වැඩ ලෝකයක ඇය

වැඩ ලෝකයක ඇය

හිංසනයෙන් තොර වීමට ඇයට ඇයි අයිතිය ගම්පහ දිස්ත‍්‍රික්කයේ උඩුගම්පොළ මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්යාලයක ඉංජිනේරුවරයකු යයි සඳහන් වෙන පුද්ගලයකු තමන් යටතේ සේවය කරන රජයේ නිලධාරිනියකට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය විය. මේ සිද්ධියට සමගාමීවම කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාගරිකා දිලූ ක්ෂණී සේනානායක විසින් පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍ය ක‍්‍රිෂාන්ත පෙරේරාට එරෙහි රෝහල් බලධාරීන්ට හා ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කරනු ලැබූ සිද්ධියක් වාර්තා වූ අතර එහිදී ඇය පැවසුවේ එම වෛද්‍යවරයා ඇයට ශාරීරිකවත්, මානසිකවත් හිරිහැර කරන බවයි. ලංකාවේ මෙසේ සිදුවන අතර පසුගිය නොවැම්බර් 25 වන දිනට යෙදුණු කාන්තාවන්ට එරෙහිව හිංසනය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනයේදී යුරෝපීය කොමිසමේ ඉහළ නියෝජිත ජෝශප් බොරෙල් පවසන්නේ ‘කාන්තාවන්ට එරෙහි හිංසනය බරපතල මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් ලෙස සැලකිය යුතු වන බවයි’. ශ‍්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12(2) වගන්තියෙහි ”කිසිම පුද්ගලයෙකු ආගම, භාෂාව, කුලය, ස්ත‍්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත වෙනස්කමකට භාජනය නොවිය යුතු බව” දක්වා තිබේ. එමෙන්ම 11 වන ව්‍යවස්ථාවට අනුව ”කිසිම තැනැත්තකු වධ හිංසාවලට හෝ කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් නොකළ යුතු” බවද සඳහන්ය.

ඒ අනුව රාජකාරි ස්ථානයේදී ඇතිවන කායික, මානසික පීඩාවන්, පෙර කතා කළ වීඩියෝවේ පරිදි ඉහළ නිලධාරීන්ගේ ප‍්‍රචණ්ඩකාරී හැසිරීම් මෙන්ම නිවසේදී වෛවාහක ලිංගික අතවර, ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය ආදී සකලවිධ ප‍්‍රචණ්ඩත්වයෙන් මුක්ත වීමේ අයිතිවාසිකම කාන්තාවන් සතුව පවතී. සිඩෝ සහ ලංකාවේ භාවිතය ශ‍්‍රී ලංකාව විසින් ස්ත‍්‍රීන්ට එරෙහි සියළු ආකාරයේ වෙනස්කම් තුරන් කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (CEDAW) සඳහා 1980 වසරේ ජූලි දාහත් වන දින අත්සන් තබන ලදී. මෙහි කාන්තාවන්ගේ සමානාත්මතා අයිතීන්, ආර්ථික අයිතීන්, වෛවාහක අයිතීන්, සංස්කෘතිකමය අයිතීන් සහ සමාජීය අයිතීන් මැනවින් දක්වා තිබේ. ඒ කෙසේ වුවත්; කිනම් සම්මුතියකට අත්සන් තැබුවත් සාම්ප‍්‍රදායික ස්ත‍්‍රී භූමිකාව සමාජය විසින් පිළි ගන්නාතාක් කල් මෙම කිසිදු ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවයක් හෝ මානව අයිතිවාසිකමක් සාක්ෂාත් කර ගැනීම සිහිනයක්ම පමණි. සාම්ප‍්‍රදායික රාමුවෙන් පිටත බැලීමට ශ‍්‍රී ලංකාව වැනි රටකට තවමත් අසීරු සේයාවක් පෙනී යයි. අනෙක් අතට මුස්ලිම් නීතිය වැනි නීති ක‍්‍රමයන්හි කාන්තාවන් සම්බන්ධයෙන් පවතින නෛතික අක‍්‍රමිකතා සමඟ නීතිමය පිහිටක් නොමැති ලෙසම කාන්තා අයිතීන් නිරන්තරයෙන් උල්ලංඝණය වෙමින් පවතී. CEDAW අපරානුමත කර 1993 මාර්තු 03 වන දින ශ‍්‍රී ලංකාවේ කාන්තා ප‍්‍රඥප්තිය අනුමත කරන ලදී.

