ගෘහ සේවකයන්ට කම්කරු නීති හදන්න තව බිලි කීයක් ඕනද?

ගෘහ සේවකයන්ට කම්කරු නීති හදන්න තව බිලි කීයක් ඕනද?

සමස්තයක් වශයෙන් ගත් කල ගෘහ සේවිකාවන් මිලියන 75.6 ක් ගෘහ සේවයේ නියැලෙයි. ඔවුන් වෙනුවෙන් පසුගියදා ජාත්‍යන්තර ගෘහ සේවක දිනයද සමරණ ලදි. එහිදී "ගෘහ සේවකයින්ද කම්කරුවන් - ගෘහ සේවයද රැකියාවක්" යන්න ප්‍රධාන තේමාව  බවට පත්වේ. මක් නිසාද යත් ගෘහ සේවකයන් යනු තමන්ගේ ඕනෑම වැඩක් කර ගැනීමට ඉන්නා වහලුන් වැනි පිරිසක් යයි සිතනා වහල් යුගයේ මිනිසුන් ලොව පුරා ජීවත් වන බැවිණි.

ශ්‍රී ලංකාවද නූතන වහල් ක්‍රමයේ වහල් හිමියන් ජීවත් වන රටකි

ශ්‍රී ලංකාවේ කම්කරු අමාත්‍යංශය සහ දෙපාර්තමේන්තු වැනි ආයතනද එවන් වහල් රාජ්‍යකට අයත් ඒවා සේ කටයුතු කරනු දක්නට ලැබේ. මක් නිසාද යත් ලෝකය විසින් ගෘහ සේවය රැකියාවක් ලෙස පිළිගැනීමට සම්මුතියක් සකස් කළේ 2011 වසරේදීය. 2011 වසරේ සිට මේ දක්වා වසර 14 ක් තුළ අප රටේ විවිධ ආණ්ඩු බලයට පත් විය. ඒ ආණ්ඩුවල සිටි කම්කරු අමාත්‍යවරුන් කිසිවකු ශ්‍රී ලංකාව තුල ගෘහ සේවකයන්ට නීති සකස් කළේ නැත. බොහෝ මහජන නොයෝජිතයන් යැයි කියා ගන්නා වහල් හිමියන් සිදු කළේ ගෘහ සේවය නූතන වහල් සේවයක් ලෙස පවත්වාගෙන යාමයි. ඒ සඳහා සහය දැක්වූ කම්කරු අමාත්‍යංශයට අරක්ගත් කිසිදු ලිං මැඩි උපදේශකයන්ද සිට ඇත.  ශ්‍රී ලංකාවේ Decent work country program යනුවෙන් ILO තුන්පාර්ශවය එක්ව ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායේ උන්නතිය උදෙසා යැයි සිදු කරන වැඩසටහනක් ඇත. එසේ වැඩසටහනක් තියෙන රටේ Decent work for Domestic workers සම්මුතිය ගැන සහ Decent work country program එකට ගෘහ සේවකයන් ඇතුළත් කර ගැනීමට කිසිවෙකුත් කතා නොකරයි.

හාම්පුතුන් සහ රාජ්‍ය බලධාරීන් පමණක් නොව ගෘහ සේවය නූතන වහල් සේවයක් ලෙස සැළකීමට සහය දක්වන්නා වූ ලොම් හැලුණු සාම්ප්‍රදායික වෘත්තීය සමිති පොරවල් යයි කියා ගන්නා කිහිප දෙනෙකුද සිටී. ඔවුන් සම්බන්ධයෙන් අපගේ සාතිශය සංවේගය වේලාසනින්ම පල කර සිටිමු.

