පරිසර සංරක්ෂිත ආපදා කළමනාකරණයක් අවශ්‍යයි -  නිදහස් වෙළද කලාප හා පොදු සේවක සංගමය

disaster-sri-lanka

නිදහස් වෙළද කලාප හා පොදු සේවක සංගමය පරිසර සංරක්ෂිත ආපදා කළමනාකරණයක අවශ්‍යතාව අවධාරණය කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය පහත සඳහන් පරිදි වේ.

ඉකුත් නොවැම්බර් 28 වන දින සිට බරපතල ලෙස දිග හැරුණු “ඩිට්වා සුළි කුණාටුවට” අද දෙසැම්බර් 15 වන දින වනවිට, දින 19 ක කාලයක් ගත වී ඇතත් නාය යෑම් හා ජල ගැලීම් පූර්ණ ලෙස අවසන්වී නොමැත. එවැනි ආපදා හේතුවෙන් ජීවිත 643 ක් විනාශ වී තවත් 183 ක් අතුරුදහන්ව ඇතැයිද, පූර්ණ වශයෙන් හානි වූ නිවාස 6,200 ක්ද අර්ධ වශයෙන් හානි වූ නිවාස 96,545 ක් ඇතැයිද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඊයේ දෙසැම්බර් 15 වන දින සවස නිකුත් කළ තත්ත්ව විස්තර වාර්තාවෙන් කියැවෙන්නේ ය.

මෙය සාම්ප්‍රදායික, සුපුරුදු සීමාවන් තුළ තොරතුරු ඉදිරිපත් කිරීමකි. දින 19 ක කාලයක් ගත වුවද, මෙහි නිෂ්පාදන කටයුතු අඩාල වූ කර්මාන්ත ශාලා සහ ඒවායේ අවතැන් වූ, විපතට පත් සේවක සේවිකාවන් සම්බන්ධ සනාථ කෙරුණු නිවැරදි තොරතුරු දත්ත නැත. රට පුරා හැම දිස්ත්‍රික්කයකම පාහේ විශේෂයෙන් ඇඟළුම් කර්මාන්ත ශාලා පිහිටුවා තිබීමෙන් බොහෝ කර්මාන්ත ශාලා සහ ඒවායේ සේවක සේවිකාවන් විවිධ ආපදාවන්ට හා අපහසුතාවන්ට හසුව ඇත. ඇඟළුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රකාශකයින්ට අනුව, විශාල කර්මාන්තශාලා 15 ට අලාභහානි සිදුව ඇත. විපතට පත් ප්‍රදේශවල සේවක සේවිකාවන්ගේ පැමිණීම සියයට 20 කින් අඩුවී ඇත.     

මේ සුළි කුණාටුව ඉතිරි කළ සියළු ආපදා වැනි ස්වභාවික විපත් තම වගකීමෙන් බැහැර කිරීමට හැම ආණ්ඩුවක්ම පසුබට නොවූහ. විපත් සඳහා වගකීමෙන් පූර්ණ ලෙස මිදෙන්නට නොහැකි අවස්ථාවන්හි, විපතට පත් ජනතාවට එම ප්‍රදේශ වලින් ඉවත් වන්නට කල් තියා දැනුම් දී තිබුණත් ඔවුන් ඉවත් නොවුනු හෙයින් විපතට ගොදුරුවූ බැව් කියා, එය ජනතාවගේ වරදින් සිදුවූයේ යැයි කියන්නටද ආණ්ඩු ඉදිරිපත් විය.

මෙවැනි ආපදා සම්බන්ධයෙන් 2024 මැයි මාසයේ නාය යෑම් සහ ජල ගැලීම් පිළිබඳව, එවකට විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු සහ වත්මන් ජනාධිපති අනුර කුමාර කියූ අයුරු, "වැසි සුළං ස්වභාවික බව සැබෑය. නමුත් ආපදා ස්වභාවික නොවේ". එය අපිද පිළිගනිමු. මීට අවුරුදු 11 ට පෙර, 2014 ඔක්තෝම්බර් 29 වන දින, සිදුවූ කොස්ලන්ද-මීරියබැද්ද වැවිලිකරය නාය යෑමෙන් එහි කම්කරුවන් ලක් වූ මහා විනාශය ගැන ආණ්ඩු භාරගත යුතු වගකීම් අවධාරණය කරමින් සංගමයක් ලෙස අප 2014 නොවැම්බර් මස 03 වන දින නිකුත් කළ ප්‍රකාශයෙන් කොටස් කිහිපයක් මෙලෙස උපුටා දක්වන්නට කැමැත්තෙමු.

