වතු කම්කරු වැටුප ඉහළ දැමූ ගැසට් නිවේදනය යථාර්ථයක් වෙයි ද?

වතු කම්කරු වැටුප ඉහළ දැමූ ගැසට් නිවේදනය යථාර්ථයක් වෙයි ද?

ආර්ථික අර්බුදය හේතුවෙන් ජීවන වියදම ඉහළ යාමත් සමග ඊට සරිලන අයුරින් සිය වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලා වතු කම්කරු ජනතාව අරගලයක නිරත වී සිටිති.

අවස්ථා කිහිපයකදී වතු කම්කරුවන්ගේ වැටුප් සම්බන්ධයෙන් රජය මගින් ගැසට් නිවේදන නිකුත් කෙරුණු අතර විවිධ අවස්ථාවලදී එම ගැසට් නිවේදන රජය විසින් නැවත හකුළා ගනු ලැබීය.

එවන් පසුබිමක වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළ නව ගැසට් නිවේදනයක් ඉකුත් අගෝස්තු මස 13 වන දා නිකුත් කෙරිණි.

එලෙස නිකුත් කළ ගැසට් නිවේදනය අනුව වතු කම්කරුවන්ගේ වැටුප් ගැටලුවට විසඳුමක් හිමි වේ ද යන්න සම්බන්ධයෙන් බොහෝ දෙනා දෑස් යොමා සිටියි.

දිනුක් කාන්තාවන්

වතු කම්කරුවන්ගේ ඉතිහාසය

වතු කම්කරු ප්‍රජාව යනු බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ කෝපි වගාව සඳහා මෙරටට ගෙන එන ලද ඉන්දියානු කම්කරුවන් ය.

19 වන ශත වර්ෂයේදී මන්නාරම දක්වා මුහුදු මාර්ගයෙන් ද, ඉන්පසුව මධ්‍යම කඳුකරයේ ඇති වතු දක්වා දුෂ්කර පාගමනකින් මෙම වතු කම්කරුවන් රැගෙන විත් තිබේ.

වතු කම්කරුවන් ශ්‍රී ලංකාවේ සේවයට පැමිණ වසර 200ක් සම්පූර්ණ වීම හේතුවෙන් 2023 වසරේදී දීර්ඝ පාගමනක් ද පවත්වන ලදී.

අර්ධ වැඩවසම් ක්‍රමයක ඇරඹුම

බ්‍රිතාන්‍යයන් විසින් ශ්‍රී ලංකාවේ කෝපි සහ තේ වගාව ඇරඹීමත් සමග ඒ සඳහා අවශ්‍ය ශ්‍රමය සපයා ගැනීමේ අර්බුදයක් නිර්මාණය වන්නේ, පාරම්පරික ඉඩම් හිමිකම් දරනු ලැබූ සහ ගොවිතැනේ නියැළී සිටි සිංහල ස්වදේශික ජනතාව ඒ සඳහා ශ්‍රම දායකත්වය සැපයීමට කැමැත්තක් නොදැක්වීම හේතුවෙනි.

ඒ අනුව, දකුණු ඉන්දියාවේ ඉඩම් අහිමි අඳ ගොවියන් සහ ගොවි බිම්වල වැඩ කළ කම්කරුවන්, මෙරට වතුකරයේ ශ්‍රම බලකායේ තිබූ හිඩැස පිරවීමට ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබිණි.

මෙම කම්කරුවන්, කංකානිවරුන් හරහා මෙරටට ගෙන්වා ඇති අතර, සිය වාසභූමිවල සිට ඉන්දියානු වෙරළ දක්වා දීර්ඝ ගමනක් ද, බෝට්ටුවෙන් ශ්‍රී ලංකාවට ළඟා වූ පසු කඳුකරයට ළඟා වීම සඳහා සැතපුම් 150ක පමණ දුරක් ද පයින් ගමන් කිරීමට ඔවුන්ට සිදු වී තිබිණි.

