කාන්තා හිංසනය පිටුදකිමු - 190 සම්මුතිය බල ගන්වමු

කාන්තා හිංසනය පිටුදකිමු - 190 සම්මුතිය බල ගන්වමු

අද අපේ රටේ සමස්ත ජනගහණයෙන් 52%ටත් වඩා ඉන්නේ කාන්තවෝ. ඒ වගේම වැඩකරන ජනතාවගෙන් 60%ක් පමණ මෙන්ම ලක්ෂ 14 වන පමණ වන රාජ්‍ය සේවය තුළත් අති බහුතරය කාන්තාවෝ. කොටින්ම කියනවානම් රටේ සංවර්ධනයට දායකවන... රටට ධනය උපද්දන... විනිමය ලඟා කරවන ධන උල්පත කාන්තාව...

මෙහෙම රටක කාන්තාව අද ඉන්න තත්ත්වය කෙබඳුද ? ඇයට හොඳ තැනක් මේ රටේ තියෙනවාද ? අය සමාජය තුළ නිසි ගරුත්වයට පාත්‍රවෙනවාද ?... ඒ වගේම කාන්තාව ඇත්තටම සුරක්ෂිතද ?...  මේ අපි ඉදිරියේ අද තිබෙන ප්‍රශ්ණ... දිනපතා සමාජය තුළ දළුලා වැඩෙන ප්‍රශ්ණ ?...

අපේ රටේ පැරණිම වෘත්තිය වන ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවට ලැබෙන අවමානය, අපහාසය හා නින්දාව... ඒ කාන්තාව සමග යහන් ගතවෙන පුරුෂයාට ලබානොදීමට වගේම, නාලා ගෙට ආවට පස්සේ ඒ පිරිමියා ඉතා සුපිරිසිඳු උත්තමයෙක් ලෙස දකින හීන මානසික මට්ටමකින් සපිරි වැසියන් රටක... කාන්තාව ගැන කවර නම් කතාද ?... කාන්තාවට නිසි ගරුත්වයක් ලැබිය හැකිද ?... මෙය ඇත්තටම ප්‍රශ්ණාර්ථයකි.

රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික වගේම ගොවි ධීවර, පරිසර වැනි සංවිධාන ගත නොවූ අංශ වල ඉහත කී පිරිදි ඇත්තටම අද වැඩ කරන අති බහුතරය කාන්තාව. එයින් රාජ්‍ය සේවය ගත්විට අමාත්‍යංශ ලේකම්ගේ සිට පහළට සනීපාරක්ෂක කම්කරු තනතුරු දක්වාම කාන්තා නියෝජනයක් තිබෙනවා.

දශක කිහිපයක් තිස්සේ අපේ කාන්තා ශක්තිය මත, අපේ කාන්තා සටන්වල ප්‍රභලත්ව මත මේවන විට ප්‍රධාන තනතුරු හෙබවීමට තරම් කාන්තාවට යම් හැකියාවක් ලැබිලා තිබෙනවා.

ඒ ගැන අපට තියෙන්නේ ලොකු සතුටක් වගේම නිහතමානී ආඩම්බරයක්. නමුත්  ඒ දිනාගත් සතුට සේවා ස්ථාන තුළ සිදුවන වාචික, මානසික මෙන්ම වක්‍රාකාරව සිදුවන හිංසා නිසා වැඩබිම... රජයේ කන්තෝරුව කාන්තාවන්ට කඳුළක් උපද්දවන තැනක් වෙලා තිබෙනවා. ඒවාට සාක්ෂි හා උදාහරණ ඕනෑතරම් දකින්නට, අසන්නට ලැබෙනවා.

මේ රටේ සමාජ ක්‍රමය සැකසිලා තියෙන්නේ පීතෘ මූලික ආකල්ප හා නීතිරීති මත. ඒ නිසාම උපතේ සිටම කාන්තවට තියෙන්නේ දෙවැනි කොට සැලකීම, වෙන්කොට සැලකීම වැනි අවතක්සේරුකම් මත ජීවත්වෙන්න. පිරිමිය තමයි හරි, එයා තමයි ලොක්කා, එයා තමයි තීරණ ගන්න ඕනෑ කියන මේ අන්ධ පුරාණ කුල ගෝත්‍රික ආකල්ප නිසාම සේවා ස්ථාන තුළත් කාන්තාවන්ට වන හිරිහැර, හිංසා වගේම සුදුසු තැන නොලැබීම වැනි කාරණා නිසා අද බොහොමයක් කාන්තාවන් අසරණ වෙලා.

