බාලා ගැන මතක සටහනක්

bala-tampo-cmu

බාලාතම්පෝ සහෝදරයාගේ එකලොස් වන ගුණානුස්මරණය වෙනුවෙන් දේශපාලන සටහනක් ලිවීම උචිතයැයි සිතුනි.

මට බාලා තම්පෝ සහෝදරයා ගැන යම් දැනුමක් ලැබුනේ අපි 1980 මහ වැඩවර්ජනයට සූදානම් වන අවධියේදීය. අපි එදා තරුණ සටන්කාමීන් ලෙස  වික්‍රමබාහු,  වාසුදේව සමග එක්ව රජයේ ලිපිකරු සේවා සංගමයේ මහානාම, සවනදාස, චන්ද්‍රරත්න බන්ඩාර සහ කේ.ජේ. යන අයගේ ආභාෂය ලැබූ  රජයේ කාර්යාල කේෂත්‍රයේ ශක්තිමත් වෘත්තීය සමිති බලයක් තිබුණු කාලපරිච්ඡේදයයි.

එදා ප්‍රධාන වෘත්තීය සටන් පෙරමුණ මෙහෙය වූ මධ්‍යස්ථානය වූයේ එල්.ඩබ්. පණ්ඩිත සහෝදරයාගේ නායකත්වයෙන් යුත් වෘත්තීය සමිති ඒකාබද්ධ ක්‍රියාකාරි කමිටුවයි. එයට (යූ.ඇන්.පී. හැර) සියලු වෘත්තීය සමිති සම්මේලන ඇතුලත් වූ අතර, තම්පෝ සහෝදරයාගේ ලංකා වෙළද සේවක සංගමය (CMU) ද එක්ව පැවතුනි.  සතියකට වරක් එය රැස්වෙන අතර, එහී තීරණ දැනගැනීමට සමිති නායකයින් කාර්යාලයට එනතෙක් වැඩබිම් මට්ටමේ සටන්කාමීන් වෘත්තීය සමිති කාර්යාලවල එක් රැස්වී සිටිති. වර්ජනයේ තීරණය ගැනීමට ලංවන විට තම්පෝ සහෝදරයා යූ.ඇන්.පී. ආණ්ඩුවේ ශක්තිය ගැන තක්සේරු කර, මහ වැඩවර්ජනයකට යාම අනතුරුදායක බැව් දක්වා සංකේත වැඩ වර්ජනයක් කර මහ වැඩවර්ජනයකට ගමන් කිරීම ඉන්පසුව සිතාබලා තීරණය කල යුතුය යන අදහස දක්වා තිබුනි. එයට අපගේ නායකත්වයෙන් පැවති එක්සත් කම්කරු සම්මේලනය, රජයේ ලිපිකරු සේවා සංගමය තදින් විරුද්ධව මහ වැඩවර්ජනයට යායුතු බවට මහානාම, ජේ.ඩී. සිල්වා, ඔස්වින් හා රොනී යන සමිති නායකයින් තදින්ම පෙනී සිටීම නිසා තම්පෝ සහෝදරයා මහ වර්ජනයෙන්  හා වෘත්තීය සමිති කමිටුවෙන්ද ඉවත් විය. අප එය දුටුවේ පංති සටනේදී තම්පෝ කල බරපතල පාවාදීමක් ලෙසය. එසේම ජ.වි.පෙ. ද ඒ වකවානුව වන විට වෘත්තීය සමිති පෙරමුනේ නොසිටියත් වර්ජනයට සම්බන්ධවීම අවස්ථාවදීන්ගේ පියවරක් බවට විජේවීර ප්‍රකාශ කිරීමත් සමග ජ.වි.පෙ. දේශපාලනයෙන් මිදුනු ලංකා ගුරු සංගමයේ එච්.එන්. ප්‍රනාන්දු සහෝදරයා ඇතුලු පිරිස 80 මහ වර්ජනයට සම්බන්ධ විය.   එදා අපි තම්පෝ සහෝදරයා දුටුවේ පංති ව්‍යාපාරය පාවා දෙන්නෙකු ලෙසය.