මෙම ගමන අතරතුරදී බොහෝ දෙනෙකු මැලේරියාවට ගොදුරුවී මිය ගොස් ඇති අතර, ජීවිත බේරාගත්තවුන්ගෙන් ඇතැමෙකු තමන්ට නුපුරුදු කඳුකරයේ සීත කාලගුණය හේතුවෙන් මිය ගොස් ඇත.

මෙම වතු කම්කරු කණ්ඩායම් වතු හිමිකරුවන් වෙත ගෙන ආ කංකානිවරුන්ට ඔවුන් ගෙන ආ කම්කරුවන් වෙනුවෙන් මුදලක් ගෙවා ඇති අතර, සෑම කම්කරුවෙකු සඳහා ම දෛනික ප්‍රසාද දීමනාවක් ද කංකානිවරයෙකුට හිමිව තිබී ඇත.

වතු කම්කරුවන්ගේ මුල් කාලීන වැටුප ගෙවීම සිදුව ඇත්තේ ද කංකානිවරුන් හරහා යි.

මෙම කංකානිවරුන් වැටුපේ කොටසක් ලෙස සහල් බෙදා දීමේ වගකීම හිමිව තිබූ අය වන අතර, ඔවුන් ක්‍රම ක්‍රමයෙන් එම වතු ආශ්‍රිත වෙළඳසැල් හිමිකරුවන් බවට පත් ව තිබේ.

අතීතයේ ක්‍රියාත්මක වූ තේ කර්මාන්ත ශාලාවක්

| අතීතයේ ක්‍රියාත්මක වූ තේ කර්මාන්ත ශාලාවක්

මහාචාර්ය කුමාරි ජයවර්ධනගේ "ශ්‍රී ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ නැගීම" නමැති කෘතියේ පෙන්වා දෙන්නේ කංකානම් සහ ඔහුගේ කම්කරු කණ්ඩායම් අතර බැඳීම “ණයගැතිභාවය” මත නිර්මාණය වූවක් බව යි.

බොහෝවිට වතු කම්කරුවන්ට මුදලින් වැටුප් ගෙවනවා වෙනුවට කංකානිවරයාගේ කඩයෙන් බඩු සැපයීම සිදු කර ඇත.

එමෙන් ම, මුදලින් වැටුප් ලැබුවේ නම් කම්කරුවා බඩු මිලට ගත යුත්තේ තමාගේ කංකානිවරයාගේ වෙළඳසැලෙන් පමණි. අවම වශයෙන් ආහාර අවශ්‍යතාව හෝ සපුරා ගැනීමට ප්‍රමාණවත් නොවන වැටුප් හේතුවෙන් කංකානිවරයාගේ වෙළෙඳසලෙන් ණයට භාණ්ඩ මිලට ගැනීමට සිදු වූ වතු කම්කරුවන් සදාකාලික ණයකරුවන් ලෙස ජීවිතය ගෙවා මිය ගිය බව මහාචාර්ය කුමාරි ජයවර්ධනගේ ග්‍රන්ථයේ සඳහන්ව ඇත.

එම ග්‍රන්ථය රචනා කිරීමේදී මහාචාර්යවරිය විසින් පී.ඩී. මිලී නමැති වතු හිමිකරුවෙකුගේ "Thirty Years Ago" නමැති පොතක් ද පරිශීලනය කර ඇති අතර, එයින් ගත් උපුටනයක දැක්වෙන්නේ, අවුරුද්දකට සිව් වරකට වඩා වතුකම්කරුවන්ට වැටුප් නොගෙවූ බව යි. ඒ, 1873 කාලවකවානුවේදී ය.

ඔහුගේ සටහන් අනුව සාමාන්‍ය වැටුප් ගෙවීම වසරකට තුන් වරක් වූ අතර ඇතැම්විට එය දෙවතාවකි. වතුකරයේ කම්කරුවන්ට ගෙවූ වැටුප් නාගරික නුපුහුණු කම්කරුවගේ වැටුප්වලට ද වඩා අඩු වූ බව ඔහු සිය ග්‍රන්ථයේ සඳහන් කර තිබේ.

