උද්ඝෝෂණ සහ අරගලවලට බලපාන නීතිය දැනගමු!

උද්ඝෝෂණ සහ අරගලවලට බලපාන නීතිය දැනගමු!

උද්ඝෝෂණ, අරගල සම්බන්ධ නීතියක් පවතින්නේ ද? යන්න අද වන විට නීතිය අගය කරන බොහෝ දෙනා ප්‍රශ්න කරති. එමෙන්ම අරගලය හෝ උද්ඝෝෂණවලට එක්වන සාමාන්‍ය ජනතාව සහ අරගල, උද්ඝෝෂණ මෙහෙයවන පිරිස්ද ඇතැම් විට මේ සම්බන්ධයෙන් පවතින නීති රීති පිළිබඳ දැනීමක් හෝ නීතිය ක්‍රියාත්මක වීමේ ප්‍රතිවිපාක නොදැන කටයුතු කරන බවක් හෝ ඔවුන් කටයුතු කරන ආකාරය දෙස බැලීමෙන් පැහැදිලි වේ. එබැවින්, හුදී ජනයාගේ හිතසුව පිණිස ඒ හා සම්බන්ධ නීති ප්‍රතිපාදන මෙසේ ගෙනහැර දක්වමි.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙරටට සුවිශේෂ වන්නේ මූලික මිනිස් අයිතිවාසිකම් සහ ඒවා කඩ වීම සම්බන්ධයෙන් ගත හැකි ප්‍රතිකර්ම පිළිබඳ පැහැදිලිව දක්වන බැවිනි. ඊට පෙර පැවැති 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ සාමාන්‍ය වශයෙන් පමණක් සඳහන් විය.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි පරිච්ඡේදය මානව හිමිකම් පිළිබඳ පැහැදිලි කර ඇත. එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වැනි වගන්තිය මඟින් ආගමික නිදහසද, 11 වැනි වගන්තිය මඟින් ක්‍රෑර වදහිංසා හෝ අමානුෂික අවමන් සහගත දඬුවම්වලට ලක් නොවී සිටීමේ අයිතියද, 12 (1) වගන්තිය මඟින් නීතිය පසිඳලීමේ සහ ක්‍රියාත්මක කිරීම හා නීතියේ රැකවරණය සර්ව සාධාරණ විය යුතු බවද, 12 (2) වගන්තිය මඟින් වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී - පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය අනුව වෙනසකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුතු බවද, 12 (3) වගන්තිය මඟින් එම හේතු මත යම් පොදු ස්ථානයකට ඇතුළු වීමට නොහැකි විය යුතු නැති බවද, 13 (1) මඟින් නීතියේ සඳහන් කාර්ය පටිපාටියට හැර යමකු සිරභාරයට ගත යුතු නොවන බවද, 13 (2) (3) (4) වගන්ති මඟින් අත්අඩංගුවට ගත් අය සම්බන්ධයෙන් කටයුතු කළ යුතු නීත්‍යනුකූල විධිවිධානද, 13(5) මඟින් වරදකරු යැයි ඔප්පු කරන තෙක් සෑම තැනැත්තෙකුම නිර්දෝෂී යැයි යන පූර්ව නිගමනය තහවුරු කර ඇත්තේය.

මේ මූලික අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදයේ 14 වැනි වගන්තියේ සඳහන් කරුණු, උද්ඝෝෂණ සහ අරගලකරුවන් විසින් තම වාසියට ගන්නා බව පැහැදිලි වේ. 14 (1) වගන්තිය අනුව සෑම පුරවැසියෙකුටම භාෂණයේ සහ ප්‍රකාශනයේ ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට හිමිකම් ඇත්තේය. එමෙන්ම 14 (1) ( ආ) වගන්තිය අනුව සාමකාමීව රැස්වීමේ නිදහසට 14 (1)(ඇ) වගන්තිය අනුව සමාගමයේ නිදහස14 (1) (ඈ) අනුව වෘත්තීය සමිති පිහිටුවීමේ සහ වෘත්තීය සමිතිවලට බැඳීමෙන් නිදහසට හිමිකම් ඇත්තේය. මේ 14 (1) (අ) සිට (ඈ) කවුද දක්වා මතු දැක්වූ වගන්තියේ බොහෝ දුරට පෞද්ගලිකත්වයට වඩා සමාජය තුළ සාමූහික ක්‍රියා කිරීමේ නිදහසට වැඩි බර ඇති බව පැහැදිලි වේ. එබැවින් උද්ඝෝෂකයන් හා අරගලකරුවන් සිය අරගලය හෝ උද්ඝෝෂණවලදී හෝ ප්‍රකාශ කරන්නේ මේ ව්‍යවස්ථාය.

