එකා දෙන්නා බැගින් නිවැසියන් මා හා සිනාසෙන්නටත් ඉඳ හිට වචනයක් දෙකක් කතා කරන තැනටත් තත්වය හොද අතට හැරෙමින් තිබිණි. මම ද ඉඳ හිට සමන්ගේ බිරිඳගේ ඉවුම් පිහුම් කටයුතු වලට අත් උදවු දෙන්නට ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වුනෙමි. ඇතැම් දිනවල කඩ මන්ඩියට ගොස් ඉවුම් පිහුම් වලට උවමනා කළමණා රැගෙන එන්නට තරම් මම ඔවුනට කාරුණික වුනෙමි.
තමන් සොන්ග් චුන්, මැලේසියාවෙ දිස්ත්‍රික්කයක් වන “පෙරැක්” හි ප්‍රධාන නගරය වන “ඉපො”, නගරයට ආසන්නව පිහිටි ගම්මානයකි. එය වටා පිහිටි මනරම් කඳු පන්තියකි. කදු ගැටයක් පාමුල පිහිටි පිහිටි පැරණි චීන පන්සල ගම්මානයට එකතු කරන්නේ අපූරු සුන්දරත්වයකි. එය විසිතුරු මසුන්ගෙන් පිරි කුඩා දිය ඇල්ලක්, ඉපැරණි ගල් ලෙන්, චීන මූර්ති කලාවෙන් නිමවූ බුද්ධ ප්‍රතිමා සහ බෝධිසත්ව ප්‍රතිමා සිය ගණනකින් යුතු විය. පන්සලට හා ගම්මානයේ කෙලවරකට වන්නට පිහිටි තොකුතොමී නම් වූ කර්මාන්තශාලාවට මැදිව විශාල නොවූ ඒ හැටි කුඩාත් නොවූ කඩ මණ්ඩියක් පිහිටා තිබිණ. චීන ජාතිකයන්ද මැලේ වරුන්ද ඉන්දියානු සම්භවයකින් යුතු මුස්ලිම් ජන කොටසක් වන මමා මුස්ලිම් වරුද එම කඩ මණ්ඩියේ වෙළඳාමෙහි නියුතු වූහ.
වර්ෂ 2013 සැප්තැම්බර් මස 01 වැනි ඉරිදා දිනය මට අමතක නොවන දිනයකි. එදිනට මැලේසියාවේ පනස් හයවන ජාතික නිදහස් දිනය යෙදී තිබුණ බැවින් රජයේ නිවාඩු දිනයක් ද විය.
නමුත් ඒ දිනය වඩා හොදින් මගේ මතකයේ රැඳුනේ එදින සන්ධ්‍යාවේ සමන්ගේ නිවසවෙත ආශික්ගේ පැමිණීම සිදුවූ බැවිණි. ආශික් ඒ සෙනසුරාදා දින පස්වරුවේ තවත් බංගලිදේශ ජාතිකයෙකු සමග සමන්ගේ නිවසට පැමිණියේ ඉදිරියට පිරිසගේ රැකියා වීසා පළිබඳව කරුණු පැහැදිලි කිරීමකටය. මා නොදැන සිටියාට සමන්ගේ නිවැසියන් සමන් වෙත විශාල පීඩනයක් එල්ල කොට තිබිණි. ඒ ඔවුන් හට රැකියා වීසා ලබාදීමට පොරොන්දු වූ ආශික් ඒ සඳහා සියලුදෙනාගෙන්ම මුදල්ද එකතු කොට තිබූමුත් මේ වනතුරු වීසා ලබා දීම සඳහා අවශ්‍ය මූලික කටයුතු හෝ සූදානම් නොකොට තිබූ බැවිනි. සමන් ආශික් වෙත බලකරන්නට ඇත්තේ පැමිණ තත්ත්වය සමනය කොට දෙන ලෙසටය.
