මුලයන් සොයමින් වතු කම්කරු අයිතීන් දිනාගැනීමේ පාගමන

මුලයන් සොයමින් වතු කම්කරු අයිතීන් දිනාගැනීමේ පාගමන

පාගමනෙහි අරමුණු

කඳුකරයේ වතුවල වැඩ කිරීම සඳහා මෙරටට මුලින්ම රැගෙන එන ලද කාන්තා සහ පිරිමි පුද්ගල කණ්ඩායම් පැමිණි ගමන අපි යළිත් සොයමින් සිටින්නෙමු. වසර ගණනාවක් මුළුල්ලෙහි දහස් සංඛ්‍යාත පිරිසක් මන්නාරමට ගොඩබැස එතැන් සිට මාතලේ දක්වා අනතුරුදායක ගමනක් පාගමනින් ගියහ. ඔවුහු රෝග විඳදරා ගනිමින්, කැලෑ එළිපෙහෙළි කරමින්, වනසතුන්ට නිර්භයව මුහුණදෙමින් ගමන් කළහ. බොහෝදෙනෙක්, ඇතැම් කණ්ඩායම්වල 40%කට අධික පිරිසක්, ගමන අතරමඟදී මියගිය අතර, ඔවුන්ගේ සිරුරු භූමදානය කරන ලදී, නැතහොත් බැහැරකර දමන ලදී. මෙයට වසර දෙසීයකට පෙර මෙම දුෂ්කර මඟ පියමං කළ එම මුල්ම පරම්පරාව පිළිබඳ ආවර්ජනයකර, ඔවුන් සමඟ සම්බන්ධවන වන්දනා ගමනක් වූ මෙම පාගමනට අප සමඟ එක්වන ලෙස අපි ඔබ සැමට ආරාධනා කරන්නෙමු.

‘මලෛයහ එළුච්චි පයනම්’ අනාගතය පිළිබඳවද වේ - එය ශ්‍රී ලංකාවේ නිදහස් හා සමාන පුරවැසියන් ලෙස පිළිගන්නා මෙන් මලෛයහ දෙමළ ප්‍රජාව විසින් ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම පිළිබඳවය. මෙයට වසර දෙසීයකට පෙර මෙරටට පැමිණි දා සිට ඔවුන්ගේ පැවැත්ම සඳහා අරගලයක නිරතවීමට සිදුවී තිබේ. ශ්‍රී ලංකාවේ වෙනම සහ මුලික ජන කණ්ඩායමක් ලෙස පිළිගනිමින් සමාන සැලකීමක් ලබාදෙන ලෙස ඉල්ලා වරින්වර බලයට පත්වූ රජයන් වෙත ඉදිරිපත් කළ අඛණ්ඩ ආයාචනාවලින් අපගේ ඉල්ලීම් සමන්විත වේ. මෙය අනෙකුත් ප්‍රධාන ප්‍රජාවන් හා සමානව ස්වාධීන ලංකාවේ/ ශ්‍රී ලංකාවේ ජන කණ්ඩායමක් ලෙස අනන්‍යතාවක් සඳහා වන මෙම ප්‍රජාවගේ අරගලය ප්‍රතිරාවය කරයි.

‘මලෛයහ එළුච්චි පයනම්’ අපගේ සහෘද ජනතාව සමඟ සිදු කරන සංවාදයක්ද වේ. මලෛයහ දෙමළ ප්‍රජාවගේ ඉතිහාසය, අරගල, ජයග්‍රහණ, ඔවුන්ගේ දායකත්වය, වත්මන් සමාජ-ආර්ථික හා දේශපාලන තත්ත්වය සහ අභිලාෂයන් පිළිබඳව සිංහල, ශ්‍රී ලාංකික දෙමළ, මුස්ලිම් සහ අනෙකුත් සහෝදර ජනතාව අතර මූලික අවබෝධයක් ඇති කිරීම මෙම ගමනේ අරමුණයි.

