1988 ඉඳන් 1990 අග වෙනකම් කාලය කියන්නේ තාමත් අපේ හිත ගැස්සෙන මතක තියෙන කාලයක්. ඒ මතක අතර හැම පුරුකක්ම බැඳෙන්නේ
අපිට අහිමි කළ අපේ මිතුරන්ගේ මතකයන් එක්ක. ඒ නිසාම ඒ කාලය ගැන ලියන, කියන හැම කතාවක්ම මොන අර්ථයෙන් ලිව්වත් කිව්වත් හිත ගැස්සෙන එක නතර වෙන්නේ නැහැ.
‘90 දශකයේ අග ඉඳන් අද වෙනකොට අවුරුදු 34ක් ගෙවිලා ගිහින්. ඒ කාලේ අපි කොල්ලෝ; තරුණයෝ. දැන් ටිකක් ගතින් වයසයි.
මේ හිත තිගැස්සෙන, ගතින් වයස මට ආයෙමත් පසුගිය දවසක හිත ගැස්සෙන සිද්ධියක් වුණා. ඒ ප්‍රිය මිතුරු සුදත් මහදිවුල්වැව හෙවත් දිවුලාගේ චිත්‍රපටිය දැකීමෙන්. ඒකේ නම ‘My Red Comrade’.
1983 අ.පො.ස. සාමාන්‍ය පෙළ කරන කාලේ ඉඳන් අපිට Red Comradeවරුන් උන්නා. සමහර අයට අපිවත් Red Comradeවරුන් වුණා. අතීතකාමය හිතින් ගලවන්න උවමනාවක් නැති මං වගේ අයට දිවුලගේ මේ My Red Comrade නමත් සිනමා ශාලාවට අපිව ගෙනියන වචන තුනක්. ඒ හින්දම දිවුලාගේ මරණීය ආරාධනයෙන් පහුගිය දවසක One Galle Face Mall වල PVR සිනමා ශාලාවට ගියේ චිත්‍රපටිය බැලීමේ අශාවෙන්.
ඒකේ පිටිපස්සෙම පේලියේ සිනමා විචාරකයන් දෙදෙනෙකුට මැදිවෙලා විනාඩි අනූවක් ම ගෙව්වා.
මම ගියේ My Red Comrade බලන්න. මම විචාරකයන් නොවන ප්‍රේක්ෂකයන්ගේ ගොඩට අයිති වෙන කෙනෙක්. ඉතින් ඒ වගේ අය වගේම මමත් කරන්නේ චිත්‍රපටියක් බලන එක. ටිකක් බර සාරේට කිව්වොත් නරඹන එක.
හැබැයි මේ කියන දවසේ එහෙම කරන්න බැරි වුණා.
චරිත දෙකක් එක ලෑලි කාමරේක කොටු වෙලා කරන කතා බහ නිසා මට My Red Comrade බලන්න බැරි වුණා. හරියටම කිව්වොත් බලන්න විතරක් බැරි වුණා.
ඒක අහන් ඉන්නත් සිද්ධ වුණා. ඒ අස්සේ පරණ මතක ගැන හිතන්නත් වුණා. ඇසයි, කනයි, හිතයි තුනම එකට තියාගෙන විනාඩි අනූවක් බහුශ්‍රැත සිනමා විචාරකයන් දෙන්නෙක් මැද ඉන්නවා කියන්නේ තත්පර දහයක් පහළොවක් කට පියාගෙන ඉන්න බැරි මට හෙන වැඩ මුළුවක්. අසීරු කාර්යයක්. දෙපැත්තේ දෙන්නත් විනාඩි අනූවක් ඇතුලේ වචන පහ හයකට වඩා කතා කළේ නැහැ.
මුළු චිත්‍රපටියම මට කුතුහලයක්. ඊළඟ මොහොත මොනවා කියයිද, මොනවා පෙන්නයිද, මොනවා වෙයිද කියන කුතුහලය. හරියට අර මම මුලින් කිව්ව 1988 ඉඳන් 1990 අග වෙනකම් ගෙව්ව කාලය වගේ. අවිනිශ්චිත යි. ඒ වගේම බලාපොරොත්තු සහගත යි.
ප්‍රේක්ෂකාගාරය සම්පූර්ණයෙන්ම තිබුණේ මැදි වයස අග උන්නු නමක්, ගමක් වග වාසගම් නැති නන්නාඳුනන Red Comradeගේ ලෑලි කාමරයට කඩා වැදුණු කෙල්ලක් මත. ඇය, අපි වෙනත් නිර්මාණවල දැකලා පුරුදු තරිඳි ප්‍රනාන්දු විසින් පණ දෙන චරිතය. වෙලාවකට හිතෙනවා ඒ නන්නාඳුනන කෙල්ල තරිඳිට පණ දුන්නා කියලා. ඒ මට හිතෙන හැටි.
කතාව ඇදෙන්නේ දෙබස් අහන් ඉන්නේ නැතුව කන අත්හැරියොත් චිත්‍රපටියෙන් අපිව විසිවෙන නොනිල කොන්දේසිය මත. ඒ නිසා විනාඩි අනුවම කන හොඳින් තියා ගන්නම වෙනවා. ඒක හිතා මතා වෙහෙසකර ව්‍යායාමයක් වුණේ නැහැ. කන ස්වයං පාලන උපකරණයක් වගේ විනාඩි අනූවම ශබ්දය අහුලා ගත්තා, එක වචනයක් අපතේ යවන්නේ නැතුව.