''මීරියබැද්දේ අවදානම ගැන 2005 පළමු වරටත් 2011 දෙවන වරටත් නිවේදනය කර ඇත. දැන් කියන්නේ, ඒ අනුව පදිංචිකරුවන් ඉවත් වූයේ නම්, මේ ඛේදවාචකය සිදු නොවන බවය.........නාය යෑමේ අවදානමක් ඇති ස්ථානවල පදිංචි සියලු පුද්ගලයින් වහා එම තැන්වලින් ආරක්ෂිත ප්‍රදේශ වෙත ගෙන යා යුතු බැව් අපි පිළිගනිමු.......ඇත්ත ප්‍රශ්නය නම්, වැවිලිකරයේ කම්රුවන්ට,...... බසයෙන් උදේ පැමිණ හවස නැවත බසයෙන් යා හැකි රැකියා වත්තේ නැත. එනිසා ඔවුන් විකල්ප ස්ථානවල පදිංචි කරවීම, මහ පරිමාණ ක්‍රියාවලියකි. ඔවුන්ගේ ජීවනෝපාය පමණක් නොව, අවම වශයෙන් ළමුන්ගේ අධ්‍යාපනයට හා රෝහල් පහසුව විසඳෙන විකල්ප ඔවුන්ට තිබිය යුතුය. ඊළඟට මතු වන්නේ වැවිලි කර්මාන්තයේ ගැටළුව ය......වැදගත්ම කාරණාව, නාය යෑමේ ප්‍රධාන වගකීම ඇත්තේ මේ අසරණ වැවිලි කම්කරුවන්ට නොවීමෙහි ය. එය ඇත්තේ විශේෂයෙන් නුවරඑළිය, බදුල්ල දිස්ත්‍රික්කවල කෙටි කාලීන ආර්ථික බෝග වගාව වෙනුවෙන් භූමිය පාවිච්චි කිරීමේ, සැළසුම් නැති, අසංවිධානාත්මක වෙළඳ තරගයෙහි ය. එවැන්නකට වගකිව යුත්තේ ආණ්ඩු ය.”

එතෙක් බලයේ සිටි ආණ්ඩුවල නොසැළකිල්ල, වග වීම් විරහිත ක්‍රියාකලාප විවේචනය කරමින් අපි නතර නොවුනෙමු. නැවත ඉදිරියේදී බොහෝ ප්‍රදේශවල ඇති විය හැකි මෙවැනි ආපදා වළකා ගැනීම වෙනුවෙන් එවකට බලයේ සිටි ආණ්ඩුවට අපි විසඳුමක්ද යෝජනා කළෙමු. අදාල රාජ්‍ය ආයතනද, වැවිලිකරයේ කළමනාකරණය හා කම්කරු නියෝජනයක්ද ඇතිව, විශ්ව විද්‍යාලවල භූවිද්‍යා හා පරිසර විෂය සම්බන්ධ විශේෂඥ දැනුමද හවුල් කර ගන්නා විද්වත් එකතුවකින්, "කන්ද උඩරට ජීවිත හා ඉඩම් සුරැකීමේ සැළැස්මක් ඉදිරි මාස 06 ක කාලයක් ඇතුළත, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු යැයි” අප සංගමය යෝජනා කළෙමු.