ඉල්ලීම්

මෙරටට පැමිණ වසර 200ක් සම්පූර්ණවීම සමරන මලෛයහ ප්‍රජාව ශ්‍රී ලංකාවේ ජනජීවිතයට පූර්ණ/ අර්ථවත් ලෙස සහභාගීවෙමින්, පූර්ණ සහ සමාන පුරවැසියන් බවට පත්වීමට ඉල්ලීමක් ඉදිරිපත් කරති. මන්නාරම සිට මාතලේ දක්වා වන පාගමන ආවර්ජනය කිරීමේ ගමනක් මෙන්ම, ඔවුන්ගේ මෙම ඉල්ලීමට සහාය දක්වන සහයෝගීතා පාගමනක්ද වේ.

ශ්‍රී ලංකාවේ අර්ථවත් පුරවැසියන් වීමට මලෛයහ දෙමළ ජනතාව ඉල්ලා සිටිනුයේ

  1. අපගේ ඉතිහාසය, අරගලය සහ දායකත්වය පිළිගැනීම
  2. අනෙකුත් ප්‍රධාන ප්‍රජාවන් හා සමානව වෙනමම අනන්‍යතාවක් සහිත, නිදහස් ශ්‍රී ලංකාවේ ජන කොටසක් ලෙස පිළිගැනීම
  3. ජාතික මට්ටමේ සාමාන්‍යයන් හා සමාන මට්ටමක් ළඟාකර ගැනීමට අධ්‍යාපනය, සෞඛ්‍යය සහ සමාජ ආරක්ෂණයන් සම්බන්ධ සාධනීය ක්‍රියාමාර්ග
  4. ජීවත්වීමට සරිලන වැටුපක්, ගෞරවනීය රැකියා, නෛතික ආරක්ෂාව සහ පිරිමි හා කාන්තා කම්කරුවන්ට සමාන වැටුප්
  5. නිවාස සහ ජීවනෝපාය සඳහා සුරක්ෂිත හිමිකමක් සහිත ඉඩම්
  6. දෙමළ භාෂාව සමාන ලෙස භාවිතය සහ ඒ සඳහා සමාන තත්ත්වයක්
  7. රාජ්‍ය සේවා වෙත සමාන ප්‍රවේශය
  8. වැවිලි අංශයේ ජනාවාස නව ගම්මාන ලෙස සීමා නීර්ණය කිරීම
  9. ගෘහස්ථ සේවකයින් ආරක්ෂා කිරීම
  10. මලෛයහ සංස්කෘතිය සංරක්ෂණය හා ප්‍රවර්ධනය කිරීම
  11. රාජ්‍ය පාලනයේ සෑම මට්ටමකදීම අර්ථවත් පාලන කාර්යභාරයක් හිමිවන පරිදි සමානාත්මතාව සහිත සහ අන්තර්කරණය වූ මැතිවරණ ක්‍රමයක් සහ බලය බෙදීමක්.

 සමාන පුරවැසියන් ලෙස පිළිගනු ලැබීම සඳහා වන ඉල්ලීමෙහි පසුබිම

නිදහසින් පසු මලෛයහ දෙමළ ජනතාව විසින් ප්‍රකාශ කරන ලද ඉල්ලීම් තුළ ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රජාවන් හා සමානව ඔවුන් පූර්ණ පුරවැසියන් ලෙස පිළිගැනීමක් ලබාදීම ඇතුළත් විය. සමානාත්මතාව, වෙනස්කොට නොසැලකීම, ආරක්ෂාව සහ ප්‍රජාවගේ අයිතිවාසිකම් සහ අනන්‍යතාව ආරක්ෂා කෙරෙන දේශපාලන හා පරිපාලන විධිවිධාන සඳහා ඉල්ලීම්කර ඇත. මෙම ඉල්ලීම් ඉදිරිපත් කරනු ලැබුවේ නුවරඑළිය ප්‍රදේශයේ සංකේන්ද්‍රණයවී, ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශ ගණනාවක විසිරී ජීවත්වන මෙම ජනතාවට අභිමානයෙන්, ආත්ම ගරුත්වයෙන්, සාමයෙන් සහ සුරක්ෂිතභාවයෙන් යුතුව ජීවත්වීමට සහ ඔවුන්ගේ කටයුතු කළමනාකරණයකර ගැනීමට අවශ්‍ය හඬ සහ බලය ලබාගනු පිණිසය.

