විදුලි කප්පාදුව, ඉන්ධන පෝලිම් මැද සෞඛ්‍ය සේවාත් යළි වර්ජනයේ

විදුලි කප්පාදුව, ඉන්ධන පෝලිම් මැද සෞඛ්‍ය සේවාත් යළි වර්ජනයේ

සෞඛ්‍ය වෘත්තීයවේදී වෘත්තීය සමිති 17ක් අද සහ හෙට (මාර්තු 2 සහ 3) දිවයින පුරා යළි වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

වර්ජනය පැවැත්වෙන්නේ, පැය හතහමාරක දීර්ඝ විදුලි කප්පාදුව සහ රටපුරා ඇති ඉන්ධන පෝලිම් මධ්‍යයේ ජනතාව දැඩි දුෂ්කරතාවට මුහුපා සිටිය දී ය. රටේ බොහෝ ප්‍රදේශ වල ඉන්ධන පිරවුම් හල් ඉදිරිඉපිට දිගු පෝලිම් දක්නට ලැබෙන අතර ඒ ඒ හේතුවෙන් බොහෝ මාර්ග වල දැඩි වාහන තදබදයක්ද ඇති වී ඇත.

විදුලි සහ ඉන්ධන අර්බුදය නිසා කර්මාන්තශාලා බලවත් අපහසුතාවට

මේ අතරේ, අද මාධ්‍ය සාකච්ඡාවකට එක්වූ නිදහස් වෙළෙඳ කලාප ආයෝජකයන්ගේ සංගමයේ ලේකම් ධම්මික ප්‍රනාන්දු පවසා සිටියේ, ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ ඇති වී තිබෙන විදුලි සහ ඉන්ධන අර්බුදය නිසා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ඉන් පිටත පිහිටා ඇති කර්මාන්තශාලා බලවත් අපහසුතාවට ලක්වී ඇති හෙයින්, අදාල බලධාරීන් දැනුවත් කළ ද ඒ සඳහා නිසි විසදුම් ලබානොදීම නිසා රජය සහ මහජනතාව දැනුවත් කිරීමට තමන් පියවර ගන්නාබව යි.

"...ශ්‍රී ලංකාව තුළ නිදහස් වෙළෙඳ කළාප 14ක් සහ ඉන් පිටත ශ්‍රී ලංකාව පුරා තවත් කර්මාන්තශාලා 280ක් පමණ පිහිටා තිබෙනවා. ඒවායේ සේවකයින් ලක්ෂ 04ක් පමණ සේවය කරමින් සිටිනවා. මේ සියලුම කර්මාන්තශාලා වර්තමානයේ රට තුළ ඇතිවී තිබෙන විදුලි කප්පාදුව සහ ඉන්ධන නොමැතිවීම නිසා ඉතාම අමාරු, භයානක තත්ත්වයකට පත්වී තිබෙනවා. එම නිසා මෙම කර්මාන්තශාලාවල දිනපතා මෙහෙයුම් කටයුතු අඩාල වී තිබෙනවා," ඔහු ප්‍රකාශ කළේ ය.

නිදහස් වෙළෙඳ කලාප ආයෝජකයන්ගේ සංගමය

පළමුවෙන් බලශක්ති අමාත්‍යවරයා ද, ඉන්පසු මහජන උපයෝගීතා කොමිසම ද දැනුවත් කළත් විසඳුමක් නොලැබුණුබව ඔහු සඳහන් කරයි.

"මෙම කර්මාන්තශාලා සතුව දීර්ඝ කාලයක් ක්‍රියාත්මක කළ හැකි "ප්‍රයිම්" වර්ගයේ විදුලි ජනක යන්ත්‍ර නැහැ. බොහෝ කර්මාන්තශාලා සතුව පවතින්නේ හදිසි බිඳවැටීමක් සිදුවුවහොත් එයට මුහුණ දීමට අවශ්‍ය කුඩා, සැහැල්ලු විදුලි ජනක යන්ත්‍ර... බොහෝ කර්මාන්තශාලා සතුව මේ වන විට විදුලි ජනක යන්ත්‍ර පැවතිය ද, ඒවා ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය ඉන්ධන නොමැති නිසා අර්බුදයක් පැනනැගී තිබෙනවා."

"...මෙම පසුබිම යටතේ මෙම කර්මාන්තශාලා වෙත අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දෙන ලෙස ඉල්ලීම් කළ ද, කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ හැර අනෙකුත් කලාප සහ කර්මාන්තශාලාවල විදුලි කප්පාදුව නොකඩවා සිදුකර ගෙන යමින් තිබෙනවා. මේ පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට ද අප පියවර ගත්තා. ඒත් මේ වනතුරු එයට ද නිසි ප්‍රතිචාරයක් නැහැ," නිදහස් වෙළෙඳ කලාප ආයෝජකයන්ගේ සංගමයේ ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

ඇයි නැවතත් සෞඛ්‍ය වැඩ වර්ජනයක්?

වැටුප් විෂමතාව සහ අතිකාල හා නිදර්ශක දීමනා සම්බන්ධ ගැටලු මුල්කර ගනිමින් මෙම වැඩ වර්ජනය පැවැත්වේ.

ඉතා පහසුවෙන් විසඳිය හැකි පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය සේවාවන් සඳහා අධ්‍යක්ෂක තනතුරු දෙකක් නිර්මාණය කිරීමත්, අමාත්‍ය මණ්ඩලය අනුමතකර ඇති 5/7 උසස්වීම් සඳහා මෙතෙක් චක්‍රලේඛයක් නිකුත් නොකිරීමත් මෙම වැඩ වර්ජනයට හේතුවී ති බවට වෘත්තීය සමිති සඳහන් කරයි.

