සේවා ස්ථානයේ සෞඛ්‍ය හා ආරක්ෂාව සම්බන්ධයෙන් වන සංස්කෘතියක් රට තුළ නිර්මාණය කළ යුතු බවත්, එම සංස්කෘතිය තමන්ගෙන්, තමන්ගේ ආයතනයෙන්ම පටන් ගත යුතු බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.
වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය ආයතනය විසින්, ආයතනවල සෞඛ්‍ය හා ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති පියවර අගය කරමින් ලබාදෙන සම්මාන ප්‍රදානෝත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීවේය.
අපේ රටේ මිනිස්සු දුක් විදපු හැටි, අනාගතය ගැන බලාපොරොත්තු නැති වුන කාලයක් තිබුණා. තෙල්, ගෑස් පෝලිම්වල දුක් විදපු හැටි, බෙහෙත් නැතිව අම්මලා තාත්තලා රෝහල්වල මැරුණ හැටි දැන් මතක නෑ. කර්මාන්තශාලා පවත්වාගෙන යන්න ඒ දවස්වල හැකියාව තිබුණාද? බංකොලොත් රටක් විදියට මේ රට ප්‍රකාශයට පත් කළාට, ලංකාවේ තිබුණ කර්මාන්ත ශාලා වෙන රටවලට අරගෙන ගියා. මීට අවුරුදු එකහමාරකට කලින් අපේ රට ගැන, අපේ දරුවන් ගැන බලාපොරොත්තු අහිමිවෙලා තිබුණේ. එදා අපිට අපි නැතිවුනා. අපි පාරේ තෙල් ගහගනිපු කෙනාට පහර දුන්නා. පාරවල්වල ගහ මරා ගත්තා. අපි අපි ගහ මරා ගත්තා.
පෝලිම පැන්නොත් ගැහුවේ, මැරුවේ අපේ මිනිස්සු. එදා තිබුණ තත්වයත් එක්ක සමහරු මේ රට හැර දමා යනවා. ව්‍යාපාරිකයන් රට හැරදා යනවා. මුදල් වෙනත් රටවලට අරගෙන යනවා. මේ වැටුණ රට ගොඩ ගන්න ඕන කියලා කල්පනා නොකළා නම්, ඔබේ ආයතන ගොඩ නගන්න අවශ්‍යයි කියලා හිතලා වැඩ කළේ නැතිනම් මේවා ගොඩ ගන්න ලැබෙන්නේ නෑ.
රටක් විදියට අපි වැටුණා. වැට්ටුවා. වට්ටපු අයට මොනවාද කරන්නේ කියලා කතා කරනවාට වඩා අපි නැගිටින හැටි ගැන ක්පනා කරන්න ඕන. අපි නැගිටින එක මගෙන්ම පටන් ගන්න ඕන. තමන්ගෙන්ම ඒක පටන් ගන්න ඕන. අපි අපි ගොඩ නැගෙන්න මගෙන් පටන් ගන්න ඕන කියලා තමයි මම විශ්වාස කරන්නේ. එකිනෙකාට චෝදනා නොකර අපි මේ රට ගොඩ නගන්න තමන්ගෙන්ම පටන් ගනිමු.
අපේ රටේ සේවා ස්ථානයේ සෞඛ්‍ය හා වෘත්තීය සුරක්ෂිතතා සංස්කෘතියක් හදාගන්න ඕන. ඒකට අපි මහන්සි වෙන්න ඕන. අපි වෙනසක් ඉල්ලලා අරගල කරනවා. ඒත් අපි වෙනස් වෙන්න කැමැති නෑ. දැන් වෙනස් වෙන්න හොදම කාලය ඇවිත් තියෙනවා. මේ වෙනස වෙනස් කරන්න අවශ්‍ය නිසාම තමයි රටේ අන පනත් රාශියක් වේගයෙන් වෙනස් කරන්නේ. හොරකම් කළේ කවුද කියන එකට වඩා නැවත හොරකම් කරන්න බැරිවෙන්න, ජාතිවාදය ගැන කතා කරනවාට වඩා නැවත ජාතිවාදය ගැන කතා කරන්න බැරිවෙන තැනට ගේන එක තමයි වැදගත්
ජනවාරි මාසය වන විට කම්කරු ක්ෂේත්රයේ අන පනත් රැසක් වෙනස් කරන්න කටයුතු කරනවා. අලුත් රැකි රක්ෂා පනත යටතේ වෘත්තීය ආරක්ෂාව හා සෞඛ්‍ය සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස්වරයාට බලය පවරන පරිච්ඡේදයක් ඇතුළත් කරනවා. ඒක අපෙන්ම පටන් ගන්නවා.
රටේ සේෆ්ටි කල්චර් එකක් පටන් ගැනීම සදහා අපි පුද්ගලික අංශයත් එක්ක එකට අත්වැල් බැදගන්න කියලා මම ආරාධනා කරනවා. ඒ සදහා වන දැනුවත් කිරීම් අපි ආරම්භ කරමු. සේෆ්ටි කල්චර් එකක් හදන්න ගියාමත් සමහරු ඒකට විරුද්ධ වේවි.
හොරණ කර්මාන්ත ශාලාවක පුද්ගලයින් හය දෙනෙක් මරණයට පත්වුනා. ඒ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොතිබුණ නිසා. මේවට විරුද්ධව නඩු දාපු සහකාර කම්කරු කොමසාරිස්වරයා සති දෙකක් බන්ධනාගාරගතව සිටියා. කම්කරු කොමසාරිස් ජනරාල්වරයා විදියට කටයුතු කරපු දැන් අමාත්‍යාංශ ලේකම්වරයා හිරේ දාන්න හැදුවා. ආරක්ෂාව ගැන කිසිදු තැකීමක් නොකළ කර්මාන්ත ශාලාවේ අය නිදැල්ලේ ඉන්නවා. නඩු දාපු අයට හිරේ යන්න වෙලා. මෙහෙම වෙලා තිබියදී සේෆ්ටි කල්චර් එකක් හදන්නේ කොහොමද?
ඒ නිසා තමයි නීති රීති හදන ගමන් සේෆ්ටි පිළිබද සංස්කෘතියක් නිර්මාණය කරන්න උත්සාහ ගන්නේ.
ඉහළ පරිමාණයේ සිට කුඩා පරිමාණය දක්වා වැඩපොලේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරලා, ඔබේ ආයතන අරගෙන ඇවිත් තියෙනවා. මේක විශේෂඥ දැනුමත් අරගෙන ප්‍රතිපත්ති හදලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරලා තියෙනවා. සියලුම ආයතන සම්බන්ධ කරගෙන සේෆ්ටි පොලිසි එක රට ඇතුලේ ක්‍රියාත්මක කරනවා.
ගිය අවුරුද්දේ මේ සමුළුවේදී සේෆ්ටි ඔෆිසර් කෙනෙක් පත් කිරීම අනිවාර්ය කරන බව පැවසුවා. ඒක අපි අලුත් රැකි රක්ෂා පනතට ඇතුළත් කරලා තියෙනවා.