ආයතන ප්‍රධානියාගේ අණසකට කීකරුවීම, සැරපරුෂ වචන ඉදිරියේ ගොළුවන් මෙන් සිටීම, අඳින පළඳින ඇඳුම් මත සිදුවන උසුළු විසුළු කම් දරාගැනීම, තම මූලික කාන්තා අවශ්‍යතාවයන් වෙනුවෙන් ඉඩ පහසුකම් ලබානොදීම, සෞඛ්‍ය හා අනෙකුත් පොදු මානුෂීය කාරණාවලදී නම්‍යශීලී නොවීම වැනි බරපතල පීඩාකාරී තත්ත්වයන් එක්ක තමයි වැඩි පිරිසක් රාජකාරි කරන්නේ. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනෑ විවිධ ආගමික හේතුන් මත රාජ්‍ය ආයතන වල වැඩකරන කාන්තාවට සිදුවන ඍජු හිංසාද පසුගිය කාලය තුළ ඉතා අවාසනාවන්ත ලෙස වැඩිවී තිබෙන බව මෙහිදී කාන්තාවන් විසින් කාන්තාවන් හිංසනයට ලක්කරන ඉතා ශෝචනිය අවස්ථාද දක්නට ලැබීමද කණගාටුවට කරුණකි.

මේවැනි හේතූන් නිසාම අද ඇත්තටම කාන්තාව අන්ධයන්, ගොළුවන් සේ තමයි සේවා ස්ථාන වල හැසිරෙන්නේ. සමහර අවස්ථා වලදී ඇයට නීතිය ඉදිරියට යන්න හොඳ මාර්ගෝපදේශයක් නොමැතිවීම, ඒ නිසා තිබෙන ලැජ්ජාව හා අකමැත්ත, සමාජය ඉදිරියේ ලැබෙන අවමාන  හා අපහාස නිසාම, යම් සමහර ඉතා වේදනාත්මක සිදුවීම් සැඟවී යන අවස්ථා අපට දක්නට ලැබෙනවා. ඉතින් මෙම තත්ත්වය හරිම වේදනාත්මකයි, ඛේදජනකයි වගේම සිදුනොවීය යුතුයි නේද?

ඇත්තටම කාන්තාව - නැතිනම් ගැහැණිය කියන්නේ විටෙක ඔබේ මව, සොහොයුරිය, දියණිය වගේම ඔබගේ බිරිඳ හෝ හිතවතිය. උපතේ සිට විපත දක්වාම මේ විවිධ වූ භූමිකාවන් තුළ ඇය ඇත්තටම ඉටු කරන්නේ මහඟු මෙහෙවරක්. ඇයගේ දරා ගැනීමේ ශක්තිය, ඉවසීම, මනා කළමණාකාරිත්වය, වගේම කුසලතාවය හා ශක්තිය මත තමයි මේ ලොකේ පැවැත්ම රැඳෙන්නේ.

මේ නිසා අනිවාර්යෙන්ම සමාජය තුළ කාන්තාව සුරක්ෂිත විය යුතුය. වැඩකරන ස්ථානය සුදුසු පරිසරයක් මෙන්ම මොනයම් ආකාරයක හෝ හිංසනයන්ට භාජනය නොවන තැනක් විය යුතුය. මේ වෙනුවෙන් අපි කාන්තාවන් ලෙස හඩ අවදි කළ යුතු අතර, එසේ කිරීමට නම් කාන්තාවට යම් නීතිමය පදනමක් ශක්තිමත්ව තිබීම අවශ්‍යයයි.

එබැවින් එයට මහත් අස්වැසිල්ලක් විය හැකි ලෝක කම්කරු සංවිධානය විසින් සකස් කර අනුමත කර ඇති 190 සම්මුතිය (2019 ජුනි 21දා ජිනීවාහිදී, ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ 108 වන සැසියේදී සම්මත කරගන්නා ලද, වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය මුලිනුපුටා දැමීම හා සම්බන්ධ සම්මුතිය) බලගැන්වීමට අපි සමස්ත වැඩකරන ජනතාව ලෙස ඒකරාශී වෙමු. මෙය ඔබගේ මව,බිරිඳ, සහෝදරිය, දියණිය හා හොඳම හිතවතිය වෙනුවෙන් ඔබ ගන්නා මහඟ උත්සහයක් කරගනිමු.

තමරා දයානි හෙට්ටිමුල්ලගේ, ජාතික සංවිධායක, ජාතික වෘත්තීය සමිති පෙරමුණ

වැඩබිම