”ආහාර” අපේ අයිතියකි“ - කාන්තාවන්ගෙන් ජනාධිපතිවරයාට මහජන පෙත්සමක්

sri-lanka-women

ජාතික කාන්තා ව්‍යාපාරය විසින් ජනාධිපතිවරයා වෙත මහජන පෙත්සමක් ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ, එහි තේමාව වී ඇත්තේ ”ආහාර” අපේ අයිතියකි“ යන්නයි. ඒ සඳහා සකස් කළ ලියවිල්ල පහතින් දැක්වේ.

”ආහාර” අපේ අයිතියකි" - මහජන පෙත්සම

කොවිඩ්-19, වසංගතය රටපුරා පැතිරෙමින් ජනතාව භීතියටත් ශෝකයටත් පත් කරමින්,මානසික පීඩාවකින්     සිටින මෙවැනි වකවානුවක ජීවිත ලක්‍ෂ ගණනින් බිලිගනිමින් පවතී. කොරෝනා වෛරසය පැතිරීමේ  ප‍්‍රථිඵලයක් ලෙස, මේවන විට, සමාජ ආර්ථික දේශපාලනික මෙන්ම සංස්කෘතිකමය වශයෙන් අයහපත් ආකාරයේ වෙනස්කමී විශාල ලෙස සිදුවීමේ ප‍්‍රවණතාවයක් දකින්නට ඇත.

එසේම මෙය ලෝක ආර්ථිකයට තදබල පහරක් එල්ලකර ඇත. මෙමගින් මහා පරිමාණ ව්‍යාපාරික  ලෝකයට සිදුවූ බලපෑමත් සමඟ, කර්මාන්ත ක්‍ෂෙත‍්‍රය තුල ඇතිවූ ඇනහිටීම, විශාල වශයෙන් කම්කරුවන් ලෙස වැඩ කරන ප‍්‍රජාවට තදබල බලපෑමක් එල්ල කෙරිණි. ලොව පුරා  මෙම ආර්ථික අර්බුදය හේතුවෙන් රැකියා අහිමි වන්නන්ගේ සංඛ්‍යාව දිනෙන් දින වැඩිවීම, කුමන හෝ ස්වයං ? කියා ඇතුළු ජීවන මාර්ග අහිමි වීම ගොවි, ධීවර, සුළු නිෂ්පාදන, ක්ෂේත‍්‍ර, ඇඟළුම්, මැදපෙරදිග ගෘහසේවය ඇතුලූ අනෙකුත් සෞඛ්‍යය, අධ්‍යාපන, පොදු ප‍්‍රවාහන, වැනි සේවාවන් වල අඩාල විම, යන පොදු ලක්‍ෂණ බොහෝ රටවලට මෙන්ම අපේ රටට ද පොදු වූ තත්වයකි. එනිසාම මෙය ගෝලීය අර්බුදයක් බව අප වටහා ගෙන ඇත. නමුත් මෙවැනි ගෝලීය අර්බුදකාරි තත්වයක් ඉදිරියේ, ඊට මුහුණ දීම සඳහා, රටක් වශයෙන් ප‍්‍රතිපත්තියක් මත පදනම් වූ සැලසුම් සහගත වැඩපිළිවෙලක් තිබිය යුතු බව අපේ වැටහීමයි. නමුත් අපේ රටේ එවැනි සූදානමක් හෝ වැඩපිළිවෙලක් නැති බව දිනෙන් දින උග‍්‍ර ලෙස මතුවන අර්බුකාරි තත්වයන් තුල අපට අවබෝධවන කරුණකි. වසර හැත්තෑ ගණනක් තිස්සේ රටේ  ක‍්‍රියාත්මක කරන ලද සංවර්ධනය සඳහා යැයි හැඳින්වූ වැඩපිළිවෙලවල් වල ප‍්‍රථිඵල ලෙස, රටේ සාමාන්‍ය ජනතාවට ඉතිරිවූයේ සියලු ආකාරයේ පීඩාවන් පමණකි. මෙම වසංගත කාලය,තුළ සිදුවූයේ ඉහතකී පීඩාඩන් තවදුරටත් උග‍්‍රවීම පමණකි.  

