(සැට වස් ඉක්මවන මිහිරි මිතුරු ඇසුරකට උරුමකම් කියන මගේ ළබඳ සකිසඳ ඩබ්ලිව්. ජයසිරි කලාකරුවාණන්ගේ දිවි මෙහෙවර අගයනු වස් සහෘද ජනයා එක්ව නොබෝදා පැවැත් වූ අභිනන්දන උලෙළ අරබයා මවිසින් එෆ් බීයට අප්‍රමාණ සම්මෝදයෙන් සැපැයුණු මෙම මතක වත ඔහුගේ හදිසි දිවි අබිනික්මන නිමිතිකොට යළි මෙසේ සකසා පළ කරන්නේ සාතිශය සංවේගයෙනි.)
කොරෝනා ව්‍යසනයට මෙරට ගොදුරුව සිටි සමයේ මා අත කිසිත් වරද නැතිවද නිවාස අඩස්සියේ දුක් අනුභව කරමින් හුදකලාව හුන් සඳ මගේ ළබඳ එෆ්. බී සබඳ කැලගේ නොමඳ ගුණ කඳ සිහිව එදා මහදින් නොදැනම මිදුණු පැදි සුසුම් රොදකි මේ.
විහඟෙකු විලස පියෑඹූ මම ගුවන් තල
ගෙයි සිර වුණෙමි නොරටින් ආ රොවින් දළ
නිති හද වෙළෙන එෆ් බී සුහදයන් කැල
නිවුමකි සැනසුමකි සිර දුක තුරන් කළ
හඬ නෑසුණද අකුරෙන් හඬ ඇසේ ඇසේ
රුව නොපෙනුණද අකුරෙන් රුව දිසේ දිසේ
අදරින් තෙමුණු අකුරෙන් රස ඉසේ ඉසේ
බස නැති කලෙක හද ගැසෙනුයෙ කෙසේ කෙසේ
එෆ් බී ළබඳ සබඳිනි මා හද වසන
මරු සැරිසරන මුත් අවි ගෙන ලෙඩ වැසන
ඔබෙ සෙනෙහස නිසා මගෙ තනිකම නසන
දැඩි එඩි වැඩේ නොදැනේ ඒ හැම වැසන
හදින් භද නොහඳුනන හද ඇති ලොවක
සුරන් ලෙස වරම් ලැබුවද පල කිමෙක
භදින් හද හැඳින ඔබ සිටියද නොදැක
සබන්දිනි ඔබේ සෙනෙහස මහ මෙරක
අපේ භද්‍ර යෞවන සමයේ මගේ දෙවැනි මව වන් ගුවන්විදුලියේදී නමෝ විත්තියෙන් හමුවී ඇරැඹුණු සොඳුරු මිතුරු පයිරුපාසනයේ මියුරු පල සම්පතක් අයුරින් මගේ චිත්තාභ්‍යන්තරයේ විචිත්‍ර ලෙස චිත්රිතව දෙවැනි භද්‍ර යෞවනයටද එළැඹ රසික ජන සම්මානනයට පාත්රව සිටි වේදිකා - සිනමා - ටෙලි සංඛ්‍යාත ත්‍රිවිධ මාධ්‍ය රංගන විශාරද , ගේය පද රචන කෝවිද සාහිත්‍ය සංගීත රස මකරන්ද මත්ත ශෘංගාර භෘංගායමාන ඩබ්ලිව්.
ජයසිරි නාමධේය මගේ ස්වතන්ත්‍ර මිත්‍ර ඩබ්ලිව්. ජයසිරි සූරීන් මගේ පූර්වෝක්ත පද්‍ය චතුෂ්කයට එදා එෆ් බීය ඔස්සේ දැක්වූ හෘදයංගම කාව්‍යමය ප්රතික්රියාවයි මේ.
