රටේ සෞඛ්‍ය නඟා සිටුවන්න අපි වහල්ලු වගේ වැඩකරපු අය - ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමය සභාපති ඩබ්ලිව් ඒ. ඩී.  විමලරත්න 

janaraja-health-union

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයේ රෝගියෙක් රෝහලට ඇතුළත්වන අවස්ථාවේ සිට පිටවෙන අවස්ථාව දක්වා රෝගීයා වෙනුවෙන් අපකප වී සිටින්නේ බහුතරයක් ජනතාවගේ ගෞරවයට පාත්‍ර නොවන කොටසක් වනුයේ කණිෂ්ඨ සේවකයා. ඔවුන්ගේ සේවාව රෝහලක් හෝ වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍යම සේවාව කරගෙන යනු ලබන්නේ මෙම කණ්ෂ්ඨ සේවකයින්ය.

| ඩබ්ලිව් ඒ. ඩී.  විමලරත්න 

රෝගී සත්කාර සේවයේ කනිෂ්ඨ කාර්යය මණ්ඩලය රෝගියාට සමීපව කටයුතු කරන පිරිසකි. රෝහලට ඇතුළත් කරන රෝගියෙක් ආරක්ෂාකාරීව වෛද්‍යවරයා සිටින කාමරයට රැගෙන යෑමේ සිට අවශ්‍ය ස්ථාන කරා රැගෙන යාම, රෝගියාගේ සනීපාරක්ෂක කටයුතු වලදී ද සහාය වනුයේ උපස්ථායක, උපස්ථායිකා සෞඛ්‍ය කාර්ය සහායක, යන එම වෘත්තිකයන්වේ. දම්වැලක පුරුක් එකින් එක බැඳ තිබෙන්නා සේ වෛද්‍යය, හෙද වෘත්තිකයන් සේම, කනිෂ්ඨ කාර්ය මණ්ඩලයද රෝගීයා නීරෝගී භාවය කරා රැගෙන යන ගමනේදී අත්වැලක් සපයයි. මෙකී දම්වැලේ එක් පුරුකක් හෝ කැඩී බිඳී ගියහොත් ඉන් අසරණ වනුයේද රෝගී ජනතාවමය. රෝගී සත්කාරක සේවය අඩාල නොවීමට නම් කනිෂ්ඨ කාර්ය මණ්ඩලයද අත්‍යවශ්‍ය සාධකයක්ව පවතී.

“මම සේවයට ගියේ 1969 මැද භාගේ එතකොට මට අවුරුදු විස්සයි. මම ගියේ සාමාන්‍ය කම්කරුවෙක් හැටියට. උපස්ථායක කම්කරුවා කියන අය රෝහල් සේවාවේ ආරම්භයේ ඉඳන්ම හිටියා. ඒ අය වැඩ වර්ජනයක් කරොත් එදාට ශල්‍යාගාරේ වැඩ කෙරෙන්නේ නෑ. ඔහු කරන වැඩ කටයුතු කරන වෙන කවුරුත් නැහැ. සනීපාරක්ෂක සාමාන්‍යයෙන් කම්කරුවා කියලා තමයි ඒ කාලේ කිව්වේ. එදා ඒ සනීපාරක්ෂක සාමාන්‍ය කම්කරුවා ඇඳපු නිල ඇඳුම් නොවෙයි අද අඳින්නේ. එදා තිබුණ වැඩ කොටස් වලට වඩා අද වැඩ වෙනස් වෙලා”

මෙම අදහස් පළකලේ ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමය  70 වසරක ගමන පිළිබඳව එහි වර්තමාන සභාපති ඩබ්ලිව් ඒ. ඩී.  විමලරත්න මහතා  සිය අතීත වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වය පිළිබඳව තම මතකයන් අවදි කරමින්. ඔහු තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ,