ක්‍රමානුකූලව කලට වේලාවට වැටුප් නොගෙවීම, වැටුප කංකානි අතට ලබා දීම, වැටුප් කප්පාදුව වැනි අසාධාරණකම්වලට 19 වන ශත වර්ෂයේදී වතු කම්කරුවන් මුහුණ දුන් බව මහාචාර්යවරිය සිය ග්‍රන්ථයේ පෙන්වා දී තිබේ.

වතු කම්කරුවාගේ වැටුප පිළිබඳව "ශ්‍රී ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ නැගීම" ග්‍රන්ථයෙන් උපුටා ගැනීමක් පහතින් දැක්වේ.

"වතු කම්කරු ක්‍රමය බොහෝ අතින් අර්ධ වැටුප් කම්කරු ක්‍රමයක් වූයේ ය. පඩියෙන් කොටසක් සහල්වලින් ගෙවීම, සේවය හා සම්බන්ධ නිවාස සැපයුම, වත්තට හෝ කංකානමට අයත් කඩය, ණයගැතිකමේ බැමි, සංචලනයට තිබූ අවහිරකම් බඳු වූ, ඇතැම් ‘වැඩවසම්’ භාවිතයන් මඟින් මේ කම්කරුවන්ගේ නිදහස දරුණු ලෙස සීමා කරනු ලැබිණ."

ඉන්දියානු රජයේ බලපෑම මත 1929 දී ශ්‍රී ලංකා රජයට වතු කම්කරුවන් වෙනුවෙන් අවම වැටුප් ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාමට සිදු වූ අතර ඒ සඳහා, ඉන්දියානු රජයේ බලපෑම හේතුවෙන් 1926 දී පවත්වන පරීක්ෂණයකින් කම්කරුවන් 40%කට ජීවිතය ගැටගසා ගැනීමට අවශ්‍ය වැටුපක් උපයාගත නොහැකි බව සොයා ගැනීම හේතුවක් විය.

නීත්‍යනුකූල අඩු කිරීම් (සහල්) හැර සම්පූර්ණ වැටුප ම කම්කරුවාගේ අතට ලබා දීම සහ එක් මාසයක වැටුප අනෙක් මාසයේ දස වන දාට පෙර ගෙවන ලෙස එහිදී නියම විය.

ඒ අනුව, 1929 දී දිනකට උඩරට කම්කරුවෙකු සත 54ක් ද, මැදරට කම්කරුවෙකු සත 52ක් ද, පහතරට කම්කරුවෙකු සත 50ක් ලෙස ද වැටුප් ලබා තිබේ.

නමුත් 1931න් පසු ඇති වූ ආර්ථික පරිහානිය හේතුවෙන් නැවත එම වැටුප් අඩු කිරීමක් සිදු කර ඇත. එනිසා 1933 වන විට උඩරට කම්කරුවෙකු ලබා ඇති වැටුප සත 41කි.

හිමිකම් නොමැති සියවස් දෙකක්

සේවයට නොගියහොත් වැටුප අහිමි වන නිසා රෝගාතුරව, මන්දපෝෂණයෙන් සිටියදී පවා සේවයට යාමට මුල් කාලයේදී වතුකම්කරුවන්ට සිදු වූ අතර, එනිසා ම 19 වන සියවසේ අග භාගයේදී වතු කම්කරුවන්ගේ මරණ අනුපාතිකය ද ඉහළ ගොස් තිබේ.

20 වන සියවසේ මුල් කාලයේදී ද මෙම තත්ත්වය නොවෙනස් වී ඇති අතර නිසි වැටුපක් සහ අනෙකුත් සියළුම අයිතිවාසිකම් ඔවුන්ට හිමි නොවී ය.

1931 දී ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය හිමිවන විටත් වතුකම්කරුවන් ශ්‍රී ලංකාවේ පුරවැසියන් ලෙස නොසැලකූ නිසා ඔවුන්ට ඡන්ද බලය හිමි නොවී ය.