බලාගේ පාවාදීම

නමුත් වර්ජනයෙන් පසුව 60 දහසකගේ රැකියා අහිමිව වර්ජනය විසදා ගැනීමට නොහැකි තත්වයට පත් වූ විට වෘත්තීය සමිති වලට කිසිවක් කරකියා ගත නොහැකි විය. අවසානයේ එය දේශපාලන සටනක් බවට පත් වෙමින් එහි නායකත්වය වික්‍රමබාහු, වාසුදේව, අලෙවි මවුලානා, සමසමාජ කොමියුනිස්ට් දේශපාලන දහරාවේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් බවට  පත්විය. එය දේශපාලන පියවරකින් අවසන් කර ගත හැකි වූයේ ජේ.ආර්., ප්‍රේමදාස, රනිල්ගේ 17 අවුරුදු යූ.ඇන්.පී. ශාපකාරි පාලනය 1994දී පෙරලා දැමීමත් සමගය. නමුත් වෘත්තීය සමිති පෙරමුණ කැදවූ සටන නිමා කිරීම හෝ සම්මුතියකට පැමිනීමට නොහැකිව කෙලවර විය.

එම මුලු වකවානුව තුලම තම්පෝ සහෝදරයා වැඩවර්ජනය හා වර්ජකයින් ගැන කල හැකි බලපෑම් සිදු කරමින් වෘත්තීය සමිති නායකයෙක් ලෙස උපරිම ලෙස රජයට බලපෑම් කිරීම සිදු කලේය. පසුකාලීනව ඔහුගේ සම්බන්ධය පැවති දේශපාලන කණ්ඩායමේද 80 වර්ජනය ගැන බෙදීම මතුවී උපාලිකුරේ, විල්ප්‍රඩ්, ඇන්ටන්මාකස් වැනි කණ්ඩායම බෙදී වෙන්වූ බව දැනගැනීමට ලැබුණි.

තම්පෝ සහෝදරයා ගැන තවදුරටත් කරුණු දැනගැනීමට හැකි වූයේ ට්‍රොට්ස්කිවාදී ගුරුකුලයේ 4 වෙනි ජාත්‍යන්තරයේ අර්නස්ට් මැන්ඩෙල්ගේ කණ්ඩායමට න.ස.ස.ප. ඇතුලත් වීමට දැරූ උත්සාහයේදීය. ඔවුන් කණ්ඩායම් කීපයක් ලංකාව වෙනුවෙන් නියෝජනය කල නිසා තම්පෝ සහෝදරයාද එක් කණ්ඩායමක් ලෙස සලකමින් ඔහුගේ සංවිධානයද ඇතුලත්ව න.ස.ස.ප. එක් කර ගැනීමට මැන්ඩල් සහෝදරයාට අවශ්‍ය විය. නමුත් තම්පෝ එයට තදින් විරුද්ධවූයේ න.ස.ස.ප. අවස්ථාවාදී ගොනුවක් ලෙස කරුණු දක්වමිනි. නමුත් අපට එදා පැවති බලයත් සමග 4 වෙනි ජාත්‍යන්තරයේ ඉතාලියේ, රෙමිනිවල පැවති 13 වෙනි සම්මේලනයට නසසප ලෙස බාහු, නීල්, තිලක් ලෙස සහභාගී වී තම්පෝගේ විරෝධය නොසලකමින් පක්ෂයට නිල අයිතිය ලබා ගැනීමට අපට හැකිවිය. එහෙත් නිතරම මැන්ඩල් සහෝදරයා තම්පෝ සහෝදරයාගේ පුද්ගලික සාමාජිකත්වය අහෝසි නොකර තබා ගනු ලැබුවේ ඔහුගේ ඇති වැදගත්කම සලකමිනි. 