මේ වන විට ඒ යෝජනාවට අවුරුදු 11 ක් ගතව ඇත. ඒ අතරතුර 2016 මැයි මාසයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක ප්‍රධානව බරපතල නාය යෑම් ඇති විය. ඉන්පසු අපට අමතක වූ මෑත කාලයේ ජල ගැලීම් හා නාය යෑම් හේතුවෙන් 2018 මැයි මාසයේ දිස්ත්‍රික්ක 19 ක පුද්ගලයින් 21ක් මිය ගිය අතර තවත් 23 ක් තවමත් අතුරුදහන් ය. පුද්ගලයින් ලක්ෂ 04 ක් අවතැන්ව ඇත. ඊළඟට 2020 වසරේදී පැමිණි “අම්ෆාන් කුණාටුව” සමග කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇති වූ විනාශයෙන් 04 දෙනෙකු මිය ගිය අතර, දහසකට වැඩිය අවතැන් වූහ. සැප්තැම්බරයේදී ගම්පහ සහ පුත්තලමේ වැසි කුණාටු හේතුවෙන් 40,000 ක් පමණ අවතැන් වූහ. දෙසැම්බරයේදී දිස්ත්‍රික්ක 14 කළ තද සුළං හා මහා වැසි සමග පුද්ගලයින් 1,11,000 ක් අවතැන් වූහ. පසුගිය 2024 මැතිවරණ වසරේ මැයි සහ ජුනි මාසවල දිස්ත්‍රික්ක 20 ක පුද්ගලයින් 16 ක් මිය ගියහ. රත්නපුර දිස්ත්‍රික්කයේ නිවාස 12,000 ට හානි සිදුවිය. පුද්ගලයින් 6,000 ක් අවතැන් වූහ. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ “නොවැම්බර අංක 01" නම් ශ්‍රී ලංකා වාර්තාවට අනුව, "ෆෙන්ගල් කුණාටුව” හේතුවෙන් දෙසැම්බර් 02 වන දින වනවිට 17 දෙනෙකු මිය ගිය අතර, පුද්ගලයින් 4,75,225 ට සෘජුව බලපෑම් ඇතිව තිබිණ. ඒ සමග, පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස උසස් පෙළ විභාගය කල් තබන්නට සිදුවූ බවද ඔබට මතක ඇතැයි සිතමු.

මේ වත්මන් ආණ්ඩුවට පෙර මෙවැනි ඛේදවාචක සඳහා සමාජයේ පොදු හැඟීම් අමතා කතා කරමින් වියළි ආහාර සහ පිසූ ආහාර බෙදූ, වන්දි මුදල් ලබා දුන් ආණ්ඩු 03 ක් තිබිණ. එළෙස රටකට ඉදිරියට යා නොහැකි යැයි අප කිව යුතු නැත. ජනාධිපති අනුර කුමාර ඉකුත් 30 වන දින ජාතිය අමතා කියූ අයුරු, "....සෑම ක්ෂේත්‍රයකටම අපි දැනුම් දී තිබෙනවා ඔබේ ක්ෂේත්‍රය නැවත ගොඩනැගීමේ වැඩපිළිවෙල සහ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන අපිට ඉතා ඉක්මණින් දැනුම් දෙන්න කියලා. ඒ අනුව අපිට ඉතා වේගවත් සංවර්ධන සැළැස්මක් ඔස්සේ අපේ රට යළි ගොඩ නැගිය හැකිව තිබෙනවා.”

රට ගොඩ නැගීමට පූර්ණ සංවර්ධන සැළැස්මක් ඇවැසි බැව් සැබෑය. පාරදෘශ්‍ය, වගවීමක් සහිත ආණ්ඩු පාලනයක් වෙනුවෙන් එවැන්නක් සම්පාදනය කළ යුත්තේ සමාජ සාකච්ඡාවක් සමගින් යැයි අපි අවධාරණය කරන්නෙමු. එළෙසින්ම වාර්ෂිකව අප මුහුණ දෙන ගංවතුර හා නාය යෑම් උවදුර වළකා ගැනීම වෙනුවෙන් කන්ද උඩරට බරපතල නාය යෑමේ තර්ජනයට ලක්ව ඇති ප්‍රදේශවල පදිංචිකරුවන් ආරක්ෂිත ප්‍රදේශවල පදිංචිකරවීමේ වැඩසටහනක් සහිත අවම වසර 10ක පාරිසරික සංරක්ෂණ සැළසුම්ක් ඊට අයත් විය යුතුය. එයද, මීට වසර 11 ට පෙර අප කියූ ආකාරයේ විද්වත් කමිටුවක් මගින් සැකසිය යුතු යැයි 2025 දෙසැම්බර් මස 14 වන දින රැස්වූ අප සංගමයේ මහා මණ්ඩලය ඒකමතිකව අවධාරණය කර සිටින්නෙමු.

2025 දෙසැම්බර් මස 16 වන දින.