“ONLINE SAFETY පනත” යටතේ පළමු පෙත්සම ම…!

“ONLINE SAFETY පනත” යටතේ පළමු පෙත්සම ම…!

අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව විසින් මෑතක දී සම්මත කර ගත් “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත” යටතේ පළමු තහනම් ආඥාව පසුගිය අප්‍රේල් 4 දා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ, ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් නිකුත් කළේය. ඒ මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ය.

ජනක රත්නායක මහතාගේ පෞද්ගලික ඡායාරූප හෝ වීඩියෝ පට හෝ හඬපට ප්‍රචාරය කිරීම, බෙදා හැරීම තහනම් කරමින් ඒ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්වරියක වූ ආරච්චිගේ ගයත්‍රි බිම්බා සහ ඇගේ සැමියා වන (තායිවානයේ පදිංචි) ජනක රාජපක්ෂ ඇතුළු වගඋත්තරකරුවන් 08 දෙනකුට එරෙහිවය. මෙහි අනෙක් වගඋත්තරකරුවන් වන්නේ, ඕශල හේරත්, යසලාල් පෙරේරා, කල්ප ගයාන් කවීශ්වර ගුණරත්න, ජාමුණු කමන්ත තුෂාර, WhatsApp LLC සහ Google LLC /Youtube වෙත මෙලෙස කොන්දේසි සහිත ආඥාවක් නිකුත් විය.

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක විසින් “2024 අංක 09 දරන මාර්ගත ක්‍රමවල සුරක්ෂිතාව පිළිබඳ පනතේ 24 වැනි වගන්තිය යටතේ” මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත නීතිඥ මිතුන් ඩයස් මඟින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණී.(අදාළ පෙත්සම සම්පූර්ණයෙන්ම https://shorturl.at/aeqxU

ඔන්ලයින් ආරක්ෂාව(Online Safety Act, #OSA) නමින් ගෙන ආ පනත

මෙම පනත කෙටුම්පත් අවස්ථාවේ සිට දේශීයව සහ ජාත්‍යන්තරව ප්‍රභල විවේචනයක් මෙම පනතට එල්ලවූ අතර ලංකා ඉතිහාසයේ වැඩිම මූළික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් වූ පනත් කෙටුම්පතක් ලෙස මෙය ඉතිහාසයට එකතු වී ඇත. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ බහුතරයක් පෙත්සම්වල හරය වූයේ එම පනත සම්මත වුවහොත් ජනතාවගේ ප්‍රකාශනයේ නිදහස ඇතුලු මූලික අයිතිවාසිකම් මර්දනයට ලක්විය හැකි බවය. එම පනත් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පනත සම්මත කිරීමට නම් එම පනතට නිර්දේශ ගණනාවක් යෝජනා කළ අතර, එම නිර්දේශ කිසිවක් පනතට එකතු නොකර පාර්ලිමේන්තුවේදී අදාළ පනත් කෙටුම්පත සම්මත කරගත්හ.

ජනක රත්නායක සහ ගෝඨාබය රාජපක්ෂ

ජනක රත්නායක, මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාව සිටිය දී, මහජන විරෝධතා හමුවේ රටින් පළාගිය ජනාධිපති ගෝඨාබය රාජපක්ෂගේ සුවච කීකරු සමීපතමයෙක්ව සිටි බව කවුරුත් දන්නා කරුණයක්ය. එවන් ඉතිහාසමය කරුණු ගණනාවක් තිබියදී, ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සදහා එළඹෙන ජනාධිපතිරණයට ඉදිරිපත්වන බව ජනක රත්නායක පවසා ඇති බවද වාර්තා වෙයි. (https://www.youtube.com/watch?v=NxGUXkLLVjY) ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බව කියන ජනක රත්නායක විසින් මෙවැනි මර්දනකාරී පනතක් උපයෝගී කර ගනිමින් අධිකරණයට යෑමෙන් ම ඔහු විසින් ප්‍රකාශ කර ඇතැයි කියන “අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම” යන්න අපූරුවට තේරුම්ගත හැකිය. එසේම උභතෝකෝටිකය වන්නේ විසම්මුතික අදහස් ඇතුලු ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් සොදාපාලුවට ලක්කරන සහ ක්‍රම විරෝධීව සම්මත කළ පනතක් සිය ප්‍රයෝජනයට යොදා ගැනීම කොතරම් දුරට සාධනීය ද යන්නයි.