මෙම වසංගත ව්‍යාප්තවන කාලසීමාව, ජනතාවගේ එදිනෙදා ක්‍රියාකාරකම් වලටද, රටේ  සමාජ හා ආර්ථික කටයුතු වලටද, මහත් අභියෝගයක් එල්ලකර තිබේ. මෙම කොවිඩ්-19 වසංගත තත්වයෙහි බරපතලකම පාලනය කිරිම සඳහා සෞඛ්‍යය අංශ, රාජ්‍ය නිලධාරින්, පොලිසිය ඇතුළු ති‍්‍රවිධ හමුදාව, මෙන්ම ජනතාව ගන්නා උත්සාහයන් සහ කැපකිරීම් ද බොහොමයකි. නමුත්, රටක් වශයෙන් ශී‍්‍ර ලංකාව තුළ, මේ මොහොතේ ගතයුතු අත්‍යවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමට මෙන්ම සැලසුම් සහගත විසඳුම් ලබාදීමට වගකිව යුත්තන් අපොහොසත් වී ඇති බව අපේ වැටහීමයි. මේ නිසාම, රටේ සාමාන්‍ය ගොවි ධීවර කම්කරු දෛනික කුලීවැඩ කරන ජනතාවට අත්වුණ පීඩාව අති විශාලය. එහි බරපතල ලෙසම පීඩාවට පත් වෙන්නේ රටේ කාන්තාවන්ය. එය අපද  අත්විඳිමින් සිටිමු.

එම පීඩාවන් ගෙන් බිඳක් වගකිවයුතු ඔබගේ අවධානයට කඩිනමී විසඳුමී අපේක්‍ෂාවෙන් මෙසේ ඉදිරිපත් කරමු.

ජීවන බර දරාගත නොහැක

  • කිසිදු පාලනයකින් තොරව දවසින දවස, අහස උසට නගින අත්‍යවශ්‍ය බඩුමිල තවදුරටත් රටේ සාමාන්‍ය ජනතාවට දරාගත නොහැක.
  • උදාහරණ ලෙස සහල්, සීනි,පිටි සහ පොල් මිල ක්‍ෂණිකව ඉහල දැමීම, ජනතාවගේ ආර්ථිකයට විශාල බලපෑමක් කෙරිණි.
  • සංචරන සීමා සහිත කාලය තුළ කුලී රැකියා හෝ සවයං රැකියා හෝ කරගැනීමට නොහැකි බැවින් මුදල් අතේ නැතිවීම නිසා තවදුරටත් ජනතාව පීඩාවට පත්වීම.
  • අත්‍යවශ්‍ය භාණ්ඩ, හිඟයක් මවාපෑම, සමඟ කළු කඩ මුදලාලිලාට ශක්තිමත් වීමට ඉඩහැරීම තුළ පාරිබෝගිකයාට පෙර පැවති මුදලට වඩා වැඩි මිලක් ගෙවීමට සිදුවීම.
  • පාරිභෝගික අධිකාරිය, රාජ්‍ය මිල පාලන යාන්ත‍්‍රණය අකර්මන්‍ය වී බහුතරයක් භාණ්ඩ මිල පෞද්ගලික ව්‍යාපාරිකයින් විසින් මෙහෙයවනු ලබයි.
  • අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය කිරීම සඳහා හදිසි නීති පණතක් ගෙන ඒමට කටයුතු කළ නමුත් එහි ප‍්‍රථිඵල ජනතාවට භුක්ති විඳීමට හැකියාවක් ලැබීනැත.
  • දරුවන්ගේ මාර්ග ගත අධ්‍යාපනය සඳහා විශාල මුදලක් දැරීමට සිදුවීම ජීවන බර තවදුරටත් වැඩිකරන ප‍්‍රශ්ණයකි.
  • සෞඛ්‍යය ආරක්‍ෂණය පිළිබඳව අවදානමක් ඇති නිසාම, ඒ සඳහා පෙරට වඩා වැඩි වියදමක් දැරීමට සිදුවී ඇත.