 ILO C189 ප්‍රඥප්තිය

2011 වසරේ ජූනි මාසය ලෝකවාසී ගෘහස්ථ කම්කරුවන්ගේ බලාපොරොත්තු සහගත දීප්තිමත් දෑස් සතුටු කඳුළින් පිරී ගිය දවසක්. ඒ මන්ද යත් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 100 වෙනි  ජාත්‍යන්තර කම්කරු සමුළුවේදී ප්‍රඥප්ති අංක 189 (ILO C189) ගෘහස්ත කම්කරුවන් සඳහා සුනිසි රැකියා (Decent Work for Domestic Workers) වෙනුවෙන් සම්මත විය. ජූනි මෙය ලොව පුරා ගෘහ සේවකයන් මිලියන ගණනකගේ රැකියාව රැකියාවක් ලෙස පිළිගෙන එය සමරන දිනයයි. ජූනි 16  දින ලොව පුරා ගෘහ සේවකයින් විදී බසිමින් විවිධ වැඩසටහන් සහ ක්‍රියාකාරකම් කරමින් ගෘහ සේවකයන්ගේ ඉල්ලීම් වෙනුවෙන් අරගල තීව්‍ර කරන දවසයි.

ජාත්‍යන්තර ගෘහස්ථ කම්කරු සම්මේලනය මෙවර ගෘහ සේවක දිනයේ තේමාව ලෙස යොදාගෙන ඇත්තේ “We are not maids. We are DOMESTIC WORKERS!” යන්නයි. ආසියාව පුරා රටවල නායකයින්, සේවා යෝජකයින්, ජනමාධ්‍ය සහ පොදු සමාජය බොහෝ විට ගෘහ සේවිකාවන් හැඳින්වීමට “maids”, “servants” සහ “helper” වැනි අපහාසාත්මක යෙදුම් භාවිතා කරයි. “maids" යන යෙදුම වහල්භාවයේ සිටින කාන්තාවන්, ඇගේ ස්වාමිවරුන්ට වහලියක්ය යන්න අදහස් කරන අතර, ගෘහ සේවිකාවන් යටහත් සහ නූගත් පිරිසක් ලෙස ඒකාකෘති ලෙස සලකන අතර, ව සලකන අතර එමගින් ගෘහ සේවකයන්ට සමාජ තුළ ඇති නොපිළිගැනීම තීව්‍ර කර පෙන්වයි.

C189 සම්මුතියේ ගෘහ සේවකයකු යන්නට ඇති නිර්වචනය ඉතා වැදගත් වේ. එනම් තව දුරටත් ගෘහ සේවකයකු යනු ගෙදර වැඩට සහයට ඉන්නා Helper කෙනෙක්, made කෙනෙක්, නැනී කෙනෙක්, සර්වන්ට් කෙනෙක් නොවේ. ඔහු ගෘහස්ථ කම්කරුවෙක් එසේත් නැත්නම් ගෘහස්ථ ශ්‍රමිකයෙක් වේ.

මෙම සම්මුතිය මේ වන විට ලොවපුරා රටවල් 40කට ආසන්න ප්‍රමාණයක් තම රටවල් වල අපාරානුමත කර ඇති නමුත් ලංකාව තවමත් එම ලයිස්තුවේ නැත. 

ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් 2020 වසරේ දී කරන ලද වාර්තාවකට අනුව ශ්‍රී ලංකාවේ ගෘහ සේවකයන් 80000ක් ඉක්මවා සිටින අතර අපගේ තක්සේරුව නම් එය 100000කට අධික විය හැකි බවයි. ඔවුන්ගෙන් බහුතරයක් කාන්තාවන්ය.

