දුකම මිස සැපක් නම්
අනේ අපි ගාව නෑ
කහට උගුරක් මිසක
කුස පිරෙන කෑම නෑ
අඳින්නට හොඳ ඇඳුම්
කිසිදිනෙක ලැබුණේ නෑ
නාඬන්න අප්පච්චි අනේ
මන් තරහා නෑ
අපි හින්දා නේද නුඹ
තුරු මුදුන් බලන්නේ
පුරවන්න කුස අපේ
බොහෝ දුක් විඳින්නේ
දාඩියෙන් නෑ උනත්
නුඹේ සුවඳ දැනෙන්නේ
නුඹට තනි රකින්නයි මන්
මෙහෙම හිඳින්නේ
පොල් ගොඩක් කැඩුවාට
ලැබෙන් නෑනේ සල්ලි
ලැබෙන ගෙඩියෙන් දෙකෙන්
රැකෙයි මා හා මල්ලි
හුඟක් උඩ නුඹ යද්දි
හිත ගැහෙනවා හෙල්ලි
මට බයයි ඒ නිසා
අල්ලන්නේ නෑ ජල්ලි
උදේ ඉඳලම ගොඩක්
අද වැස්ස වැටෙනවා
නගින්නට බෑ ගසුත්
වැඩත් මග හැරෙනවා
හරි දුකින් ඒ ගැනම
අප්පච්ච් හිතනවා
පුංචි මම ඒ අතරේ
හීනයක් බලනවා
මාලිකා මිස්කින් - මා කවි අරණ fb පිටුවෙන්
ඡායාරූපය : අන්තර්ජාලයෙන්.