දනිමි හැඳින්නෙමි පෙර දින ඇසුර ඔබේ
විය පත් ඔබට මට ඇෆ්.බී ඇසුර ලැබේ
ඉඳ හිට දකින කියවන දෑ හිතට එබේ
දිගටම සිටී ඔබ සතුටකි මහද ගැබේ
ජයසිරි සකිසඳාණන්ගේ එම කාව්‍යමය භාවභාෂණය අරබයා මගේ හෘදයානන්දය ප්‍රකාශ කරනු වස් මවිසින් එදා දක්වන ලද ප්රතිකාව්යමය ප්රතික්රියාවයි මේ.
උන් කල දිගුය ඉන්නා කල කෙටිව ගියේ
යොවුනේ භමුවු අප හිස නර මතුව තියේ
සෙනෙහස් සිහිල විඳ විඳ නෙක රසික ළයේ
අබිනික්මන් කරමු මෙලොවින් ළබඳ ජයේ
ජයසිරි සකිසඳු තුළ වෙසෙන කිවිඳුගේ ළයෙන් මගේ තත් ප්‍රතිචාරය නිමිතිකොට නිනද වුණු ස්නේහාර්ද්‍ර හෘදයවීණාතන්ත්රී භාවරාවයයි මේ .
අනාගතය ඔබ මම කෙලෙසක වේදෝ
මුහුණට මුහුණ දැක ගන්නට ඉඩ දේදෝ
වසංගතය කෙළවර වී ජය වේදෝ
එතෙක් මෙලෙස හමුවීමත් සැප නේදෝ
මෙම භාව සංවාදය එෆ්බීයෙන් දුටු මගේ ප්‍රිය ශිෂ්‍ය කෘතහස්ත නාට්‍යවේදී බුද්ධික දමයන්තයෝ එෆ්බීය ඔස්සේම මගෙන් මෙසේ පිළිවිසූහ.
"සර්, අපි පරිවර්තන යාලුවොද? එයා ස්වතන්ත්‍ර වෙන්න."
බුද්ධික දමයන්තයන් මගෙන් එම පැනය විචාළේ ළබඳ ජයසිරි
සකි සඳාණන් අරබයා මා ලියූ පූර්වෝක්ත අභිනන්දන . පාඨයේ භාවිත 'ස්වතන්ත්‍ර මිත්‍ර' යන ආමන්ත්රණ වාක් ප්‍රයෝගය පාදක කරගනිමිනි. එය මගේ සාවද්‍ය භාවිතයකැයි යන මතිභ්රමය ඔහු තුළ හට ගැනිණිදැයි නොදනුම්හ. කෙසේ වුවද මා එදා එෆ් බීය මගින්ම මගේ ශිෂ්‍ය බුද්ධික දමයන්තයන්ගේ දුරවබෝධය දුරු කිරීමට ගත් ප්රයත්නය මෙසේයි.
"මා ප්‍රිය ශිෂ්‍ය බුද්ධිකයෙනි, ඔබේ වැකියෙහි 'යාලුවො' 'යාළුවො' වී නම් එය බසට බුහුමනක් බැව් පළමුව පවසම්හ. නොසිතූ විරූ ලෙස 'ස්වතන්ත්‍ර' යන්නෙහි පදාර්ථ විවරණයකට මඟ පෑදීමෙන් බුද්ධික දමයන්තයන් කළ ආධුනික බුද්ධි අනුග්‍රහයට ප්‍රශංසා වේවා! මා ප්‍රිය දමයන්තයෙනි, ඔබේ පැනය පැන නැංගේ ඔබ දැන සිටි තේරුමෙන් මෙහි 'ස්වතන්ත්‍ර' යන්න භාවිතව නොමැති නිසා යැයි සිතමි. විශේෂයෙන් මෙරට නාට්‍යය, සාහිත්‍යය ආදි තරගවලදී Translation හා Original නමින් වර්ගීකරණයක් සම්මතව ඇත. එහිදී Translation යන්න සඳහා 'පරිවර්තන' යන නාමයත් Original යන්න සඳහා 'ස්වතන්ත්‍ර' යන නාමයත් භාවිතයට ගැනීමද සාධු සම්මතව පවතී. 'පරිවර්තන' යන්න Translation යන්නට අර්ථානුකූල වුවද 'ස්වතන්ත්‍ර' යන්න Original යන්නෙහි අර්ථ විපරීතයකි. Original යන ඉංග්‍රීසි