20 වන සියවසේ මැද භාගයේදී මෙම කම්කරුවන්ගේ පුරවැසිභාවය ඇතුළු ගොඩ නැගුණු ප්‍රශ්නවලට විසඳුමක් ලෙස ‘සිරිමා- ශාස්ත්‍රී ගිවිසුම’ ලෙස ප්‍රසිද්ධ ‘1967 අංක 14 දරන ඉන්දු ලංකා ගිවිසුම’ මගින් ඉන්දියානු කම්කරුවන් 600,000ක් නැවත ඉන්දියාවට යැවීමට තීරණය වී ඇත.

එයින් 94,000ක් ඉන්දියාවට යාම ප්‍රතික්ෂේප කර ඇති අතර, ඉතිරි 506,000 ක්වූ පුද්ගලයින් අතරින් 342,000ක පමණ පිරිසක් 1983 දක්වා කාලය තුළ ආපසු ඉන්දියාවට යවා ඇත.

වතු කම්කරු වැටුපේ මෑතකාලීන ප්‍රවණතා

මෑත කාලීන වසර 20ක කාලය තුළ වතුකම්කරුවන්ගේ වැටුප් වරින් වර වෙනස් වී ඇති නමුත් වතුකම්කරු ප්‍රජාව සහ ඔවුන් නියෝජනය කරන සංවිධාන දිගින් දිගට ම පෙන්වා දෙන්නේ එම වැටුප ජීවන වියදම පියවා ගැනීමට ප්‍රමාණවත් නොවන බව යි.

වතු කම්කරු වෘත්තීය සමිති සහ සංවිධාන රැසක් මේ සඳහා ඉල්ලීම් සිදු කළ අතර, 2018 - 2019 කාලයේදී වතු කම්කරුවන්ගේ දිනක මූලික වැටුප රු. 1000ක් දක්වා වැඩි කර ගැනීම වෙනුවෙන් නිර්මාණය වූ විරෝධතා ව්‍යාපාරයක් වූ "1000 ව්‍යාපාරයේදී" වතුකරයෙන් ඔබ්බ්ට ගොස් කොළඹදී දැවැන්ත විරෝධතා රැලි කිහිපයක් ද සංවිධානය කරන ලදී.

2021 වසරේදී පළමු වරට වතු කම්කරුවන්ට රුපියල් 1000ක දෛනික වැටුපක් හිමිවන්නේ මූලික වැටුප රු. 900ක් ලෙස යි. මෙම කාලය ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ඇති වූ මුල් වකවානුව යි.

2022 වසර වන විටත් වැටුප නොවෙනස්ව පැවතියෙන් අමතර දලු කිලෝග්‍රෑමයකට හිමි වන මුදල හැර, කම්කරුවෙකු දින 2ක් වැඩ කළේ නම් ඔහු ලැබූ වැටුප රු. 21,000.00ක් විය. දින 30 ම වැඩ කළේ නම් රු. 30,000ක් ඉපැයූහ. එම වසරේදී දෛනික ආදායම අනුව දින 21ක ආදායම ගණන් හැදූ විට රු. 55,100.ට අඩු වූවන් දිළිඳු ප්‍රජාව ලෙස සැලකූ අතර, ජාත්‍යතර දිළිඳු රේඛාවට අනුව රු. 53,743.00ට අඩු දින 21ක ආදායමක් ඇති අය දිළින්දන් ලෙස සැලකිණි.

ඒ අනුව, වතු කම්කරුවන්ගේ මාසික ආදායම තිබෙන්නේ එම දිළිඳු රේඛාවලටත් වඩා ඉතා පහළ මට්ටමක ය.

වසර ගණනාවක ඉල්ලිම් සලකා බැලීමෙන් පසුව වතු කම්කරු ජනතාවගේ වැටුප් වැඩීවීමක් ජනාධිපතිවරයා විසින් නිවේදනය කරන්නේ එවැනි පසුබිමකයි.