4වන ජාත්‍යන්තරයේ නිල අයිතිය ලබාගැනීම

ඒ අතරතුර 1994 වාසුදේව සහෝදරයා පක්ෂය හැරයාම ගැන විශාල තිගස්සීමක් න.ස.ස.ප. පහල සාමාජිකයින් අතර පැවති අතර එය සමනය කර ගැනීම සදහා මධ්‍යම කාරක සභාවට ''සභාග දේශපාලනය හා විප්ලවකාරී ගමන්මග'' ගැන  තම්පෝ සහෝදරයා කැදවා දේශනයක් සිදු කිරීමෙන් සමසමාජය සභාගයට ඇතුලත්වීම නිසා එම දේශපාලන ව්‍යාපාරය විනාශ වූ ආකාරයත්,  එතැනින් ඉදිරියට විප්ලවවාදී දහරාවන් ගමන් කළ ආකාරයත් දැනගැනීම එහි ප්‍රධාන පරමාර්ථය විය. මෙය දේශපාලන මණ්ඩලයේදී නීල් සහෝදරයාගේ යෝජනාවක් ලෙස සිදු කල අතර බාහු සහෝදරයාගේ වැඩි කැමැත්තක් නොපැවතුනි. නමුත් න.ස.ස.ප සභාග විරොධීව හැඩගස්සා ගැනීම සදහා තම්පො සහෝදරයාගේ දේශනය ප්‍රයෝජනයක් විය හැකි බැවින් එයට එකඟත්වය පැමිණි අතර න්‍යාය පත්‍රය අනුව පිලිගැනීම බාහු සහෝදරයාටද තම්පෝ සහෝදරයාට පැයක කාලයක් හා තවත් පැයක කාලයක් ප්‍රශ්ණ විමසා ගැනීමටද යොදා තිබුණි.

තම්පෝ සහෝදරයා උදේ 10.30 පමන වන විට කිව් පාර 143 කාර්යාලයේ 3 වැනි මහලට පැමිණ බාහුගේ ආරාධනයත් සමග කථාව පටන් ගත් අතර, එය නැවැත්වීමට කිසිවෙකුටත් නොහැකි විය. පලමුව බාහු සහෝදරයා න.ස.ස.ප. අටවා ගෙන සිදු කරන්නේ අවස්ථාවාදයක් බවට ප්‍රකාශ කිරීමත් සමග සියලු දෙනාගේම ඇස් නිලංකාර විය. ඉන්පසු වාසුදේව සහෝදරයා ගැනද ඔහු තදබල විවේචනයක් සිදු නොකල අතර, එන්.එම්.ගේ සභාග ගමනේ පසු ගමන්කරු බවට වාසුදේව සහෝදරයා පත්වීම ගැන ඔහු පුදුම නොවන බවත් ඔහුට වෙනත් යා හැකි ගමනක් නොමැති බවත් කියා සිටියේය.

බාලාගේ නොනැමුණු දේශණය

වඩාත් වැදගත්ම අදහස දැක්වීම ඔහු සිදු කලේ මැතිවරණ දේශපාලනය හා වෘත්තීය සමිති ව්‍යාපාරය ගැන දක්වූ අදහස් සමගය. ඔහුද සමසමාජ පක්ෂ සාමාජිකයෙක් ලෙස සිටින වට කොළඹ නගර සභාවට පැවති ඡන්දයට ඉදිරිපත් වූ අතර, ඡන්ද ව්‍යාපාරය කර ගෙනගියත් වින්සන් පෙරේරා (යූ.ඇන්.පී), පණ්ඩිත (කො.ප.) තම්පෝ (ල.ස.ස.ප.) ලෙස  ඔහු 3 වැනි තැනට පත්වීය. එය බහු ආසනයක් වීම නිසා වින්සන් පෙරේරා 1 ලෙසද පන්ඩිත 2 ලෙසද  ආසන නගර සභා ආසන හිමිවූ අතර තම්පෝ3 වීම නිසා ආසනයක්  අහිමිවීමත් සමග ඡන්ද දේශපාලනය මුලාවක් බව හිතාගෙන එදා සිට වෘත්තීය සමිති ව්‍යාපාරය සමග කටයුතු කළ අතර, වෘත්තීය සමිති නායකත්වයට අවශ්‍ය විප්ලවකාරී දේශපාලන දර්ශනය දියුණු කම්කරුවන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම්ක් ලෙස පවත්වා ගෙනගිය බවත් එම බෙදීම් ගැනද දේශපානය හා වෘත්තීය සමිති කටයුතු වලදී වෘත්තීය සමිතිය ස්වාධීන ලෙස කල්පනා කරමින් තීරණ ගත යුතු බව කියා සිටියේය. එනිසා ඔහුගේ වෘත්තීය සමිතියේ මහා මණ්ඩලයේ තීරණය අනුව වර්ජනය කිරිීම හෝ නොකිරීම තීරණය කරන බවත් එනිසා සමිතිය කිසිවෙකුටත් අවනත නොවී පවත්වාගෙන යන බවත් පවසමිත් ඔහු යෝජනා කලේ න.ස.ස.ප. වැන කම්කරුවන් විනාශ කරන ව්‍යාපාර විසුරැවා හැරිය යුතු බව පවසමිත් එදින දවල් 2.00ට ආසන්න වනවිට සාකච්ඡාව ඔහුගේ අකමැත්තෙන් වුවත් නැවැත්වීමට සිදුවිය.  තම්පෝ සහෝදරයා නික්ම ගිය පසු බාහු සහෝදරයා දැක්වූයේ ''මම මුලින්ම කිව්වා . නීල් ඇහුවේ නැහැ. ඉතින් ඒකත් පාඩමක් හැටියට ගෙන පක්ෂය හදා ගමු''  යනුවෙනි. අද නීලුත්, තම්පෝත්, බාහුත් නැත.

