‘සුන්දර දෙතොලක’ හිමිකාරියක් වන්න ඔබත් කැමතිද ?

‘සුන්දර දෙතොලක’ හිමිකාරියක් වන්න ඔබත් කැමතිද ?

කාන්තාව යනු උපතින්ම සුන්දරත්වයට හිමිකම් කියන තැනැත්තියකි. දෙතොල්වලින් එම සුන්දරත්වය තවත් වැඩිකරයි. ස්ත‍්‍රියගේ ආකර්ෂණීය අංගයක් වන දෙතොල්, කවියා පවා සමාන කළේ නා දල්ලකට ය.

දුර්වර්ණ, දීප්තියෙන් අඩු දෙතොල් තුළින් මුහුණට ද අවපැහැයක් එක් කරයි. මේ නිසා බොහෝ කාන්තාවන් පීඩා විඳින අතර එය මානසික ගැටලූවක් බවට ද පත්ව ඇත.

දීප්තිමත් දෙතොලක් හිමිකර ගැනීම සෑම කාන්තාවකගේ ම බලාපොරොත්තුවයි. ඒ සඳහා වර්තමාන කාන්තාවන් ක්ෂණික ක‍්‍රීම්, ආලේපනවල සහය පතයි. ඇතැම් අවස්ථා වලදී මෙකී ක්ෂණික, කෘත‍්‍රීම ප‍්‍රතිකාර වලින් ආසත්මිකතාවලට මුහුණ දුන් කාන්තාවන් සමාජය තුළින් අපට හමුවේ. දෙතොල් සඳහා සත්කාර කිරීමට පෙර මෙහෙම වෙන්න හේතුව පිළිබඳ දැනුවත් විය යුතුය.

 

දෙතොල් ආශ‍්‍රිතව ගැටලූ ඇති වීමට හේතු

  • කෘත‍්‍රීම, බාල ප‍්‍රමිතියකගෙන් යුත් තොල් ආලේපන භාවිත කිරීම.
  • දුම් බීම.මානසික ආතතිය.
  • කාර්යබහුලත්වය.
  • දේශගුණික බලපෑම.
  • ආමාශයේ අධික උෂ්ණත්වය.
  • අවශ්‍ය ප‍්‍රමාණයට වතුර පානය නොකිරීම.
  • තොල් සැපීම වැනි වැරදි ජීවන පුරුදු.
  • ඖෂධ හා රසායන ද්‍රව්‍යවලට දක්වන ආසත්මිකතා.
  • තද හිරු එළියට නිරාවරණය වීම.
  • ඛනිජ ලවන, විටමින් ඇතුළු වෙනත් පෝෂක කොටස් සිරුරට නොලැබීම.

යනාදී හේතු සාධක හේතුවෙන් දෙතොල් කළුවීම, පැලීම සහ වියළීම වැනි ගැටලූ ඇතිවේ. මේ සඳහා නිවස තුළදී ම සිදුකළ හැකි ස්වභාවික සත්කාර ඇත. මෙම සත්කාර නිවැරදිව සිදුකිරීම තුළින් ඔබට ලැබෙන ප‍්‍රතිඵලය ඔබට සිතා ගැනීමටවත් නොහැකි වෙයිි.

නිතර දෙතොලෙහි තෙතමනය රඳවා ගන්න

විශේෂයෙන් ම කාන්තාවකගේ දෙතොල අවපැහැයට පත්වීම, පැලීම සහ වියළීමට මූලික හේතුව තමයි දෙතොලෙහි ඇති වියළි ගතිය. එමෙන්ම කුණු, දුවිලි අංශු ආදිය තොලෙහි පවතින සිබම් Sebum නැමති තෙල් වර්ගය සමඟ සම්මිශ‍්‍රණය වී දෙතොල් අවපැහැ වේ. ඒ වගේම දේශගුණික සාධක මේ සඳහා බලපායි. ඒ නිසා නිතර වතුර පානය කර තෙතමනය පවත්වා ගත යුතුය. ඒ වගේම හොඳ ප‍්‍රමිතියකින් යුතු ලිප් බිම් එකක් භාවිතා කිරීම ද වැදගත් වේ. නිවස තුළ රැුඳි සිටින අවස්ථාවේ බටර් ආලේප කිරීම තුළින් තෙතමනය පවත්වා ගත හැකිය. මේ තුළින් දීප්තිමත් දෙතොලක් හිමිකරගත හැකිය.

ගිතෙල් සත්කාරය

ගිතෙල් ස්වල්පයක් ගෙන ඒ සමඟ කහ කුඩු මිශ‍්‍රකර දෙතොලෙහි ආලේප කර විනාඩි 30ක් පමණ කාලයක් තබාගෙන ඉන්න. මෙය අවපැහැය පහසුවෙන් ඉවත් කරන ස්වභාවික ක‍්‍රමවේදයකි.

මී පැණි සත්කාරය

මී පැණි ස්වල්පයක් ගෙන රාත‍්‍රී කාලයේ ආලේප කර උදෑසන මද රස්නේ වතුරෙන් සෝදා හරින්න. එහෙම නැත්නම් මී පැණි, ජලය, ග්ලසරීන්, ආමන්ඞ් ඔයිල් සම ප‍්‍රමාණයට මිශ‍්‍ර කර දෙතොලෙහි ආලේප කරන්න. මෙය දිනපතාම සිදු කිරීම තුළින් ඔබගේ දෙතොලට දීප්තියක් මෙන්ම මෘදු බවක් ද ගෙන දෙයි.

පිපිඤ්ඤා සත්කාරය

පිපිඤ්ඤා මදය ගෙන දෙතොල් මත තබා විනාඩි 15ක් පමණ තිබෙන්නට හැර ඉවත් කරන්න. මේ තුළින් දෙතොලෙහි ඇති අවපැහැය ඉවත් වී දෙතොලට දීප්තියක් එක්කරයි.

මෙවැනි පහසු මෙන්ම සරල සත්කාර කිරීම තුළින් ඔබට මෙතෙක් කල් මානසික ප‍්‍රශ්නයක් වූ දෙතොල් ආශ‍්‍රිත බොහෝ ගැටලූවලට විසඳුම් ලැබෙන අතර සුන්දර දෙතොලක හිමිකාරියක් ද වනු ඇත.

සැකසුම – ප‍්‍රසාදිනි ජයලාල්