ඇස් දෙකත් එහෙමයි. ඇස් තිබුණේම මහා විසල් තිරය මතයි. ඔය දෙක අතර හිත විතරක් දශක තුන හතරක් එහාට මෙහාට ගියා ආවා.
නන්නාඳුනන Red Comrade වුණේ දිවුලාගේ පත්තර භාෂාවෙන්ම කියන විදිහට නොනළුවෙක් වුණු ආසිරි ඇල්ලගේ. ඔහුව සමහර වෙලාවට අර නන්නාඳුනන කෙල්ල වුණු තරිඳි ප්‍රනාන්දුගේ රංග සොබාව හින්දා පෙනී නොපෙනී යනවා. ඒවා පේන්න, දැනෙන්න ගත්තේ ගෙදර ආවටත් පස්සේ. චිත්‍රපටියේ සංගීතය තිබුණු බවත් ගීයක් තිබූ බවත් දැනුනෙත් ගෙදර ආවට පස්සේ. ඒ තරමට ම ඒවා චිත්‍රපටියට ආගන්තුක නොවී චිත්‍රපටිය ඇතුලෙම තිබුණා.
නන්නාඳුනන කෙල්ල සහ නන්නාඳුනන Red Comradeගේ දෙබස් වෙලාවකට කන පුරෝලා වදිනවා. පොප්ලර් ගස් ගැන නන්නාඳුනන කෙල්ල කියපු කතාව වගේ දෙබස් ඉන් එකක්. ඒ අතර Red Comrade කියූ මැරෙන්න මොහොතකට පෙර නාඳුනන Red Comrade කෙනෙක් සහ වදකයෙක් අතර සිදුවීම මාව පරණ මතක දිහාට ඇදගෙන ගියා. මීට අවුරුදු තිස් ගානකට එහා ඒ කතාව අහල තිබුණට ආයේ කවදාවත් ඒ කතාව සිනමා ශාලාවක තිරය දිහා බලාගෙන අහන්න වෙයි කියලා මට කවම කවදාවත් හිතිලා තිබුණේ නැහැ.
අවසන් මොහොතේත් ධෛර්ය නොසිඳුණු අපි අහල තිබ්බ Red Comrade කෙනෙක්ගේ වීරත්වය නිසා ඔහුත් සමඟ දැවී පිලිස්සී මියගිය වදකයා අසල උන්නු අයට දැන් මොනවා හිතෙනවද කියලා ඒ අතීත කතා අහලා පුරුදු මට හිතෙන එක තවත් අයටත් හිතෙනවා ඇති කියලා PVR ශාලාවෙන් එලියට ආවට පස්සේ මට කල්පනා වුණා.
My Red Comrade බලන්න ඕනේ චිත්‍රපටියක්. වඩා හොඳයි මේ ගැන ලියා තියෙන සිනමා විචාරයන් නොකියවාම ශාලාවට ගිහින් බලනවානම්.
මට හිතෙන්නේ මේක පරම්පරා තුනක් අඩුම තරමින් දකින්න ඕනේ චිත්‍රපටියක් කියලා. මට හිතෙන හැටියටනම් 89 පරම්පරාවේ ජීවිත ගලවා ගත්ත අයත්, ඒ ගැන කතාන්දර විතරක් අහලා ඉන්න අයත් My Red Comrade බලන්න ඕනේ. ඒ වගේම ඊට පරම්පරා තුනකට පස්සේ ඉන්න මේ දැන් පරම්පරාවත් මේක බලන්න ඕනේ.
මුල් කණ්ඩායම මේක බලන්න ඕනේ තමන් ගැන සිනමාකරුවෙක් දකින විදිහ ගැන තේරුම් ගන්න. දෙවෙනි කොටස මේක බලන්න ඕනේ ඒ කාලේ මොකද වුණේ කියලා ඡායා මාත්‍රයක් හරි දැන ගන්න. අන්තිම කට්ටිය, ඒ කියන්නේ මේ දැන් පරම්පරාව මේක බලන්න ඕනේ අඩු කාලයකින්, අඩු ඉඩකින්, අඩු රංග ශිල්පීන්ගෙන් සමන්විත චිත්‍රපටියක් කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න.
ඒ මට හිතෙන හැටි.
ඇසයි, කනයි, හිතයි එක තැනක තියාගෙන බලන්න ඕන කතාවක් චිත්‍රපටියක් කළා ට ස්තුතියි දිවුලා.
චිත්‍රපටියේ නොපෙනෙන ශ්‍රමය දුන් අය කොහොම වෙතත් My Red Comrade ඉවර වෙනකම් ම විනාඩි අනූවක් මාව අල්ලන් හිටියට නන්නාඳුනන කෙල්ල සහ නන්නාඳුනන Red Comrade වුණු තරිඳි ප්‍රනාන්දු සහ ආසිරි ඇල්ලගේට ස්තුතියි.
මේ තමයි My Red Comrade ගැන මට හිතෙන හැටි.
| සිසිර යාපා
සබැඳි පුවත්