඥා පණත. මෙම පණත කම්කරු කොමසාරිස්වරයාගේ බලතල යටතේ ක්‍රියාත්මක වන අතර එය ක්‍රියාත්මක කිරීම සඳහා කම්කරු දෙපාර්තමේන්තුව තුළ කර්මාන්තශාලා අංශය නමින් විශේෂ අංශයක් පිහිටුවා ඇත. මෙම අංශය මඟින් කර්මාන්තශාලා ආඥා පණතේ ඇති නීතිමය විධිවිධාන ක්‍රියාත්මක කිරීම හදිසි අනතුරු වැලැක්වීම පිළිබඳ සේව්‍ය සේවක දෙපාර්ශවයම දැනුවත් කිරීම හා ඒ පිළිබඳ ප්‍රචාරාත්මක කටයුතු සිදු කිරිම කරනු ලබයි.

කර්මාන්තශාලා ආඥා පණත ක්‍රියාත්මක වන්නේ එම පනත යටතේ කර්මාන්තශාලා යන අර්ථ නිරූපණයට ගැනෙන ස්ථාන සඳහා පමණි.

එනම් යම් ස්ථානයක එනම් එළිමහනක හෝ ගොඩනැඟිල්ලක් තුළ සේවක ශ්‍රමය යොදවා යම්කිසි භාණ්ඩයක් හෝ ඉන් කොටසක් නිෂ්පාදනය කරන හෝ පිරිසිදු කරන හෝ සෝදන හෝ ඔපමට්ටම් කරන හෝ කැබලිවලට කඩා වෙන්කරන හෝ එසේත් නැත්නම් මස් පිණිස සතුන් මරණ හෝ ගාල් කරන හෝ කටයුතු කෙරේ නම් එම ස්ථාන කර්මාන්තශාලාවක් වේ.

මීට අමතරව විදුලි ස්ථාන, නැව් තටාංගන , නැව් බඩු පටවන සහ බාන වේදිකා ගොඩනැගිල්ල සහ ඉංජිනේරු ඉදිකිරීම් වැඩබිම් යනාදිය ද විශේෂ විධි විධාන යටතේ කර්මාන්තශාලා වශයෙන් පිළිගනු ලැබේ.

මෙහිදී සේවකයින්ට සේවා පරිසරයේදී අනතුරු වලක්වා ගැනීම් සම්බන්ධයෙන් අනුගමනය කල යුතු නීති රීති වන්නේ,

01. සේවකයින්ට තමන්ට හෝ තමා සමඟ සේවය කරන අනිකුත් සේවකයන්හට අනතුරක් වන පරිදි ඕනෑකමින් කිසිවක් නොකළ යුතුයි.

02. යන්ත්‍ර ක්‍රියා කරවීමේදී සිදුවිය හැකි ආපදා වලක්වා ගැනීම් පිළිබඳ නිසි උපදෙස් නොමැතිව හා නිසි පුහුණුවක් නොමැතිව යන්ත්‍ර ක්‍රියාකරවීමට නොයෙදවිය යුතුය.

03. ස්ත්‍රීන් සහ බාලවයස්කරුවන් යන්ත්‍ර ක්‍රියාකාරීත්වයේ තිබියදී පිරිසිදු කිරීම සඳහා සේවයේ නොයෙදවිය යුතුය.

තවද බාලවයස්කරුවන් ඒ අයට ආපදාවක් ඇතිවිය හැකි තත්ත්වයේ බර එසවීම සඳහා සේවයේ නොයෙදවිය යුතුය.

04. කර්මාන්තශාලා තුළ විදුලි බලය යොදවන්නේ නම් සේවකයන්හට අනතුරුදායක නොවන සේ පවත්වාගෙන යා යුතුය.

මීට අමතරව භෞතික පරිසරයේදී සේවකයින්ට ආපදාවක් ඇතිවිය නොහැකි සේ අධික ශබ්දයට, උෂ්ණත්වයට භාජනය නොකල යුතු සේම, පිරිසිදු වාතය ලැබෙන සේ ආයතනය පවත්වා ගෙන යා යුතුය.