අපි වහල්ලු වගේ හිටියේ

“අපි ඒ කාලේ වහලුවන්ගේ හිටියේ. පැය දොළහක අඛණ්ඩ සේවාවකට බන්ධනය කරලා තිබුණා. ඉස්සර රාත්‍රී සේවයේ දෙන්නෙක් හිටියා. දිවා කාලයේ තුන් දෙනෙක් හිටියා. උදේ 6.30 ට යන්න ඕනෑ. හවසත් 6.30 ට වැඩ ඉවර වෙන්නේ. හැබැයි ඊළඟ ඉන්න කෙනා ආවේ නැත්නම් දිගටම වැඩ.ඒ කාලේ අපිට අතිකාල කියලා මුළු මාසෙම වැඩ කරලත් ගෙව්වේ රුපියල් දහයයි. සති විවේක  හතර, පෝය නිවාඩුව හැර දින විසි පහේම පැය 12ක් වැඩ කරන්න වෙනවා.

අපේ අයිතිවාසිකම් දිනාගෙන තියෙන්නේ ගොඩක් සටන් කරලා. එවකට ලංකා සමසමාජ පක්ෂයේ ස්ථාවරත්වයක් තිබුණා කවදාවත් වැඩ වර්ජන කරන්න එපා කියලා. එහෙම කවදාවත් ඉඩක් දුන්නේ නැහැ. ඒවා පසාරු කරගෙන යන්න වෙනකොට අපිට අර රුපියල් දහය රුපියල් විස්ස, හැට, අසුව, රුපියල් එකසිය තිස්පහ, රුපියල් එකසිය හැට දක්වා වැඩි කළා. ඒ සියල්ල දිනාගත්තේ සටන් කරලා.

සාමාන්‍යය රාජ්‍ය සේවය පැය අටයි වැඩ වැඩ මුරය . අපිට පැය දොළහක් වැඩ කිරීමට වීම නිසා පැය අට ඉල්ලලා සටන් කරන්න වුණා. ඒවා ලේසියෙන් ලැබුනේ නැහැ. රාජ්‍ය සේවය අනෙකුත් අයට වගේම අතිකාල ගෙවන්න කියලා අපි ඉල්ලුවා. අපි රාත්‍රී සේවය කළා දින 15ක්ම. ඉස්සර මේ වගේ ප්‍රවාහන පහසුකම් කිසි දෙයක් තිබුණේ නැහැ. අඩු දියුණු තත්ත්වයක් තිබුණේ. ඒ  අඩු දියුණු තත්ත්වය තුළ පවුල අතර තිබුණු සබඳතා සියල්ල ඇණ හිටලා තිබුණේ. මේ සටන් කිරීම තුළ තමයි අපිට අවසානයේ පැය 08 ට ලැබුණේ. ඒක ගන්න අපි ලොකු උද්ඝෝෂණයක් කරා නිමල් සිරිපාල ද සිල්වා ඇමතිතුමාගේ කාල පරිච්ඡේදයේ තමයි අපි පැය 08 දිනා ගත්තේ. අපි කරන සේවාව ගැන සහ වෘත්තිය සමිතියක් විදියට ලබාදුන් ජයග්‍රහණයන් ගැන සතුටු වෙනවා.

සෞඛ්‍ය සේවාවට  කනිෂ්ඨ කාර්ය මණ්ඩලය බඳවා ගැනීම් කළේ  කසළ  ශෝදක  කියලා සෞඛ්‍ය සේවා ආරම්භයේදීම වුණේ එහෙමයි. ඊළඟට අනියම් සනීපාරක්ෂක කම්කරු කියලා පත්වුණා, අනියම් සනීපාරක්ෂක කම්කරු කියන එක පසුව ආදේශක සනිපාරක්ෂක කම්කරු කියලා නිල නාමයට පත්වුණා.

