උසාවියේ නියෝගයකින් නේපාලය ෆේස්බුක්, යූටියුබ් තහනම් කළ හැටි. ඒ වගේ වැඩක් අපටත් වෙන්න පුලුවන්ද? (Video)

සිදුවූයේ කුමක්ද?

ෆේස්බුක්, යූටියුබ්, ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය ජාලා මෙන්ම වට්ස්ඇප්, සිග්නල් ඇතුළු සංනිවේදක ජාලා 26 ක් අද නේපාලය විසින් තහනම් කර අවහිර කරනු ලැබුවා. නේපාල වැසියන්ට අනුව අද දහවල් සිට ගූගල් ක්‍රොම් ඇතුළු ප්‍රධාන ධාරාවේ සෙවුම් යෙදවුම් හරහා ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය ජාලාවලට පිවිසීමට උත්සහ දරද්දී එම වේදිකා සදහා පිවිසිය නොහැකි බව දර්ශනය වී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් නේපාල සංනිවේදන සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය සදහන් කළේ, එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග සහ ඊට අදාළ නිර්දේශ අනුව යමින් රජය විසින් මෙම සමාජ මාධ්‍ය සහ සංනිවේදක ජාලා 26 තහනම් කිරීමට පියවර ගත් බවයි.

ඒ අනුව Facebook, Instagram, Messenger, YouTube, X, Reddit, LinkedIn, WhatsApp, Discord, Pinterest, Signal, Threads, WeChat, Quora, Tumblr, Clubhouse, Rumble, Line, Imo, Jalo, Sol, Hamro, Patro, Mi Video, Mi Vike3 යන නේපාලය තුළ ක්‍රියාත්මක වූ සමාජ සහ පණිවිඩ හුවමාරු ජාලා තහනම් කර අවහිර කරනු ලැබ තිබෙනවා.

අධිකරණයේ භූමිකාව

මෙම අවහිර කිරීම සිදුවූයේ අද දිනයේ වුවත් ඊට අදාළ මූලික පියවරයන්ගේ ඉතිහාසය 2020 තරම් ඈතට දිවයනවා. 2020 දෙසැම්බර් මාසයේ දී නේපාලයේ නීතිඥවරුන් දෙදෙනෙකු වන බී පී ගෞතම් සහ අනිතා බජ්ජෙයින් රිට් පෙත්සමක් ගොනු කරමින් නියාමනයට යටත් නොවන සියලුම විකාශන මාධ්‍ය තහනම් කරන ලෙසත් ඊට නේපාලය තුළ ක්‍රියාත්මක විදේශ රටවල ලියාපදිංචි සමාජ මාධ්‍ය ජාලා ද ඇතුළත් විය කරන ලෙසත් ඉල්ලා සිටියා. මෙම පෙත්සමෙන් අනතුරුව තවත් සංවිධාන හා පුද්ගලයන් ගණනාවක් එම තේමාව යටතේම ඒ හා සමාන ඉල්ලීම් සදහන් කරමින් තවත් රිට් පෙත්සම් ගණනාවක් ගොනු කරනු ලැබුවා.

එම පෙත්සම්වලට අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කළ ප්‍රසාද් දුන්ග්ගානා සහ ශාන්ති සිං තාපා යන නේපාල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල එරට ආණ්ඩුව වෙත නියෝග කළේ අන්තර්ගතයන් සහ දැන්වීම් පළ කිරීමට ඉඩකඩ සපයන , නේපාලය තුළ ක්‍රියාත්මක සියලුම දේශිය හ විදේශිය සමාජ ජාලා එරට තුළ වහාම ලියාපදිංචි කළ යුතු බවයි. එහිදී පැමිණිලි භාර ගැනීමට ආයතනයක් ස්ථාපිත කිරීම, දේශියව වගකිය යුතු නිලධාරියෙකු පත් කිරීම අවශ්‍යතා ඉටුවිය යුතු බව ද අධිකරණය සදහන් කරනු ලැබුවා.

නේපාල ශ්‍රේෂ්ඨාධිකරණයේ එම නියෝගය අනුව යමින් නේපාල රජය විසින් සමාජ ජාලා සමාගම් වෙත දැනුම් දුන්නේ, සතියක් ඇතුළත  ලියාපදිංචිය සහ සෙසු ක්‍රියාමාර්ගවලට  අදාළ පියවර ගන්නා ලෙසයි. එහිදී TokTok, Viber, Wetalk, Nimbuzz, යන සමාජ ජාලා මූලික එකගතාවය පළ කර අදාළ පියවර ගත් අතර Telegram, Global Diary, යන වේදිකා ද ඊට එකගතාවය පළ කළා. එහෙත් මුලින් සදහන් කළ වේදිකා 26 සිදුකළේ එය ප්‍රතික්ෂේප කිරීම හෝ නොසළකා හැරීමයි.

එහි ප්‍රතිඵලයක් ලෙස නේපාල රජය  සැප්තැම්බර් 04 මධ්‍යම රාත්‍රියේ සිට අදාළ වේදිකා 26 තහනම් කර අවහිර කරනු ලැබුවා. ඒ අනුව මෙම තහනම හා අවහිර කිරීම සාර්ථකව සහ අඛණ්ඩව ක්‍රියාත්මක කළහොත්  නේපාලය තුළ වීපීඑන් ඔස්සේ මිස පිළිගත් සෙවුම් යෙදවුම් හරහා අදාළ වේදිකා 26 වෙත පිවිසීම කළ නොහැකි වනු ඇති.