ආශික් මවා ගත් මහත්මා ගතියකින් යුතුව හරි බරි ගැසී පුටුවක හිඳ සිටියේය. ඔහු සමග පැමිණි අනෙකා රැකවලෙකු සේ නිවසේ දොරටුවට එපිටින් සිටගෙනම සිටියේය. මැලේ ජාතික රියදුරා ප්‍රාඩෝ රථයේ රියදුරු අසුනින් ඉවතට පැමිණියේ නැත. නිවසේ සිටි සියලුදෙනා බිම ඇතිරූ පැදුරු මත හිඳ ආශික්ගේ පැහැදිලි කිරීම් වලට කන් දුන්නේය. පිරිස ඉංග්‍රීසි භාෂාවෙ දුර්වල බව දත් හෙයින්දෝ ආශික් කරුණු පැහැදිලි කළේ ඉතාමත් සරළ ඉංග්‍රීසියෙනි. ඔහු සඳහන් කළ කරුණු වල සාරාංශය වූයේ ඉතා නුදුරේදීම මැලේසියානු ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ, ඉපො හි පිහිටි කාර්යාලය වෙත පිරිස රැගෙන ගොස් වීසා සඳහා ඇඟිලි සළකුණු තැබීමෙ කටයුතු සූදානම් කොට ඇති බවත්, ඒ සඳහා දිනය සූදානම් වූ පසු පසු සමන් හරහා පිරිසට ඒ බව දැනුම් දෙන බවත්ය. එතෙක් දැනට සංචාරක වීසා සහිත හා සංචාරක වීසා වලංගු කාලය ඉකුත් වූ පිරිස් හට කිසිදු ගැටලුවකින් තොරව තොකුතොමී ආයතනයේ රැකියා කල හැකි බවත්ය. ඔවුන්ගේ ඕනෑම ගැටලුවක් විසදීම තමන්ගේ වගකීම බවද ඔහු අවධාරණය කළේය. සියල්ලෝම සාවදානයෙන් ඔහුට කන් දුන්නා මිස කිසිවෙකු ඔහුගෙන් හරස් ප්‍රශ්න අසන්නට නොගියහ.
අවසානයේ ආශික් සමන් ද කැටුව ඔහුගේ වාහනයෙන් නික්ම ගියේය. නිවසේ සිටි පිරිස තැන තැන කසු කුසු ගාන්නට වූ අතර සතුටු මුහුණක් කිසිවෙකු කෙරෙන් දක්නට නොවීය. මීගමුවේ ගැටයා කිසිවක් නොවූ ගානට ජංගම දුරකතනයේ ගීත අසමින් සිටියේය. සමන්ගේ මස්සිනා නිවසේ දොරකඩට වී සිටි මා වෙත සමීප විය .
“ මිනිහා බොරුව කරන්නෙ මල්ලි .... මිනිහා ගහන වීසා එකක් නෑ .... සල්ලි අපරාදෙ .... මොනව උනත් ජොබ් එක හරි හියෙනවනෙ .... ඒකත් ලොකු දෙයක්නෙ .... වීසා ගැන අදහස නම් අපි දැන් අත ඇරල දාල තියෙන්නෙ .... මිනිහා ඔය බොරුව කී වතාවක් නං කීවද දැන් .... අද අරන් යනව .... හෙට අරන් යනවා ෆින්ගර් ප්‍රින්ට් ගන්න කියල .... අපි රට හරක් නෙවෙයිනෙ මල්ලි .... මට ඉන්ග්‍රීසි බෑ ! නැත්තම් මම කියනව කනේ ඇගිලි ගහ ගන්න ....”
ආශික් පිරිස රවටමින් සිටින බව තේරුම් ගන්නට මට හැකි විය. මැලේසියාවෙ සිටින විදේශීය ශ්‍රමිකයන්ගෙන් බහුතරය නීත්‍යානූකූල නොවන ලෙස එරට රැඳෙමින් රැකියා කරන පිරිස් බවට ප්‍රදීප් කළ සඳහන මට සිහි විය. කරුණු කාරණා සිදුවන අයුරු පැහැදිලිය.
ආශික් සමඟ පිටව ගිය සමන් නැවත නිවසවෙත පැමිණි වේලාවක් පිළිබඳව පසු දින අවදිවන තුරු මම දැන සිටියේ නැත. නමුත් මා අවදි වන විට ඔහු ආලින්දයේ පුටුවකට වී තේ බොමින් පසු විය. මම මුහුණ කට සෝදාගෙන නැවත ආලින්දයට පැමිණෙන විටත් ඔහු මා බලාපොරොත්තුවෙන් එහිම රැදී සිටියේය.