බඳවා ගැනීම් කලේ කසළ ශෝදක තනතුරට

ඒ කාලේ තිබුණේ ගොඩක් බාල්දි වැසිකිලි ක්‍රමය. යටින් තියෙනවා බෙනයක් වගේ එකක්  කසළ  ශෝදකට කොක්කක්, බාල්දි දෙකක් අරන්  ඉදල් කොටයකුත් අරගෙන ඒ මළ ද්‍රව්‍ය කොක්කෙන් ඇදලා  පිටිපස්සේන් ගන්න තියෙන්නේ. කදේ තමයි ඒවා අරං රෝහල් භූමිය කෙළවර හරි කනත්තේ හරි වලදාන්නේ. හරියටම කියනවනම්, දැන් නිවෙස්වලින් බැහැර කරන අපද්‍රව්‍යය එකතු කිරීමට ලොරි පැමිණෙන ආකාරයට එකල දිනපතා මළ ද්‍රව්‍ය බාල්දියකට එහෙම නැත්තන් ලොකු භාජනයකට එයාලා එකතු කරගෙන ගියා. එහෙමයි ඒ සේවාව සහ සනීපාරක්ෂක ක්‍රියාවලිය පැවතුණේ.

ඉතින් ඒ අයගේ අධ්‍යාපන කටයුතු, උසස්වීම්, විවාහ වෙනකොට, ළමයගේ උප්පැන්න සහතිකයට, දරුවා ඉස්කෝලෙට දාගන්නකොට  ‘සනීපාරක්ෂකම්කරු’ කියන එක නම ගැලපෙන්නේ නැහැ. කියන එක අපි කිව්වා. ඒ නමට වටිනාකමකුත් නැහැ. ඊට පස්සේ තමයි සෞඛ්‍ය කාර්යය සහායක නාමකරණය අපි ඉල්ලුවා. ඒක ගන්නත් අපි විශාල සටන් ප්‍රමාණයක් කළා.

නිළ  ඇඳුමක් ඉස්සර තිබුණේ නැහැ.  ජම්පරේ වගේ ඇඳුමක් තිබුණේ . කාකි කොට කලිසම කමිසය, සුදු සරම , සුදු ෂට් එක අත් කොට කමිසය වගේ ඇඳුම් පස්සෙ එනවා. එහෙම ඇවිල්ලා තමයි දැන් ඔය අඳින ගවුමත් සපත්තු දෙක, දිග කලිසමත් ඔක්කොම තියෙන්නේ.

මේ දේ කියන්න ඕනේ අපි වෘත්තීය සමිතියක් විදිහට සේවාව පවත්වාගෙන යමින් තමයි මේ බොහෝ ජයග්‍රහණ ලබාගෙන තියෙන්නේ. සේවාව විනාශ කරමින් නොවේ.

89 භිෂණයේදී වූ සමිති ඝාතන

1989 වෘත්තිය සමිතියක් විදිහට නැගී සිටීම පාලකයන් බාධාවක් විදියට සැලකුවා. වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතවුණ අපේ සහෝදරයන්ව ඒ කාලේ භීෂණ ක්‍රියාවලියත් එක්ක කපල කොටලා මරලා දැම්මා. නුවර හිටියා අපේ සහෝදරයෙක් ප්‍රධාන සංවිධායකයා  සුසිරිපාල  එයාගේ මුළු පවුලම දරුවොත් එක්කම පස් දෙනෙක් මැරුවා.

මේ අපේ ප්‍රධාන කාර්යාලයෙම  හිටියා මහ රෝහලේ හිටපු සංවිධායකයෙක් එයාව ගෙන්න ගත්තා එයා ආදරේ කරපු ගෑණු ළමයා ලව්වා කෝල් එකක් දීලා. ‘වහාම එන්න අම්මට අන්තිමයි’ කිව්වා .ඒ අනුව මෙයා උදේ පාන්දරම යන්න ගියා. එයාට ගෙදට යන්න හම්බුනේ නැහැ. මගදී එයාව කෑලි කෑලි කැපුවා ඒ කෑලි එකතු කරේ ගොණියට. හැබැයි අපි වෘත්තිය සමිති ක්‍රියාමාර්ග අත්හැරියේ නෑ. එඩිතරව මුහුණ දුන්නා. පිරිස් බලයත් එක්ක අපි සුසිරිපාලගේ ගමටම ගියා . අපි යනකොටත් දැක්කා නුවර ‘කැන්ඩි මල් ශාලාවේ ලොරිය.