වචනයෙහි ගැබ්ව ඇත්තේ 'අපූර්ව උත්පාදනය', 'අපූර්ව නිර්මාණය' යන අරුත්ය. එහෙත්, 'ස්වතන්ත්‍ර' යන
සංස්කෘත වචනයෙහි නිරුක්ත්‍යර්ථය ඊට හාත්පසින්ම වෙනසි. එය සිද්ධව ඇත්තේ 'ස්ව' යන්න හා 'තන්ත්ර්' යන ධාතුව හෙවත් ක්‍රියා මූලය එක්වීමෙනි. එම ක්‍රියා මූලයෙන් ගම්‍ය වන්නේ 'පාලනයකිරීම', 'ආධිපත්‍යය පැතිරවීම ' යන අරුත්ය. 'නවෝත්පාදක',' නවනිර්මාණාත්මක' යන අරුත් සහිත 'Original' යන්න උදෙසා එය සාවද්‍ය භාවිතයක් වන්නේ එබැවිනි. නිරවද්‍ය අර්ථාවබෝධයෙන් තොරව භාවිතය අරඹන කවර වාක්ප්රයෝගයක් වුවද සතත භාවිතයෙන් සාධු සම්මත වීම ජීවමාන භාෂාවන්ගේ සහජ ලක්ෂණයකි. එවැන්නක් භාෂාන්ධ පොදු ජනයාගේ බහුල භාවිතයට ගොස් තහවුරුව යන්නේ ඉබේය. විශේෂයෙන් වර්තමාන විද්‍යුත් නාලිකා ඔස්සේ බොහෝ භාෂා භ්රෂ්ටයන් කරන භාෂා වර්චස්කරණයෙන් රමණීය සිංහල භාෂාවේ සෞන්දර්යයට හා මාධූර්යයට සිදුව ඇති විපත ඊට ප්රත්යක්ෂ සාධකයකි. සාවද්‍ය භාවිතය භාෂා භූෂණයට නොව භාෂා දූෂණයට බලවත් අනුබලයකි. එහෙත් භාෂා විඥයන්ට මිස භාෂා අඥයන්ට එයින් කම් කිම්?
"මවිසින් 'ස්වතන්ත්‍ර' යන්න ජයසිරි සකිසඳාණන්හට විශේෂණ කොට යොදන ලද්දේ එහි ගැබ්වුණු 'ස්වතාන්ත්රිකයා' හෙවත් 'නිවහල් තැනැත්තා' යන අර්ථය සලකාය.
ඔහු ගැන හොඳින් දන්නා
කිසිවෙකු ඔහු 'පරතාන්ත්රිකයෙකු'
හෙවත් 'වහල් මනසක් ඇත්තෙකු'
ලෙස හඳුන්වතැයි නොසිතමි."
එම 'ස්වතන්ත්‍ර' වාක්ප්‍රයෝග විවරණය පාදක කරගෙන, ඇමෙරිකාවේ වෙසෙන, අනෝමා කුලතුංග, මගේ එෆ් බී රසිකාව, තමාට හුරු පුරුදු ඉංග්‍රීසි බසින් පළ කළ මත ප්‍රකාශය විචාරක්ෂමය. හෘදයංගමය. අනෝමාවන්ගේ එම ආංගල වදන්හි හෙළ අරුත මෙසේයි .
"සිත් ගන්නා සුලු විග්රහයකි. මෙසේ ඉංග්‍රීසි බසින් විමසුම ගැන කමන්නැ. එහෙත් ඔබ සිතන අයුරු දැන ගනු රිසියෙමි. 'ස්වතන්ත්‍ර' යනු නිවහල් චින්තකයාද? 'නිවහල් චින්තකයා' පිළිබඳ නිර්වචනය මෙසේ වෙයි. ආධිපත්‍යය හා සම්ප්රදාය මත නොරඳා, තර්ක බුද්ධිය මත පිහිටා තම මත නිර්මාණය කරන්නා 'නිවහල් චින්තකයා' නම් වෙයි. ''නිවහල් චින්තකයා' යන්නෙහි විරුද්ධ පදය 'ගතානුගතිකයා' යනුයි.
