ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින්නේ විවිධ ජාතීන් නොව එකම ජාතිය ශ්‍රී ලාංකික ජාතියයි. සිංහල,දෙමළ,මුස්ලිම් අපි හැමෝම තවමත් එය එක සිතින් පිළිගන්නට සූදානම් නැත. සිංහලයා සිතන්නේ රටේ හිමිකම උරුම අපට විතරයි යනුවෙනි. දෙමළා සිතන්නේ උතුරු නැගෙනහිර අපේ විතරයි කියාය.
ලාංකික ඉතිහාසයේ සිට ඒ විරසක කම අද දක්වාම රට පුරා දිගහැරෙයි. වසර තිහක් තිස්සේ මහා මනුෂ්‍ය ඝාතන සහිත යුද්ධයක්ද ඇතිවීමට හේතුව වූයේ මේ සිංහල දෙමළ විරසක කමයි. තවදුරටත් එය එසේ විය යුතු නැත. අපි ඔක්කොම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස මේ මහ පොළොවේ අයිතියත් සමග සමගියෙන් ජීවත් විය යුතු නොවේද?
නූතන පරම්පරාව යල්පැනගිය හරසුන් අදහස් පසෙකට වීසිකර මේ සඳහා පෙරමුණ ගෙන කටයුතු කළ යුතු නොවේද? අපි උතුර බෙදාගන්නට, දකුණ බෙදාගන්නට මිනිස් ජීවිත පවා බිලි දෙමින් වීරසකකම් ඇති කරගෙන ජීවත් වුවත් දේශපාලන, සමාජීය ,ආර්ථික වාසි ගන්නා උදවිය අපූරුවට ජීවත් වන්නේ, අපට ඔවුනොවුන් කා කොටා ගන්නා, කුලල් කා ගන්නා, මරාගන්නා ක්රමයන් නිර්මාණය කර එකම විදිහේ අසාධාරණයක් උතුරටත්, දකුණටත්, නැගෙනහිරටත් ලබාදෙමින්ය. උන් අපූරුවට ජීවත් වන්නේ දෙමළාත්, සිංහළයාත්, තම්බියාත් කොයි මිනිසාත් නොමැරී ජීවත් වන තත්ත්වයකට පත්කරය. අපි තේරුම් නොගෙන ඇත්තේ එතැනයි.
පසුගිය දින දෙකක කාලයක් වව්නියාව ප්‍රදේශයේ දමිළ තරුණියන් පිරිසක් කටුනායක ප්‍රදේශයට ගෙන්වා අප විසින් කරන ලද අත්දැකීම් හුවමාරු වැඩසටහනේදී අප තේරුම් ගත්තේ අපි පොඩි තැනින් පටන් ගත්තොත් සියලු මිනිසුන් අතර සාමය ගොඩනැගීම අපහසු කාරියක් නොවන බවයි. ඔවුන් කර්මාන්තශාලා ආශ්‍රිතව සේවය කරන තරුණියන් පිරිසකි. කටුනායකින් ඔවුන් සමග එකතු වූයේ නිදහස් වෙළඳ කලාපයේ වැඩ කරන තරුණියන් පිරිසකි. ඒ අතර වැන්දඹුවන්, තනි මව්වරුන්ද විය.
එතනදි තරුණකම ,තාරුන්‍යයේ ආකල්ප, එකිනෙකා අතර අල්ලාප,සල්ලාප, ඔවුන් සඳහා කෑම බීම සපයාදීම, තෑගි බෝග හුවමාරු කර ගැනීම්, එකම කාමරයේ රාත්‍රීය ගත කිරීම්, බෝඩින් ජීවිතය දැක බලා ගැනීම දෙපිරිසම ඉතා ආසාවෙන් සිදු කරනු අප දුටිමු.
උතුරේ ඔවුන්ට කුඩා ඉඩමක අයිතියක් හෝ තිබුණත් වගා කර ගැනීම සඳහා මිල මුදල් නොවීය. දකුණේ ඔවුන්ට ඉදිරි කාලයේ ජීවත්වීමට ඉඩමක් කඩමක් නිවාසයක් නොමැත. උතුරේ ඔවුන්ගෙන් මුළු දවසම සමහර විට දවසම හිටගෙන නිෂ්පාදන ඉලක්ක ලබාදෙන ලෙස බල කරයි. දහවල් කෑම පත කකා සිටියදී පවා සුපවයිසල් වරුන් පැමිණ ඉක්මනින් කන ලෙසත් කෑම කා ඉක්මනින් අවසන් කර ඇවිත් ටාගට් එක සපුරන ලෙසත් බල කරයි.ඒ වගේම උතුරේ ඔවුන්ටත් මේ දිනවලින් ඇනෙවුම් නැතැයි කියමින් ලබා දෙන්නේ මූලික වැටුප පමණකි.උතුරේ කම්කරුවන් අතර මෑන් පවර් කම්කරුවන් බොහෝ විට කාන්තාවන්ට අඩු වැටුපකුත් පිරිමින්ට වැඩි වැඩිපුත් ලබන බව ඔවුන් කියයි. එවිට දකුණේ මොවුන් පවසන්නේ අපටත් එය එසේම බවයි. ඒ වගේම කඩේකින් බඩු ටිකක් ගන්න ගියොත් රුපියල් දහසකින් එක වේලක් කෑමටවත් බඩු ගත නොහැකි බව උතුරේ ඔවුන් පවසන අතර දකුණේ මොවුන් හිස සලා අනුමත කරන්නේ එහෙත් මෙහෙත් එක්කම තත්ත්වය බවයි.
උතුරේ වැන්දඹුවක් හෝ තනි මවක් හොඳ ට ඇඳ පැළඳ ගෙන පැළඳගෙන එළියට බැස්සොත් ඇය ලිංගික සැප සොයා යන බවට සමාජය ඉඟි සපයයි. දකුණේ මොවුන් පවසන්නේ එය කටුනායකටද සමාන බවයි. මෙවැනි බොහෝ දෑ උතුරේත් දකුණේත් දෙපිරිසම අදහස් හුවමාරු කරගත් අතර පසුව ඔවුන් තේරුම් ගත්තේ එකම ක්‍රමයක් එකම ලෙසට ශ්‍රී ලංකාව පුරා පැතිර ඇති බවයි. අවසානයේ ඔවුන් තේරුම් ගත්තේ රටපුරා පැතිර ඇත්තේ බලය ඇති සුළුතර පිරිසක් විසින් මෙහෙයවනු ලබන අසාධාරණ ක්‍රියා පිළිවෙතක් බවත් එයට සාධාරණයක් ඉටුකරගත හැක්කේ සියලු දෙනා ම එකා මෙන් එකට කම්කරුවන් ලෙස සිට අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා සංවිධාන ගතව අරගල කිරීමෙන් පමණක් බවයි.
(රතු විත්ති)