මෙරට වසරකට 10,000 -12,000 ක් පමණ අනතුරු හේතුවෙන් මියයාම, මිලියන 1 ක් නේවාසික රෝගී ප්‍රතිකාර ලබාගැනීම සහ දිනකට මරණ 35 කට ආසන්න ප්‍රමාණයක් සිදුවීම දැඩි ලෙස අවධානය යොමු කළ යුතු කරුණක් බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.
අනතුරු වැළෑක්වීම පිළිබද ජාත්‍යන්තර සමුළුව - 2023 (ICIPSL’23) (20) දින සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් ඒඡ් හිදී පැවැත්විනි. එම අවස්ථාවට එක් වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනොවන රෝග අංශය සංවිධානය කළ මෙම අනතුරු නිවාරණය පිළිබඳ පළමු ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලාංකීය ජනතාවට ඉතා කාලෝචිත සහ වැදගත් විෂයක් බව පැවසූ සෞඛ්‍ය අමාත්‍යවරයා අනතුරු හේතුවෙන් වසරකට රෝහල් ගතවීම් මිලියන 1 ක් වීම අවධානය යොමු විය යුතු සහ ඉතා භයානක තත්ත්වයක් බව ද පැවැසීය. මෙරට වසරකට 10,000-12,000 ක් පමණ අනතුරු හේතුවෙන් මිය යාම, දිනකට මරණ 35 කට ආසන්න ප්‍රමාණයක් සිදුවීම දැඩි ලෙස අවධානය යොමු කළ යුතු කරුණක් බව ද පැවැසීය.
මෙම සමුළුවට සහභාගිව සිටින බොහෝ පර්යේෂකයන් සහ මෙම ක්ෂේත්රයේ ප්‍රවීණයන් ශ්‍රී ලාංකීය වෛද්‍ය ප්‍රජාව සමඟ ඔවුන්ගේ දැනුම බෙදා ගැනීමට මෙහි පැමිණ ඇති බවත්, මෙමගින් මෙරට සෞඛ්‍ය දර්ශක තවත් ඉහළ මට්ටමකට ගෙනයාමට හැකි වනු ඇති බව ද පැවැසීය. මෙරට අනතුරු වැළැක්වීමේ අංශය ශක්තිමත් කිරීම මෙන්ම සෞඛ්‍ය පද්ධතිය තුළ අප විසින් ඇති කරන ප්‍රතිකාර ක්‍රම ශක්තිමත් කිරීම අප ඉදිරියට යා යුතු බහුවිධ ප්‍රවේශයක් බව ද වැඩිදුරටත් පැවැසිය .
අනතුරු වැළැක්වීම පිළිබද ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් පැවැත්වීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනතුරු වැළැක්වීම සහ කළමණාකරණය පිළිබද ජාතික කේන්ද්‍රස්ථානයක් වන බෝනොවන රෝග ඒ්කකය විසින් ප්‍රධාන ක්‍රියාකාරකමක් ලෙස හදුනාගෙන ඇති අතර, ඒ අනුව මෙම ජාත්‍යන්තර සමුළුව අද (20) සහ හෙට (21) යන දෙදින බත්තරමුල්ල වෝටර්ස් ඒඡ් හිදී පවත්වන පවත්වනු ලැබේ. ජාත්‍යන්තර සහ ජාතික සම්මන්ත්රණ ආදිය පැවැත්වීම 2021-2025 අනතුරු වැළැක්වීම සහ කළමණාකරණය පිළිබද බහු ආංශික උපාය මාර්ගික ක්‍රියාකාරි සැළැස්මේ ප්‍රධාන ක්‍රීයාකාරි අංශයක් ලෙස ද හදුනාගෙන ඇත.