(අනෝමා ඉංග්‍රීසි අකුරෙන් ලියූ සිංහල කොටස)
"එතකොට ඔයාගෙ යාළුවො එහෙම තරහ වෙන්නෙ නැද්ද, මිස්ටර් ජයසිරි 'ෆ්‍රී තින්කර්' හැටියටත් එයාලව 'කොන්ෆෝමිස්ට්ස්'ල හැටියටත් හැඳින්වීම ගැන?"
මා අනෝමාවන්ට ආංගල බසින් දුන් පිළිතුරෙහි සිංහල අරුත මෙයයි.
"ඔබේ මත ප්‍රකාශයෙහි දක්වා ඇති 'නිවහල් චින්තකයා' පිළිබඳ සුප්‍රකට නිර්වචනය අනුව, 'නිවහල් චින්තකයා' යන්නෙහි සමානාර්ථ පදයක් හැටියට 'ස්වතන්ත්‍ර චින්තකයා' යන්න භාවිත කිරීම අත්යන්තෝචිත බව මගේ හැඟීමයි.ඒ මන්ද? 'අදීන' යන අරුත 'ස්වතන්ත්‍ර' යන සකු වදනෙහි ගැබ්ව ඇති හෙයිනි. 'නිවහල් චින්තකයා' යන්නට එය පටහැනි වේද?
"ඔබ කියූ පරිදිම 'නිවහල් චින්තකයා' යන්නට විරුද්ධාර්ථ පදය වන්නේ 'ගතානුගතිකයා' යන්නය. සිංහල වහර අනුව 'ස්වතන්ත්‍ර' යන්නෙහි විරුද්ධාර්ථ පදය 'පරතන්ත්‍ර' නම් වෙයි. එහි අරුත පරගැති බවයි.ඒ අනුව 'පරතන්ත්‍ර' යන්න ගතානුගතික යන්නට සමානාර්ථ පදයක් ලෙස භාවිත කළ හැක්කේ වෙයි.
"නිවහල් චරිතාංගයන්ගෙන්
යුත් ඩබ්ලිව්.ජයසිරි සබඳාණන්
වෙසෙසනු සඳහා අත්යුචිත 'ස්වතන්ත්‍ර' නම් විශේෂණය මා භාවිත කළේ සිතාමතාමය. ඊට ඔහු සුදුස්සෙක් නම් එහි කවර වරදද? එය මගේ අයිතියකි. මම එහිදී කිසිවෙකු නොසැසඳුවෙමි. කිසිවෙකුට නොගැරහුවෙමි. ගතානුගතිකයන් සමග මගේ කවර පයුරුපාසනයක්ද? එබැවින් මා සමග උරණ වන්නෝ කොහි වෙත්ද?"
වරක් මම භර්තෘහරි කවියා තම 'නීති ශතකය' ග්‍රන්ථය මගින් මවා දක්වන අපූරු ප්‍රේම ජවනිකාවක් එෆ්.බී රසික රසාස්වාදය උදෙසා පළ කළෙමි.
" දිනක් බමුණෙක්, නිත්‍ය යෞවනය හා දීර්ඝායුෂ රැක දෙන දිව්‍යමය පලයක් රජෙකුට පුද පඬුරු කළේය.රජු එය තමා අනුභව නොකොට තම ප්‍රාණප්‍රිය බිසවට පරිත්‍යාග කළේය. ඇයද එය අනුභව නොකොටම තම ප්‍රාණප්‍රිය ප්‍රේමවන්තයාට පරිත්‍යාග කළාය. එය අනුභව නොකළ ප්‍රේමවන්තයාද ත්‍යාගය තම ප්‍රාණප්‍රිය ප්‍රේමවන්තියට පරිත්‍යාග කළේය. ඇය එය තම ප්‍රාණප්‍රිය රජුටම පරිත්‍යාග කළාය. හෘද්ගත අප්‍රමාණ භක්තියෙන් තම ප්‍රාණ ප්‍රිය බිසවට පරිත්‍යාග කළ දිව්‍යමය පලය යළි තමා අතටම පත්වීමේ සිද්ධිය වටහාගත් රජු ඉන් කලකිරී රජ සැප හැර තවුස් පැවිදි විය.