පාරේම කණුවල ගැට ගහලා වෙඩි තියලා තියෙනවා මිනිස්සුන්ව. ඒ කණුවලින්  ලෙහලා දර කොට දානවා වගේ ලොරියට ඇදලා එහෙමම  මල්ශාලාවට අරගෙන යනවා. ඒ වගේ විශාල භීෂණ සමයේත් මේ සමිතිය මර්දනය කරන්න බැරි වුණා. ඒ භීෂණ කාලෙත් අපි එකා පිට  එක මැරුණොත් දිගටම ගියා. අපේ කාර්යාලයටම ඇවිල්ලා තමයි මාවයි තවත් සහෝදරයෝ දෙන්නෙක්ව ඇස් බැඳලා කකුල් වලට මාංචු දාලා පිටිපස්සට අත් ගැට ගහලා අරගෙන ගියේ. එතකොට ආරක්ෂක ඇමැති හිටියේ  රන්ජන් විජේරත්න. මාසයයි සති දෙකක් මූණ හෝදගන්නවත් හම්බුන්නැහැ. දෙන එක කන්න ඕනි ඉතුරු කරන්නත් බැහැ.

1972 ජනරජ ව්‍යවස්ථාව තුළ රාජ්‍ය සේවකයන්ට දේශපාලන නිදහස නීතිගත වීමක් සමගම රාජ්‍ය අංශයේ   සමිති තුළ පිබිදීමක් ඇතිවෙනවා. ඒ සමගම 1979- 80 කාලයේදී තමයි ශ්‍රී ලංකා ජනරජ  සෞඛ්‍ය  සේවා සංගමයේ සභාපති ධුරයට මං පත්වුණා. අපි සමිති තුනක් එකතු වෙලා තමයි මේ වෘත්තීය සමිතියක බිහිවෙන්නේ.

සමස්ත ලංකා ආණ්ඩුවේ ආරෝග්‍යශාලා කම්කරු සංගමය, සමස්ත ලංකා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කම්කරු සමිතිය, රජයේ ආරෝග්‍යශාලා උපස්ථායක සංගමය යන වෘත්තීය සමිති ත්‍රිත්වයම ඒකාබද්ධව ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමය 1974 ඔක්තෝම්බර් 26 වන දින ආරම්භ කළා.

සමිති එකතුවීම

කොළඹ රාජකීය නව රඟහලේදී සම්මේලනය පැවතුණේ.  ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමය නමින්  ඉදිරියට යන්න එදා තීරණය කළා .1072 ලියාපදිංචි අංකය තිබුණේ  සමස්ත ලංකා ආණ්ඩුවේ ආරෝග්‍යශාලා කම්කරු සංගමයට අන්න ඒ ලියාපදිංචි අංකයට  අනෙකුත් අයත් එකඟ වුණා. පැරණිතම ඒක ගත්ත හින්දයි අපිට හැත්තෑවක් වෙන්නේ.

නමුත් අපි ජනරජ සෞඛ්‍ය සේවා සංගමය විදියට නම හැදෙන්නේ 1974 ඔක්තෝම්බර් 26 දා.

අපි අදහස් කළා 70  වන සංවත්සරයක් එක්ක නව පිම්මක් ආරම්භ කරන්න. මේ වෘත්තිය සමිති නිහඬතාවය බිඳින්න. අපේ සමිතිය ඉලක්ක කරගෙන කටයුතු කරාට අපි පොදුවේ රාජ්‍ය සේවය සහ පුද්ගලික අංශයේ ඉල්ලීම් පිළිබඳව ජයග්‍රහණ කරා ගෙන යන්න නායකත්වයක් ලබා දෙන්න තීරණය කළා. අපේ සංවත්සරයේදී අපි යෝජනා 15ක්  ඉදිරිපත් කරනවා.

(ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ 70 වන සංවත්සරය වෙනුවෙනි)