මෙවර මහ මැතිවරණයේදී ඉතිහාසයට නව පිටුවක් පෙරළමින්, කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස තේරී පත් වී තිබේ.
කෙසේ වෙතත්" සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ කිහිපයක් තවමත් ඔවුන්ගේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර නම් කර නැත.
ඒ අනුව මෙතෙක් පාර්ලිමේන්තුවක් සඳහා තේරීපත් වී ඇති වැඩි ම මන්ත්‍රීවරියන් සංඛ්‍යාව මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරනු ඇත.
මැතිවරණය ජය ගත් කාන්තාවන් 21ක්
ජාතික ජන බලවේගයෙන් සහ සමගි ජන බලවේගයෙන් තරග කළ කාන්තා අපේක්ෂිකාවන් අතරින් 21 දෙනෙකු මැතිවරණයෙන් ජයගෙන පාර්ලිමේන්තුවට තේරී පත් වී තිබීම විශේෂත්වයකි.
ජාතික ජන බලවේගයෙන් කාන්තාවන් 19ක් සහ සමගි ජන බලවේගයෙන් කාන්තාවන් 2ක් එලෙස තරගකාරී ලෙස මනාප ලබා ගනිමින් ජයග්‍රහණය කර තිබේ.
ජාතික ජන බලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු ආසනවලින් එක් ආසනයක් සඳහා කාන්තාවක් පත් කර තිබේ.
මෙතෙක් පාර්ලිමේන්තුව නියෝජනය කර ඇති වැඩිම සංඛ්‍යාව මන්ත්‍රීවරියන් 13කි.
ඊයේ දිනයේ දී (නොවැම්බර් 18) දෙවන වරටත් අග්‍රමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් ආචාර්ය හරිනි අමරසූරිය කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කර මනාප 655,299ක් හිමි කරගත් අතර, එය දෙවැනි වන්නේ මෙවර විදේශ අමාත්‍ය විජිත හේරත් විසින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් මනාප ලක්ෂ හතක් ඉක්මවා ලබා ගත් සංඛ්යාවටයි.
මීට පෙර මහමැතිවරණයක දී ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාවේ වාර්තාව හිමිකරගෙන සිටි හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හිමි කරගෙන තිබුණේ ලක්ෂ 5කට ආසන්න මනාප සංඛ්‍යාවකි.
21 දෙනෙකුගෙන් යුක්ත කැබිනට් මණ්ඩලයට ඇමතිවරියන් දෙදෙනෙකු ඇතුළත් අතර, ඒ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ධූරය දරන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් ය.
මෙවර තේරී පත් වී ඇති මන්ත්‍රීවරියන් අතරින් අති බහුතරයක් උසස් අධ්‍යාපනය දක්වා ඉගෙනුම ලබා ඇති අය වන අතර, විවිධ වෘත්තීන් නියෝජනය කරනකාන්තාවෝ විශාල පිරිසක් සිටිති.
බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් මැතිවරණය ජයගත් සැමුවෙල් අම්බිගා සහ ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මලෛහ ජනතාව නියෝජනය කරන කාන්තාවන් වීම විශේෂත්වයකි.
එම ප්‍රජාව නියෝජනය කරන කාන්තාවන් පළමු වරට පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ මෙවරය.
10 වන පාර්ලිමේන්තුව නියෝජනය කරන කාන්තා මන්ත්‍රීවරියන්
පළමු වරට පාර්ලිමේන්තු යන සංඛ්‍යාව 20ක්
මෙම මන්ත්‍රීවරියන් 22 අතුරින් මන්ත්‍රීවරියන් 20 දෙනෙකු පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ පළමු වතාවටයි.
එයින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, ජාතික ජන බලවේගයට 2020 මහ මැතිවරණයෙන් හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර, මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරග කර ජයග්‍රහණය කළා ය.
සමගි ජන බලවේගයේ රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ 3වන වතාවට යි.
