ආණ්ඩුකාර ලේකම්ගේ ලිපියට පරිපූරක වෛද්‍ය මේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ දැඩි විරෝධය

psm-logo

2024 බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ වාර්ෂික ස්ථාන මාරු සම්න්ධයෙන් බස්නාහිර ආණ්ඩුකාරවරයා වෙත පරිපූරක වෛද්‍ය මේවා ඒකාබද්ධ බලමණ්ඩලය විසින් ලිපියක් යොමුකර ඇත.

එම ලිපියේ සඳහන් වන්නේ, පළාත් සෞඛ්‍ය බලධාරීන්ගේ අත්තනෝමතික හා උඩඟු ක්‍රියාකලාපයන් හේතුවෙන් වසරකට ආසන්න කාලයක් පුරා උක්ත කරුණට අදාලව සිදු වූ ලිපි ගනුදෙනු සාකච්ඡා වැනි සියලු කරුණු වලට අදාල විස්තර සහිතව අප විසින් යොමුකල අංක JCPSM/Gen/2024 (52) දරණ 2024.12.27 දිනැති ලිපිය හා බැඳේ,

සමාජවාදී මූලධර්ම මත පදනම්ව මහජන හිතසුව පිණිස රාජ්‍ය පාලනය හා පරිපාලනය මෙහෙයවීමේ අභිප්‍රාය පෙරදැරිව මෙරට බිහිවූ ප්‍රථම රජයේ ප්‍රථම බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර ධුරය හොබවන ඔබ තුමා විසින් උක්ත කරුණු දැක්වීම හමුවේ පවා ඊට අදාලව ලබා දී ඇති පාර්ශ්වික තීරණය හා එම තීරණය මත පදනම්ව බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෙත ආණ්ඩුකාර ලේකම් කේ.කේ.ජී.අයි.ඩී.පී. විජේතිලක විසින් නිකුත් කර ඇති අංක GOS/ADM/12/8/79 දරණ 2025.01.24 ලිපියේ වන නියෝග දැඩි අප්‍රසාදයෙන් යුතුව හෙලා දකිමු.

ඉතාම අසාධාරණ ලෙස කිසිඳු පාරදෘශ්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය නොකරමින් හිටි හැටියේ ඒකපාර්ශ්විකව ක්‍රියාත්මක කිරීමට උත්සහ කල ස්ථාන මාරු ක්‍රමවේදයක් හමුවේ පවා වගකිව යුතු වෘත්තිකයන්ගෙන් සැඳුම්ලත්, මෙරට මහජනතාවට හා සෞඛ්‍ය සේවාවට වගකියන වෘත්තීය සමිති හා ඒවායේ ඒකාබද්ධ බලමණ්ඩලයක් ලෙස අපගේත්, අප නිලධාරීන්ගේත් වෘත්තීමයභාවය විදහාපාමින් සෞඛ්‍ය සේවාවේ බිඳවැටීමකින් තොරව උක්ත ගැටලුව විසඳා ගැනීම සඳහා අප කෙතරම් උත්සහ කලද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ ආණ්ඩුකාරවර මට්ටමින් නිලධාරීන්ගේ ගැටලුව විසඳීම කෙසේ වෙතත් ඔවුන්ගේ ගැටලුවට සවන් දීමට හෝ නිහතමානී බවක් පෙන්වා නොමැති බව ඉතා හොඳින් තහවුරු කර ඇත.

ඒ අනුව අකමැත්තෙන් හෝ වෘත්තීය ක්‍රියාමාර්ග වෙත එළඹෙමින් හෝ මෙම අසාධාරණය විසඳා ගැනීමට අපට සිදුවන බව ඉතා ඕනෑ කමින් පෙන්වා දෙන අතරම අප සාමාජිකයන් ලෙස කටයුතු කරන පරිපූරක වෛද්‍ය සේවාවේ නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙස පහත ස්ථාවරයන්ට එළඹෙන බව ප්‍රකාශ කර සිටිමු.

1. උක්ත ස්ථාන මාරු නියෝගය තරයේ ප්‍රතික්ෂේප කරන අතර කිසිඳු නිලධාරියෙකු විසින් ස්ථාන මාරු නියෝග භාර ගනීම, වර්තමාන සේවා ස්ථානයෙන් නිදහස් කිරීමට අදාල ලිපි භාර ගැනීම හෝ ස්ථාන මාරු කරවනු ලැබූ සේවා ස්ථානයේ රාජකාරීට වාර්තා කිරීම යන කිසිවක් සිදු කරනු නොලැබේ.

2. සැබෑ ලෙසම ස්ථාන මාරු අපේක්ෂා කරන නිලධාරීන්ට අදාල නම් ලැයිස්තුව හා ස්ථාන මාරු ක්‍රමවේදයට අදාලව අනුගමනය කරනු ලැබූ පටිපාටිය හා අදාල නිලධාරීන්ගේද සහභාගීත්වය තහවුරු කරමින් කඩිනම් සාකච්ඡාවක් ලබා දෙන තුරු අනෙකුත් වෘත්තීය ක්‍රියාමාර්ග තාවකාලිකව අතිහිටුවීම.

3. 2025.02.12 වන දින වන විටත් කිසිඳු ප්‍රතිචාරයක් නොලැබේ නම් ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග වෙත එලඹෙන අතරම සේවාවන් පවත්වා ගැනීමේ අවශ්‍යතාවයට එහා යමින් පරිපූරක වෛද්‍ය නිලධාරීන් තමන්ට පහසු සේවා ස්ථාන වලින් පලවා හැරීමේ අසාධාරණ වෑයමට එරෙහිව කිසිඳු පෙර දැනුම් දීමකින් තොරව සියලු සේවාවන්ගෙන් ඉවත් වීම ඇතුලු ඉදිරි දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග වෙත යොමු වීම.

එබැවින් මේ සමස්ථ ක්‍රියාදාමය පිළිබඳව ඔබගේ කාරුණික අවධානය යොමු කරන අතරම තිරසාර විසඳුම් ලබා ගැනීම සඳහා කඩිනම් සාකච්ඡාමය අවස්ථාවක් අපේක්ෂා කරන බවත් කාරුණිකව පෙන්වා දෙමු.