රාජ්‍ය නිලධාරින් කිහිප දෙනෙකුගේ වැරදි හේතුවෙන් ජනතාවට අගතියක් සිදු වීමට ඉඩ දිය නොහැකියි - කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

mahinda-jayasinghe

රාජ්‍ය නිලධාරින් කිහිප දෙනෙකුගේ ක්‍රියාකලාපය හේතුවෙන් ජනතාවට  අගතියක් සිදු වීමට ඉඩ තැබිය නොහැකි බව ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා අවධාරණය කරයි.

රට තුල පවතින්නේ එක ආණ්ඩුවක් පමණක් බවත් වෙනත් කුඩා කණ්ඩායම්වල අයුතු හැසිරීමට කිසිදු ඉඩක් නොමැති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අවස්ථා ගණනාවකදී ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව මග හැර සිටි  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන්  අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු ව්‍යාප්තිය ඇතුලු සෞඛ්‍ය ගැටළු කිහිපයක් පිළිබඳ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාය–ාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව හමුවේ ඊයේ (28) මේ බව අනාවරණ විය.

බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් කරුණු විමසා සිටියේය.

එහිදී කොමසාරිස්වරිය ප්‍රකාශ කළේ අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනාට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගි කර ගන්නා ලෙස දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ වෙත දැනුම් දුන් බවයි.

ඊට පිළිතුරු දෙමින්  ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති , කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා දන්වා සිටියේ අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියා මාර්ග ගන්නා ලෙසයි.

දිස්ත්‍රික්කය තුල ඩෙංගු වසංගතය ඇතුලු සෞඛ්‍ය ගැටළු පිළිබඳ දැඩි අවධානය යොමු කළ යුතු බවත් දරුවන්ගේ ජීවිත කිසිදු ලෙසකින් අවදානමකට යොමු කළ නොහැකි බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

සබැඳි පුවත්