වසරකට ලක්ෂයකගේ ජීවිත බිලිගන්නා පිළිකා කාරක ඔළුව උඩින් තබාගෙන සිටීම හෙවත් ඇස්බැස්ටස් කරුමය
- අපේ රටෙත් තැන තැන ඇස්බැස්ටස් දූෂක කාරක
නම කිවූ පමණින් අප ඉතාම හොඳින් දන්නා හඳුනන “ඇස්බැස්ටස්” යනු හුදෙක් සෙවිළි තහඩුවක් පමණක් නොව, රසායනික ද්‍රව්‍යයකි. ශ්‍රී ලංකාවේ නැතත්, රුසියානු කලාපයේ පතල් තුළින් ගොඩගන්නා “ඇස්බැස්ටස්” එහි පවතින කෙඳි ස්වභාවය නිසාම මිනිස් සිරුරට (සත්ත්ව සිරුරට) ඉතා අහිතකර ද්‍රව්‍යයකි. විශේෂයෙන්ම මෙහි පවතින මයික්රෝමය කෙඳිති මිනිසා ඇතුළු සත්ත්වන්ගේ ජීවිතවලට සහ පරිසරයට ඉතා දරුණු ලෙස හානිදායක බවට හඳුනාගෙන ඇත. මෙනිසාම අප කවුරුත් දන්නා, කවුරුත් හොඳින් හඳුනන “ඇස්බැස්ටස්” සෙවිළි තහඩු තවදුරටත් භාවිත නොකර ඒ සඳහා විකල්ප සෙවිළි භාවිත කරන මෙන් පරිසරවේදීන්, වෛද්‍යවරුන් ඉල්ලා සිටින්නේ කලක පටන්ය. එනම්, එහි ආදීනව හඳුනාගත් දා පටන්ය. වැඩිමනත් “ඇස්බැස්ටස්” අඩංගු නිෂ්පාදන වන වාහනවල භාවිත කරන ඇතැම් (ලාභදායී) බ්රේක් පෑඩ්, ලයිනර්ස්වලින් පරිසරයට නිකුත් කෙරෙන ඇස්බැස්ටස් කෙඳිතිවලින් ද මෙම අන්තරායම සිදුකෙරෙන බැවින් ඒවා ප්‍රමිතිගත කිරීම ගැනද ලෝකය කතා කරයි.
එනම්, පෙනහළු පිළිකා, මැලිග්නන්ට් මීසොතෙලියෝමාව, ඇස්බැස්ටෝසිස්, ස්වාරාල පිළිකා, ඩිම්බකෝෂ පිළිකා ආදියට හේතුවන පිළිකා කාරකයක් සේ “ඇස්බැස්ටස්” රසායනය ක්‍රියාකරන බවට පර්යේෂණ මගින් ලෝකය අනාවරණය කරගෙන ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මගින් හඳුනාගෙන ඇති ඉතා අන්තරායකර රසායන 10 අතර “ඇස්බැස්ටස්” රසායනික දූෂක කාරකය ඇත. දැනට භාවිතයේ පවතින ක්‍රිසොටයිල් ඇස්බැස්ටස් වර්ගය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය වන්නේ ඇස්බැස්ටස් සම්බන්ධ රෝග වැළැක්වීම කළ හැකි බැවින් සහ වැළැක්විය යුතු බැවින් ඊට වඩාත්ම යෝග්‍ය කාර්යය වන්නේ සියලුම ආකාරයේ ඇස්බැස්ටස් නිෂ්පාදන ලෝක භාවිතයෙන් ඉවත් කළ යුතු බවයි. මන්ද, දැනට හඳුනාගෙන ඇති පරිදි වාර්ෂිකව ලක්ෂයක් ඉක්මවා යන ජන සංඛ්‍යාවක් ඍජුවම ඇස්බැස්ටස් මගින් සහ ඇස්බැස්ටස් ආශ්රිත රෝග ඇතිවීම නිසා ලොව පුරා මිය යමින් සිටින නිසාය.