එහෙත් මේ නීති මහ ජනතාව විසින් භුක්ති විඳීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම මානව හිමිකම් පිළිබඳ සඳහන් වන තුන් වැනි පරිච්ඡේදයේ 15(1) වගන්තියේ දැක්වෙන රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් වන කාලීන නීති ක්‍රියාත්මක වීමේදී, මේ මූලික මිනිස් අයිතිවාසිකම් සීමා කර ඇති බව පෙනේ. එසේම 15 (2) වගන්තියේ දැක්වෙන ආකාරයට භාෂණය, ප්‍රකාශනය, අදහස් පළ කිරීමේ නිදහස, යම්කිසි වාර්ගික හා ආගමික සහයෝගීතාවකට හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද, අධිකරණයට අපහාස කිරීම, අපහාසය හෝ වරදකට පෙලඹ වීම සම්බන්ධ නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමාවකට යටත්ව පවතී. තවද 15 (4) වගන්තියේ දක්වා ඇත්තේ වාර්ගික හා ආගමික සහයෝගීතාව තහවුරු කිරීම හෝ ජාතික ආරක්ෂාව ජාතික ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා වන නීති සීමාවලට යටත්ව 14 (1) ව්‍යවස්ථාවේ දක්වා ඇති භාෂණයේ නිදහස හා ප්‍රකාශනයේ නිදහසද, සාමකාමීව රැස්වීමේ නිදහසද, සමාගමයේ නිදහසද, වෘත්තීය සමිතිවලට බැඳීමේ නිදහසද ඇතුළු එකී පරිච්ඡේදය දක්වා ඇති මූලික මිනිස් අයිතිවාසිකම් සීමා වන බවය.

මේ අනුව සාමකාමීව රැස්වීම, සාමකාමීව හැසිරීම, භාෂණය හා ප්‍රකාශනයේ නිදහස, රාජ්‍යාරක්ෂාව, වාර්ගික හා ආගමික සමඟිය, ජාතික ආරක්ෂාව, ජාතික ආර්ථිකයේ ආරක්ෂාව යන කරුණු හේතු කර ගෙන රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම සීමා කර ඇති බව අප සිහි තබා ගත යුතුය.

සාමකාමී රැස්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) වගන්තියෙන් දක්වා ඇති නමුත්, සාමකාමී රැස්වීම ලෙස හඳුන්වන්නේ මාර්ගයක් හෝ පොදු ස්ථානයක් හෝ පෞද්ගලික ස්ථානයක් අවහිර වන පරිදි යමෙකුට තර්ජනයක්, බියක් ඇති කිරීමකින් තොරව කිසිවකුටත් අනර්ථයක් නොවන පරිදි, එමෙන්ම කිසිවකුගේ අයිතිවාසිකමක් කඩ නොවන පරිදි යම් බලහත්කාර ක්‍රියාවකට බල කරන හෝ යම් ක්‍රියාවක් කිරීම බලහත්කාරයෙන් වළක්වන නීත්‍යනුකූල අවසරය නොමැති රැස්වීම් සහ පෙළපාළි ආදිය වේ.