පනතේ ක්‍රියාකාරීත්වය

මෙම පනත සම්මත වුවද පනත තුළ ඇති ප්‍රධාන යාන්ත්‍රණයක් වන “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පළිබද කොමිෂන් සභාව” තවමත් පිහිටුවා නැත. එසේම ට්‍රාන්ස්පේර්න්සි ඉන්ටර්නැෂනල් ඇතුලු පිරිසක් විසින් ඔන්ලයන් පනත පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, ඒ තුළින් මූළික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් සළකා බැලීම සදහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය විසින් පංචපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කර තිබෙන බව මාධ්‍ය වාර්තා කළේය.(https://twitter.com/sampathslk/status/1772894433098559831/photo/1) එවැනි තත්ත්වයක් ද තිබියදී ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට තමන් පෙනී සිටින බව කියන ජනක රත්නායක මෙම ආන්දෝලනාත්මක පනත සිය ප්‍රයෝජනයට යොදා ගැනීම කොතරම් නිවැරදි වන්නේද?

අන්තර්ජාල සේවා සපයන ආයතනද වගඋත්තරකරුවන් ලෙස නම්කරයි.

මෙම පනත කෙටුම්පත් කර ප්‍රසිද්ධ කළ අවස්ථාවේ සිට අන්තර්ජාල සේවා සපයන ආයතන මෙම පනතේ අන්තර්ගතයන්ට ඔවුන්ගේ කණස්සල්ල සහ විරෝධය ප්‍රකාශ කළේය. විශේෂයෙන්, ලෝකයේ ප්‍රභලතම අන්තර්ජාල සේවා සපයන්නන්ගෙන් සැදුම්ලත් Asia Internet Coalition(“AIC”) විසින් කිහිප විටක්ම ශ්‍රී ලංකා ආණ්ඩුවට රතු එළි දක්වා ඇත. නමුත් දැන් ඔවුන් විසින් දක්වන ලද විරෝධය යතාර්තයක් බවට පත් කරමින් එම තාක්ෂණික ආයතනය ද වගඋත්තරකරුවන් බවට ජනක රත්නායක විසින් නම් කර තිබේ. එහිදී

7 වන වග උත්තරකරු ලෙස,

WhatsApp LLC

Headquarters

1 Meta Way,

Menlo Park,

California 94025,

United States of America.

8 වන වග උත්තරකරු ලෙස

Google LLC, D/B/A

Youtube

Headquarters

901 Cherry Avenue,

San Bruno,

California 94066

United States of America.” නම් කර තිබේ. ජනක රත්නායක විසින් අධිකරණය වෙත ඉදිරිපත්කළ පෙත්සමේ දැක්වෙන්නේ 7 සහ 8 වන වගඋත්තරකරුවන්ට පනතේ 24(02) යටතේ පියවර ගන්නා ලෙසයි. එම පෙත්සමේ මෙසේ දැක්වෙයි,“පෙත්සම්කරු ප්‍රකාශ කර සිටින්නේ, ඉහත 7 සහ 8 වන වගඋත්තරකරුවන් වශයෙන් නම් කර ඇති පාර්ශවයන් මෙම ඉල්ලීමට අදාල සෑම සියලු අවස්ථාවකදීම පෙත්සම්කරුට අදාලව තහනම් ප්‍රකාශයන් සන්නිවේදනය කර ඇති අන්තර්ජාල සේවා සපයන්නන් සහ/ හෝ “අන්තර්ජාල අතරමැදියන්” වශයෙන් කටයුතු කල බව පෙත්සම්කරු ප්‍රකාශ කර සිටියි. එබැවින් ඉහත සියලුම වගඋත්තරකරුවන්ට අදාළව 2024 අංක 9 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතේ 24(2) වගන්තිය යටතේ කොන්දේසි සහිත ආඥාවක් ඉල්ලා සිටීමට පෙත්සම්කරුට නීතිමය අයිතියක් ඇති බවට පෙත්සම්කරු ප්‍රකාශ කර සිටී.”

පනතේ 24(2) කුමක්ද?

ජනක රත්නායක විසින් ඉදිරිපත් කර ඇති පැමිණිල්ල කුමක්ද?

අදාළ පෙත්සම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරු වන ජනක රත්නායක වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස විසින් ඉදිරිපත් කළ කරුණු ලංකානිව්ස් වෙබ් අඩවිය මෙසේ වාර්තා කර තිබේ. //මේ පනතේ පරමාර්ථයට අනුව මෙම නඩුකරයට අදාළව පෙත්සම්කරු ජනාධිපති අපේක්ෂකයකු වීම පමණක් සැලකිල්ලට ගන්න ඕන නැහැ. නමුත් මේ වගේ දෙයක් ඕනෑම කෙනකුට වෙන්න පුළුවන්. සිවිල් ජනතාවට මේක වෙන්න පුළුවන්. මගේ සේවාදායකයාගේ සියලු අන්තර්ජාලයට සම්බන්ධ මුරපද ඇයට දීලා තිබුණා. ඇය වසර 18ක් ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළා. එහිදී යම් සමීප සම්බන්ධතාවක් ඇති වෙලා තිබුණා. ඒ 2006 වසරේ විතර. එය 2023 මැයි මාසේ විතර බිඳී ගිහින්. දැන් ඇය වෙනත් විවාහයක් කරගෙන තායිවානයේ රැඳී සිටින්නේ. පෙත්සම්කරුගේ සමීප මිතුරකු වන මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා ඔහුට කියා තිබුණේ මේ පළමු සහ දෙවැනි වගඋත්තරකරුවන් කියලා තියෙනවා ඇය සතු ඡායාරූප හෝ වීඩියෝ පට සමාජ මාධ්‍යවලට මුදා හරිනවා කියලා. ඊට පස්සේ එහෙම වීඩියෝවක් ශෙයා කරලා තියෙනවා කියලා දැන ගන්න ලැබුණා. ඒ වීඩියෝවේ පිටපතක් මේ සමඟ අමුණා තියෙනවා. ඒ නිසා මේ සූදානම නවත්වන්න තමයි ඉල්ලීම් කරන්නේ.// උපුටා ගැනීම අවසන්)

කෙසේ නමුත් වගඋත්තරකරුවන්ට පනතේ 20(1) වගන්තිය බලපැවැත්වෙන බවත්, කෙසේ වෙතත් වගඋත්තරකරුවන්ට එරෙහිව නඩු විභාගයක් අපේක්ෂා නොකරන බවත්, පැමිණිලිකරු සම්බන්ධයෙන් වූ පෞද්ගලික තොරතුරු, ඔහු හිරිහැරයට පත් කිරීමේ චේතනාවෙන් පළ කිරීම, ප්‍රචාරය කිරීම සහ සන්නිවේදනය කිරීම වැළැක්වීමේ ආඥාවක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණයෙන් ඉල්ලා සිටිනු ලැබ ඇති අතර, එය සළකා බැලූ අධිකරණය අදළ පෙත්සම්කරු හිරිහැරයට පත් කිරීමේ චේතනාවෙන්, පෞද්ගලික තොරතුරු, සමාජ මාධ්‍යය හරහා ප්‍රචාරය කිරීම හා සන්නිවේදනය කිරීම වළක්වාලමින් කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කරන බව නියෝග කර ඇත.

Online යනු සමාජ මාධ්‍ය(Social Media) පමණක් නොවේ. එපමණයි!!

පළමු නඩුවම….

“Online Safety” නමින් ගෙනා ආ පනත භාවිතා කරමින් ඉදිරිපත් කර ඇති පළමු නඩුවම, පනතට අදාළව, ඔන්ලයින් අන්තර්ගතයක් සත්‍ය – අසත්‍ය ද යන්න සොයාබැලීමට පත් කරන බව කියන කොමසාරිස්වරුන්වරුන්ගෙන් සැදුම්ලත් ‘කොමිසම් සභාව’ තවමත් පත් කර නැති අවස්ථාවක මෙවැනි තත්ත්වයක් උදාවීම පදනම් මූලධර්මවලට කොතරම් හානිකර වන්නේද සේම ඉදිරියේ මෙම පනත භාවිතා කරමින් කෙසේ, කොහොම හැසිරීමක් පෙන්නුම්කළ හැකිදැයි පුරෝකතනය කිරීමට පෙර නිමිත්තකි. එසේම කොමිෂන් සභාව පත්කර නොමැති තත්ත්වයක සහ පනත පාර්ලිමේන්තුවේ සම්මත කළ අකාරය අභියෝගයට ලක්කරමින් ඉදිරිපත්කර ඇති පෙත්සම් සලකා බැලීම සදහා පත්කර ඇති පංචපුද්ගල විනිසුරු මඩුල්ලේ තීන්දුවවත් තවමත් ප්‍රකාශයට පත්කර නොමැති අවස්ථාවක, මෙම පනත යටතේ ඉදිරිපත් කර ඇති පෙත්සම විසින්, පනතේ සුජාතභාවය යළිත් වරක් අධිකරණය හමුවෙහි පරීක්ෂාවට ලක්කිරීමට මෙය තවත් එක් කදිම අවස්ථාවක් ද වනු ඇත.

Sampath samarakoon

| සම්පත් සමරකෝන් | Sampath Samarakoon