“ මල්ලි ලොක්ක ඔයාට ජොබ් එකක් සෙට් කලා ...... ඔය වීසා වැඩේ තව ටිකක් කල් යන පාටයි ...... එතකන් ගෙදරට වෙලා නිදාගෙන ඉඳල හරි යන්නෙ නෑ නෙ මල්ලි ...... අපි වැඩට බහිමු ! ආවේ හම්බකරන්නනෙ ! ...... නැද්ද ? ”
මම ඔහුට සවන් දී සිටියෙමි .
“ඔයාට හොටෙල් එකක ජොබ් එකක් ලොක්ක බලල තියෙන්නෙ ..... ඒක සෙට් වෙන්න ටිකක් කල් යනව ..... එතකන් පොඩි සිකුයුරිටි ජොබ් එකක් තියෙනවා ..... ඒකට සෙට් වෙන්න ..... කීයක් හරි හම්බවෙනවනෙ වියදමට ..... මම ප්‍රසන්නත් ඔයාට සෙට් කරන්නම් ..... දෙන්නත් එක්ක කරල බලන්න ..... හොටෙල් එකේ වැඩේ සෙට් වුන ගමන් මම ඔයාව සිකුයුරිටි ජොබ් එකෙන් ගලවල හොටෙල් එකට සෙට් කරනව ! ඔයාට තේරෙනවනෙ මල්ලී ..... සල්ලිනෙ ඕනෙ ! වැඩේට සෙට් වෙන්න ! ”
එය අනපේක්ෂිත යෝජනාවක් විය. නමුත් මම එයට එකඟ වීමට තීරණය කළෙමි. නිවසේ අලසව කාලය කා දමනවාට වඩා කිසියම් ආකාරයක රැකියාවකට යාම මැනවි යන්න මගේ අදහස විය. ප්‍රසන්න යනු යුධ හමුදාවෙන් ඉවත් වී පැමිණ සමන් සමග සිටි තරුණයාය. ඔහු සමග ආරක්ෂක රැකියාවකට යාමට මට චකිතයක් නොවීය. නමුත් සංචාරක වීසා මත එරට රැඳී සිටි මට පෞද්ගලික ආරක්ෂක අංශය වැනි වගකිවයුතු රැකියාවක් කිරීමට ඇති නෛතික හැකියාව පිළිබඳව බොහෝ ගැටලු විය. නමුත් සමන්ට අනුව ඒවා “ලොක්කා බලා ගන්නා ” විෂයට අයත් විය.
මා පමණක් නොවේ, සමන්ගෙ නිවසේ රැඳී සිටි කිසිවෙකුත් එලෙස නීතිමය ලියකියවිලි සහිතව රැකියා කළ වුන් නොවූහ. එ පමණක දු නොව, තමන් සොන්ග් චුන් හි රැඳී සිටිමින් රැකියා කළ විදේශිකයන් අති බහුතරය නීත්‍යානුකූල නොවන අයුරින් එරට රැඳෙමින් රැකියා කළ වුන් වූහ. සමස්ත මැලේසියාවේම බහුතර විදේශීය ශ්‍රමිකයන්ගේ තත්වය එ බඳු විය.
වර්ෂ 2013 සැප්තැම්බර් මස 03 වැනි අඟහරුවාදා දින,
එදින හිමිදිරියේම අපි අපගේ රැකියා ස්ථානය බලා පිටත් වුණෙමු. අප රැගෙන යනු ලැබූවේ ආශික්ගේ ප්‍රාඩෝ රථයෙනි. ආශික් අප සමග නොවීය. ඒ වෙනුවට නිතරම පාහේ ආශික් සමග පසු ගමන් යන ඔහුගේ රියදුරා සහ සමන් අප සමඟ විය.