එමෙන්ම නීති විරෝධී රැස්වීමක් යනු කුමක්දැයි ඒ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 138 වැනි වගන්තියෙන් විස්තර කර ඇත. එනම් පහත සඳහන් අරමුණුවලින් එකක් හෝ කිහිපයක් හෝ සියල්ලම ඉටු කර ගැනීමේ අරමුණින් පුද්ගලයන් පස් දෙනකු හෝ ඊට වැඩි ගණනක් රැස්ව සිටින රැස්වීම්, නීති විරෝධී රැස්වීම් වේ. එම අරමුණු නම්, රජයේ යම් සේවකයකු බියට පත් කිරීම සඳහා, නීත්‍යානුකූල කැඳවීම් නියෝගයකට විරෝධය පෑමට හෝ යම් අනර්ථයක් සිදු කිරීමේ අරමුණින් හෝ මහ ජනයාගේ අයිතිවාසිකම් පැහැර ගැනීමට හෝ අයිතිවාසිකමක් බලෙන් ක්‍රියාවේ යෙදවීමට හෝ බලහත්කාරය යොදවා නීත්‍යනුකූලව ක්‍රියාවක් කිරීමට හෝ නීත්‍යනුකූලව බැඳී ඇති ක්‍රියාවක් නොකර හැරීමට බල කිරීම හෝ නීත්‍යනුකූල අවසරය නොමැතිව යුද්ධ, පෙළපාළි හෝ ආයුධ පාවිච්චිය පුහුණු වීම අරමුණු කර ගෙන, පුද්ගලයන් පස් දෙනකු හෝ ඊට වැඩි පිරිසක් සිටින රැස්වීමකි.

නීති විරෝධී රැස්වීම් විසිර වීමට පොලිසියට ඇති බලය

මෙහිදී යම් මහජන අයිතිවාසිකමක් බලෙන් ක්‍රියාවේ යෙදවීමට මාර්ග අවහිර වන සේ කටයුතු කිරීම හෝ රජය පෙරළීමට පෙළපාළි යෑම, රැස්වීම් පැවැත්වීම, නීති විරෝධී වන්නේය. එසේම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 95, 96, 97 වගන්තිවල නීති විරෝධී රැස්වීම් විසුරුවා හැරීම පිළිබඳ ප්‍රතිපාදන දක්වා ඇත. 95 (1)වගන්තියට අනුව මේ නීති විරෝධී රැස්වීමකට හෝ මහජන සාමයට බාධා විය හැකි තැනැත්තන් පස් දෙනකු හෝ ඊට වැඩි ගණනකින් යුතු රැස්වීමකට විසිර යන ලෙස මහේස්ත්‍රාත්වරයකු හෝ පොලිස් පරීක්ෂකවරයකුගේ පදවියට නොඅඩු පදවියක් දරන පොලිස් නිලධාරියකු අණ කළ විට එම රැස්වීම විසිර යා යුතුය. ඒ අනුව මහජන සාමයට රැස්වීමක් බාධා වේ නම්, නීති විරෝධී නොවුණද විසුරුවා හැරීමට පොලිසියට හැකියාව තිබේ. එමෙන්ම ඒ සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමද අත්‍යවශ්‍ය නොවේ.

ත්‍රිවිධ හමුදා කැඳවීමේ බලතල

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 95 (2) වගන්තිය අනුව ඉහත 95 (1) වගන්තිය ප්‍රකාරව විසිර යෑමේ නියෝගයක් කළ විට, විසිර නොයන විට හෝ විසිර නොයන අධිෂ්ඨානයේ සිටින විට සාධාරණ බලය පාවිච්චි කර, එම රැස්වීම විසුරුවා හැරීමට මහේස්ත්‍රාත්වරයකුට හෝ පොලිස් පරීක්ෂකවරයකුගේ ධුරයට නොඅඩු ධුරයක් දරන පොලිස් නිලධාරියකුට හැකිය. එමෙන්ම එසේ විසිර නොයන අය අත්අඩංගුවට ගැනීම සඳහා සන්නද්ධ හමුදාවක නිලයක් නොදරන සාමාන්‍ය තැනැත්තකුගේ සහාය ගැනීමටද, මහේස්ත්‍රාත්වරයකුට හෝ පොලිස් නිලධාරියාට හැකියාව ඇත.

 
 

එලෙස ජනතාව විසුරුවා හැරීමට නොහැකි නම්, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 96 වගන්තිය අනුව එම රැස්වීම නිසා මහජන සාමය පැහැදිලිවම අනතුරට භාජනය වී තිබේ නම් පමණක් ත්‍රිවිධ හමුදාවේ යම් අධිකාරි ලත් හමුදා නිලධාරියකුට එම රැස්වීම විසුරුවා හැරීම හා සිරභාරයට ගැනීම කළ හැකිය. ඒ සඳහා බලය ඇත. එමෙන්ම එසේ ක්‍රියා කරන අතරතුර මහේස්ත්‍රාත්වරයෙකුට, දිසාපතිවරයෙකුට හෝ පොලිස් අධිකාරී ධුරයට නොඅඩු ධුරයක් දරන පොලිස් නිලධාරියෙකුට දැනුම් දීමට හැකි නම්, එසේ දැනුම් දිය යුතුය. එතැන් සිට ඔවුන්ගේ උපදෙස්වලට අනුව ක්‍රියා කළ යුතුය.