කෙසේ වෙතත්, වතු හිමිකරුවන් පෙන්වා දෙන්නේ මෙම රු. 1700.00ක දෛනික වැටුපක් ගෙවීම කර්මාන්තය බිඳ දමන බව යි.

ආදායමෙන් වැඩි කොටසක් රටට ගෙන එන තේ අපනයන

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ තේ වගා කර ඇති භූමි ප්‍රමාණය අක්කර 660,232.24කි.

එයින් 74%ක් කුඩා තේ වතු වන අතර, 26%ක ප්‍රමාණයක් මහා පරිමාණ තේ වතු යි.

මෙවැනි කුඩා හා මහා පරිමාණ වතු ඒකක 421,452ක් ශ්‍රී ලංකාව තුළ පවතින බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් බීබීසී සිංහල වෙත පැවසීය.

2017, 2018, 2019 වසරවල නිමි තේ කිලෝග්‍රෑම් මිලියන 300 ඉක්මවා ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කර ඇති නමුත් 2020 කොවිඩ් වසංගත සමයේ පටන් එය බිඳ වැටීමකට ලක්ව තිබේ.

මෑත කාලීන අවම නිමි තේ නිෂ්පාදනය 2022 වසරේ දී වාර්තා වී ඇති අතර, එය කිලෝග්‍රෑම් මිලියන 251.50කි. නැවත එය 2023 දී සුළු ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.

මෙම නිෂ්පාදනයන්ගෙන් වැඩි කොටස අපනයනය කරන අතර සාමාන්‍යයෙන් නිමි තේ නිෂ්පාදනයෙන් 90%කට වැඩි ප්‍රමාණයක් අපනයනය කරනු ලබයි.

2023 වසර ආරම්භයේ දී ගෝලීය තේ වෙළෙඳපොළේ ශ්‍රී ලංකාව පස් වන ස්ථානයේ රැඳී සිටි අතර වසර අවසානයේ එය තුන්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබුණි.

එමෙන් ම තේ අපනයන යනු ශ්‍රී ලංකාවට වැඩි ම අපනයන ආදායමක් ද ගෙන එන්නකි.

ශ්‍රී ලංකාව සෑම වසරක ම ඇමෙරිකානු ඩොලර් බිලියනයකටත් වඩා ආදායමක් උපයා ගන්නේ තේ අපනයනයෙන් ය.

මෑත වසර දහය තුළ වැඩි ම ආදායමක් ලබා ඇත්තේ 2014 වසරේදී වන අතර එය ඩොලර් බිලියන 1.6කි.

එය, එම වසරේ සමස්ත අපනයනයන්ගෙන් 14.74%ක ප්‍රතිශතයකි. මෑත කාලීනව 2020 හා 2022 වසරවල යම් පසුබෑමක් තිබුණ ද 2023 වසරේ දී ඩොලර් බිලියන 1.3ක් තේ අපනයනයෙන් උපයා තිබේ.

එය සමස්ත අපනයනයන්ගෙන් 11.26%කි

මෙම වසරේ අප්‍රේල් දක්වා කාලය තුළ අපනයන ආදායම ලෙස ඩොලර් මිලියන 450.23ක් උපයා තිබේ.

කෙසේ නමුත්, වතුහිමිකරුවන් පෙන්වා දෙන්නේ මෙම ආදායම වතුකම්කරු වැටුප් ගෙවීමට ප්‍රමාණවත් නොවන බව යි.

වර්තමානය වන විට වතුකම්කරුවෝ දළ වශයෙන් 300,000ක් පමණ සෙවයේ යෙදී සිටිති.

ඔවුන්ට රු. 1700.00 ක වැටුපක් ගෙවීමට නම් වාර්ෂිකව රු. බිලියන 6.12ක් වැය වේ. එය මෙම ලිපිය සම්පාදනය කරනවිට පවතින විනිමය අනුපාතිකයන්ට අනුව, ඇමරිකානු ඩොලර් මිලියන 20කට ආසන්න මුදලකි.