නිෂ්පාදන සාධාරණ මිලකට අලෙවි කරගත නොහැක

  • කනකර උගසට තබා, බැංකුවලට ණය වී ගත් අස්වැන්න සාධාරණ මුදලකට අලෙවි කරගත නොහැක.
  • කිසිදු සූදානමක් හෝ වැඩපිළිවෙලක් නොමැතිව ක්‍ෂණිකවම කාබනික පොහොර භාවිතයට බලකිරීම තුළ, ඒ වනවිටත් ආරම්භ කර තිබූ වගාවන් කිසිදු පොහොරක් නැතිව විනාශ වීමතුළ ගොවීන් දිගුකාලින ප‍්‍රශ්ණ රැසකට මැදිවීම.
  • ගොවියාගෙන්, ධීවරයින්ගෙන් සොචීචමී මුදලට නිෂ්පාදන රැගෙන පාරිභෝගිකයාට, විකුණනු ලබන්නේ විශාල ලාබයක් තබාගෙන බැවින් නිෂ්පාදකයාට හෝ පාරිභෝගිකයාට සාධාරණයක් ඉටු නොවේ.
  • රටපුරා වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන සහ ධීවර අලෙවිසැල් මෙන්ම ආර්ථික මධ්‍යස්ථාන ක‍්‍රියාත්මක වන නමුත් මේ කාලය තුළ සාමාන්‍ය ගොවීන්ගේ සහ ධීවර ප‍්‍රජාවගේ නිෂ්පාදන මිලදී ගැනීමේ ක‍්‍රමවත් වැඩපිළිවෙලක් නැත.
  • මැනිං වෙළඳපොල සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සහ ආර්ථික මධ්‍යස්ථාන විවෘත වන්නේ තොග වෙළඳුන්ට පමණක් බැවින්, සිලලර වෙළඳුන් විශාල ප‍්‍රමාණයකට කිසිසේත් වෙළඳාම කළ නොහැකි ත්ත්වයක් මතු වී ඇත.
  • මේ නිසාම එලවලු පළතුරු ඇතුලු ගොවි නිෂ්පාදන රාශියක් විනාශ වී යාමට ඉඩ දීමහැර,කල්තබාගැනීමේ හෝ ගබඩා කරතැබීමේ ක‍්‍රමවේදයක් හෝ බෙදාහැරීමේ යාන්ත‍්‍රණයක්, ක‍්‍රමවත් වැඩපිළිවෙලක් හෝ  වෙනත් විකල්පයක් නැත.
  • සංචරන සීමා සහිත කාල සීමාව තුළ, සාමාන්‍ය පුරවැසියන් ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පහසු මුදලකට ලබාගැනීමට හෝ පහසු ක‍්‍රමයකට ලබාගැනීමට හෝ මාර්ගයක් නැත.
  • සමුපකාර ඇතුළු සහන වෙළඳසැල් තවත් එක් සුපිරි වෙළඳසැලක, කාර්යය කරනු ලබන බැවින්, සාමාන්‍ය පාරිභෝගිකයින්ට සහනයක් නැත. මේ සඳහා සමූපකාරය සතු සම්පත් භාවිතා නොකර පෞද්ගලික, අංශයට පැවරීම තුළ නිශ්පාදන වල ගුණාත්මක බව අඩුවීම  මෙන්ම වැඩි මුදලක් ගෙවීමට සිදුවීම.