වර්ජනය දිවයිනේ සියලු රෝහල්වල පවැත්වෙන අතර, හදිසි හා අත්‍යවශ්‍ය ඉල්ලීම් ලැබෙන පරිදි සේවය ලබාදීමට කටයුතු කරන බව වෘත්තීය සමිති තවදුරටත් පැවසීය.

ඒ අනුව, අත්‍යවශ්‍ය ප්‍රතිකාර පිළිබදව සැලකිල්ලට ගනිමින්, සියලු ළමා රෝහල්, මාතෘ රෝහල්, පිළිකා රෝහල්, වකුගඩු රෝහල්, බෝවන රෝග විද්‍යායතනය, අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනය, සහ මධ්‍යම ලේ බැංකුව තුළ වර්ජනය ක්‍රියාත්මක නොකෙරෙනු ඇත.

අත්හිටවූ අරගලය

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පවසා සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යවරයා එකඟ වූ සිය ඉල්ලීම් සම්බන්ධයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග කිසිවක් පිළිබදව මේ වන තෙක් තම සම්මේලනය දැනුවත් කර නැතිබව යි.

සාධාරණ විසඳුමකට ඒමට අපොහොසත් වුවහොත් මාර්තු 10 වැනිදායින් පසුව එළඹෙන ඕනෑම දිනයක දී පෙර දැනුම්දීමකින් තොරව අත්හිටවූ වර්ජනය අඛණ්ඩව යළි ඇරඹීමට ද සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ විධායක සභාව ඒකමතිකව තීරණයකොට ඇත.

වර්ජනයට අදාළ ප්‍රධාන ඉල්ලීම්:

  1. ශ්‍රී ලංකා සුදුසුකම් රාමුවට ගැලපෙන පරිදි පරිපූරක වෛද්‍ය, හෙද හා අතුරු වෛද්‍ය සේවාවන්හි වැටුප් විෂමතාව ඉවත් කිරීම
  2. අමාත්‍ය මණ්ඩලය අනුමතකර ඇති පරිදි 5/7 උසස්වීම් සඳහා චක්‍රලේඛය නිකුත් කිරීම හා එය පෙරදාතම කිරීම
  3. පරිපූරක වෛද්‍ය, අතුරු වෛද්‍ය හා හෙද සේවා සඳහා අධ්‍යක්ෂක තනතුරු සහ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් තනතුරු ඇති කිරීම
  4. අතිකාල හා වසර 23කින් වැඩි නොකළ නිදර්ශක දීමනා වැඩි කිරීම සදහා එකඟවූ පරිදි කටයුතු කිරීම

වැඩ වර්ජනයෙන් ජනතාව කබලෙන් ලිපට වැටෙයි ද?

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පසුගිය පෙබරවාරි 07 වැනිදා ද අඛණ්ඩ වැඩ වර්ජනයක් පවත්වනු ලැබීය.

සතියකට අධික කාලයක් පුරා පැවති එම වැඩ වර්ජනයෙන් රෝගීන් දැඩි දුෂ්කරතාවට පත්විය. දුර පළාත්වල සිට රෝහල් කරා පැමිණි රෝගීන්ට ඖෂධ හෝ අවශ්‍ය ප්‍රතිකාර ද නොලබා, අතේ ඇති මුදල් කුලී රථවලට ද ගෙවා දමා හිස් අතින් නිවෙස් වෙත යෑමට සිදුවිය.

ඉන්ධන හිඟය හා දෛනික විදුලි කප්පාදුව හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සෞඛ්‍ය සේවක වැඩ වර්ජනය හේතුවෙන් තවත් පීඩාවන්ට මුහුණ පෑමට සිදුව ඇත.

සෞඛ්‍ය වෘත්තීයවේදී වැඩ වර්ජනය ක්‍රියාත්මක වුයේ කෙසේ ද?

  • 2021 නොවැම්බර් 9 - බලධාරීන් සමග සාකච්ඡාවක් ඉල්ලා පළමු සංකේත වර්ජනය
  • 2022 පෙබරවාරි 7 - අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කිරීම
  • 2022 පෙබරවාරි 8 - සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡාව
  • 2022 පෙබරවාරි 10- වැඩ වර්ජනයේ නිතර රජයේ හෙදි නිලධාරීන්ගේ සංගමයට එරෙහිව අධිකරණයෙන් වාරණයක්.
  • 2022 පෙබරවාරි 12 - සෞඛ්‍ය ඇතුළු සියලු ප්‍රතිකාර සේවා අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

Health worker protest

වැඩ වර්ජනයට සෞඛ්‍ය සේවකයින් කැඳවමින් නිකුත් කළ පෝස්ටරයක්

"සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කිසිවෙකුට කිසිදු අසාධාරණයක් කරන්නේ නෑ"

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කිසිවෙකුට කිසිදු අසාධාරණයකට ඉඩ නොතබන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පසුගියදා පවසා සිටියේ ය.

ගෝලීය ව්‍යසනය මැද විවිධ අපහසුතා ඔස්සේ ඔවුන් සිදුකළ අසීමාන්තික කැපකිරීම කිසිදු අයුරකින් අවතක්සේරුවට ලක්කිරීමට ඉඩ නොතබන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ලොව ඇතැම් රටවල සෞඛ්‍ය කාර්ය මණ්ඩල ව්‍යසනය මැද එය මඟහැර පලායද්දී මෙරට සෞඛ්‍ය සේවාවේ සියලු දෙනා කළ කැපකිරීම ඉහළම ඇගයීමට ලක්වන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.

බිබිල මූලික රෝහල මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ රෝහල ලෙස නම්කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

(උපුටා ගැනීම - bbc/sandeshaya)