කම්කරු හිඟයකට පාර කපන අවම වැටුප

වතු කම්කරුවන්ට හිමිවන අවම වැටුප ප්‍රමාණවත් නොවන හෙයින් බොහෝ පුද්ගලයන් වෙනත් රැකියාවලට යොමු වීමේ ප්‍රවණතාවක් තිබේ.

වතුවල සේවය කරන කම්කරුවන් සංඛ්‍යාව දළ වශයෙන් 300,000ක් පමණ වුවත් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සංඛ්‍යාව 900,000කට වැඩි ය.

මෙම තත්ත්වය නිසා බොහෝ විට එම පවුල්වල පිරිමි පුද්ගලයන් නගර ආශ්‍රිත රැකියාවලට යොමු වන අතර, කාන්තාවන් අඛණ්ඩව වතුවල සේවය කිරීම සිදුවේ.

එම ස්ත්‍රීන් දරුවන් රැක බලා ගැනීම ඇතුළු ගෘහ කාර්යයන් ද සිදු කරමින් සේවයේ නිරතවන්නේ ඉතා ම අවම පහසුකම් යටතේ අඩු වැටුපකට යි.

මෑතකදී කොළඹදී පැවැත්වුණු වතුකම්කරුවන් පිළිබඳ වැඩසටහන් කිහිපයකදී යෝජනා වූයේ, ජනාධිපතිවරයා විසින් යෝජනා කරන ලද රු. 1700ට වඩා වැඩි වැටුප් වැඩිවීමක් වතු කම්කරුවන්ට අවශ්‍ය බව යි.

වතුකම්කරුවන් ශ්‍රී ලංකාවේ වතු ආර්ථිකයට සේය කිරීම අරඹා වසර දෙසීයක් ගත වුවත් තවමත් ජීවත්වීමට සුදුසු නිවාස, සනීපාරක්ෂක පහසුකම් මෙන් ම, සේවය කරන ප්‍රදේශවල අවම වශයෙන් පිරිසිදු පානීය ජලයවත් සපයා ගැනීමට නොහැකි වීම පිළිබඳව එහිදී සාකච්ඡා විය.

ඔවුන් ඉල්ලා සිටියේ රටේ අනෙකුත් වෘත්තීන් සේම වතුකම්කරුවන්ට ද ජීවන වියදමට සරිලන වැටුපක් සහ ගෞරවණීය ජීවිතයක් ලඟා කරගැනීමට අවශ්‍ය පහසුකම් ලබා දෙන ලෙසයි.

කම්කරු ඉල්ලීම් වලට ලැබූ පිළිතුර

වසර ගණනාවක් පුරා සිදුකළ ඉල්ලීම්වල ප්‍රතිඵලයක් ලෙස තේ සහ රබර් වතු සේවක කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,700.00ක් දක්වා ඉහළ දැමීමට අදාළ ගැසට් නිවේදනය කම්කරු දෙපාර්තමේන්තුව විසින් 2024 අගෝස්තු 13 වන දා නිකුත් කළේ ය.

එහිදී දෛනික අවම ගෙවීම රුපියල් 1350ක් ලෙසත්, එලදායිතාවය මත පදනම් වූ දිරි දීමනාව ලෙස රුපියල් 350.00ක් කම්කරුවන්ගේ වැටුපට දෛනිකව එකතු වන අයුරින් අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය විසින් සංවිධානය කළ ඉකුත් මැයි දින රැලියට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ වතු කම්කරු දෛනික අවම වැටුප රු. 1700.00 දක්වා ඉහළ දමන බව යි.

ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇති අතර, වතු හිමියන් එම තීන්දුවට විරෝධය පළ කරමින් එම ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් වාරණයක් ඉල්ලා අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කළ ද අභියාචනාධිකරණය විසින් එලෙස වාරණයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන ලදී.

(BBC/Sinhala)