තහනමේ ප්‍රතිඵල

කෙසේවෙතත් , මේ සම්බන්ධයෙන් මේ වන විට නේපාලය තුළ බලවත් කැලඹීමක් හටගෙන තිබෙනවා. මෙය භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සීමා කිරීමක් ලෙසට දැනටම චෝදනා නැගෙනවා. මෙම තහනම සමග සමාජ ජාල වේදිකා ඔස්සේ සිදුකළ ව්‍යාපාරික කටයුතු බිද වැටෙනු ඇති බවටත්, විදේශගත නේපාල වැසියන්, රට තුළ සිටින ඔවුන්ගේ ඥාතීන් සමග පණිවිඩ හුවමාරු කරගැනීම බිද වැටෙනු ඇති බවටත් බිය පලව තිබෙනවා.

කෙසේවෙතත් නේපාල රජය සදහන් කරන්නේ අන්තර්ජාල වේදිකා වෙනුවෙන් තම රට තුළ නිපදවන මෙන්ම රට තුළ බෙදාහරින  අන්තර්ගතයන් සම්බන්ධයෙන් නියාමන ක්‍රමවේදයක් පැවතීම අත්‍යවශ්‍ය කරුණක් බවයි.අදාළ සමාගම් ලියාපදිංචි කොන්දේසි සපුරනු ලැබූ වහාම මෙම තහනම අහෝසි  කිරීමටත් අවහිරතා ඉවත් කිරීමටත් කටයුතු කරන බව නේපාල රජය අවධාරණය කරනවා.

මෙම තහනමේ සාර්ථකත්වය, ප්‍රතිඵල සහ අනාගතය කුමක් වුවත් නේපාලයේ මෙම පියවර සමාජ ජාලා සමාගම් පවත්වාගෙන යන දැවැන්ත විදේශ තාක්ෂණ සමාගම් සමග හැප්පී බැලීමේ ලිට්මස් පරීක්ෂාවක් ලෙස හැදින්වීමෙි වරදක් නැහැ.

අනෙක් රටවලදී වුණේ මොකක්ද?

මෙම තාක්ෂණ සමාගම් දේශියව ලියාපදිංචි විය යුතුය යන්න ලෝකයේ රටවල් රැසක් විසින් ඉදිරිපත් කර ඇති කොන්දේසියක්.එහිදී අදාළ සමාගම් ගෝලීය උතුරේ බලවත් රටවලට එක හැන්දකිනුත් ගෝලීය දකුණේ දුබල රටවලට එක හැන්දකිනුත් බෙදන බව ප්‍රචලිත කරුණක්.ඒ අනුව  යුරෝපය ඇතුළු රටවල් රැසක කාර්යාල පිහිටුවමින් , පැමිණිලි යාන්ත්‍රණ ඇති කරමින්, අදාළ රටවල දේශිය නීතියට අනුගත වීමට  මෙම සමාගම් පියවර ගෙන තිබෙනවා.

දකුණු ආසියාවේ රටවල් අතරින් අදාළ සමාගම් වෙත මෙම කොන්දේසිය මුලින්ම ඉදිරිපත් කළේ ඉන්දියාවයි.ඒ 2000 වර්ෂයේ දී ඉදිරිපත් කළ තොරතුරු තාක්ෂණ පනත යටතේයි. මෙම සමාගම්වලට ඉන්දියාව තුළ ඇති දැවැන්ත වෙළෙදපොල හේතුවෙන් ඔවුන් එම කොන්දේසියට වහාම අවනත වූ අතර ඒ අනුව මෙම සියලු සමාජ   ජාලා ඉන්දියාව තුළ ලියාපදිංචි වී, කාර්යාල පිහිටුවා, පැමිණිලි යාන්ත්‍රණද ස්ථාපිත කර තිබෙනවා.

කෙසේවෙතත් මෙම සමාගම් ඉන්දියාවට බෙදූ හැන්දෙන් දකණු ආසියාවේ අනෙක් රටවලට සැලකුවේ නැහැ. පකිස්තානය 2016  ඉලෙක්ට්‍රොනික් අපරාධ වැළැක්වීමේ පනත යටතේත්, ශ්‍රී ලංකාව 2024 මාර්ගගත ආරක්ෂණ පනත යටතේත් අදාළ සමාගම්වල දේශිය ලියාපදිංචිය නෛතික අවශ්‍යතාවයක් බවට පත් කළත් මෙම සමාගම් ඊට ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වුයේ නැහැ.

එම පසුබිම යටතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මත, නේපාලය ගත් මෙම පියවර ආන්දෝලනාත්මක වනවා පමණක් නොව ගෝලීය දකුණේ කුඩා රටවල් දැවැන්ත සමාජ ජාල සමාගම්  හරහා හැප්පී බැලීමේ ලිට්මස් පරීක්ෂාවක් බව ද සදහන් කළ යුතුයි. එහි ප්‍රතිඵලය සමාජ ජාලා සමාගම්වලට , ගෝලීය දකුණේ දුබල රටවලට සහ ඒවායේ වැසියන්ට ද තීරණාත්මක වනු ඇති.

dr viranjana hearath

| නිතිඥ ආචාර්ය විරංජන හේරත්