ණයනොවී ජීවත්විය නොහැක  

  • අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට සහ දරුවන්ගේ අධ්‍යාපනයට විශාල වියදමක් දැරීම ජනතාවට ඔරොත්තු නොදෙන්නකි.
  • මේ නිසාම පවුලේ කාන්තාවන්ට ක්‍ෂණික ණය දෙන ආයතන වලට ණයවීමටත් එම ණය පියවීමට තව තවත් ණය ගැනීමට සිදුවීමත් වැලැක්විය නොහැකි තත්වයකි.
  • කොරෝනා වසංගත කාලය තුළ වුවද ණය දෙන ආයතන, නිලධාරින් නිවෙස් වලට පැමිණ ණය ගෙවන ලෙස, ණයගත් කාන්තාවන්ට බලපෑමි කරන අතර, ඔවුන්ගෙන් බේරි පලා යනවා හැර වෙන කිසිවක් එම කාන්තාවන්ට කළහැකි දෙයක් නැත.

අපේ යෝජනා

  • පළාත් සභා සහ ප‍්‍රාදේශිය සභා මටීටමින්, ආහාර නිශ්්පාදන ක‍්‍රියාවලියෙහි නිරතවන කාන්තාවන්ට මූල්‍ය සහන සැපයීමට, අවශ්‍ය ප‍්‍රථිපාදන අය-වැයෙන් වෙන්කරන ලෙස,එවැනි සහන, සහ වරප‍්‍රසාද ග‍්‍රාමිය මටීටමින් සංවිධානය වූ කාන්තා සමිතිවලට ලබාදීමට ක‍්‍රියා කරන ලෙස,
  • අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය කිරීම සඳහා, නීති අණ පණත් ගෙන ඒම, රාජ්‍ය මිල පාලන යාන්ත‍්‍රණය සක‍්‍රිය කිරීම සහ පාරිභෝගික නියාමන අධිකාරියට බලය පැවරීම මගින් එහි ප‍්‍රථිඵල ජනතාවට ලබාදෙන ලෙස
  • කාන්තාවන්ගේ ග‍්‍රාමීය නිශ්පාදන ක‍්‍රියාවලිය ශක්තිමත් කිරීමට, විකල්ප ආර්ථික කටයුතු, සහ ආදායමී උත්පාදන මාර්ග සඳහා යොමු කරවීම හා රාජ්‍ය නිලධාරින්ගේ මැදිහත්වීමෙන් එවැනි පිරිස් හඳුනාගෙන සහන සැලසීම හා දිරි ගැන්වීමී කරන ලෙස.
  • වෙළඳපළ යාන්ත‍්‍රණයේ පවතින අක‍්‍රමිකතා නිසා විශාල ලෙස අපතේ යන එළවලු,පළතුරු කල්තබා ගැනීමේ හා රැස්කර තබාගැනීමේ ක‍්‍රමවේද ගොඩනැගීම, බෙදා හැරීමේ ක‍්‍රියාවලිය කාර්යක්ෂම කිරිම,මෙන්ම ඊට අවශ්‍ය පහසුකම් සැලසන ලෙස.
  • සංචරණ සීමා ක‍්‍රියාත්මක කාල සීමාව තුළ, තමන්ගේ යැපුම් මාර්ග අහිමි වූ පිරිස්වලට, යම් කාලසීමාවක් දක්වා සහන වැඩපිලිවෙලක් ක‍්‍රමවත් ලෙස ක‍්‍රියාත්මක කරන ලෙස.
  • සමූපකාරය, සතොස, ධීවර අලෙවිසැල්, ආර්ථික මධ්‍යස්ථාන වැනි ස්ථාන සහ ඒවා සතු සමීපත් භාවිතා, කර පාරිභෝගකයින්ට සහ සුළු නිෂ්පාදකයින්ට සහනදායී අලෙවියකට, පරිභෝජනයට, ළඟාවිය හැකි පරිදි, එම ආයතනවල පරිපාලන යාන්ත‍්‍රණය සකසන ලෙස.
  • අතරමැදි ග‍්‍රහණයට හසුවන සුළු නිෂ්පාදකයින්ට සහ පාරිභෝගිකයින්ට, සෘජුව ගණුදෙනු කළහැකි ව්‍යුහයක් සහ යානත‍්‍රණයක් රාජ්‍යය මැදිහත් වීමෙන් සැකසන ලෙස.
  • ඇඟළුම් ක්ෂේත්‍රයේ, වතුකරය ඇතුළු සේවා ස්ථාන ආශී‍්‍රතව සහන අලෙවිසැල් රාජ්‍ය මැදිහත් වීමෙන් ආරමීභ කරන ලෙස.
  • ක්‍ෂුද්‍ර මූල්‍ය ණය දෙන ආයතන පිළිබඳ විගණනයක් කර, ඔවුන්, විසින් ණයලාභීන්ගෙන් අයුතු ලෙෂ, අයකරගත් මුදල්, ආපසු ලබා දීමට අවශ්‍ය නීතිමය ක‍්‍රියාමාර්ග ගනීමට රාජය මැදිහත් වන ලෙස,
  • රාජ්‍ය බැංකු මගින් සුළු නිෂ්පාදනයේ නියැලෙන කාන්තාවන්ට සහන ණය වැඩපිළිවෙලක් ඇතිකිරීම සහ ඇපකර ලෙස ඉඩම් ඔප්පු ඉදිරිපත් කිරීමට බලපෑම් නොකරන ලෙස,
  • කාන්තාවන්ගේ ඉඩම් අයිතිය තහවුරුවන නීති අණපණත් සැකසීම හා එම නීති බලාත්මක කරන ලෙස,
  • රජය මැදිහත් වී දරුවන්ට නොමිලේ අධ්‍යාපනය ලබා දීම සඳහා, රාජ්‍ය මාධ්‍යය භාවිතා කිරීම, සහ ජනතාවට සහ දරුවන්ට සහනදායී විකල්පක‍්‍රම භාවිතා කරන ලෙස,
  • රටේ ජනතාව අතර සෞඛ්‍යය සාක්‍ෂරතාවය වැඩිදියුණු කිරීම සඳහා,පෙර පැවති සෞඛ්‍යය අධ්‍යාපන වැඩපිළිවෙල යළි සක‍්‍රිය කරන ලෙෂත් එමගින් සෞඛ්‍යය ආරක්‍ෂණය ඇතිකිරීමට ක‍්‍රියා කරන ලෙස,