1820 දශකයේ මුල් භාගයේ සිට බි්‍රතාන්‍ය කිරීටය යටතේ පැවති සමාගම් විසින් ඉන්දියාවේ සිට එකල ‘සිලෝන්’ නමින් හඳුන්වන ලද ශ්‍රී ලංකාවට මලෛයහ දෙමළ ප්‍රජාව රැගෙනඑන ලදී. බි්‍රතාන්‍යයින් විසින් මෙරට ‘වතු රාජ්‍යය’ ගොඩනැගීමට යොදාගත් පදනම වූයේ එම ප්‍රජාවගේ ශ්‍රමයයි. ඔවුන් යටත්විජිත ව්‍යවසායන්හි අත්‍යවශ්‍ය කොටසක් විය. නිදහස දිනාගත් අවස්ථාව වන විට මෙම ප්‍රජාව මෙරට සිටි දෙවන විශාලතම ජනවාර්ගික කණ්ඩායම විය. එහෙත්, නිදහස ලබාගත් වහාම නිදහස් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 29(2) ව්‍යවස්ථාව මඟින් සුළුතර කණ්ඩායම්වලට ආරක්ෂාව සලසාදුන් විධිවිධාන උල්ලංගනය කරමින් මෙම ප්‍රජාවට පුරවැසිභාවය අහිමි කරන ලදී. ඉන්අනතුරුව බොහෝදෙනෙකු අත්තනෝමතික සහ කැමැත්තෙන් තොරව ඉන්දියාවට ආපසුයවනු ලැබීය. මේ හේතුවෙන් මෙම ප්‍රජාවගේ දේශපාලන තත්ත්වය සහ සමාජ ආර්ථික යහපැවැත්ම බොහෝසෙයින් හීනවිය.

සිරිමා-ශාස්ත්‍රී ගිවිසුම (1964) සහ සිරිමා-ඉන්දිරා ගිවිසුම (1974) ඇතුළුව ඉන්දියාව සමඟ ඇති කරගත් ද්විපාර්ශ්වික ගිවිසුම් හරහා දසදහස් සංඛ්‍යාත පිරිසක් ඉන්දියාවට පිටුවහල් කරන ලද අතර, තවත් දහස් ගණනකට පුරවැසිභාවය අහිමි කරන ලදී. මෙහිදී නිසි පරිදි ප්‍රජාවගේ අදහස් විමසීමක් සිදුවූයේ නැත. මෙය මෙම ප්‍රජාවෙහි සාමාජිකයින් තුළ ඉමහත් සන්තාපයක් ඇති කළ අතර, ඔවුන්ගෙන් බොහෝදෙනෙකු තම ඥාතීන්ගෙන් වෙන්වීමට ලක්විය. පුරවැසිභාවය නොමැති ගැටළුව විසඳාගැනීමට සහ මෙම ප්‍රජාවේ සාමාජිකයින්ට විධිමත් පුරවැසිභාවය ලබාගැනීමට දශක කිහිපයක් පුරා අරගල කිරීමට සිදුවිය. එහෙත්, වෙනත් බොහෝ දේශපාලන, පරිපාලන සහ සමාජ-ආර්ථික ක්ෂේත්‍රවල ප්‍රගතිය මන්දගාමී සහ සීමාසහිත මට්ටමක පවතියි.