කුඩා ගම්මාන, කඩ මන්ඩි සහ කටුපොල් වතු පසු කරමින් කළ පැයක පමණ වූ ගමනකින් පසු අපි විශාල කර්මාන්ත පුරයක් වැනි වූ ස්ථානයකට ලඟා වුනෙමු. නමුත් එතැන තිබුණේ ගුප්ත පෙනුමකි. පාලුවට ගිය ස්වභාවයකි. මිනිසුන් පෙනෙන්නට සිටියේ නැති තරම්ය. උස තාප්ප වලින් වටවූ ඉඩම් තුළ ඇත්තේ මොනවාදැයි පිටත සිට දැක ගත නොහැකි විය. එවැනි උස තාප්ප පසු කරමින් ඉදිරියට ඇදුන අපි ගමන නිමා කරමින් එවැනි උස් තාප්පයක් සමඟ වූ ඝණකම් යකඩ ගේට්ටුවක් ඉදිරිපිට නතර වුනෙමු. ඒ මැලේසියාව තුළ මගේ පළමු රැකියා ස්ථානයයි.
එය කලකට පෙර භාවිතයෙන් ඉවත් කළ පරණ වාහන රඳවා තිබූ වාහන අංගනයක් විය. ඒ තුළ දිරා ගිය අබිලි වාහන විස්ස්කට වඩා සංඛ්‍යාවක් තැන තැන අපිළිවෙළට ගාල් කොට තිබුණේය. අක්කර තුනක් පමණ වූ ඉඩම වටා මිනිසෙකුට බඩ ගා නැග ගත නොහැකි තරම් උස වූ ඝණකම් සිමෙන්ති තාප්පයකින් වට කොට තිබිණ. ඉඩමෙ මැද හරියට වන්නට පරණ බංගලාවක් වැනි ගොඩනැගිල්ලකි. එය මිනිස් වාසයෙන් තොර බව කියා පාමින් බිත්ති පුරා ගස් වැල් ලියලා තිබිණ. ඉඳ හිට කුඩා වවුලෝ කිහිප දෙනෙක් ගොඩනැගිල්ල තුළටත් ඉන් පිටතටත් පියාඹා ගියහ.
මෙතෙක් කල් එහි රැකවුලුන් ලෙස එතැන රැඳී සිටි දුර්වළ පෙනුමැති බංගලිදේශ ජාතික තරුණයෝ දෙදෙනෙකු හැඳ පැලඳගෙන, ඔවුන්ගේ ගමන් මලුද ගෙන අප පැමිණෙන තුරු එහි පෙර මග බලා සිටියහ. ඔවුන් දෙදෙනා වෙනුවට ප්‍රසන්න සමඟ මා මෙතැනට අලුතින් පත්වීම් ලබන බව මට අවබොධ විය. සමන් පැවසුවේ එම කොල්ලන් දෙදෙනා ආශික්ගේ ගොවිපොළේ නතර වන්නට යන බවය.
අපට වාසස්ථානය වූයේ කෝටු කීපයක් මත ටකරං තබා ඉදි කළ මැස්සකි. ඒ යට කෝටු මැසි දෙකක් උඩ පැදුරු දමා තිබිණි. නිදා ගැනීමට තිබුණේ ඒවායේය. උයා පිහා ගන්නට විශේෂිත තැනක් නොතිබූ අතර ගෑස් සිලිඩරයක් හා බිම තබා තිබුණ ගෑස් උදුන සමඟ උයන පිහන භාජන මහ පොලොවේ ඇතිරූ ඉටි රෙද්දක් මත මුනින් නවා තිබිණි. සහල් බෑගයක්, ළුණු, කරවල, ම්රිස් කුඩු හා ලුනු වැනි කළමනා කීපයක් ප්‍රාඩෝ රථයෙන් ඉවතට ගත්තේ සමන් විසිනි. ගරා වැටුන පරණ වැසිකිළියක් නුදුරින් වූ අතර එහි බිත්ති හෝ වහලය නොතිබුණි. එය එකෙකු වැසිකිළිය පාවිච්චි කරන විට අනෙකා අහක බලා ගත යුතු පන්නයෙ වැසිකිළියකි.