ආරක්ෂක නිලධාරීන්ට ලැබෙන නීතියේ රැකවරණය

ඉහත සඳහන් ආකාරයෙන් නීති විරෝධී රැස්වීමක් විසුරුවා හරින පොලිස් හෝ ත්‍රිවිධ හමුදා නිලධාරියකු හෝ ඒ සම්බන්ධයෙන් කටයුතු කරන මහේස්ත්‍රාත්වරයකුට, දිසාපතිවරයකුට, පොලිස් නිලධාරියෙකුට හෝ එම රැස්වීම් විසුරුවා හැරීමට සහාය වන යම් තැනැත්තෙකුට නීතිපතිගේ අවසරය ඇතිව මිස යම් අධිකරණයකදී කිසිම අපරාධ නඩුවක් පැවරිම තහනම් බව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 97 (1) වගන්තියේ සඳහන් වේ. එසේම 97(2) වගන්තියේ සඳහන් වන්නේ මහේස්ත්‍රාත්වරයකු, දිසාපතිවරයකු, පොලිස් නිලධාරියකු හෝ ත්‍රිවිධ හමුදා සාමාජිකයකු හෝ මේ පරිච්ඡේදය යටතේ සද්භාවයෙන් ක්‍රියා කරන වෙනත් යම් තැනැත්තකු, සන්නද්ධ හමුදා නීතියට අවනත වන ත්‍රිවිධ හමුදා සාමාජිකයකු මේ පරිච්ඡේදය යටතේ කරන ලදැයි කියන යම් ක්‍රියාවක් සඳහා සිවිල් හා අපරාධ නඩු කටයුතුවලට යටත් නොවිය යුතුය. රැස්වීම්, පෙළපාළි විසුරුවා හැරීමට පොලීසිය හා ත්‍රිවිධ හමුදාවට අවම බලය භාවිත කරමින් කටයුතු කළ හැකිය.

අවම බලය යනු කුමක්ද?

මෙහිදී අවම බලය යනු උද්ඝෝෂකයන් හෝ විරෝධතාකරුවන් හෝ ඉවත් කිරීමේදී ඊට එරෙහිව ඔවුන් යොදනු ලබන බලයට සමගාමීව යොදන බලයයි. උදාහරණයක් ලෙස ඔවුන් ගල්, පොලුවලින් පහර දෙන විට, බැටන් ප්‍රහාර, කඳුළු ගෑස් යෙදිය හැකිය. එය වඩාත් තීව්‍ර වේ නම් අහසට වෙඩි තබා බිය ගැන්විය හැකිය. ඔවුන් ගිනි අවි භාවිත කරයි නම් පමණක් ගිනි අවි භාවිත කළ හැකිය. එහිදීද දණහිසින් පහළට වෙඩි තැබීම වඩාත් යෝග්‍ය වේ.

මෙහිදී යම් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී එම චෝදනා ලැබූ තැනැත්තාට දඬුවම මරණීය දණ්ඩනය නොවේ නම් ඔහු සිරභාරයට ගැනීමේදී සාධාරණ උපක්‍රමය ඔහුගේ මරණය සිදු කිරීම දක්වා ව්‍යාප්ත නොවේ. යනුවෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 23 (3) වගන්තියේ සඳහන් වන තත්ත්වය පිළිබඳ අපගේ අවධානය යොමු කිරීම වැදගත්ය. එනම් “යම් තැනැත්තකු තවත් තැනැත්තෙකුට මරණීය තර්ජනයක් හෝ මරණය සිදු කිරීමක් හෝ නොකරයි නම්, ඔහු මරා දැමීමට කටයුතු නොකළ යුතුය’’ යන්නයි. මෙය අවම බලය පිළිබඳ හොඳ උදාහරණයකි.