මිනී මරු පොලිස්

තමන්ට රිසි සේ හෝ, එසේත් නැත්නම් මස් වැදි නායකයෙක් හෝ කියූ සැණින් මිනිසුන්ට  පහර දී මරාදමන පොලිසි ලංකාවේ ඇත. ඉන් එකක් වන්නේ වැලිකඩ පොලිසියයි. මේ මිනීමරුවන් සම්බන්ධයෙන් නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක වනතුරු අප බලා සිටිමු. සුධර්මා නෙත්තිකුමාර නම් ව්‍යාපාරිකයාගේ නිවසේ සේවය කළ ආර්. රාජකුමාරි නම් කාන්තාව මරා දමා ඇත්තේ මොට ආයුධයකින් පහර දීමෙනි. ඇය මරා දැමීම සිදු වන්නේ කිසිදු පැමිණිල්ලක් හෝ නොමැතිව සල්ලිකාර ගැහැණියකගේ සැකයක් මතය. රාජකුමාරිගේ මරණය අපට කියා දෙන්නේ ගෘහ සේවිකාවක් පිළිබඳව සමාජය තුළ ඇති අවවරප්‍රසාදිත මිනිසුන් පිළිබඳව වන සිතීමයි. සල්ලිකාර ගැහැණියකගේ වචනය සහ සැකය හෝ භාණ්ඩයක් හමුවේ ශ්‍රී ලංකාවේ ගෘහ සේවකයින් උන්ගේ පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් නොවටිනා බව පොලිස් ඝාතකයින් අපට පෙන්වා ඇත.

මෙම සිදු වීම් සමාජයක් ලෙස ප්‍රශ්න නොකිරීමට තරම් මැලි වන්නේ අන් කිසිවක් නොව පීඩිතයාගේ පීඩකයා වීමට මිනිසුන් තුළ ඇති නොතික් ආශාව නිසාවෙනි. එසේම එලෙස ඝාතනයට වන්නේ සමාජය තුළ රැකියාවක් ලෙස පිළිගැනීමට ලක් නොවූ රැකියාවක් කරන අයෙකු බැවිනි.

රිෂාඩ් බදුර්දීන්ගේ නිවසක ඩයගම හිශාලිනී නම් දැරියක මිය යන අතර අපට නම් එය මරණයක්ද ඝාතනයක්ද යන්න තවමත් පවතී. එසේම ගම්පහ නිවෙසක රමණී නම් දැරියක නාන තටාකයට වැටී (?) මිය ගියාය.

මේ සියලු ඝාතනයන් සහ මරණයන් පිටිපස වෙනත් කතාවක් ඇත. මොවුන් බොහෝ දෙනෙක් රැකියාවට කොළඹ ආශ්‍රිත තදාසන්න ප්‍රදේශ වලට පැමිණ ඇත්තේ වතුකරයේ සිටය. වතුකරය යනු තවමත් ආර්ථික වශයෙන් ඉතා අන්ත අඩියක තිබෙන, යටිතල පහසුකම් අතින් ඉතා අඩු පහසුකම් තිබෙන තොණ්ඩමන්ලාගේ නිරුවත වසාගෙන සිටින දුහුල් සලුපටයි. තමන්ගේ ජීවන අපේක්ෂාවන් සරි කර ගැනීමට තිබෙන ආශ්චර්යයේ නගරය ලෙසින් ඔවුන්ට මවා පාන ලද නගරයේ සුවිසල් මැදුරු තුළ මරණයේ දරුණු වේදනා මැද ඔවුන් මියැදෙන්නට ඇත. එසේම නිළ පොලිස් මැරයන්ගේ පහර දීම් නිසා පුපුරු ගහන වේදනාවෙන් මියගිය රාජකුමාරිගේ විලාපය තවමත් වැලිකඩ පොලිස් වධකාගාරය තුළ රැව් දෙමින් ඇත.

අප නොදන්නා, අපට නෑසෙන මොර දීම මේ හැල්මේ දුවන ආශ්චර්යය නගර වල සුවිසල් මැදුරු තුළ රැව් දෙනවා ඇත. අපට නොදැනීම, හොර රහසේම අන්ත දුක් විඳ මේ පොළොවේ නාදුනන ලෙස ගෘහ සේවකයන් කී දෙනෙකු අකාලයේ මියැදෙන්නට ඇත්ද?

අනිල් ජයන්තගෙන් අහන්න තිබෙන්නේද මනුෂ නානායක්කාරගෙන් ඇසූ ප්‍රශ්නයමය. ඔබලා ගෘහ සේවකයන් සඳහා කම්කරු නීති යහපත් රැකියා කොන්දේසි හදන්නට තව බිලී කීයක් ඕනද?

