රජය ILO වෙත සපයන වාර්තාවල පිටපත් පාර්ශවකාර සංවිධාන වෙත ලබාදීමට පවත්නා බැඳීම

රජය ILO වෙත සපයන වාර්තාවල පිටපත් පාර්ශවකාර සංවිධාන වෙත ලබාදීමට පවත්නා බැඳීම

ජගත් කම්කරු කාර්යාලය වෙත යැවූ සියලූ තොරතුරුවල සහ වාර්තාවල පිටපතක්, ILO ව්‍යවස්ථාවේ 23 වන වගන්තියේ 2 වන ඡේදය ට අනුකූලව, අදාළ රජයන් විසින් රට තුළ පවතින සේවා යෝජකයන් සහ සේවකයන් නියෝජනය කරන සංවිධාන වෙත යැවිය යුතු ය. ජාතික නිසි බලධාරි ආයතන වෙත සම්මුතීන් සහ නිර්දේශයන් ඉදිරිපත් කිරීමට ගත් පියවරයන් සම්බන්ධයෙන් කාර්යාලය වෙත යවන තොරතුරු, අත්සන් කළ සම්මුතීන් ක‍්‍රියාවේ යෙදවීම පිළිබඳ වාර්තා සහ අත්සන් නොකළ සම්මුතීන් සහ නිර්දේශයන් පිළිබඳ වාර්තා මීට ඇතුළත් වේ.

ILO ව්‍යවස්ථාවේ 19 වන වගන්තියට (අත්සන් නොකළ සම්මුතීන් පිළිබඳ වාර්තා) සහ 22 වන වගන්තියට (අත්සන් කළ සම්මුතීන් පිළිබඳ වාර්තා) අදාළ වාර්තා ආකෘති පත‍්‍රවලට මෙන් ම, නිසි බලධාරි ආයතන වෙත සම්මුතීන් සහ නිර්දේශයන් ඉදිරිපත් කිරීමට පවත්නා බැඳීම සම්බන්ධ සිහිපතට memorandum අදාළ වාර්තා ආකෘති පත‍්‍රයට ද, රජයන් විසින් ILO ව්‍යවස්ථාවේ 23 වන වගන්තියේ 2 වන ඡේදයට අනුකූලව අදාළ තොරතුරුවල සහ වාර්තාවල පිටපත් යැවිය යුතු සේවා යෝජකයන් සහ සේවකයන් නියෝජනය කරන සංවිධාන කවරේ දැයි පෙන්වා දීමට අදාළ පැනයන් ඇතුළත් ය. කිසි යම් රජයක් එසේ කිරීමට අසමත් වන්නේ නම්, ප‍්‍රමාද දෝෂය පෙන්වා දෙමින් සහ පාර්ශවකාර සංවිධාන වලට වාර්තාවල පිටපත් සන්නිවේදනය කලේද, එසේ නම් එම සංවිධානවල නම් සඳහන් කරන ලෙස ඉල්ලා සිටිමින් එම රජය වෙත සිහි කැඳවීමක් යවන ලෙස විශේෂඥ කමිටුව ILO වෙතින් ඉල්ලා සිටියි. සිහි කැඳවීම යවා තිබිය දීත්, කිසි යම් රජයක් ඉහත අවශ්‍යතාවට අනුකූල වීමට තවමත් අසමත් වන්නේ නම්, කාරණය කෙරෙහි අවධානය යොමු කරවමින් සහ අනාගතයේ දී එවන සියලූ වාර්තාවල දී එවැනි තොරතුරුවල සහ වාර්තාවල පිටපත් යවා තිබෙන සේවා යෝජකයන් සහ සේවකයන් නියෝජනය කරන සංවිධාන කවරේ දැයි පෙන්වා දෙනු ඇතැයි බලාපොරොත්තුව පළ කරමින්, විශේෂඥ කමිටුව සාමාන්‍යයෙන් ඍජු ඉල්ලීමක direct request ස්වරූපයෙන් අදහස් දැක්වීමක් සිදු කරයි. 

අදාළ සේවා යෝජකයන්ගේ සහ සේවකයන්ගේ සංවිධාන කිසි යම් නිරීක්ෂණ කර තිබෙන්නේ දැයි පෙන්වා දීම සඳහා සහ ප‍්‍රයෝජනවත් වේ යැයි රජය සලකන කිසි යම් අදහස් දැක්වීම් වේ නම් ඒවා ද ඇතුළත් කොට මෙම නිරීක්ෂණවල පිටපතක් ILO වෙත යැවීම සඳහා රජයට ඉදිරිපත් කරන ප‍්‍රශ්නයක් ද වාර්තා ආකෘති පත‍්‍රවලට සහ සිහිපතට memorandum ඇතුළත් වේ. මෙම ප‍්‍රශ්නය සාමාන්‍යයෙන් විමසා සිටින්නේ අදාළ වන පාර්ශවකාර සංවිධාන පිළිබඳව බවත්, ILO ව්‍යවස්ථාවේ 23 වන වගන්තියේ, 2 වන ඡේදය යටතේ සඳහන් වන වඩාත්ම නියෝජකත්වයක් සහිත සංවිධාන පිළිබඳව අදාළ වන අයුරින් පමණක්ම නොවන බවත් සඳහන් කළ යුතු ය. ජාතික මධ්‍යම මහා සම්මේලන වලට, විශේෂ ක‍්‍රියාකාරකම් හා සම්බන්ධ අංශයකට අදාළ වන සම්මේලන වලට, ප‍්‍රාදේශීය හෝ දේශීය සංවිධානවලට හෝ කර්මාන්ත ශාලාවක හෝ කර්මාන්ත ශාලාවල වෘත්තීය සමිතිවලට පවා අදහස් දැක්වීම් ඉදිරිපත් කිරීම සඳහා පැහැදිලි උනන්දුවක් තිබිය හැකි ය. ILO වෙත උපදෙස් දීමේ consultative තත්ත්වය සහිත හෝ රහිත ජාත්‍යන්තර වෘත්තීය සංවිධානවලට ද ILO ප‍්‍රමිතීන් ක‍්‍රියාවේ යොදවා ඇති ආකාරය ගැන අදහස් දැක්වීම් ඉදිරිපත් කිරීමේ අයිතිය ඇත. 