ඇය අඛණ්ඩව තෙවරක් මාතලේ දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කර ජයග්‍රහණය කිරීමෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වී තිබේ.
2015 මහ මැතිවරණයේ දී ඇය එක්සත් ජාතික පක්ෂය ඇතුළු යහපාලන ආණ්ඩුව නියෝජනය කළ අතර, 2020, 2024 මහ මැතිවරණවලට සමගි ජන බලවේගය නියෝජනය කරමින් තරග කළා ය.
මීට අමතර ව මෙවර මහ මැතිවරණයට තරග නොකළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ලගේ දියණිය වන චමින්ද්‍රානි කිරිඇල්ල මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වී තිබේ.
ශ්‍රී ලංකාවේ කාන්තා නියෝජනය ඉතිහාසය
1931 ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිට පසුගිය සැප්තැම්බර් 24 නමවන පාර්ලිමේන්තුව විසුරුවා හරින තෙක්, ගෙවී ගිය වසර 87ටම ව්‍යවස්ථාදායකය නියෝජනය කර ඇත්තේ කාන්තාවන් 71 දෙනෙකු පමණි.
එයින් කාන්තාවන් 45 දෙනෙකු ම තේරී පත්ව තිබෙන්නේ එක් සභා වාරයකට පමණි.
එක් වතාවකට වඩා පාර්ලිමේන්තුව නියෝජනය කළ 31 දෙනාගෙන් වැඩි ම කාලයක් මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කර ඇත්තේ අමරා පියසීලි රත්නායකයි.
අවස්ථා හයක දී පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඇය අඛණ්ඩව වසර 33ක් මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කළා ය.
1931 අතුරු මැතිවරණයෙන් ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවට රුවන්වැල්ල ආසනයෙන් තේරී පත් වූ ඇඩ්ලින් මොලමුරේ ව්‍යවස්ථාදායක සභාවට තේරී පත් වූ පළමු කාන්තාව ලෙස ලංකා ඉතිහාසයට එක් වෙයි.
1956 අගමැති එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිවරිය ලෙස පත්වූ විමලා විජයවර්ධන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු කැබිනට් ඇමතිවරියයි.
සිරිමාවෝ බණ්ඩාරනායක ලෝකයේ පළමු අග්‍රාමාත්‍යවරිය වූ අතර ඇගේ දියණියක් වූ චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග ශ්‍රී ලංකාවේ පළමු ජනාධිපතිනිය බවට ද පත් විය.
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය වීමට පෙර 1994 වසරේ දී මහ මැතිවරණය ජයගෙන අග්‍රාමාත්‍යවරිය ලෙසට ද කටයුතු කළා ය.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජාතික ලැයිස්තුව හඳුන්වා දීමෙන් පසු මන්ත්‍රීවරියන් 19 දෙනෙක් ජාතික ලැයිස්තුවෙන් පත් වී ඇත.
නමුත් 2001 සිට 2010 දක්වා කාලය තුල කිසිම කාන්තාවකට ජාතික ලැයිස්තුවෙන් ඉඩක් ලැබී නැත.
අවසන් පාර්ලිමේන්තුවේ දී ජාතික ලැයිස්තුවෙන් ද හතර දෙනෙක් සහිතව කාන්තාවන් 12 දෙනෙකු පාර්ලිමේන්තුව නියෝජනය කළ ද අධිකරණ තීන්දුවක් නිසා ඩයනා ගමගේට සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි විය.
මීට අමතර ව 8 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක් වූ ගීතා කුමාරසිංහට ද අධිකරණ තීන්දුවක් හේතුවෙන් සිය මන්ත්‍රී ධූරය අහිමි විය.
