වසංගතය මැද්දෙත් කම්කරුවන්ගේ ලේ උරා බොන වෙළද කලාපේ

වසංගතය මැද්දෙත් කම්කරුවන්ගේ ලේ උරා බොන වෙළද කලාපේ

.කොරෝනා වසංගතය මෙරට තුළ වඩාත් සීඝ්‍රයෙන් පැතිරෙමින් පවතී. සෞඛ්‍ය අංශවල උපදෙස් නොසලකා හරිමින් කොරෝනා වසංගතය පාවිච්චි කරමින් ජනතා විරෝධයට පත්වන Port City පනත, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත වැනි පනත් සම්මත කරගැනීමටත් ආණ්ඩුවේ මිලිටරීකරණ වැඩපිළිවලටත් අනුව කටයුතු කිරීම නිසා මෙය තවතවත් ත්‍රිව් වෙමින් මහත් ව්‍යසනයක් බවට පත්වන බව පෙනී යයි.

මෙහිදී පෞද්ගලික අංශයේ ප්‍රධාන කර්මාන්තශාලා ගණනාවක කොරෝනා ආසාදිතයන් විශාල වශයෙන් වාර්තා වී ඇත. විශෙෂයෙන් වෙළද කලාප ආශ්‍රිතව මෙම තත්වය වැඩි වර්ධනය වීමක් දැකිය හැක. පානදුර යුනිචෙලා, බණ්ඩාරගම Bodyline කළුතර Ceat,  නුවර එළිය Star Garment යන ආයතන මෙන්ම කොග්ගල වෙළද කලාපේ, කටුණායක වෙළද කලාපේ ඇතුළු වෙළද කලාපේ ආයතනවලත් ආසාදිතයින් සිය ගණන් වාර්තා වෙලා තියෙනවා.
 
මෙසේ ආසිදිතයින් විශාල සංඛ්‍යාවක් වාර්තා වීම මගින් පෙනි යන්නේ එම ආයතන පවත්වාගෙන යාමේ දී කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් භාවිත කර නොමැති බවයි. ඒ අනුව එම ආයතන වල සේවකයන් මෙම වසංගතය සදහා ගොදුරු කරවීම සම්බන්ධයෙන් ආයතන හිමිකරුවන් වගකිව යුතු වේ. විශේෂයෙන් වාර්තාවන තොරතුරු අනුව රෝග ලක්ෂණ තිබෙන සේවකයන් පවා සේවා මුරය සදහා කැදවීම, ආසාදිතයකු වාර්තා වුවත් අනෙක් සේවකයන් සේවාමුරය සදහා කැදවමින් ආයතන පවත්වාගෙන යාම හරහා විශාල ප්‍රමාණයක් මෙම රෝගය සදහා ගොදුරු වී ඇත. නිදහස් වෙළද කලාප තුළ කීදෙනෙක් ආසාදිතයින් ලෙස වාර්තා වුවත් සේවාමුරය සදහා පැමිණෙන එක අනිවාර්යය කරලා තියෙන්නේ. සියයකට PCR කලොත් 25කට වැඩිය ආසාදිතයින් ලෙස තහවුරු වෙනවා. මේ නිසා නවාතැන් වලත් ගැටළු ගණනාවක් පැනනැගිලා තියෙන්නේ. කලින් වගේ නිරෝධායන වෙන ස්ථානයකි කියලා කොළයක් අළවන්නෙත් නැහැ. එහෙම වුනාම රෝගය විශාල වශයෙන් පැතිරෙන්න පූළුවන්. මොකද එක නවාතැනක කරමාන්තශාලා කිහිපයක සේවකයන් නවාතැන් ගෙන ඉනනවා. විශේෂයෙන් නිදහස් වෙළද කලාප ඇතුලෙ මේ වන විට නිසි පරිදි PCR කෙරෙන්නෙත් නෑ. කර්මාන්තශාලාවක ආසාදිතයින් සංඛ්‍යාව එම කර්මාන්තශාලාවේ සේවකයන්වත් දන්නේ නැති තත්වයකට පත්කරලා තියෙන්නේ. කටුණායක IsaBella PVT LTD, Cristal Martin ඇතුළු ආයතන ගණනාවක සේවකයන්ට PCR කරලා තියෙද්දිත් සේවාමුරය සදහා බලහත්කාරයෙන් ගෙන්වපු අවස්තා වාර්තාවෙලා තියෙනවා.
 