ප්‍රසන්න මෙන්ම මම ද බලවත් ලෙස අපහසු තාවයට පත්ව සිටියෙමු. බංගලිදේශ ජාතික කොල්ලන් දෙදෙනා ආපසු යන්නට පෙරමඟය. එහෙයින් අපට එතැන රැඳෙනවා හැරෙන්නට වෙනත් විකල්පයක් ද නොවීය. මම ප්‍රසන්නව අස් වසාලීමි.
අප රැගෙන ආ පිරිස ආපසු පිටව යන්නට ප්‍රථම රියදුරු තැන විසින් වාහනයේ කොහේ හෝ මුල්ලක සඟවා තිබූ දිග කඩු දෙකක් ඉවතට ගත්තේ ප්‍රසන්න සහ මම පුදුම කරවමිනි. මැලේසියානුවන් “ පරන්ග් ” ලෙස හඳුන්වන මෙම දිග කඩු, එක පහරකින් මිනිසෙකු දෙපලු කරන්නට තරම් තියුණු ඒවා විය.
“රෑට කවුරු හරි ආවොත් කොටන්ඩ මැරෙන්ඩම .... කිසි දේකට බයවෙන්න එපා .... ලොක්ක බලා ගනී ඉතුරු ටික .... කුඩු ගහන වුන් එනවා යකඩ උස්සන්න ! ”
සමන්ගේ යෝජනාවෙන් අපි දෙදෙනාම තැති ගත්තෙමු.
ඉක්බිති ඔවුහු අප එතැන තනි කර දමා පිටත් වී ගියහ. ප්‍රසන්නත් මමත් කිසිවක් නොදොඩා බොහෝ වේලාවක් ගත කළෙමු.
“මේක හරියන වැඩක් නෙවෙයි .... සල්ලිත් උන්ට දීල .... වීසාත් නැතුව .... කඩු කිණිසි තියාගෙන රස්සා කරන්න නෙමෙයිනෙ අපි රට ආවෙ .... අපිට පුළුවන්ද නොදන්නා රටක මිනිහෙකුට කඩුවකින් කොටන්න ! අනික ඉන්න හිටින්න හරි හමන් පහසුකමක් තියෙනවද මෙතන .... හිඟන්නො වගේ ....”
ප්‍රසන්න අලුත් රැකියාව පළිබඳව බලවත් අප්‍රසාදය පළ කළේය. ඔහු හා එකඟ වීමට ඕනෑවටත් වඩා හේතු විය. එක්තරා ආකාරයකින් අපි අපේ ජීවිත අවදානමක හෙළන ආකාරයක් මට වැටහී ගියේය. කුඩ්ඩන් එන්නෙ හිස් අතින් නොවිය යුතුය. යකඩ සොරකම් කරන සොරෙකුට උවමනා තරම් යකඩ එහි විය. එහෙයින් එතැනට සොරුන් පැමිණෙන බවට කිසිඳු සැකයක් නොවීය.
අපි දුරකතනයෙන් සමන් අමතා අප නැවත රැගෙන යන ලෙස තදින්ම ඉල්ලා සිටියෙමු. අපි අපේ අපහසුතා ඔහුට පැහැදිලි කළෙමු. ඔහුගේ පිලිතුර වූයෙ එතැන සේවයට වෙනත් දෙදෙනෙකු සොයා ගන්නා තුරු දින කීපයක් පමණක් එහි රැඳී සිටින ලෙසය. නමුත් අපට එතැන එක රැයක් හෝ ගත කරන්නට ඇත්තටම වුවමනා නොවීය. එතැන ජීවත්වන්නට තිබූ අපහසුතාවයන්ට වඩා අපේ සැලකිල්ල යොමු වූයේ එතැන තිබූ ජීවිත අවධානම පිළිබඳවය.
කෙමෙන් සන්ධ්‍යාව උදා විය. අපි අපේ රැකියාවෙහි පළමු රාත්‍රියට මුහුණ දීමට සුදානම්ව සිටියෙමු. ප්‍රසන්න කොහෙන්දෝ සොයා ගත් විදුලි පන්දමක් සූදානම් කරගෙන සිටියේය.