ඉතිහාසය දෙස බැලූ විට මෙතෙක් පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරියන් බොහෝ දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇත්තේ තමන්ගේ පවුලේ ළඟම පිරිමි ඥාතියෙකුගේ අභාවයෙන් හෝ දේශපාලනයට සම්බන්ධ පවුල් වලට සම්බන්ධ වීමෙන් හෝ ඉපදීමෙන් වුවත්, මෙවර මන්ත්‍රීවරියන් බහුතරයක් එම සම්ප්රදාය බිඳ දමා ඇති බව නිරීක්ෂණය වේ.
| 1989 සිට 2020 දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළ කාන්තා ප්‍රතිශතය
මෙවර කාන්තා ප්‍රතිශතය වැඩි වූයේ ඇයි?
ජනගහනය, ඡන්දදායක ප්‍රතිශතය සහ සාක්ෂරතාවය අතරින් ශ්‍රී ලංකාවේ කාන්තාවන් ඉදිරියෙන් සිටින නමුත් තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ කාන්තා නියෝජනය ඉතා සීමිත ය.
කලක පටන් රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සංවිධාන එක් ව ගෙන ගිය සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් 2018 පළාත් පාලන මැතිවරණයේ දී 25%ක කාන්තා ප්‍රතිශතයක් එම ආයතනවල නියෝජිතයන් බවට පත් විය යුතු යැයි නීතියක් ගෙන එන ලදි.
ඒ අනුව එවර කාන්තාවන් වැඩි ප්‍රමාණයකට නාම යෝජන ලබා දීමට පක්ෂවලට සිදු වූ අතර, එම නීතිය හේතුවෙන් එවර කාන්තාවන් වැඩි සංඛ්‍යාවක් පළාත් පාලන ආයතනවලට තේරී පත් විය.
කෙසේ වෙතත් ඉන් අනතුරුව 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරීපත් වූයේ මන්ත්‍රීවරියන් 12 දෙනෙකු පමණක් වන අතර, එයින් 4 දෙනෙකු ම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියන් විය.
පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වන විට පාර්ලිමේන්තුව නියෝජනය කළේ එයින් මන්ත්‍රීවරියන් 11 දෙනෙකි.
ඒ, පුරවැසිභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් නිසා ඩයනා ගමගේ ට සිය මන්ත්‍රී ධූරය අහිමි වූ නිසා ය.
අන්තර් පාර්ලිමේන්තු සංසන්දයේ කාන්තා නියෝජන ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව දැනට රැඳී සිටින්නේ 175 වන ස්ථානයේ ය. ශ්‍රී ලංකාවට පසුපසින් සිටින්නේ ඇෆ්ඝනිස්ථානය, මියන්මාරය වැනි රටවල් කිහිපයකි.
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ දී කාන්තා නියෝජනය ඉහළ දැමීම සම්බන්ධයෙන් සංවාදයක් මතු වූ අතර, බොහෝ පක්ෂ පෙරට වඩා කාන්තාවන්ට නාමයෝජනා ලබා දීම ඉහළ දමා තිබුණි.
මීට පෙර කාන්තා නියෝජනය පහළ යාමට, කාන්තාවන්ට නාමයෝජනා ලබා දීමේ අඩුව ද හේතුවක් විය.
එමෙන් ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කාන්තා සංසදයේ හිටපු සභාපතිනිය වූ වෛද්‍ය සුදර්ශනී ප්රනාන්දුපුලේ ඇතුළු පක්ෂ විපක්ෂ දෙශපාලනයේ නියැළෙන කාන්තාවන් සහ සිවිල් සංවිධාන විසින්, එක් මනාපයක් කාන්තාවකට ලබා දීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයේදී සලකුණු කරන මනාප තුනෙන් එක් මනාපයක් කාන්තාවකට ලබා දීම සඳහා දිරිමත් කරනු දක්නට ලැබිණි.
පක්ෂ විපක්ෂ භේදයකින් තොරව බොහෝ අපේක්ෂිකාවන් සහ පක්ෂ විසින්, මනාපවලින් එක් මනාපයක් තම දිස්ත්‍රික්කයෙන් තරග කරන එක් කාන්තාවකට දෙන ලෙසට ප්‍රචාරණ සමයේදී දිරිමත් කරනු නිරීක්ෂණය කළ හැකි විය.