වසර ගණනාවක් පුරා, රටේ ගොවි, ධීවර, වතු කම්කරු සහ සෙසු ක්ෂේත්‍රවල, කාන්තාවන් ලෙස අප සමාජ ආරථික සහ දේශපාලනමය වශයෙන් දැනුවත්ව, ප‍්‍රතිපත්තිමය එකඟතාවයන් මත ප‍්‍රායෝගික වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කරමින් අතදැකීම් ලබන, ග‍්‍රාමීය, දිස්ත‍්‍රික්ක හා ජාතික මට්ටමින් සංවිධානය වූ කාන්තා එකතුවකි. සවිස්ත‍්‍රි ජතික ව්‍යාපාරය, යහපත් සමාජයක් ගොඩනැගීම අරමුණු කර ගනිමින්,  සමාජ ආර්ථික, සංස්කෘතික සහ දේශපාලන අයිතිවාසිකම් ආරක්‍ෂාකරගැනීම, සඳහා රටේ ප‍්‍රතිපත්තිමය වෙනසක අපේක්‍ෂාවෙන් අඛණ්ඩව ක‍්‍රියාත්මක වේ.  අප මෙලෙස, අවස්ථා ගණනාවක අපේ යෝජනා රටේ වගකිවයුත්තන් වෙත ඉදිරිපත් කර ඇත්තෙමු. මේ සමඟ, අපගේ යෝජනා මෙවරද, වගකිවයුතු ඔබට ඉදිරිපත් කරන්නෙමු. ඊට ඔබගේ කඩිනම් අවධානය යොමුකරන ලෙසට ද  අවධාරණය කරමු.

ජාතික කාන්තා ව්‍යාපාරය