මේ නිසා ශ්‍රී ලංකාවේ ද ඇස්බැස්ටස් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතු බවට කතිකාවතක් නිර්මාණය වූයේ කලක පටන් ය. ඒ කෙසේ වෙතත්, 2018 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම තනතුරට අමතරව පරිසර අමාත්‍ය ධුරය ද දරන ලද හෙයින් ඇස්බැස්ටස් තහනම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන්නට තීරණය කරන ලද්දේ මේ වන විට ලොව පුරා රටවල් 70 කට වැඩි ප්‍රමාණයක ඇස්බැස්ටස් සම්පූර්ණයෙන්ම භාවිතය තහනමට ලක්කිරීම ද සැලකිල්ලට ගනිමිනි. නමුත්, අවාසනාවන්ත ලෙස එම තීන්දුව හකුලාගන්නට අපට සිදුවූයේ ඇස්බැස්ටස් නිපදවා අප රටට එවන දියුණු රටවල් ඒ සඳහා කරන ලද බලපෑම් හේතුවෙනි. මේ නිසා ශ්‍රී ලංකාවේ ඇස්බැස්ටස් තහනම ක්‍රියාත්මක නොවුණ ද, 2018 වසරේ පටන් ඒ ගැන අධීක්ෂණය කර 2024 එනම් මේ ගෙවී යන වසර වන විට තහනම ක්‍රියාත්මක කිරීමේ අධියරට පැමිණීමට රජය නියමිතව සිටියේය. එනමුත් අප රට මුහුණ දුන් ආර්ථික අවපාතනය ඇතුළු ආර්ථික, සමාජීය බලපෑම් මධ්‍යයේ 2024 වසරේ ඉතිරි මාස කිහිපය තුළ එය ක්‍රියාවට නැගේදැයි කුකුසක් ඇත.
නමුත් ඊට අඛණ්ඩ ක්‍රියාමාර්ගයක් ලෙස ශ්‍රී ලංකාවේ ඉතා ප්‍රකට පාරිසරික සංවිධානයක් වන පරිසර යුක්ති කේන්ද්‍රය (CEJ-Centre for Environmental Justice) දිගු කලක පටන්ම ඇස්බැස්ටස් භාවිතය, එහි ආදීනව සහ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අවධානයෙන් කටයුතු කළ සංවිධානයකි. 2024 වසරේදී ඇස්බැස්ටස් රසායනිකය පිළිබඳව ක්‍රියාමාර්ග ගැනීමට ගත් පියවර අමතක නොකර ඒ පිළිබඳව අධ්‍යයනයේ යෙදුණේය. එම සංවිධානය දෙස්-විදෙස් විද්වතුන්, වෛද්‍ය වෘත්තිකයින්, පරිසරවේදීන්, පර්යේෂකයින් සම්බන්ධ කරගනිමින් මේ පිළිබඳව කටයුතු කළ අතර, ඒ මගින් වාර්තාවක්ද පිළියෙළ කළේය. එපමණක් නොව, “Asbestos Investigation report in Sri Lanka” නමැති මෙම වාර්තාව ඉකුත්දා එළිදක්වන්නට ද පරිසර යුක්ති කේන්ද්‍රය පසුගියදා කටයුතු කළේය. ඒ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනයේ පැවති ඇස්බැස්ටස් පිළිබඳ විද්වතුන් සහභාගි වූ වටමේස සාකච්ඡාවක් ද සමගය. එහිදී තවදුරටත් අදාළ වාර්තාව පිළියෙල කිරීම සඳහා යොදා ගත් නිර්දේශ සහ රට රටවල “ඇස්බැස්ටස්” සම්බන්ධයෙන් ගන්නා ලද තීරණ, තීන්දු සහ අත්දැකීම් මෙන්ම, ඇස්බැස්ටස් ව්‍යසනය ගැනද පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
ඇස්බැස්ටස් භාවිතය සහ එහි ක්ෂේත්‍ර තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාවේදී කරන ලද පර්යේෂණය සඳහා සම්බන්ධීකරණ දායකත්වය දුන් පරිසර යුක්ති කේන්ද්‍රයේ පරිසර නිලධාරී දර්ශිකා සෙව්වන්දි විසින් වැඩසටහන හඳුන්වා දුන් අතර, පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති හේමන්ත විතානගේ සහ එම සංවිධානයේම විධායක අධ්යක්ෂ දිලෙන පාත්‍රාගොඩ මහත්වරු පර්යේෂණය පිළිබඳව වැදගත් අදහස් පළ කළහ. කාලයක පටන් ඇස්බැස්ටස් ආශ්රිත රෝග පිළිබඳව පර්යේෂණවල නිරත වෛද්‍ය අසේනි වික්‍රමතිලක මෙහිදී තම ප්‍රතිපල සහ අත්දැකීම ඇසුරෙන් ඇස්බැස්ටස් ආශ්රිත රෝග සහ එහි මාරාන්තික තත්ත්වය පහදා දෙනු ලැබුවාය. තවද, පර්යේෂකයන්, විද්වතුන්, ඇස්බැස්ටස් සෙවිළි තහඩුවලට විකල්ප සෙවිළි ක්ෂේත්රයේ ව්‍යවසායකයින්, මාධ්‍යවේදීන් ඇතුළු ක්ෂේත්‍ර රැසක පිරිස් එක්වූ මෙම වට මේස සාකච්ඡාවට කොරියාව, ජපානය සහ මේ වන විටත් සම්පූර්ණයෙන්ම ඇස්බැස්ටස් තහනමට ලක් කර ඇති දකුණු ආසියාවේ ප්‍රථම රට වන නේපාලයේ විද්වතුන් එක්වූ අතර, “Asbestos Investigation report in Sri Lanka” වාර්තාව එළිදැක්වීම ද මෙහිදී සිදුකෙරිණි.
සාකච්ඡාවට එක්වූ හේමන්ත විතානගේ මහතා මෙහිදී කියාසිටියේ ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා අනුව ඇස්බැස්ටස් ආශ්රිත මීසොතෙලියෝමාව, ඇස්බැස්ටෝසිස් වැනි රෝගවලින් වසරකට පුද්ගලයන් 107,000 ක් දෙනා මිය යන බවට හඳුනාගෙන ඇති බවත්, දකුණු ආසියාවේ නේපාලය ඇතුළු රටවල් 70 ක් දැනටමත් ඇස්බැස්ටස් පූර්ණ තහනමකට ලක් කර ඇති බවත්ය. නමුත්, ශ්‍රී ලංකාවේ ඇස්බැස්ටස් තහනම දේශපාලන තීන්දු, තීරණ මත පවතින බව හා 2024 වසර තුළ එවන් තහනමක් ඇතිවීමේ ඉඩකඩක් පෙන්නුම් නොකරන බවයි. එනමුත්, තම ආයතනය මෙසේ වාර්තාවක් මගින් ඇස්බැස්ටස් ආදීනව සහ එහි සැබෑ තත්ත්වය ඉදිරිපත් කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාවේ සිදුකරන ලද පර්යේෂණයන්ට සහ ඉහත පර්යේෂණ වාර්තාව සකස් කරන්නට තම දායකත්වය ලබාදුන් කොරියාවේ Asian Citizenzs Center for Environment Health ආයතනයේ වෛද්‍ය Choi Yeyong මෙහිදී අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් කියා සිටියේ කොරියාව සහ ජපානය ද ඇස්බැස්ටස් භාවිතය සම්පූර්ණයෙන්ම නවතා ඇති බවත්, ශ්‍රී ලංකාවේදී තමන් විසින් සිදුකරන ලද නිරීක්ෂණයන්හිදී ලබාගත් සාම්පල් 31 ක් අතරින් මිනිස් සිරුරට හානිදායක “ක්‍රිසොටයිල් ඇස්බැස්ටස්” ප්‍රභේදය 15% ක ප්‍රමාණයක් කසළ ගොඩවල තිබියදී හඳුනාගත් බවයි. එසේම, ශ්‍රී ලංකාවට ආනයනය කරන චීනයේ නිෂ්පාදිත ඇතැම් යතුරු පැදි බ්රේක් ලයිනර්වල සියයට 30 ක් (30%) “ක්‍රිසොටයිල් ඇස්බැස්ටස්” ඇති බවද හෙතෙම පැවසීය. ජපන් තාක්ෂණික බ්රේක් ලයිනර්වල “ක්‍රිසොටයිල් ඇස්බැස්ටස්” නොමැති බවද ඔහු කීය. එමෙන්ම, ඇස්බැස්ටස් සෙවිළි තහඩුවල ඇස්බැස්ටස් ප්‍රමාණය සියයට සියයක් 100% බවද දුහුවිල්ලේ සියයට 25 ක් ද ලෙස ඇස්බැස්ටස් අඩංගු බව ඔහු පවසයි. මෙනිසා ඇස්බැස්ටස් තහනම් කිරීමේ ප්‍රතිපත්තියක් අනුමත කරගත යුතු බවට, ඇස්බැස්ටස් නැති නිෂ්පාදන ආනයනය කිරීමට, ඇස්බැස්ටස් නැති භාණ්ඩවල වාසිය ජනතාවට කියා දීමට, ඇස්බැස්ටස් නැති නිෂ්පාදන අගය කිරීමට, නිරන්තර පසු විපරමට සහ සුපරීක්ෂාවට, දැනුවත් කිරීමට සහ මාධ්‍ය අවධානය ඇතිකිරීමට මෙහිදී වෛද්‍ය Choi Yeyong මහතා ශ්‍රී ලංකාවට යෝජනා කළේය.