සකළ ලෝකවාසී මානව වර්ගයා ස්වාධීන හා සම අයිතිවාසිකම් වලට උරුමකම් කියන බැවින් ස්ත‍්‍රී පුරුෂ භේදයකින් තොරව මානව අයිතිවාසිකම් හිමි වන බව මෙහි අවධාරණය කර ඇත. මෙම ප‍්‍රඥප්තියේ පළමු වගන්තියෙන් රජය විසින් කාන්තාවන්ගේ දේශපාලන, සමාජීය, ආර්ථික හා සංස්කෘතික යන සියළු ක්ෂේත‍්‍ර වල මූලික නිදහස හා මානව අයිතිවාසිකම් භුක්ති විඳීම සහතික කරලීමට සියළු පියවර ගත යුතු බව දක්වා ඇත. එමෙන්ම එම ප‍්‍රඥප්තියේ 10 (ආ) වගන්තියෙන් කාන්තාවන් සේවයට බඳවා ගැනීම, නිසි තනතුරුවලට පත් කිරීම, රැකියා සුරක්ෂිත භාවය ආදී කරුණු වලදී ක‍්‍රියා කරන ආකාරය දක්වා ඇත.

16 වන වගන්තියෙන් සමාජයේ, කාර්යාල ස්ථානයේ, පවුල තුළ සහ අත්අඩංගුවේ සිටින අවස්ථාවක කාන්තාවන්, ළමුන් හා තරුණ තැනැත්තන්ට එරෙහිව සිදු කරන ස්ත‍්‍රී දුෂණ, ව්‍යභිචාරය, ලිංගික තාඩන පීඩන, සැහැසි ක‍්‍රියා, කායික හා මානසික ආක්‍රෝෂය, කෲර අමානුෂික අවමන් සහගත ක‍්‍රියාවන් වැළැක්වීමට රජය පියවර ගත යුතු බව දක්වා ඇත. එමෙන්ම 16(1) වගන්තියේ තාඩන පීඩන වලට ලක්වන කාන්තාවන් වෙනුවෙන් ඒවා වළක්වන ක‍්‍රියාමාර්ග සහ දණ්ඩණීය ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක ප‍්‍රතිශෝධන වලට අනුබල දීය යුතු බව දක්වා තිබේ. හිංසනයට එරෙහිව ඩිජිටල් සාක්ෂි ලිපිය ආරම්භයේදි සඳහන් කළ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරියා විසින් නිලධාරිනියකට බැණ වදින කාලීන සිදුවීමේ වීඩියෝ පටයක් වින්දිත නිලධාරිනිය විසින් පටිගත කර තිබුණි. රාජ්‍ය අංශයේ වේවා, පෞද්ගලික අංශයේ වේවා ස්ත‍්‍රියකට රාජකාරි ස්ථානයේ කායික මානසික ප‍්‍රචණ්ඩත්වයෙන් තොර වීමේ අයිතිවාසිකම් හිමි කර දීම අනිවාර්යය වේ. ශ‍්‍රී ලංකාවේ ලිංගික ප‍්‍රචණ්ඩත්වය ඔප්පු කිරීමේ සාක්ෂි අතරට ”ඩිජිටල් සාක්ෂි” ද යොදා ගනී. ශ‍්‍රව්‍ය දෘශ්‍ය පටිගතකිරීම් සාක්ෂියක් ලෙස ඉදිරිපත් කරන විට තෘප්තිමත් වන අන්දමින් තිබිය යුතු අතර එම පටිගත කිරීමට යොදා ගත් යන්ත‍්‍රය නිවැරදිව ක‍්‍රියාත්මක වෙමින් පැවති බව ඔප්පු කළ යුතුය.