"රජුගේ කලකිරීම භර්තෘහරි කිවිඳුන් තම 'නීති ශතකය' ග්රන්ථයෙහි මනහර ශ්ලෝකයකට නඟයි.
"යාං චින්තයාමි සතතං මයි සා විරක්තා සාප්යන්යමිච්ඡති ජනං
සජනෝන්යසක්තඃ අස්මත් කෘතේ ච පරිතුෂ්යති
කාචිදන්යාධික් තාං ච තං ච මදනං ච
ඉමාං ච මාං ච
"ඔබගේ රසාස්වාදය උදෙසා එය මෙසේ සිංහල පැදියට නඟමි.
"එකියක ගැනම හිතුවත් ඇය පිටු පෑවා
ඇය පැතු එකා අන් එකියක හිත ගාවා
කවුදෝ වෙනත් එකියක් මට හිත ලෑවා
ඇය, ඔහු, මැය, මලවි හට නින්දා වේවා!"
භර්තෘහරි කිවිඳුගේ එම සකු සිලොවෙහි රැඳි උත්ප්රාස රසයෙන් කුල්මත්ව ගිය ජයසිරි කිවිඳුගේ හදින් ගිලිහී ගියේ ස්නේහාර්ද්‍ර වදන් පෙළකි.
" කරූ , මෙච්චර කල් ඔබ හඬින් මත් වුණෙමි. දැන් ඔබ ලියමින් මා මත් කරයි."
ළබඳ ජයසිරි සකි සඳාණන් එසේ පෑ සැළ මුතු මිතු සෙනේ පුදනු වස් එදා මා එෆ් බීයෙන් නැඟූ හද නදයැ මේ.
රස ගී පබඳමින් රඟමින්ද නිරතුරා
දන මන පිනවමින් නළු ලොවේ සැරිසරා
එළැඹී සිටින මුත් නර නැගෙන විය කරා
තවමත් ඔබ මගේ නව යොවුන් සුමිතුරා
ජයේගේ අබිනික්මනට දින කීපයකට පෙර මම කාලිදාස කිවිඳුගේ පෙම් කවි පුවතක් මගේ එෆ්.බී පතේ පළ කළෙමි. එය මෙයයි.
"කලකට පෙර ලංකා ගුවන් විදුලියෙන් නිතර ප්‍රචාරය කෙරුණු ඉතා ජනප්‍රිය පෙම් ගීයක මේ සුලබ යෙදුම අසන්නට ලැබේ.
"ගුවන්තලයේ නිසංසලයේ සිනා පෑවේ
ඔබේ මුහුණයි සඳේ මුහුණයි
සමානයි හා !
"ප්රස්තුත ගීතයේ තනුවේ හා ගායනයේ මිහිරක් පැවැතියද එම සුලබ සඳ - මුහුණු උපමාවේ ලේශ මාත්‍ර හෝ මිහිරක් නොදැනුණි. එය අලුත් කීමක් හෝ පරණ කීමම අලුත් විදියට කීමක් හෝ නොවුණු නිසා එහි අපූර්වත්වයක් හෙවත් නැවුම් බවක් නොපැවැති හෙයිනි. අපූර්ව රසයක් ජනනය කළ හැක්කේ පෙර නුදුටු විරූ නොඇසූ විරූ අලුත් කවි චින්තාවකිනි. පෙර දුටු විරූ ඇසූ විරූ පරණ උපමාවක් පෙර නොකියූ විරූ ලෙස අලුත් විදියකින් කීමෙන්ද රස ජනනය කළ හැකිය. මෙය වූකලී භාරතීය සංස්කෘත කාව්‍ය විචාරකයන් හෙවත් අලංකාරවාදීන් විසින් සම්භාවිත ප්රශස්ත විචාර සංකල්පයකි.