වර්තමාන තත්ත්වය

වතුවල පදිංචිකරුවන් ලෙස සිටින 500,000ට අධික පිරිස ඇතුළු මලෛයහ දෙමළ ප්‍රජාවේ වර්තමාන තත්ත්වය වනාහි ස්වකැමැත්තෙන් තොරව මෙරටින් පිටමං කිරීම, බලහත්කාරයෙන් පුරවැසිභාවය අහිමි කිරීම, පුරවැසිභාවය පිළිබඳ අවිනිශ්චිතභාවය සහ ඡන්ද බලය නොමැතිවීම යන අතීත ඉතිහාසයේ ප්‍රතිඵලයකි. මෙය ප්‍රජාවගේ සමාජ-ආර්ථික යහපැවැත්ම කෙරෙහි බලපා ඇත. වැඩිම බලපෑමට ලක්වු කණ්ඩායම වනුයේ වතුවල ජීවත්වන සහ වැඩ කරන පිරිසයි. ඔවුන් මෙරට අනෙකුත් සියලුම ප්‍රජාවන් හා සැසඳීමේදී මානව සංවර්ධන දර්ශක සියල්ලෙන්ම අඩුම අගයන් වාර්තා කරන රටේ වඩාත්ම කොන්වීමට ලක්වු කණ්ඩායම බවට පත්ව ඇත. මෙම තත්ත්වය වතු හාම්පුතුන්ට බැඳී සිටින සහ ඔවුන් මත යැපෙන කම්කරුවන්ව සිටීමේ තත්ත්වයෙන් මිදී, අන් අය හා සමාන අයිතිවාසිකම් සහිත ශ්‍රී ලංකාවේ පූර්ණ පුරවැසියන් තත්ත්වයට පරිවර්තනය වීමට දැඩිව බාධාකාරීවී ඇත.

ඉහත සඳහන් කළ කඳුකර ප්‍රජාවෙන් විශාල ප්‍රමාණයක් තවමත් අවම ජල සහ සනීපාරක්ෂක පහසුකම් සහිත ලයින්කාමර නිවාසවල ජීවත්වෙති. ළදරු මරණ, උපත් බර සහ වයසට සරිලන උස ඇතුළු බොහෝ සෞඛ්‍ය සහ පෝෂණ දර්ශක මෙරට ජාතික සාමාන්‍ය අගයන්ට සාපේක්ෂව පරම්පරාගත ලෙස පහළ මට්ටමක් පෙන්නුම් කරයි. කඳුකරයේ ළමයින් දශක ගණනාවක් තිස්සේ ජාතික අධ්‍යාපන පද්ධතියෙන් බැහැරකර ඇති බැවින් සැලකිය යුතු මට්ටමක අහිමි කිරීමක් නිර්මාණයකර ඇති අතර එය තවමත් සම්පූර්ණයෙන් නිවැරදිකර නොමැත. වතුවල ජීවත්වන ජනතාවට සේවා සපයන සෞඛ්‍ය පහසුකම් තවමත් ප්‍රධාන ධාරාවෙහි නොමැත. ඒ හා සමානවම, මෙම ජනගහනයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඇතුළු අධ්‍යාපනයෙහි සාධන මට්ටම්වලට ළඟාවීම සැලකිය යුතු ලෙස අඩු අගයක් ගනී. අනෙකුත් ප්‍රජාවන්ට සාපේක්ෂව සලකාබැලීමේදී, මලෛයහ දෙමළ ප්‍රජාව රාජ්‍ය අංශයේ රැකියාවල සහ තෘතීයික අධ්‍යාපනයෙහි නිරතවී සිටීම ඉතා අඩු මට්ටමක පවතින අතර, ඉඩම්, පරිපාලන සේවා සහ සුබසාධන වැඩසටහන් සඳහා ඇති ප්‍රවේශයෙහි දැඩි අසමානත්වයක් පවතියි. බොහෝදෙනෙකුට ලිපිනයක් නැත. මෙම ප්‍රජාවේ සාමාජිකයින් අතර දරිද්‍රතා අනුපාතය ජාතික සාමාන්‍ය අගයට වඩා සැලකිය යුතු ලෙස ඉහළය. ඔවුන් ආපදාවලට ලක්වීමේ වඩාත්ම වැඩි අවදානම සහිත, එහෙත් රජයේ ආපදා පෙරසූදානම් සහ අවම කිරීමේ ක්‍රියාමාර්ගවලට අඩුවෙන්ම ඇතුළත්කර ඇති පිරිස වේ.