ඒ අනුව මෙවර තවත් පක්ෂ කිහිපයක ජාතික ලැයිස්තු නම් නොකර තිබිය දී වුව ද කාන්තාවන් 22ක් මේ වන විට පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇති අතර, එය සමස්ත පාර්ලිමේන්තුවේ නියෝජනයෙන් ප්‍රතිශතයක් ලෙස 9.77%කි.
ඒ අනුව අන්තර් පාර්ලිමේන්තු සංසන්දයේ කාන්තා නියෝජන ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාව 166 වන ස්ථානය දක්වා ඉහළ යනු ඇත.
| මීට පෙර කාන්තා නියෝජනය පහළ යාමට, කාන්තාවන්ට නාමයෝජනා ලබා දීමේ අඩුව ද හේතුවක් විය
කාන්තාවන් පාර්ලිමේන්තුව නියෝජනය කළ යුත්තේ ඇයි?
කාන්තාවන්ට ම විශේෂ වූ සහ අනන්‍ය වූ ප්‍රශ්න සමාජ තුළ පවතින බැවින් ඒවා පාර්ලිමේන්තුව තුළ නියෝජනය වීම වැදගත් බවට නීතිය හා සමාජ භාරයේ විධායක අධ්‍යක්ෂිකා සකුන්තලා කදිරගාමර් පවසයි.
බීබීසී සිංහල විසින් මහ මැතිවරණයට පෙර සිදු කළ විමසීමක දී ඇය පෙන්වා දුන්නේ ඒ සඳහා පාර්ලිමේන්තුව තුළ කාන්තාවන් සිටීම වැදගත් බවයි.
"පහුගිය කාලයේ ආර්ථික අර්බුදය සමග සනීපාරක්ෂක තුවා මිලදී ගැනීම සම්බන්ධයෙන් ගැටළුවක් තිබුණා. කාන්තාවන්ගේ අධ්‍යාපනයට, ආර්ථිකයට බලපාන මේ ප්රශ්නය ගැන කවුද කතා කරන්නේ. මේ ගැන පිරිමි කෙනෙක් කතා කළොත් එයාට අනිත් අය හිනාවෙනවා. සජිත් ප්‍රේමදාස මේ ගැන කතා කළා ම ඔහුට 'පෑඩ් මෑන්' කියලා කතා හැදුවා. නමුත් මේ ප්‍රශ්නයට 50%කට වැඩි කාන්තාවන් මුහුණ දෙනවා," ඇය පෙන්වා දෙයි.
ගෝලීය වශයෙන් ම කාන්තාවන්ගේ අවශ්‍යතා සඳහා ආයෝජනය කිරීමේ අඩුවක් පවතින බව ඇය පෙන්වා දෙයි.
"බොහෝ රටවල්වල ප්‍රජනන අයිතීන් වෙනුවෙන්, කාන්තාවන්ගේ සෞඛ්‍ය වෙනුවෙන් ආයෝජනය කිරීම සම්පූර්ණයෙන් ම අමතක කරලා දාලා තියෙනවා."
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඒ සම්බන්ධයෙන් පැවසුවේ මෙවැන්නකි.
"ඔබ පිරිමි කෙනෙක් වුණත් කාන්තාවක් වුණත් පාර්ලිමේන්තුවට යන මන්ත්‍රීවරිය කතා කරන්නේ ඔබ ගැන, ඔබේ අම්මා ගැන, ඔබේ බිරිඳ ගැන හෝ ඔබේ දියණිය ගැන. ඒ නිසා මෙවර ඔබේ ම අයගේ ප්‍රශ්න පාර්ලිමේන්තුව තුළ නියෝජනය වීමට කාන්තාවන් පාර්ලිමේන්තුව තුළ සිටිය යුතුයි." යනුවෙනි.
(bbc/Sinhala)