"රහසක් පණ සෙ රැක ගත් යෙහෙළිද ඔබය"

"රහසක් පණ සෙ රැක ගත් යෙහෙළිද ඔබය"

අසරණ මදිවිය  මින් සිවු පනස් වසරකට පෙර සසරණ වුණු අද වන් එදින අද මම්  කා සමග සමරම්!

රඝුවංශ මහා කාව්‍යය කළ කවිකුල ගුරු කාලිදාස කවීන්ද්‍රයෝ ඉන්දුමතියගේ අකල් වියොවෙන් වලප්නා අජ රජුගේ මුවට මේ විරහ ගීය නංවති.

ගෘහිණී සචීවඃ  සඛී මිථඃ

ප්‍රිය ශිෂ්‍යා ලලිතේ කලා විධෞ

කරුණා විමුඛේන මෘත්‍යුනා

හරතා ත්වාං වද කිං න මේ හෘතං

රඝු වංශයේ 8 වැනි සර්ගයෙහි අජ විලාපයේ එන එම හෘදයංගම සංස්කෘත පද්‍යය මම මෙසේ සිංහලට නඟමි.

මගෙ ගෙය රැක බලා ගත් බිරිඳද ඔබය

උපදෙස් දුන් පුරෝහිත මැතිනිද ඔබය

රහසක් පණ සෙ රැක ගත් යෙහෙළිද ඔබය

ලලිත කලාවෙහි මගෙ සිසුවිද ඔබය

ඇවිදින් කුරිරු මරුවා  නැති කුලුණු  ගුණ

උදුරන් ගිය පසුව මෙලෙසින් ඔබගෙ පණ

ගෙන යන්නේ නැතුව මගෙ ළඟ ඉතුරු වුණ

තව යම් දෙයක් විය හැකිදැයි  කියනු මැන

 මහදෙහි නිබඳ නිනද වන ඒ අජ රජ ගීය මගේම ජීවන ගීයයි!

දිනෙක ඇය මගේ ගෙට වැඩි වෙසඟ මස

යළිත් ඇවිත් කලඹා ලයි මතක රැස

මිනිස් දුක දකින ඇය සතු  කුලුණු ඇස

පුදම්  බැති පෙමින් මේ කවි කඳුළ ඉස

මං සන්දියක පිපි නෑඹුල් හස කැල්ම

බසයක පහළ වී ගිය එහි යළි දිල්ම

විකසිත කළා අප දිවි එක් කළ ඇල්ම

මනැසේ දිසේ එය හද සැසලෙන කල්ම

වැසි වසිනා දිනක මැදියම් රැය නාවා

හෙණ ගිගුරුම් හඬට ඇය නිති බිය වූවා

ගුගුරන් ගගන ගුගුරන් යැයි සිත කීවා

සැඟවෙන බැවින් නිසැකින ඇය මගෙ ගාවා

පහසින් පිබිද ඇගෙ සුදු මුදු ඇඟිලි අග

රතුවන් රතු රුවින් මල් වැට දිළුණු රඟ!

ඇය මෙන් එයද නැත දැන් කාමරය ළඟ

දරුවෝ දනිත්දෝ ඇය එහි පිපෙන වග

සාහිත හදවතින් සිටි එක ලෙස පෑසී

ඇගෙ මේ වදන් යනු නැත කිසි දින නෑසී

"පන්හිඳ ගෙන ලියනු ඔබ නැණ ගුණ රාසී

මම වෙමි වෙහෙස නිවනට දැවටෙන දාසී"

පෑන හා තනිව කුටියේ හිඳින කල

සිත සතපන රුවක්  අද නැත  පෙමිනි දළ

හැම දේ හිමිව දිවි අග ගත වුවද කල

අහිමිව දැනේ ඒ හිමි වූ සියලු  පල

ඔබ මෙහි පැමිණ අප යුග දිවි යළි  වරෙක

ඇරඹිය හැකිවි නම් මහිමෙන කළ පිනෙක

පෙර මෙන් නොවී සියලුම වරදින වැළක

ඔබ සිත නොබිඳ දිවි ගත වන බව නිසැක

මගෙ දිවි එකලු කළ පහනව දිගු  කලෙක

ඇය නික්මුණෙන් මට පෙර නොසිතුව ලෙසෙක

මා යන කලට ඇය ගිලෙමින දළ දුකෙක

දෑසින් කඳුළු නොසලනු මට  සැනසුමෙක

අනාතව සිටින කල මා රැකි  නාතා

සිහි කර දුන් පෙමින මට මේ ලොව බීතා

මා අවිනීත වන කල ඇය  සුවිනීතා

මා පිය සුතන් සමගින් මා වැඩු මාතා

"Dear young sweethearts,

Lend me your ears,

Forgive me please,

For asking this question from you.

Do you,infact,love your beloved?"

The whole atmosphere

 was vibrated at once

 in a roaring voice,

 with these words.

"I love him indeed!"

Then an unknown voice

 echoed,all of a sudden,

 repeatedly ,with these

 words.

"No! they never wanted to

  love. lnstead, all of them

  wanted to be loved!"

  But, once there lived a

  sweetheart, who never

  uttered,but cherished,

  the meaning of these

  three words,

"I     Love    You!"

Alas! What a loveable heart

I lost, along with her!

karunarathna amarasinghe

| කරුණාරත්න අමරසිංහ මුහුණ පොතෙන්