ඇසෙන තෙක් මානයක මිනිස් කටහඬක් තබා මිනිසුන් ජීවත්ව සිටින බවට හෝ හෝඩුවාවක් වත් නොවීය. මහා මාර්ගයෙන් ඇතුළට වන්නට පිහිටි එම ස්ථානයට ඉතා ඈතින් ගමන් කරන වාහන ශබ්දය පමණක් ඉඳ හිට පහත් හඬ්න් ඇසිණි. වවුවල්න්ගේ හා වෙනත් රෑ කුරුල්ලන්ගෙ කෑ කෝ ගැසීම් හැරෙන්නට පළාතම වසා ගෙන පැතිර ගියේ ඝණකම් නිහැඩියාවකි. වට පිටේ තිබුණ තාප්ප වළින් වටවූ විශාල ඉඩම් ද මෙවැනිම වූ අබිලි දෑ ගොඩ ගසා තිබෙන ස්ථාන විය යුතුයැයි මට අදහසක් ඇති විය. ඒවායේද අප වැනිම විදේශිකයක් කිහිප දෙනක් හෝ නිහඬව රැදී සිටිනවා විය හැකිය. නමුත් එ වැන්නෙකු පිළිබඳව හෝඩුවාවක් හෝ රාත්‍රිය උදා වන තුරුත් නොවීය.
අපි නිවසින් පිටත්වන විට රැගෙන ආ ජෑම් පාන් රාත්‍රියේ ආහාරයට ගත්තෙමු. බීමට තිබුනේ ජලය පමණි. අනතුරුව එළිමහනට වී තරු පිරි අහස දෙස බලාගෙන ගත කළෙමු.
රාත්‍රී නවයට පමණ ඈතින් ඇසුන වාහන ශබ්දයක් ක්‍රමයෙන් අප සිටින ඉසවුවට ඇදෙමින් ලං ලංව ඇසෙන්නට විය. අපි කන් යොමා සිටියෙමු. ක්‍රමයෙන් අපට ලං වූ වාහනය තාප්පයෙන් එපිට නතර කෙරිණ. වාහනයේ දොරවල් අරින වහන ශබ්දයත්, එයින් කීප දෙනෙකු ඉවතට බසින අයුරුත් අපි අසා සිටියෙමු. ඔවුන් ගේට්ටුව අසලට පැමිණ ගේට්ටුව සොලවමින් අපට අඬ ගැසූහ.
ඔවුහු මැලේ භාෂාවෙන් මොන මොනවදෝ කියා අඬ ගැසූහ. එයින් මට තේරුම් ගත හැකි වූයෙ “භයියා” යන වචනය පමණි. භයියා යනු සහෝදරයා යන අරුත ඇති හින්දි වචනයයි. පොදුවේ මැලේසියනුවන් ඉන්දියානු පෙනුමැති විදේශිකයන් ඇමතුවේ භයියා යන වචනයෙනි.
ඔවුන් කතාකළ මැලේ භාෂාව අපට නොතේරෙන බැවින් මම ඔවුන්ගෙන් ඉංග්‍රීසි භාෂාවෙන් විමසා සිටියේ ඔවුන්ට අවශ්‍ය කුමක්ද යන්නයි. එකෙකු හොදින් ඉංග්‍රිසි කතා කරන අයෙකු විය. ඔහු විධාන කළේ ඔවුන් වෙනුවෙන් ගේට්ටුව විවෘතකරන ලෙසයි. තවද කලින් මෙතැන සිටි බංගලිදේශ ජාතික කොල්ලන් දෙදෙනා පිළිබඳව ද ඔහු විමසා සිටියේය. මම පිලිතුරු ලෙස පෙර මෙතැන සිටි දෙදෙනා වෙනුවට අපි අලුතින් මෙහි සේවයට පැමිණි බවත්, අපට දැනුම් දී ඇත්තේ රාත්‍රි කාලයේ කිසිවෙකු වෙනුවෙන් ගේට්ටුව විවෘත නොකරන ලෙස බවත් ඔහුට පවසා සිටියෙමි. මගේ පිලිතුරෙන් ඔවූහු කුපිත වූහ. එකෙකු ලී දණ්ඩකින් දිගට හරහට ගේට්ටුවට තඩි බාන්නට පටන් ගති. මඳ අඳුරේ ප්‍රසන්නගෙ අත රැඳි කඩුව මට දැක ගත හැකි විය. මම ඔහුට කඩුව සඟවා තබන ලෙස කෑ ගෑවෙමි.