මීට අමතරව සේවා යෝජකයා විසින් අනුගමනය කලයුතු නීති රීති වන්නේ,

01.ආයතනයක් තුළ සිදුවන හදිසි අනතුරු දිස්ත්‍රික් කර්මාන්තශාලා පරීක්ෂක ඉංජිනේරු වෙත වාර්තා කලයුතුය.

02. කර්මාන්තශාලා තුල සිදුවන අන්තරාදායක සිදුවීම් ,ගොඩනැගිලි කඩා වැටීම්, දොඹකර කඩා වැටීම්, පිපිරීම් ආදිය දිස්ත්‍රික් කර්මාන්තශාලා පරීක්ෂක ඉංජිනේරු තැන වෙත වාර්තා කල යුතුය.

03. කර්මාන්තශාලා තුළ සේවා පරිසරය නිසා සේවකයන් කාර්මික රෝගීභාවයට පත්වුවහොත් ඒවාද දිස්ත්‍රික් කර්මාන්තශාලා ඉංජිනේරු පරීක්ෂක වෙත දැනුම්දිය යුතුය.

02. ගැටළුව:

කර්මාන්තශාලාවන්හි සේවකයින් පාවිච්චි කරන යම් අනතුරුදායක උපකරණයක් පරීක්ෂා කරන ඉංජිනේරුවරයා ,නිසි ආකාරයෙන් පරීක්ෂා නොකිරීමකදී හෝ නිසි වාර්තාකරණයක් සිදුනොවෙන විටදී ඉංජිනේරුවරයාට හෝ අදාල පරීක්ෂකවරයාට එරෙහිව ඇති නීතිමය තත්ත්වය කෙසේද?

පිළිතුර :

අනතුරුදායක කර්මාන්තශාලාවන්හි සිදුකරන ලද යම් පරීක්ෂණයකදී එම පරීක්ෂණය සිදුකරන ප්‍රධාන ඉංජිනේරු තැන විසින් දින 28ක් ඇතුළත එකී වාර්තාවේ පිටපතක් දිස්ත්‍රික් පරීක්ෂකයා වෙත යැවිය යුතු අතර එබදු පරීක්ෂණයක් කිරීමට නොහැකි වී නම් හෝ අසත්‍ය වාර්තාවක්,හෝ අත්‍යාවශ්‍යයෙන්ම තිබිය යුතු විස්තරයක් අඩුවෙන් සටහන් කර වාර්තාවක් කළේ නම් ඒ තැනැත්තා හෝ ඉංජිනේරු තැන 1998 අංක 18 දරණ කර්මාන්තශාලා සංශෝධන ආඥා පණතේ 12 වගන්තිය ප්‍රකාරව වරදකරු වූ විට මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමකින් පසු රුපියල් 25,000කට වැඩි නොවන දඩයකට යටත් කල හැකිය.

03 ගැටළුව :

අනතුරුදායක රැකියාවන්හි වයස අවුරුදු 18ට අඩු ළමුන් සේවයේ යෙදවීම සම්බන්ධ නීතිමය තත්ත්වය කෙසේද?

පිළිතුර:

1956 අංක 47 දරණ ස්ත්‍රීන් තරුණ අය සහ ළමයින් සේවයේ යෙදවීමේ පණතේ අංක 24 දරණ සංශෝධනය අනුව පණතේ 20 (අ) වගන්තිය යටතේ වයස අවුරුදු 18ට අඩු කිසිවෙකු අනතුරුදායක රැකියාවල හෝ රැකියාවක යෙදවීම තහනම් කොට ඇත.

වයස අවුරුදු 18ට අඩු පුද්ගලයින්ගේ කායික හා මානසික සෞඛ්‍යයට හා ආරක්ෂාවට හානිකර රැකියාවන් 50කට වැඩි ප්‍රමාණයක් අන්තරායකාරී රැකියා බවට හඳුනාගෙන ඇත.