නිරීක්ෂණ ඕනෑ ම මොහොතක සිදු කළ හැකි අතර, නිරීක්ෂණ සිදු කළ හැක්කේ රජයේ වාර්තා සම්බන්ධයෙන්ම පමණක් නො වේ. ජාත්‍යන්තර සංවිධාන කරන නිරීක්ෂණ ඍජුව ම ILO වෙත යවනු ලැබේ. ජාතික සංවිධාන කරන නිරීක්ෂණ ඍජුව හෝ රජය මාර්ගයෙන් යවනු ලැබේ. පසුව කී අවස්ථාවට අදාළ වන විටදී, රජය සාමාන්‍යයෙන් ඒවා ILO වෙත ඉදිරිපත් කිරීමට නියමිත සිය වාර්තාවට එකතු කරයි. ILO වෙත අදහස් දැක්වීම් ඍජුව යැවෙන ඕනෑ ම අවස්ථාවක, සුදුසු යැයි රජය සලකන ඕනෑ ම අදහස් දැක්වීමක් කළ හැකි වනු පිණිස ඒවා රජය වෙත යවනු ලැබේ. 

සේවා යෝජකයන්ගේ සහ සේවකයන්ගේ සංවිධාන එවන නිරීක්ෂණ විමසුමට ලක් කිරීමේ දී සිදු වන පමාව අවම කරනු පිණිස විශේෂඥ කමිටුවේ පරිචය වන්නේ, රජය සම්මුතිය පිළිබඳව වාර්තාවක් එවීමට නියමිතව තිබුණේ ද යන්න නො තකා රජයේ අදහස් දැක්වීම් ලද විට හැකි තරම් ඉක්මනින් එම නිරීක්ෂණ විමර්ශනය කිරීම යි. එමෙන් ම, රජය යුක්ති සහගත කාලයක් තුළ සිය අදහස් දැක්වීම් එවන්නේ නැත් නම් විශේෂඥ කමිටුව නිරීක්ෂණවල හරය විමර්ශනය කිරීම අරඹයි. 

මෙම විමර්ශනයෙන් පසුව නොයෙක් දෑ සිදු විය හැකි ය. ප‍්‍රශ්නයට බඳුන්ව තිබෙන රට අදාළ සම්මුතිය ක‍්‍රියාවේ යොදවා ඇති තරම ගැන අදහස් දැක්වීම් කිරීමට සේවා යෝජකයන්ගේ හෝ සේවකයන්ගේ සංවිධානවලින් ලද තොරතුරුවලින් ම පදනමක් සැපයෙන්නේ නැතැයි විශේෂඥ කමිටුව සැලකිය හැකි ය. පවතින තත්ත්වය සම්මුතියට අනනුකූල නො වේ යැයි හෝ සඳහන් කරන දුෂ්කරතාවන් සිය නීත්‍යනුකූල බලය යටතට නොවැටෙන්නේ යැයි ඇතැම් විට කමිටුව තීරණය කරයි. මතු කර තිබෙන ප‍්‍රශ්නය පිළිබඳව වැඩි දුර තොරතුරු සපයන ලෙස ද අදාළ රජයෙන් කමිටුව නිතර ඉල්ලා සිටී. අනෙක් අතට, කිසි යම් වෘත්තීය පාර්ශවකාර සංවිධානයක් ඉදිරිපත් කළ තොරතුරු පදනම් කර ගෙන නිරීක්ෂණය කරන ලද ඌනතා නිවැරදි කිරීමට රජය සුදුසු පියවරයන් ගත යුතු යැයි එය බොහෝ විට නිර්දේශ කර ඇත. පසුව, රජය ලබා දී ඇති සහතික කිරීම් පිළිබඳව සහ නීති පද්ධතියට හඳුන්වා දුන් සංශෝධන ඇතුළු සම්මත කර ගත් පියවරයන් පිළිබඳව අවධානය යොමු කිරීමට ඊට හැකියාව ඇත. 

විශේෂඥ කමිටුව කරන අදහස් දැක්වීම්, තත්වයේ අවශ්‍යතාවය මත නිරීක්ෂණවල observations හෝ ඍජු ඉල්ලීම්වල direct requests ස්වරූපය ගත හැකි ය. විශේෂයෙන් ම මතු කර ඇති ප‍්‍රශ්න බෙහෙවින් තාක්ෂණික ස්වභාවයක් ගන්නා විට, ඒවා ද්විතීයක වැදගත්කමක් ගන්නා විට හෝ මතු කර තිබෙන ප‍්‍රශ්නය පිළිබඳව තීරණයක් ගැනීමට පෙර ඇතැම් කරුණු පිළිබඳව පැහැදිලි කිරීමක් ලබා ගැනීමට කමිටුව බලාපොරොත්තු වන විට ඍජු ඉල්ලීම් භාවිතයට ගැනේ. පොදු උනන්දුවක් සහිත ගැටලූ මතු කරන අවස්ථාවල දී හෝ ඉමහත් වැදගත්කමක් සහිත ගැටලූ මතු කරන අවස්ථාවල දී නිරීක්ෂණ භාවිතයට ගැනේ. 

මූලාශ්‍රය: www.ilo.org