මහජන පීඩාව වැළැක්වීම

කිසිවෙකුට කරදර බාධාවක් හෝ අවහිරයකින් තොරව, සාමූහිකව බෝඩ් අල්ලාගෙන සාමකාමී උද්ඝෝෂණයක් කරන තුරු සාමකාමී වන නමුත්, එය සීමාව ඉක්මවා තර්ජනයක් හෝ අයිතිවාසිකම් කඩ වීමක්, බල කිරීමක් ඇති විට, නීති විරෝධී වේ. ප්‍රසිද්ධ ස්ථානවල රැඳී සිටිමින්, ගේට්ටු අවහිර කරමින්, මාර්ග අවහිර කරමින්, මහජන පීඩාවක් සිදු වන ආකාරයට කටයුතු කරන විට අපරාධ නඩු විධාන සංග්‍රහයේ 105 වගන්තිය අනුව මහජන පීඩාවක් නැවත නොකරන ලෙස හෝ දිගටම නොකරන ලෙස ආඥාවක් නිකුත් කිරීමට හෝ මහේස්ත්‍රාත්තුමන්ට බලය ඇත්තේය.

තවද මහේස්ත්‍රාත්වරයකුගේ මතය අනුව වහාම වැළැක්වීම හෝ ක්ෂණික ප්‍රතිකර්ම යෙදීම හෝ යෝග්‍ය වන අවස්ථාවලදී එක්තරා ක්‍රියාවකින් වැළකී සිටින ලෙස හෝ තම සන්තකය තුළ තිබෙන හෝ කළමනාකාරීත්වය යටතේ ඇති දේපොළක් සම්බන්ධව තැනැත්තෙකුට විධානයක් කිරීමෙන් එසේම නීත්‍යානුකූල සේවයේ යෙදෙන අයෙකුට බාධාවක්, කරදරයක් හෝ හානියක් කිරීම හෝ එසේ කිරීමට උත්සාහ කිරීම හෝ මනුෂ්‍ය ජීවිතයට, සෞඛ්‍යයට හෝ ආරක්ෂාවට තර්ජනයක් හෝ කැරැල්ලක් හෝ කෝලාහලයක් වැළැක්වීමට විධිවිධාන කළ යුතු යැයි මහේස්ත්‍රාත්වරයෙකුට සැල කරනු ලැබූ විට, එසේ කිරීම වලක්වන ලෙසට හෝ දේපොළ සම්බන්ධ නිසි ලෙස ක්‍රියා කරන ලෙසට ආඥාවක් කළ හැකි බව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 වගන්තියේ දැක්වේ. තවද 106 (2) වගන්තිය අනුව ඊට එරෙහි වන අයට විරුද්ධව ඒකපාර්ශ්වික නඩු විභාගයක් කරනු ලැබිය හැකිය. 106 (3) වගන්තිය අනුව එවැනි ආඥාවක් අදාළ අය ගැවසෙන ස්ථානයේදී භාර දීම හෝ ඇලවීමට හැකිය. 106 (4) වගන්ති අනුව මහේස්ත්‍රාත්තුමන්ට තමා කළ නියෝගය වෙනස් කිරීමට හෝ අවලංගු කිරීමට හැකිය. 106 (5) වගන්තිය අනුව අමාත්‍යවරයා ගැසට් කරන දින සිට එම නියෝගය පවතින අතර, එසේ නොකළොත් සාමාන්‍යයෙන් දින දාහතරකින් එම නියෝගය අවලංගු වේ.

මෙසේ මහේස්ත්‍රාත් අධිකරණයක් මඟින් හෝ මහාධිකරණයක් මඟින් දෙන නියෝගයක්, ආඥාවක් කඩ කරන හෝ ඉටු නොකරන පුද්ගලයකු හෝ කණ්ඩායමක් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ වසර දෙකකට නොඅඩු බරපතළ වැඩ ඇතිව හෝ නැතිව සිරදඬුවමකට සහ දඩයකට යටත් කළ හැකිය.

හදිසි නීති රෙගුලාසි බල නොපවත්වන තත්ත්වයක් යටතේ වුවද මේ නීති සියල්ලම එලෙසම බලාත්මක වේ.

උපුටා ගැනීම - දිනමිණ පුවත්