මස් ,මාළු, ලුණු, රසායන ද්‍රව්‍ය, පළිබෝධ නාශක, ගිණිකෙලි, මත්පැන්,දුම්කොළ, රබර්,සම්පාදම් කිරීම,යන්ත්‍ර සූත්‍ර,වරාය,පතල්,ගල්කොරි,වැලි,උළු,ගඩොල්,හුණුගල්,වානේ,වීදුරු, ඛණිජ ද්‍රව්‍ය,පිත්තල වැඩ,ඉදි කිරීම්, වැඩබිම්,ප්‍රවාහන,සංචාරක,ගස් නැඟීම,ගස් කැපීම,දර කැපීම,සන්නද්ධ ගැටුම්, ආරක්ෂක සේවා,කැලි කසල, මළ ප්‍රවාහනය,රෙදි ,නිමි ඇඳුම්, භයානක ක්‍රීඩාවන්,රාත්‍රී සේවා ආදිය ඉන් සමහරකි.

එසේම මෙලෙස අවුරුදු 18ට අඩු තරුණ අය සේවයේ යොදවන සේවා යෝජකයන්ට එරෙහිව මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී ලඝු නඩු විභාගයකින් වරදකරු වුවහොත් රුපියල් 10,000ට නොඉක්මවන දඩයකට හෝ මාස 12ට නොවැඩි කාලයක් සදහා දෙයාකාරයකින් එක් ආකාරයකට බන්ධනාගාර ගත කිරීමකට හෝ එකී දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම යටත්කල හැකිය.

04. ගැටළුව :

සේවකයෙකු සේවය අවසන්කොට හෝ සේවයෙන් ඉවත්ව යාමේදී ලබාදෙන "පාරිතෝෂිකය" යනු කුමක්ද?

පිළිතුර:

යම්කිසි ආයතනය පාරිතෝෂිකය ලබාදීම සම්බන්ධයෙන් රටේ බලපවත්නා නීතිය වන්නේ 1983 අංක 12 දරණ පාරිතෝෂික පණතයි.

මේ පණත යටතේ සේවකයින් 15 දෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සේවයේ යොදවා ඇති ආයතනයක සේවා යෝජකයා විසින් වසර 05ට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සේවකයෙකුට සේවයෙන් ඉවත්ව යාමේදී එක් එක් සම්පූර්ණ සේවා වර්ෂයක් සඳහා මාස 1/2(භාගයක) වැටුපක් බැගින් අදාළ වර්ෂ ගණනට ගෙවිය යුතු වේ. එය ගණනය කිරීම සේවකයා අවසන් වරට ලැබූ වැටුප පදනම් කරගෙන සිදුකළ යුතුය.මෙකී පාරිතෝෂික දීමනාව සේවකයා සේවයෙන් ඉවත්වී දින 30ක් ඇතුළත ගෙවිය යුතු වේ. යම් ලෙසකින් එකී කාලය තුළ ගෙවීමට අපොහොසත් වූයේ නම් හෝ පැහැර හරින්නේ නම් එකී මුදලට දඩ වශයෙන් අතිරේක මුදලක්ද ගෙවීමට සිදුවේ. ගෙවීම ප්‍රමාද වන කාලයට අනුව අධිභාර මුදලද ක්‍රමයෙන් වැඩිවේ. එකී අධිභාර මුදල 10% සිට 30% දක්වා වැඩිවන කාල ප්‍රමාදයට සේවා යෝජකයා ගෙවිය යුතු වේ.

මෙම පාරිතෝෂිතක දීමනාවෙන් සේවා යෝජකයාට අඩුකර ගත හැකි වියදම් තිබේ.

01.සේවායෝජකයාගේ මුදල් අයථාලෙස අත්පත්කරගෙන ඇති විට

02. සේවායෝජකයාගේ දේපලට අලාභහානි සිදු කර ඇති විට

සටහන -නීති නිලධාරී -ලිලන්ති කුමාරි

වැඩබිම