සෑම වසරකම, කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය නොවැම්බර් 25 දිනට යෙදී ඇත. කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි ප්රචණ්ඩත්වය යනු ලෝකයේ වඩාත්ම ප්‍රචලිත සහ පැතිරී ඇති මානව හිමිකම් උල්ලංඝණයන්ගෙන් එකකි. ගෝලීය වශයෙන්, ඇස්තමේන්තු කර ඇති කාන්තාවන් මිලියන 736 කින් තුනෙන් එකක ප්‍රතිශතයක් ශාරීරික සහ/හෝ ලිංගික සමීප සහකරු විසින් ප්‍රචණ්ඩත්වයට, හවුල්කාර නොවන ලිංගික හිංසනයට හෝ ඒ් දෙකටම ගොදුරු කරගන්නා බව අනාවරණය වී තිබේ.
කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය, නොවැම්බර් 25- දෙසැම්බර් 10 දක්වා දියත් කිරීම සනිටුහන් කරයි. ජාත්‍යන්තර මානව හිමිකම් දිනය (දෙසැම්බර් 10) සමරන දිනයෙන් අවසන් වන දින 16 ක ක්රියාකාරීත්වයක් එහි සංකේතවත් කරයි. 2023 වැඩසටහන, කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි ප්රචණ්ඩත්වය වැලැක්වීමට ආයෝජනය කිරීම ප්රචණ්ඩත්වය අවසන් කිරීම ගැන ඔවුන් කොතරම් සැලකිලිමත්ද යන්න පෙන්වීමට පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනු ලබයි.
කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිකයින් 1981 සිට ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි දිනයක් ලෙස නොවැම්බර් 25 නිරීක්ෂණය කර ඇත. මෙම දිනය තෝරාගෙන ඇත්තේ 1960 දී රටේ පාලකයා වන රෆායෙල් ටෘජිලෝගේ නියෝගයෙන් අමානුෂික ලෙස ඝාතනය කරන ලද ඩොමිනිකන් ජනරජයේ දේශපාලන ක්‍රියාකාරීන් තිදෙනා වන මිරාබල් සහෝදරියන්ට ගෞරව කිරීම සඳහා ය.
1993 දෙසැම්බර් 20 වන දින, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 48/104 යෝජනාව හරහා කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කිරීම පිළිබඳ ප්‍රකාශය සම්මත කරන ලද අතර, ලොව පුරා කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි ප්රචණ්ඩත්වය තුරන් කිරීමේ මාවත එමගින් විවර කරන ලදී. අවසාන වශයෙන්, 2000 පෙබරවාරි 7 වන දින, මහා සභාව විසින් 54/134 යෝජනාව සම්මත කරන ලද අතර, නොවැම්බර් 25 ප්‍රචණ්ඩත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය ලෙස නිල වශයෙන් නම් කරන ලදී.
මෙහෙව් පසුබිමකදී වුවද, වර්තමානයේ කාන්තාවට සහ ගැහැනු ළමයින්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වයන්හී ක්‍රියා වසංගතයක මට්ටමෙන් පැතිර පවතී. එනිසා ම එය විශ්ව ගැටළුවක් වන අතරම ඒ වෙනුවෙන් ගෙවන මානව පිරිවැයද අති විශාලය. ඇතැම්විට අදෘශ්‍යමානය. යටත් පිරිසෙන් ලෝකයේ සෑම කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් කාන්තාවක්ම ඇගේ ජීවිත කාලය තුළ පහරකෑමට, ලිංගික හෝ වෙනත් අපයෝජනයන්ට ලක් වෙයි. ඒ අනුව වර්තමානයේ ලාංකික කාන්තාවට ද ආර්ථික ක්රමයේ පවතින ආර්ථික සූරා කෑමට, ලිංගික අපයෝජන, දේශපාලන බැහැරකිරීම් හා නීතිමය වෙනස්කම්වලට මුහුණ දීමට සිදුව තිබේ.
මේ ආකාරයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහස්ර අරමුණු හරහා පසුගිය පසුගිය දශක කිහිපය තුළ ලෝක ආර්ථික හා දේශපාලනය තුළ සිදු වූ වෙනස්කම් නිසා මෙම කාන්තාවන්ට සිදුවන වෙනස්කොට සැලකීම් යම්තාක් දුරට යටපත් කිරීමට සමත් වී ඇත. උදාහරණයක් ලෙස බ්‍රසීලයේ (2011) ජනවාරි 01 දින ජනාධිපතිධූරයට පත් ඩිල්මා රූසෙව් එරට පළමු ජනාධිපතිවරිය වන අතර ඇය පාර්ලිමේන්තුව තුළ කාන්තා හිංසනයට ඒරෙහිව දැඩි නීතිරීති මාලාවක් සම්මත කළාය.ඒ අතර කාන්තාවක හිංසනයට ලක් කරන පුද්ගලයකු හිරගේ හිරගෙදරට නොයවන නමුත් ඇයට වන්දි දිය යුතුය. ආබාධිත කාන්තා වක් හිංසනයට ලක් කරන්නකුට ඇය ජීවත්වන තාක්කල් ජීවත්වීමට සරිලන මුදලක් මාස්පතා ගෙවීමට සිදු වීම ආදිය දැක්විය හැකිය.