2016 දී ගෘහ සේවකයන්ට පයින් ගැසූ නීතිය

2016 මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ වැඩ කරන ශ්‍රමිකයන්ගේ අවම වැටුප නිශ්චිත කොට සඳහන් පනතක් සම්මත විය. ඒ 2016 අංක 03 දරන ජාතික අවම වේතන පනතයි. මේ මනත මගින් ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම වැටුප ලෙස පැවතිය යුතු ගණන් සඳහන් කරන ලදී. නමුත් මෙම පනත මගින් නිශ්චිතවම වෙනස් කොට සැලකීමට ලක් කරන ලද ශ්‍රමික කණ්ඩායමක් විය. ඒ ගෘහ සේවකයන්ය. 2016 අංක 03 දරන ජාතික අවම වේතන පනතට නූතන වහල් නීතියක් ලෙස වගන්තියක් ඇතුළත් කරන ලදී. එනම් මෙම පනතේ සේවකයා යන්නට ගෘහ සේවකයකු අයත් නොවේ යන්නයි. මෙහිදී ව්‍යංගයෙන් කියන නරුම කතාව නම් ඕන සොච්චම් මුදලක් දී හෝ නොදී ගෘහ සේවකයන්ගෙන් වැඩ ගත හැකි බවට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව සම්මත කළ නීතියකින් පිළිගෙන ඇති බවයි.

මේ දින වල නැවත වතාවක් මෙම පනත සංශෝධනය වෙමින් පවතින අතර ඉදිරි දිනෙකදී එය නව අවම සොච්චම් වැටුපක් සමග සම්මත වනු ඇත. මෙවර පනත සංශෝධනයේදීවත් සේවකයා යන අර්ථ නිරුපනය වෙනස් කරන ලෙස කම්කරු අමාත්‍යංශයෙන් ඉල්ලා සිටියද එය සිදුවන පාටක් නොපෙනේ.

ගෘහ සේවක ඉල්ලීම්

1. ගෘහ සේවය රැකියාවක් - ගෘහ සේවකයින් ද කම්කරුවන් යන්න කම්කරු නීතිය මගින් පිළිගෙන, ගෘහ සේවකයන් සඳහා කම්කරු නීති ආවරණය සහ යහපත් රැකියා කොන්දේසි නීතිගත කිරීම.

2. ILO C189 සහ C190  රට තුළ අපරානුමත කිරීම.

3. අවිධිමත් රැකියා විධිමත් කිරීමට සහාය වීම සහ සියලුම ගෘහ සේවකයින්ට EPF ETF ඇතුළු සමාජ ආරක්ෂණ සහතික කිරීම.

4. ගෘහ සේවකයින්ට වෘත්තීය සමිති පිහිටුවීමට සහ සාමූහිකව කේවල් කිරීමට ඇති අයිතිය සහතික කිරීම.

5. සංක්‍රමණික ගෘහ සේවකයින් ඇතුළු සියලුම ගෘහ සේවකයින්ට වෙනස්කම් කිරීමකින් තොරව තම ශ්‍රම අයිතිවාසිකම් ඵලදායී ලෙස ක්‍රියාත්මක කළ හැකි බව සහතික කිරීම.

6. ගෘහ සේවකයින් ඇතුළු රැකවරණ සේවකයින් (Care Workers) සඳහා යහපත් රැකියා ප්‍රවර්ධනය කරන රැකවරණ සහ සහාය සේවාවන්හි ප්‍රමාණවත් රාජ්‍ය ආයෝජන සහතික කිරීම.

ගෘහස්ත ශ්‍රමිකයන් සඳහා යහපත් රැකියා කොන්දේසි දිනා ගැනීමට පෙළගැසෙමු!

kalpa mduranga

| කල්ප මදුරංග