අද වන විට ලැබෙන තොරතුරු අනුව වෙළද කලාපවල ඇතුළුව කර්මාන්තශාලා ආශිත ආසාදිතයින්ගෙන් කිහිපදෙනෙක් මිය ගිහින්. කොග්ගල Star Garment එකේ එක්කෙනෙක්, පන්නල Simline එකේ ගැබිණි මවක් ඇතුළු 3 දෙනෙක්, පානදුර යුනිචෙලා එකේ එක් කෙනෙක් මිය ගිහින් තියෙනවා. මෙවා සැලසුම්සහගත මිනිස් ඝාතන.
 
පෞද්ගලික අංශයේ රැකියාවල යෙදෙන්නන් තමන්ගේ ලාභ පිපාසය වෙනුවෙන්  මෙලෙස වසංගතයට ගොදුරු කිරීමට ආයතන හිමිකරුවන් වගකිවයුතුය. කොරෝනා දෙවන රැල්ල ලංකාව තුළ ව්‍යාප්ත වීමට මූලිකව බලපෑ ආයතනය ලෙස Brandix ආයතනය හදුනාගැනිනි. රෝග ලක්ෂණ පෙන්වන සේවකයන් පවා Panadol ලබා දෙමින් සේවයට කැදවා ඇති බව වාර්තා විය. එලෙස ආයතන හිමිකරුවන් සේවක ජීවිත පිළීබදව කිසිදු සැලකිල්ලකින් තොරව තම ලාභය පමණක් ඉලක්ක කරමින් කටයුතු කරන තත්වයකදී ආණ්ඩුව විසින්ද ඔවුන්ට අවශය ලෙස ක්‍රම වේද සකස්කිරීම බරපතල ගැටළුවකි. සංචරණ සීමා යොදන කාලසීමාවල පවා ආසාදිතයින් පොකුරු වශයෙන් බිහිවන පෞද්ගලික අංශයේ ආයතන පවත්වාගෙන යාමට අනුමැතිය ලබාදීම මගින් මෙම රෝගය මර්ධනය සදහා කටයුතු කරනවා වෙනුවට ධනපතියන්ට වසංගත සමය තුළදීද ලාභ ගොඩගැසීම සදහා අවස්තාව ලබාදීමට ආණ්ඩුව කටයුතු කරන බව පෙනී යයි. මුඛ ආවරණයක් නොමැති අහිංසක ජනතාව පොලීසිය විසින් උස්සා ගෙන ගොස් කූඩු ගතකරන හැටි පසුගිය දිනවල මාද්‍ය වල වාර්තාවිය. සාමාන්‍ය ජනතාවට ක්‍රියාත්මක වන එම නීතිය කොරෝනා පොකුරු වශයෙන් බිහිකරන සමාගම් පවත්වාගෙන යන ධනකුවේරයන්ට ක්‍රියාත්මක නොවේ.
 
තවද කම්කරු ඇමතිවරයා පෞද්ගලික අංශයේ ආයතනවල සේවකයන්ට අඩ වැටුප් ගෙවීමට අනුමැතිය ලබාදීමද මෙම වැඩපිළිවෙලේම එක් කොටසක් බව පැහැදිළිය. සංචරණ සීමා මධ්‍යයේ මෙන්ම රෝගීන් වාර්තාවී තිබියදීත් ආයතන පවත්වාගෙන යාමට විරුද්ධව මතුවන සේවක විරෝධය මෙම අර්ධ වැටුප් ක්‍රමවේදය විසින් යටපත් කර ඇත. 
 
කම්කරුවන්ගේ ශ්‍රමය සූරා කමින් බිලියන ගණන් ලාභ ගොඩ ගසමින් සිටින සමාගම් හිමිකරුවන්ට මෙවන් ගෝලීය වසංගතයකදීවත් තමන්ගේ ලාභ පිපාසය වෙනුවට තම ආයතනයේ සේවකයන්ට මාසයක දෙකක වැටුපක් ලබා දී වසංගතය මර්ධනය කිරීමට සහය ලබා දීමට නොහැකි වීම තුළින් හා ධනපති රාජ්‍ය යාන්ත්‍රණයට මෙවනි වසංගතයක් මර්ධනය කිීරීමට ඇති නොහැකියාව තුළින් ඔවුන්ගේ සැබෑ තත්වය සියළු දෙනාට පැහැදිළි වේ. වැඩකරන පන්තිය ලෙස සංවිධානය වීම මිස වෙනත් විකල්පයක් වැඩකරන පන්තියට නොමැති බව කොරෝනා වසංගතය හමුවේත් තව තවත් තහවුරු වේ.
 
සටහන - රොෂේන් සමීර
ලේකම් - පෞද්ගලික සේවක මධ්‍යස්ථානය