වර්තමානයේ කාන්තාව ආර්ථික හා සමාජ තත්වය දියුණු වීම වැනි කාරණා තුළ දී ඇයට මෙම ආර්ථික ක්රමයේ පවතින ආර්ථික සූරා කෑම, ලිංගික අපයෝජන හා දේශපාලනික බැහැරකිරීම්, නීතිමය වෙනස්කම්වලට මෙන්ම ගෘහය තුළද යම් යම් ගැටලුකාරී තත්වයන්ට මුහුණ දීමට සිදුව අත. මෙවෙනි තත්වයන් මගහරවා ගනීමට නම් ආකල්පමය, ආර්ථික අතින් මෙන්ම දේශපාලනික හා නීතිමය වශයෙන් ද ඇය බල ගැන්වීමක් කළයුතු බව පැහැදිලිය. ස්ත්‍රී පුරුෂ සමාජභාවය ඇතිකිරීමේදී යුක්තිය හා සාධාරණත්වය මත පදනම් වූ ආර්ථික හා දේශපාලන ක්‍රමයක් ඇති වීම ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ දී ප්‍රයෝජනවත් ය.
කාන්තා හිංසනය සමානාත්මතාවය, සංවර්ධනය, සාමය මෙන්ම කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ මානව හිමිකම් සපුරාලීමට බාධාවක්ව පවතී. සමස්තයක් ලෙස ගත් කල, තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) පොරොන්දුව කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි හිංසනයට තිත තැබීමෙන් තොරව සාක්ෂාත් කරගත නොහැක.
2023 කාන්තාවන්ට හා ළමුන්ට එරෙහි ප්රචණ්ඩත්වය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ට්විටර් පණිවිඩයක් තබා තිබේ. "කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය කොතැනක හෝ ඕනෑම ආකාරයකින්, එක් වරක් සහ සදහටම ඉවසා සිටීම ප්‍රතික්ෂේප කරන ලෝකයක් ගොඩනගමු." හෙතෙම පවසා ඇත.
කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්ය පිටුදැකීම පමණක් ප්‍රමාණවත් නැත. ඊට එරෙහිව නීති රීති සම්පාදනය වීමත්, ඒ්වා තදින් තරාතිරම නොබලා ක්‍රියාත්මකවීමත් අතිශය වැදගත්ය. ඒ් වෙනුවෙන් ජාත්‍යන්තර වශයෙන් අවධානයට ලක්ව ඇති නිදසුන වන්නේ බ්‍රසීලයයි.
බ්‍රසීලයේ Maria de Penha Law නීතිය ඓතිහාසිකය. සැමියාගේ ප්‍රහාරයකින් දෙපා පණ නැති තත්ත්වයකට පත්වූ කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිණියකගේ නමින් එය නම්කර තිබේ. 2006 දී පණවන ලද එම නීතිය කාන්තාවන්ට එරෙහි ගෘහස්ථ හිංසනයට එරෙහිව සටන් කරන පළමු බ්‍රසීලියානු ෆෙඩරල් නීතිය විය. එමගින් ගෘහස්ථ සහ පවුල් ප්රචණ්ඩත්වයේ ආකාර නිර්වචනය කරන අතර 60,000 කට වැඩි ජනගහණයක් සිටින නගරවල ගෘහස්ථ හා පවුල් ප්රචණ්ඩත්වය සඳහා දැඩි දඬුවම් පැණවීමේ බලය සහිත විශේෂ උසාවි, කාන්තා පොලිස් ස්ථාන සහ කාන්තාවන් සඳහා පැය 24 පුරා ආරක්ෂිත නිවාස ඇතුළු වැළැක්වීමේ සහ ප්‍රතිචාර දැක්වීමේ යාන්ත්‍රණ මාලාවක් නිර්මාණය කර ඇත. නීතිය ක්‍රියාත්මක වන්නේ කොහිදීද සහ කෙසේද යන්න සොයා බැලීම සඳහා කාන්තාවන්ගේ නායකත්වයෙන් නිරීක්ෂණාගාරයක් ද31 ස්ථාපිත කරන ලදී. සමීක්ෂණ මගින් පෙන්නුම් කරන පරිදි සියලූම බ්‍රසීලියානුවන් පාහේ (98%) මෙම නීතිය ගැන අසා තිබේ. බොහෝදෙනාට (66%) එහි අරමුණ සහ ක්‍රියාකාරිත්වය හුරුපුරුදුය.