කලබල අතරේ මම සමන්ට දුරකතන ඇමතුමක් ගෙන උද්ගත වී ඇති වී ඇති තත්ත්වය කෙටියෙන් පැහැදිලි කළෙමි. ඔහු ආශික්ට ඒ බව දැනුම් දෙන තුරු මොහොතක් පිරිස සන්සුන්ව තබා ගන්නා ලෙස මට දැන්වීය. ඒ වන විටත් ගේට්ටුවෙන් පිටත රැඳී සිටි සතර දෙනෙක් පමණ වූ පිරිස කෑකෝ ගසමින් අපට තර්ජණය කරමින්ද පසු වූහ. මිනිත්තු ගණනකින් පසුව නොදන්නා අංකයකින් මට දුරකතන ඇමතුමක් ලැබිණ. ඒ ආශික් වෙතිනි. ඔහු මා වෙත දැනුම් දුන්නේ ඒ පිරිස වෙනුවෙන් ගේට්ට්ටුව විවෘත කරන ලෙසයි. මම දෙවරක් නොසිතා ගේට්ටුව විවෘත කළෙමි. විවර වූ දොරටුව තුළින් කෝපයෙන් යුතුව අංගනයට පිවිසි පිරිසෙන් එකෙකු ප්‍රසන්නගේ බෙල්ලෙන් අල්ලා ඉවතට තල්ලු කර දැමුවේය. තවකෙක් අත රැඳි ලී දණ්ඩකින් මා වෙත දමා ගැසූ මුත් මට ඉවතට පැන පහර වලක්වාගත හැකිවිය.
ඔවුහූ සියල්ලෝම මදාවි පෙනුමැති මැලේසියානු ද්‍රවිඩයන් වූහ. ඔවුහු ද්‍රවිඩ භාෂාවෙන් මෙන්ම මැලේ භාෂාවෙන් අපට බැන වදිමින් ඉඩමේ දුරින් වූ වල් වැදුණු ගොඩනැගිල්ල වෙත ඇතුළු වූහ. අපි ඔවුන් පසු පස යාමෙන් වැලකී සිටියෙමු. මිනිත්තු කීපයක් ගොඩනැගිල්ල තුළ හඩ නගමින් කෑ කෝ ගසමින් ගතකළ ඔවුහු නැවතත් ගොඩනැගිල්ලෙන් ඉවතට පැමිණයහ. මා වෙත පැමිණි ඉංගේරීසි කතා කළ තරුණයා නැවත ඔවුන් පැමිණෙන විට ප්‍රමාදයකින් තොරව ගේට්ටුව විවෘත කළ යුතු බවට විධාන කළේය. ඉන්පසු ඔවුහු කෑ කෝ ගසමින්ම පිටව ගියහ. අපි ගේට්ටුව නැවත් වසා ඉබි යතුරු දැමුවෙමු.
ඉක්බිති විදුලි පන්දම දලවා ගත් අපි ගොඩනැගිල්ලට පිවිස විපරම් කර බැලුවෙමු. ඒ තුළ දිරා ගිය අබලන් පුටු කීපයක්, කකුල් කැඩී ගිය මේසයක්, තැන තැන බිම දමා තිබුණ රෙදි කැබලි කීපයක් විය. තවත් විපරම් කළ අපට ඇතුළු කාමරයක තබා තිබූ විසිතුරු මසුන් පිරි කුඩා මින් මැදුරක් දැක ගත හැකිවිය. එහි අලුතින් දමා තිබූ මත්ස්‍ය ආහාර වටා මත්ස්‍යයින් රොද බැඳ සිටියේය. මට කාරණාව පැහැදිලි විය. පිරිස පැමිණ තිබුණේ මින් මැදුරෙ සිටි මසුන්ට ආහාර ලබා දෙන්නටය. එතැන බිම දමා තිබූ ගංජා බීඩියක ඉතිරි කොටස් ද අපට දැක ගත හැකි විය.
