ආයුර්වේද, සිද්ධ සහ යුනානි වෛද්‍ය උපාධිධාරීන් සඳහා සීමාවාසික පුහුණුව

ආයුර්වේද, සිද්ධ සහ යුනානි වෛද්‍ය උපාධිධාරීන් සඳහා සීමාවාසික පුහුණුව

බටහිර, ආයුර්වේද, සිද්ධ, යුනානි ඇතුළු ව සමස්ත සෞඛ්‍ය පද්ධතිය වර්තමානයේ දී මෙහෙයවනු ලබන්නේ පුරවැසියා කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය පද්ධතියක් ගොඩනැගීමට  බවත්, වත්මන් රජය පුරවැසියාගේ සෞඛ්‍ය ආරක්ෂණය, ප්‍රතිකාර ඇතුළු සෞඛ්‍ය වගකීම භාරගන්නා බවත්, පුරවැසියාට කැමති නම් ප්‍රතිකාර ගන්නා ක්‍රමය වෙනුවට, පුරවැසියා වෙනුවෙන් වග වන සේවාවක්  බවට සෞඛ්‍ය සේවාව පත්කළ යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මේ බව අවධාරණය කර සිටියේ ආයුර්වේද, සිද්ධ සහ යුනානි වෛද්‍ය උපාධිධාරීන් 160 දෙනෙකු සඳහා සීමාවාසික පුහුණු පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් ය. පත්වීම් ලිපි ප්‍රදානය කිරීම පසුගිය දා  මහරගම, නාවින්න බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතන  ග්‍රවණාගාරයේ දී පැවැත්විණි.

සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස මේ වන විට මුලික අවධාරණය යොමුකර ඇත්තේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේදීත් ජනගහනය 10000 කට, ග්‍රාම නිලධාරී වසම් 4-5 කට, ජනතාවට කිලෝමීටර් 3කට වඩා අඩු දුරක දී ළඟාවිය හැකි සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ආරෝග්‍යා නමින් ආරම්භ කරන බවත්,  එය සුවතා මධ්‍යස්ථානයක් බවත්, එහි වැඩිපුර ම අවධානය යොමු කරනුයේ ජනතාවගේ මනා සෞඛ්‍ය පැවැත්ම සඳහා බව ද එය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ම නොව බෝනොවන රෝග පාලනය කිරීම සඳහා අවශ්‍ය කරන විවිධ ක්‍රියාකාරකම් එහි සිදුකිරිමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.

වර්තමානයේ දී මුහුණ දෙන අභියෝග ලෙස වැඩිහිටි ජනගහනය ඉහළ යාමත්, තවත් වසර කිහිපයකින්  මෙරට ජනගහනයෙන් හතරෙන් එකක් වැඩිහිටියන් වීමත් එය රටට සැලකිය යුතු අභියෝගයක් බව ද පැවසී ය.  වර්තමානයේ සෞඛ්‍ය අංශයේ පවතින බරපතල අභියෝගය බෝනොවන රෝග බව පෙන්වා දුන් අමාත්‍යවරයා දැනට පවතින සංඛ්‍යා ලේඛන අනූව දියවැඩියාවට ගොදුරු වුන අයගෙන් 20% -21% ක් පමණක් පාලනය කරගතහැකි මට්ටමේ ප්‍රතිකාර ලබා ගන්නා බවත්, ඉතිරි 80% නිසි අවබෝධයකින් ප්‍රතිකාර ලබා නොගන්නා බව ද මෙහි දී  පෙන්වා දෙන ලදී. අධික රුධිර පීඩනයෙන් ද පෙළෙන සංඛ්‍යා ලේඛන ද මීට සමාන බව ද අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී.

එමෙන් ම සෞඛ්‍ය ක්ෂේත්‍රය පරිවර්ථනීය වෙනසක, අවධියක සිටින මෙම වකවානුවේ දී මෙම පත්වීම් පිරිනමන බව අවධාරණය කළ අමාත්‍යවරයා, මෙරට ක්‍රියාත්මවන සෞඛ්‍ය සේවාව  ආයතන මුල්කර ගත් සෞඛ්‍ය සේවාවක් බව ද වැඩිදුරටත් අමාත්‍යවරයා  පැවසී ය.

උපාධිධාරියෙක් ලෙස උපාධිය ලබා ගන්නට ගත කරපු අවුරුදු කිහිපයට වඩා මෙම වසර ඉතාම වැදගත් වන බව පෙන්වා දුන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම වසර තුළ දී  ලබා ගන්නා සේවය සහ පුහුණුව නිසි අයුරින් ලබා ගත්විට ජීවිතයට හොඳ ශක්තිමත් අත්තිවාරමක් ලැබෙන බවත් ඒ වෙනුවෙන් ම කැපවන ලෙසට වෛද්‍ය උපාධිධාරීන් ගෙන් ඉල්ලීමක් කර සිටියේ ය.

මෙහි පළමු අදියර යටතේ 217 දෙනෙකු සීමාවාසික පුහුණුවට මින් පෙර බඳවා ගත් අතර එහි දෙවන අදියර යටතේ උපාධිධාරීන් 160  වන අතර එම පිරිස විශ්ව විද්‍යාලයන් හි  2016 – 2017 අධ්‍යයන වසර වලට අදාළව අධ්‍යයන කටයුතුවල නිරත වූ  උපාධිධාරීන් වේ.

මෙම ආයුර්වේද උපාධිධාරීන් කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨය, ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨය, යාපනය විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨය සහ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨය යන යන පීඨවලින් වසර පහක  උපාධි  අධ්‍යාපනය හැදෑරූවන් වේ.

දිවයින තුළ පිහිටි මධ්‍යම රජයේ ආයුර්වේද රෝහල් සහ පළාත් සභා ආයුර්වේද රෝහල් තුළ ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ හා පුහුණු, පළපුරුදු ආයුර්වේද වෛද්‍යවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ වසර 01 ක කාලයක් මෙම උපාධිධාරීන් පුහුණුව ලැබීමට නියමිත ය.

සීමාවාසික පුහුණුව සාර්ථකව නිමකරන නිලධාරීන් ආයුර්වේද වෛද්‍යවරයකු ලෙස ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා ගත යුතුය. මෙම පුහුණුලාභීන් වෙත මාසික ව සීමාවාසික පුහුණු දීමනාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දෙනු ඇත.

මෙම අවස්ථාවට ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ ආයුර්වේද කොමසාරිස් ජනරාල් සමන්ති රණසිංහ, දේශීය වෛද්‍ය ක්‍රම පිළිබද ජාතික ආයතනයේ අධ්‍යක්ෂ විමර්ශන චතුරංග, ආයුර්වේද ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය පරාක්‍රම හේමචන්ද්‍ර, බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජගත් රුහුණගේ, සහකාර කොමසාරිස්  වෛද්‍ය  වසන්ත පද්මකුමාර,  ආයුර්වේද වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය රමේෂා ගුණවර්ධන යන මහත්ම මහත්මීන්, වෛද්‍ය උපාධිධාරීන් ඇතුළුව පිරිසක් එක්ව සිටිය හ.