තත්ත්වය මෙසේ වුවද, එය ලෝකයේ සියලු රටවලට පොදු තත්ත්වය නොවේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ, සෑම වසරකදිම මිලියන 2.4 ක් කාන්තාවන් හිංසනයට හා පහරදීමට ලක් වන අතර, ප්‍රජනක වයසෙහි සිටින කාන්තාවන් වැඩි වශයෙන්ම අනතුරු වලට ලක්වන හේතුවද මෙයවේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ එම ප්රතිශයත 28% ක් හා එංගලන්තයේ 25% කි. ‘’එංගලන්තයේ වසරක් පාසා කාන්තාවන් 10 කගෙන් එක් අයෙක් බරපතළ ලෙස තම පුරුෂයාගෙන් හිංසනයට හා පහර කෑමට ලක් වන අතර, ඇමෙරිකා එක්සත් ජනපදයේ සෑම තත්පර 15 කට වරක් කාන්තාවක් තම සහකරුගේ පහරදීම් වලට ලක් වේ. (Epstein 1998)
ශ්‍රී ලංකාවේද තත්ත්වය වෙනස් නොවේ. මෙවර අප එය සමරනු ලබන්නේ, කාන්තාවන්ට මෙන්ම කුඩා දැරියන්ට ද එරෙහිව සිදුවන හිංසනයන් මෙන්ම, බරපතළ ලිංගික අපයෝජන සිද්ධීන් ද ඉහළ යමින් පවතින පසුබිමක දී යි. ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශයේ දත්තවලට අනුව, බරපතළ ලිංගික අපයෝජන සම්බන්ධ පැමිණිලි 10-15ත් අතර සංඛ්‍යාවක් දෛනිකව පොලිස් ස්ථාන වෙත වාර්තා වෙමින් ඇත. සිය පෙම්වතා අතින් මෙන්ම, පියා අතින්, සහෝදරයින් අතින්, ළඟම ඥාතීන් හෝ මවගේ අනියම් පුරුෂයා අතින් දැරියන් අපයෝජනයට ලක්වන සිද්ධි වාර්තාවීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බව පොලිසිය පවසයි. අපයෝජන සිද්ධිවලට බොහෝ විට මුහුණ පාන්නේ මව සිටින දැරියන් බවත්, මවගේ නොසැලකිලිමත්කම මෙන්ම මවගේ භූමිකාව දුර්වල වූ අවස්ථාවන්වල දරුවන් මෙවැනි තත්ත්වයන්ට මුහුණ පාන බවත් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශයේ අවබෝධය යි.
ඉතාම මෑත තත්ත්වය සලකා බැලුවද, මෙම අපරාධයන්හි වර්ධනයන් මිස වෙනසක් දක්නට නොමැතිවීම ඉතාම කනගාටුදායකය. 2023 ඔක්තෝබර් මාසය තුළ පමණක් අවුරුදු 16ට අඩු ගැහැනු දරුවන් 131 දෙනෙකු දුෂණයට ලක්ව ඇතැයි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.පසුගියදා පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය කියා සිටියේ, ඒ අතුරින් දරුවන් 10 දෙනෙක් මේ වනවිට ගර්භණීභාවයට පත්ව ඇති ඇති බවයි. සැප්තැම්බර් මාසයේ දී ද 16 ට අඩු ගැහැනු දරුවන් 168 දෙනෙක් දුෂණයට ලක්ව ඇති බවත්, ඒ අතුරින් 22ක් ගැබ් ගෙන ඇති බවත් ඇය වැඩිදුරටත් පවසා සිටියාය.
මෙහෙව් පසුබිමක රටේ නීති සම්පාදනය කරන ව්‍යවස්ථාදායකය (පාර්ලිමේන්තුව) කෙතරම් ශක්තිමත්ව මේ සම්බන්ධයෙන් පෙනී සිටිය යුතුද? එහෙත් අපගේ පාර්ලිමේන්තුව තුළද, ස්ත්රීන්ට එරෙහි ලිංගික අඩත්තෙට්ටම් ඉහළ ගොස් ඇති අතර මේවන විටත්, පාලන අංශයේ වගකිව යුත්තෙකු ඇතුළු තිදෙනෙකුට එරෙහිව ඔවුන්ගේ වැඩතහනම් කරමින් නීතිය ක්‍රියාත්මක වෙමින් තිබේ. කෝප් කමිටුවේ සභාපතිවරයාට පවා කාරක සභාව නියෝජනය කළ නිලධාරිණියකට ලිංගික බලහත්කාරකම් කළ බවට චෝදනා එල්ලවීම කෙතරම් කනගාටුදායකද? අප විසඳුම් සෙවිය යුත්තේත්, ක්‍රියාත්මක විය යුත්තේත් මෙවැනි රටක, මෙවැනි පසුබිමක බැව් පමණක් වුව තේරුම් ගැනීම ද, අද දවසේ වැදගත් බව අපගේ හැඟීමයි.
පී.ඩබ් මුතුකුඩආරච්චි