ප්‍රසන්න හා මම ත්‍රාසයෙන් යුතු ඒ රාත්‍රිය නොනිදාම පහන් කළෙමු.
වර්ෂ 2013 සැප්තැම්බර් මස 04 වැනි බදාදා දින,
මුව කට දොවා ගත් අපි, අපේ රෙදිපිළි රැඳුන ගමන් මලුද ගෙන අංගනයෙන් ඉවතට පැමිණ ගේට්ටුව පිටතින් ඉබි යතුරු දමා වසා දැමූවෙමු. පා ගමනින් ගොස් ප්‍රධාන මාර්ගයට පිවිසි අපට කුලී රථයක් පැමිණෙන තුරු පැයකට වඩා වැඩි කාලයක් මග රැක සිටිය යුතු විය. අවසානයේ නවතා ගත් කුලී රථයකින් අපි තමන් සොන්ග් චුන් බලා පිටත්ව ගියෙමු.
අප සමන්ගේ නිවසට පැමිණෙන තුරුම අපි සේවය හැරදා ආපසු පැමිණෙන බවක් කිසිවෙක් දැන සිටියේ නැත. අපේ පැමිණීම කන වැකුන සමන් කොහේදෝ සිට නිවසට දිව ආවේය. ඔහු නොයෙක් දේ කියමින් අපට දොස් නගන්නට විය. අපි නෑසුන කන්ව සිටියෙමු. මොහොතකින් ආශික් වෙතින් සමන් වෙත දුරකතන ඇමතුමක් ලැබිණ. තේරෙන ඉංග්‍රීසියෙන් සමන් ඔහුට අපි නැවත එතැන සේවයට යාමට අකමැති බව පවසා සිටියේය. නිවසේ සිටි බොහෝ දෙනා අප දෙස බැලුවේ වැරදිකරුවන් දෙස බලන ලෙසිණි. “ලොක්කා තරහ කරගත්තා” වැනි දේ ද සමන්ගෙ මුවින් ඉඳ හිට කියැවිණි. අපි පිළිතුරු දෙන්නට නොගියෙමු. සිදුවන දේ දෙස නිහඩව බලා සිටියෙමු.
මැලේසියාවේ මගේ පළමු රැකියාව එලෙස අහවර විය.
(ලබන සතියට - MH 370 - (අපායේ කතාව 15)
| රසික චන්ද්‍රසේකර
සබැඳි පුවත්
- පර්ලීස් හි මහා මානුෂීය ඛේදවාචකය - (අපායේ කතාව 13)
- මැලේසියාවේදී මුණ ගැසුණු ලාංකික අමුත්තන් සමග වූ මගේ නව ජීවිතය ගැන කියවමු -අපායේ කතාව 12
- මැලේසියාවේ අග මුල - අපායේ කතාව 11
- සිංගපූරුවට සමු දී මැලේසියාවට පිවිසුනෙමි - - අපායේ කතාව- 10
- “මිනිස් ජාවාරම” විද්‍යාත්මක කියවීම" - අපායේ කතාව- 09
- සිංගප්පූරුව වෙත වූ මගේ දෙවන සංචාරය - අපායේ කතාව - 08
- දිළිඳු රටවල ගැහැණුන්, පිරිමින් සහ කුඩා දරුවන් සිංගපූරුව තුළ අළෙවි වන හැටි - (අපායේ කතාව 07)
- ඒ කේතුමතී පුරයේ වත්-පොහොසත්කම් - (අපායේ කතාව 06)
- සිංගපූරුවේදී අත්විඳි තවත් අමුතු අත්දැකීම් - (අපායේ කතාව 05)
- සිංගප්පූරූවේ ඉතිහාසය - (අපායේ කතාව 04)
- සුපිරි පුරවරයේ අඳුරු කතාන්දර - සිංගප්පූරු සංචාරයේ මතක - (අපායේ කතාව - 03)
- ගොඩබිම් සේදමාවතෙන් සමුගෙන සමූද්‍රීය සේදමාවතේ යාත්‍රා කළ වහලුන්ගේ කතාව (අපායේ කතාව - 02)
- සේද මාවතේ ඉපැරණි වහල් වෙළදාම