මෙම ජාත්‍යන්තර සමුළුව මගින් සාක්ෂාත් කරගැනීමට අපේක්ෂිත අරමුණූ අතර අනතුරු වැළැක්වීමේ ක්‍රියාකාරකම් සැළසුම් කිරීමේ දී සහ සංවර්ධනය කිරීමේ දී යෙදිය හැකි යහපත් භාවිතයන් පිළිබද සාක්ෂි සැපයීම, ආර්ථික හා දේශපාලන න්‍යාය පත්‍රයේ ප්‍රමුඛතා අංශයක් ලෙස අනතුරු වළක්වා ගැනීම පිළිගැනීම ප්‍රවර්ධනය කිරිම, අනතුරු වැළැක්වීමේ අන්තර් ආංශික සම්බන්ධීකරණය සහ සහයෝගිතාව ශක්තිමත් කිරිම සහ දිරිගැන්වීම, දැනුම හුවමාරු කර ගැනීම, සහයෝගිතාවය සහ සබදතා ගොඩනගා ගැනිම සදහා පරිසරයක් නිර්මාණය කිරිම, සාමාන්‍ය ජනතාව අතර දැනුවත්භාවය වැඩිදියුණු කිරිම මගින් ආරක්ෂිත සංස්කෘතියක් වර්ධනය කිරීම වැනි කරුණූ පෙන්වා දිය හැක.
මෙහිදී දේශිය මෙන්ම විදේශිය විද්වතුන්, පර්යේෂකයින්, ප්‍රජා නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, වෘත්තීයවේදීන් ඇතුලු බොහෝ පිරිසක් අනතුරු හා දේශගුණික විපර්යාස, අනතුරු හා ආර්ථීකය, අනතුරු වැළැක්වීමේ ප්‍රජා සහභාගීත්වය, සමාජ අලෙවිකරණය සහ රාජ්‍ය/පෞද්ගලික හවුල්කාරීත්වය, මාර්ග ආරක්ෂාව, දියේ ගිලීමේ ආරක්ෂාව, වෘත්තිය ආරක්ෂාව, විෂවීම් වැළැක්විම, සත්ත්ව ආරක්ෂාව, ළමා ආරක්ෂාව, වැඩිහිටි ආරක්ෂාව, පශ්චාත් කම්පන සත්කාර, අනතුරු දත්ත කළමණාකරණය යන මාතෘකා යටතේ අනතුරු වළක්වා ගැනීම පිළිබදව දීර්ඝව සාකච්ඡා කරනු ලැබේ.
පසුගිය ශක කිහිපය තුල මෙරට රෝහල්ගතවීමේ ප්‍රධානතම හේතුව අනතුරු වේ. සෑම වසරකම මිලියනයකට අධික වින්දිතයන් රජයේ රෝහල්වල නේවාසික රෝගීන් ලෙස ප්‍රතිකාර ලබයි. තවත් මිලියන ගණනක් බාහිර රෝගීන් ලෙස පුද්ගලික අංශයේ වෙනත් බටහිර නොවන වෛද්‍ය වෘත්තිකයන් විසින් ප්‍රතිකාර ලබන අතර, තවත් බොහෝ දෙනෙකු කිසිදු සේඛ්‍ය උපදෙසක් නොගෙන නිවසේ සිට තමන්ම ප්‍රතිකාර කර ගනු ලබයි. රජයේ රෝහල්වලට නේවාසික ප්‍රතිකාර සදහා ඇතුළත්වන සෑම රෝගීන් 5 දෙනෙකුගෙන් හෝ 6 දෙනෙකුගෙන් 1 අයෙක්ම ඇතුළත් වන්නේ අනතුරු සදහා ප්‍රතිකාර ලබාගැනීමට බව බෝනොවන රෝග ඒකකය පෙන්වා දෙයි. මෙරට වසරකට 10,000-12,000 ක් පමණ අනතුරු හේතුවෙන් මියයන බව ගණන් බලා ඇත. එනම් දිනකට 35 දෙනෙක් පමණ වේ. ඒ අනුව සෑම පැය 03 කටම 04 දෙනෙක් අනතුරු නිසා ජිවිතක්ෂයට පත් වේ. තවද ආර්ථික වශයෙන් ඵලදායි වයස් කාණ්ඩය වන වයස අවුරුදු 15-44 වන කණ්ඩායමේ ප්‍රධානතම සෞඛ්‍ය ගැටළුව අනතුරු වන අතර, එම වයස් කාණ්ඩයේ මරණවලට ප්‍රධාන හේතුව අනතුරු වේ. ප්‍රවාහන අනතුරු වලින් පමණක් වාර්ෂිකව පුද්ගලයන් 3,000 ක් පමණ ජිවිතක්ෂයට පත්වන අතර, ගෙල වැළ දා සියදිවි හානිකර ගැනීම් ද ඇතුලුළුව හුස්ම හිරවීම නිසා පුද්ගලයින් 2,000 ක් පමණ ද, දියේ ගිලිම් සහ වැටීම් වලින් පිළිවෙලින් තවත් මරණ 1,000 ක් සහ 1,500 ක් පමණ සිදු වේ. විවිධ ද්‍රව්‍ය විවිධාකාරයෙන් විෂ වීමෙන් 1,200 ක් පමණ මරණ සිදුවන අතර, විදුලිසැර වැදීම්, පිළීස්සුම් සහ සතත්ත්ව දශ්ඨන සහ සතුන්ගේ ප්‍රහාරවලට ලක්වීම් වැනි විවිධ සිදුවීම් නිසා තවත් සිය ගණනකගේ ජිවිත හිමි වේ.