සබැඳි පුවත්

ප්‍රජාවේ දේශපාලන තත්ත්වය සහ සමාජ-ආර්ථික යහපැවැත්ම එකිනෙකට සමීපව බැඳී ඇති බව අපි විශ්වාස කරන්නෙමු. දීර්ඝ කාලයක් පුරා වෙනස්කොට සැලකීම, පුරවැසිභාවය නොමැතිවීම, ඡන්ද අයිතිය අහිමිවීම සහ ඉන්පසුව සිදුවු ජනගහනය අඩුවීම අද දක්වාම දීර්ඝ සෙවණැලි නිර්මාණය කරමින් තිබෙන අතර අපගේ ඉල්ලීම්වල ස්වරූපයද හැඩගස්වා ඇත. මෙම ප්‍රජාව පීඩාවට ලක්කළ ව්‍යුහගත ප්‍රචණ්ඩත්වයේ චක්‍ර, එහි ප්‍රතිඵලයක් ලෙස සිදුවන අභ්‍යන්තර හා බාහිර අවතැන්වීම්, ඔවුන් විසින් අත්විඳිනු ලබන වෙනස් ආකාරයේ හා අසාධාරණ සැලකීම් සහ අඛණ්ඩ කොන්කිරීම් අපගේ ඉල්ලීමට වැඩි හදිසිභාවයක් එක්කර ඇත.

‘මලෛයහ එළුච්චි පයනම්’ සියලුදෙනාටම විවෘතය. සියවස් දෙකක කාලයක් පුරා මලෛයහ දෙමළ කාන්තාවන් හා පිරිමින් විසින් ලබාදුන් දායකත්වය පිළිබඳ ඔබගේ ඇගයීම ප්‍රදර්ශනය කිරීම සඳහාත්, මලෛයහ දෙමළ ප්‍රජාව වෙත සහයෝගීතාව දක්වමින් ඔබේ හඬ එක්කිරීම සඳහාත්, අප සමඟ එක්ව ඇවිදීමට අපි ඔබ සැමට ආරාධනා කරන්නෙමු. කිලෝමීටර කිහිපයක්, සම්පූර්ණ දවසක් හෝ සම්පූර්ණ ගමන පුරා අප සමඟ සම්බන්ධවීමට අපි ඔබට සාදරයෙන් ඇරයුම් කරන්නෙමු. මෙම ගමන්මාර්ගය පුරා සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන්වලටද ඔබට සහභාගී විය හැකිය.

ඔබට මෙම පාගමනට සහභාගීවීමට නොහැකි නම්, පාගමනට සමගාමීව ඔබ ප්‍රදේශයේ විවිධ ක්‍රියාකාරකම් දියත් කරමින්, චිත්‍ර, රචනා, ගීත, වීඩියෝ සහ සමාජ මාධ්‍ය පළකිරීම් හරහා නිර්මාණාත්මක ලෙස පාගමනට සහයෝගය දැක්වීමට ඔබව උනන්දු කරන්නෙමු. ගෞරවාන්විතව සැලකීමට සහ ශ්‍රී ලංකාවේ පුරවැසියන් වශයෙන් පූර්ණ හා අර්ථවත් ලෙස සහභාගීවීමට මලෛයහ දෙමළ ජනතාවගේ ගමනේදී ඔවුන්ගේ අතීතය, වර්තමානය සහ අනාගතය පිළිබඳ සංවාදයක සහ සාකච්ඡාවක නිරතවීමට අපි අපගේ සහෝදර පුරවැසියන් දිරිමත් කරන්නෙමු.

‘මාන්ඹුමිගු මලෛයහ මක්කල් සාමූහිකය’

ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය සහ පුළුල් සිවිල් සමාජ සංවිධාන සමූහයක් හා මලෛයහ ප්‍රජාවට අයත් සහ/හෝ ඔවුන් සමඟ කටයුතු කරන පුද්ගලයින්