1995 අංක 14 දරණ සාක්ෂි ආඥා (විශේෂ විධිවිධාන) පනතේ 4(d) වගන්තිය අනුව එම පටිගත කිරීම් වෙනස් කිරීමකට භාජනය නොකළ ඒවා විය යුතුය. ඇයට ලැබිය යුතු නෛතික ආරක්ෂාව ස්ත‍්‍රීන්ගේ අයිතිවාසිකම් සම්බන්ධව ගත් කළ 1956 අංක 47 දරණ ස්ත‍්‍රීන්, තරුණයන් සහ ළමයින් සේවයේ යෙදවීමේ පනත වැදගත් වේ. මෙමඟින් ආවරණය වන පාර්ශවයන්හි සේවයේ යෙදවීමට අදාල කාල වේලා විධිමත් කිරීමත්, එම පාර්ශවයන්ගේ ශාරීරික හා මානසික වර්ධනයටත්, අධ්‍යාපනයටත් අහිතකර වන ලෙස සේවයේ යෙදවීම වැළැක්වීමත්, ආරක්ෂාවට හානිදායක ලෙස සේවයේ යෙදවීම අදාලවත් කොන්දේසි පනවා ඇත. කවර ස්ත‍්‍රියක වුවද ඇගේ කැමැත්තෙන් තොරව රාත‍්‍රී සේවයේ යෙදවිය නොහැක. රාත‍්‍රී 10 න් පසු ස්ත‍්‍රීන් සේවයේ යෙදවීම අත්‍යාවශ්‍ය නම් ඒ සඳහා කම්කරු කොමසාරිස් වරයාගේ ලිඛිත අනුමැතිය ලබා ගත යුතුය. නමුත් මෙම පනත ශිල්පීය/ කළමණාකරණ ස්වභාවයේ වගකීම් දරණ ස්ත‍්‍රීන්ට, පවුලේ ව්‍යාපාරයක නියැලෙන්නියන්ට සහ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ස්ත‍්‍රීන්ට බල නොපායි.

නමුත් කම්කරු ඇමතිවරයාගේ විශේෂ නියෝග අනුව විශේෂ අවස්ථාව වල මෙම තත්වය අත්හිටුවිය හැක. 1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතින් සාප්පු හා කාර්යාල වල සේවය කරන සේවකයින්ට අදාල විධි විධාන දක්වා ඇත. මෙයට අනුව සේවය කරන සාමාන්‍ය වේලාව කෑම පැයට අමතරව පැය 08 කි. භෝජනාගාරයක කාන්තාවන් රාත‍්‍රී 10 දක්වා සේවයේ යෙදවිය හැකිය. නෛතික හිඩැස් සහ ILO 190 ඉහත නීතින් විමසීමේදි පෙනී යන්නේ මෙම නීතින් ප‍්‍රමාණවත් නොවන බව පමණක්ව නොව කම්කරු නීතියේ ඇතැම් ප‍්‍රතිපාදන විෂයභාර ඇමතිවරයාගේ විශේෂ අවසරය මත වෙනස් කළ හැකි බවයි. එමෙන්ම යම් අවස්ථාවන් වල පවතින අවම නීතිය පවා රාජකාරි අවශ්‍යතා මත වෙනස් කළ නොහැකි බවය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීතිය ඇතුළු විවිධාකාර පනත් වල ලේඛනගතව තිබූ පමණින්ම ස්ත‍්‍රී පුරුෂ සමාජ භාවය පදනම් කරගත් හිංසනයන්ට එරෙහිව පිළියම් යෙදෙන බවක් පෙනී යන්නේ නැත.

රාජකාරි ස්ථානයේ සිදුවන කායික මානසික වධහිංසා යම් විටක හෙළි කළද බොහෝ කාන්තාවන් ඒවා සියල්ල රහස් ලෙස සුරැුකිව තබා ගන්නේ ඇගේ රැකියාවේ සුරක්ෂිත භාවයට හානි ඇතිවේ යැයි සිතා සහ නීතිය පිළිබඳව යම් ආකාරයක විශ්වාසයක් නොමැති නිසා බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. කෙසේ වුවද අන්තර්ජාතික කම්කරු සංවිධානයේ 190 සම්මුතියට අනුව වැඩ ලෝකයේ සෑම පුද්ගලයෙකුටම ප‍්‍රචණ්ඩත්වයෙන් සහ හිංසනයෙන් තොර වීමේ අයිතිවාසිකමක් ඇති බව පිළිගෙන තිබීම ජාත්‍යන්තර වශයෙන් අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ගෙන ඇති ඉදිරිගාමී පියවරයකි. අවාසනාවකට මෙම සම්මුතිය ලංකාව මෙතෙක් පිළිගෙන නොමැත. එය අප රටේ අපරානුමත කර ලංකාවේ නීති පද්ධතියට ඇතුල් කර ගන්නේ නම් නීතියේ පවතින බොහෝ හිඩැස් පිරවිය හැකි බව පෙනී යයි. අප අමතක නොකළ යුත්තේ ශ‍්‍රී ලංකාවට මානව අයිතිවාසිකම් වලින් සුරක්ෂිත සමාජයක් කරා යාමට තවත් බොහෝ දුර ගමනක් ඇති බවය.

තාරිකා ද සිල්වා