2025 වසරේ දී අනතුරු හේතුවෙන් රජයේ රෝහල්වලට ඇතුළත් වන්නන්ගේ සංඛ්‍යාව 2019 සහ 2020 දී සංඛ්‍යාව හා සසදන විට තවත් රෝගීන් 250,000 කින් වැඩිවිය හැකි බවට පුරෝකථනය කර ඇත. එනම් දළ වශයෙන් රෝගින් මිලියන 1.3 සිට (2019), මිලියන 1.55 ක් (2025) පමණ දක්වා වැඩිවීමකි. අනතුරු හේතුවෙන් නේවාසික ප්‍රතිකාර සදහා රෝහල්ගත වන අයගෙන් 25 % ක් 30% ක් එනම් 250,000 ක්, 300,000 ක් පමණ විවිධ හේතු නිසා වැටීමට ලක් වූ අය වන අතර, 17% ක් 18 % ඒනම් 200,000 ක් පමණ රෝහල්ගත වන්නේ මාර්ග අනතුරු හේතුවෙනි. මීට අමතරව විවිධ හේතු නිසා වන කැපීම්, විවිධ දේ සිරුර මතට වැටීම්, දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුවන පහරදීම්, සත්ත්ව සපාකෑම් (වසරකට 250,000 ක් 300,000 ක් පමණ සත්ත්ව සපා කෑම් වලට රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබාගනියි), සත්ත්ව දශ්ඨන, විවිධ විෂවීම්, පිළිස්සීම් වැනි බොහෝ හේතූන් නිසාත් තවත් බොහෝ පිරිසක් නේවාසික වෛද්‍ය ප්‍රතිකාර ලබාගනු ලබයි. දැනට පවතින තොරතුරු අනුව සමස්ථ අනතුරු වලින් 50 % කට වඩා සිදු වන්නේ නිවස සහ ඒ ආශ්රිත පරිසරයේය. 25% ක් පමණ මාර්ග ආශ්‍රිතවත්, ඉතිරියෙන් බහුතරයක් වැඩබිම්, පාසල්, නවාතැන්පොලවල් සහ විවේක ස්ථාන ආශ්‍රිතව සිදු වේ.
සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුලු පිරිස විසින් ශ්‍රී ලංකා පොලීසියේ රථවාහන අංශය, රතුකුරුස සංවිධානය, ශාන්තඡෝන් ගිලන් රථ හමුදාව, ප්‍රජා ජිවිතාරක්ෂක ආයතන වැනි ආයතන විසින් අනතුරු වැළෑක්වීමට අදාලව දැනුවත්භාවය ලබාදීමේ අරමුණින් ස්ථාපිත කර තිබූ විශේෂ කුටි නිරික්ෂණය කිරිම ද මෙහිදී සිදු විය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය සුනිල් ද අල්විස්, බෝනොවන රෝග ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය සමිද්දි සමරකොන්, නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චමිපිකා වික්‍රමසිංහ, සිංගප්පූරු මහ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ ඡ්‍යෙෂ්ඨ මහාචාර්ය අනන්තාරාමන් වෙන්කටරාමන්. සිංගප්පූරුවේ සින්හෙල්ත් ජාත්‍යන්තර සහයෝගිතා කාර්යාලයේ Mrs.Vijaya Rao, ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විද්‍යාලය නියෝජනය කරමින් වෛද්‍ය ශිරෝමි මදුවගේ යන මහත්ම මහත්මින් ඇතුලු මෙරට හා විදෙස් සෞඛ්‍ය අංශ නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.