"දැන් මේ සංස්කෘත ශ්ලෝකයට සිත යොමු කරන්න. මෙය මා උපුටා ගත්තේ ශෘංගාර රස සාගරයක් වැනි 'ශෘංගාර තිලක' නම් සුප්‍රකට සංස්කෘත කාව්‍යයෙනි. මෙය මහා කවි කාලිදාස විරචිත කාව්‍යයක් බවටද මතයක් ඇත.එයින් විගලිත රස මාධූර්යය හේතුවෙන් විය හැකිය. සංස්කෘත සාහිත්‍යයේදී මේ රසාලිප්ත ශ්ලෝකය හා බැඳුණු පෙම් පුවතේ කතා නායකයා ලෙස දක්වා ඇත්තේද කාලිදාස කවිශ්වරයාමය.
"චන්ද්‍රග්‍රහණයක් සිදුවන වේලාවකි. එවේලේ තම පෙම්වතිය ගෙමිදුලෙහි සිටිනු කාලිදාසයෝ දකිති. ක්ෂණයකින් කිවිඳුන්ගේ මුවින් මේ ශ්ලෝකය ගිලිහෙයි.
"ඣඨිති ප්රවිශ ගේහේ මා බහිස් තිෂ්ඨහ කාන්තේ
ග්‍රහණ සමය වේලා වර්තතේ ශීත රශ්මේඃ
තව මුඛම් අකලංකම් වීක්‍ෂ්‍ය නූනම් ස රාහුර්
ග්රසති තව මුඛේන්දුම් පූර්ණ චන්ද්‍රම් විහාය
"මෙවන් ශෘංගාර රස පූර්ණ අපූර්ව සංස්කෘත පද්‍ය මධුවක් සිංහල පද්‍යයට නැඟීමට ලද භාග්‍යයත් පරම ප්‍රහර්ෂයකි.
"ගෙට යනු පිට නොසිට හණිකට සොඳුරු ළඳ
සැරසෙයි රාහු දැන් ගිලිනට පිරුණු සඳ
ඔහු දුටුවොතින් ඔය නිකැළැල් මුහුණ සොඳ
සඳ අතහැර ගිලියි ඔහු ඔබෙ මුහුණු සඳ"
කාලිදාස කිවිඳුගේ පැදි මධුවෙන් ලත් කුල්මතින් ඔද වැඩුණු ජයේ සැට වසක් ඉක්මවන තරම් ආයු විඳි සැළමුතු අප මිතු සෙනේ වෙනුවෙන් මඳ නලිනිදු සැලෙන තම හද වෙණ තතින් නැඟූ අවසන් මිහිරි නදයැ මේ.
"මුහුණු පොත තක්සලාවක් වූයේ ඔබ නිසා බව මම නොබියව කියමි. ජය වේවා කරූ!"
ඇරයුම් නොලැබ ඇවිදින් නොදත් මෙතැනට
අවසර නොගෙන යමු තව නොදත් තැනකට
එලෙසට නික්ම ගිය මුත් ජයේ හණිකට
ඔබ උන් සුවඳ දන හද රැඳේ සදහට
(සරස්වතිය හා ලක්ෂ්මිය දෑලෙන් වැලඳ වොරඳන මා ළබඳ ජනක ඉණිමංකඩයන් අතිශය උද්යෝගයෙන් පළ කළ මගේ 'හිතක මතක' පොත, ගිය වසරේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී දොරට වැඩි දා, එය එහි විදර්ශන පොත් කුටිය අබියසදී ජයසිරි සකි සඳාණන්ට පිරිනැමුණු මොහොත.)
| කරුණාරත්න අමරසිංහ
(FB පිටුවෙන්)