වෛද්‍ය අසේනි වික්‍රමතිලක මෙහිදී කියා සිටියේ තමන්ගේ පර්යේෂණවලට අනුව පෙනහළු සහ ස්වසන ආශ්රිත රෝග පමණක් නොව, මුඛමාර්ග, ගලනාලය හා ආහාර මාර්ගය, වකුගඩු ආශ්‍රිතව ද ඇස්බැස්ටස් නිසා මාරාන්තික රෝග ඇතිවන බවයි. එමෙන්ම අප නොසිතා සිටියත්, ඇතැම් ප්‍රකට ටැල්කම් පවුඩර් ඇතුළු පව්ඩර් නිෂ්පාදනය සඳහා ඇස්බැස්ටස් යොදාගන්නා බවද, ශ්‍රී ලංකාව කුඩා රටක් වුවද, ඉන්දියාව මෙන් සත් (7) ගුණයක් ඇස්බැස්ටස් භාවිත කරන බවද වෛද්‍ය අසේනි වික්‍රමතිලක කියා සිටියේය.
A-BAN – Asian Ban asbestos Network හි සම්බන්ධීකාරක Sugio Furuya මහතා ජපානයේ සිට සම්බන්ධ වෙමින් කියා සිටියේ ඇතිව තිබෙන සෞඛ්‍ය ප්‍රශ්නවලට විසඳුම නම්, සියලු ආකාරයේ ඇස්බැස්ටස් තහනම් කළ යුතු බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය එක්ව 2007 දී ඇස්බැස්ටස් ක්‍රම ක්‍රමයෙන් ඉවත්කිරීම සහ සම්පූර්ණයෙන් නැවැත්වීම සඳහා වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
මෙම වාර්තාව මගින් කියා සිටින්නේ ශ්‍රී ලංකාව තුළ නිල් හා සුදු ඇස්බැස්ටස් ලෙස වර්ග දෙකක් භාවිතයට ගත්තද, 1997 සිට නිල් ඇස්බැස්ටස් තහනමට ලක්කර ඇති බවයි. නමුත් තවමත් භාවිත සුදු ඇස්බැස්ටස් ඇතුළු ඇස්බැස්ටස් නිෂ්පාදන හේතුවෙන් සෑදෙන මීසොතෙලියෝමා රෝගීන් 13 ක් හඳුනාගෙන ඇති බවයි. එමෙන්ම, ශ්‍රී ලංකාවෙන් ලබාගත් සාම්පල් 31 න් 14 කම ක්‍රිසොටයිල් ඇස්බැස්ටස් 4% සිට 35% අතර ප්‍රමාණයක් අඩංගු බවද, ඇස්බැස්ටස් සෙවිළි තහඩු තුළ 7% සිට 15% දක්වා මෙන්ම තිරිංග ලයිනින් සාම්පල් තුළ 4% සිට 35% දක්වා අඩංගු බවට හඳුනාගත් බවද අනාවරණය කෙරිණි.
| ජගත් කණහැරආරච්චි (දිවයින)