ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට වැඩි දායකත්වයක් සපයන්නේ ගැහැණුන්ය

ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට වැඩි දායකත්වයක් සපයන්නේ ගැහැණුන්ය

ගැහැණිය යනු ජීවිතයේ විවිධ අවස්ථාවන්හි විවිධ කඩයිම් පසු කරන තැනැත්තියකි. ඒ වගේම ජීවිතයෙන් ගොඩයාම සඳහා විවිධ අභියෝග වලට විවිධ ගැටලු වලට දරා ගැනීම් වලටද මුහුණ දෙන ජීවියෙකි. ඒ වගේම ළදරු හා ළමා හැරුණු කොට ජීවිතයේ අනෙක් සෑම අවස්ථාවකදීම ඇගෙන් ලෝකයේ කොතනත් උපන් බිමට වන සේවය මෙහෙවර අපමණය.

ශ්‍රී ලංකාවේ ද අපනයන ආදායමෙන් වැඩි කොටසක් උපයන්නේ ඇය බව දන්නේ ඉතාම සුළු පිරිසකි. ඒ නිසාම ඇගේ මෙහෙවර අගය කරන්නට ඇගේ ශ්‍රමයට සරිලන වැටුපක් දෙන්නට, ඇයට ගරුත්වයෙන් සලකන්නට, ඇයට සමව සලකන්නට, තවම ත් අපේ සමාජය සිටින්නේ ඉතාමත් පසුගාමී තැනකය.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ දේශීය කර්මාන්තවලින් ජාත්‍යන්තර වෙළෙඳපොළට භාණ්ඩ හා සේවා සපයන කාර්මික අංශවලින් විශේෂයෙන් නිමි භාණ්ඩ හා ඇඟලුම් ක්ෂේත්‍රයට ඇය දායක වී ලබන අපනයන ආදායම ප්‍රතිශතයක් ලෙස ගතහොත් සියයට හැත්තෑවද ඉක්මවනු ලැබෙයි.

ඒ වගේම විදේශයන්හි ගෘහ සේවිකාවන් ලෙසද, සේවය කරන සේවිකාවන් ලෙසද, මේ රටේ තේ කර්මාන්තය ආශ්‍රිතවද සේවය කරමින් කාන්තාවන් කැපී පෙනෙන මෙහෙවරක් ඉටුකරයි. ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය තුළ කාන්තාවන් ඉහළ දායකත්වයක් සැපයූවත්, දේශීය ආර්ථිකය ඉහළ නැංවීම සඳහා ඇය වැදගත් සහභාගිත්වයක් සැපයූවත්, කැපී පෙනෙන ලෙස සේවය කළත් තවමත් ඇය සිටින්නේ අතිශය දුක්බර තත්ත්වයකය. මහ වරුසාවේ කඳුකරයේ සීතලෙන් ගැහෙමින් , සතුන්ගෙන් ආරක්ෂා වෙමින්, දෑතෙහි කරගැට මතුවෙන තරම් තේ ගස හා ගැටෙන ඇයට තවමත් ශ්‍රමයට සරිලන වැටුපක් නැත. උදේ ඉර නගින්නටත් කලින් කර්මාන්ත ශාලාව වෙත පියවර මනින අය නැවතත් නිවසට එන්නේ ඉරගිලුනාටත් පසුවය.

ඇගේ දවසේ මෙහෙවර නිෂ්පාදන ඉලක්කයන් හා මෙන්ම අතෝරක් නැති බැනුම්වලින්ද පරිපූර්ණය. වහලියක මෙන් එලෙස සේවය කරන රටට දුෂ්කරම මොහොතවල්වලත් කොවිඩ් වැනි ව්‍යසන අවස්ථාවලදීත් රටට ඩොලර් සපයා දෙන ඇඟලුම් ක්ෂේත්‍රයේ කාන්තාවන් සඳහා තවමත් ජීවත්වීමට සරිලන වැටුපක් ලබා දෙන්නට බලධාරීන්ගේ ඇස් යොමු වී නැත.

තවදුරටත් එසේ නොවන්නට බලා ගතහොත් වැඩ කරන ක්ෂේත්‍රයේ කම්කරුවන් සඳහා නිසි වැඩපිළිවෙලක් සකස් කළහොත් රටට තව තවත් ඩොලර් ගලා එනවා මෙන්ම මේ රටෙහි පවතින විරැකියාවට විසඳුමක්ද එක් වෙනවා ඇත.

ඉහත කී කාරණා සලකා බලා ගෙනම එවැනි විසඳුම් ලබාදීම රජයේ සහ බලධාරීන්ගේ යුතුකම හා වගකීම වේ.

‍| සඳුන් එම් ප්‍රනාන්දු