බිරිඳ “මේ“ ලැබුණු සහයෝගය

පසුකාලීනව අපගේ අත්දැකීම් සමග අපද න.ස.ස.ප.යෙන් ඉවත්ව ස්වාධීන ලෙස වැඩකරන ජනතා ව්‍යාපාරය සංවිධානය කර ගත යුතුය යන අදහස මුල් කර ගෙන අපත් සමග සිටි සරණපාල, පිටිගල, සවනදාස, විජේ., කේ.ජේ. විල්ප්‍රඩ්, ප්‍රේමලාල්, මුණසිංහ වැනි වෘත්තීය සමිති ප්‍රමුඛයින් සමග අප නැවත සංවිධානය වන විට  තම්පෝ සහෝදරයාට ගෞරව සම්මානයක් දිය යුතු බවට අපි තීරණය කළෙමු.  ඒ අනුව ප්‍රමුඛ වෘත්තීය සමිති ක්‍රියාධරයන් වූ අලෙවි මව්ලානා සහෝදරයාට හා තම්පෝ සහෝදරයාට එම සම්මාන පිරිනැමීමේ උත්සවයක් කැදවා ඔහුට ආරාධනා කලත් ඔහු පැමිණියේ නැත. මව්ලානා සහෝදරයා පැමිණ කථාවක් පවත්වා අපගේ සම්මානය ඔහුට පිරිනමන ලදි. තම්පෝ සහෝදරයාගේ නොපැමිනීම ගැන අපට කලකිරීමක් පැවතුනි නමුත් සරණපාල සහෝදරයා ඔහුට කථා කර නොපැමිණීම ගැන විමසා දැන්වීමට ඉදිරිපත් විය. එම විමසීමේදී තම්පෝ සහෝදරයා ප්‍රකාශ කර සිටියේ කම්කරු නායකයෙක් ලෙස සම්මානයෙන් පුද කරනවා නම් එය කල යුත්තේ ඔවුන්ගේ සමිතියේ මහා මණ්ඩලයේ ඉදිරියේ මිස වෙනත් තැනක නොවන නිසා ඔහු නොපැමිණි බවය. ඒ අනුව අපි එයට එකග බව දැන්වූ විගස ඔහු මහා මණ්ඩලය කැදවා අපගේ ගෞරව සම්මානය මහත් ඉහලින් කථාවක් පවත්වා භාර ගත්තේය. එහිදී ඔහු ප්‍රකාශ කලේ ඔහුගේ මුලු ජිවිත කාලයම සී.එම්.යූ. සමිතිය වෙනුවෙන් හා පංති දේශපාලනය වෙනුවෙන් කැප කළ බවත් එය කම්කරු සංවිධාන විසින්ම ඇගයීමට ලක්කිරීම ඔහුගේ ජිවීතයේ ලැබිය හැකි උතුම් අවස්ථාවක් වන බවත්ය. එය තවදුරටත් මට දැකගත හැකි වුයේ අපගේ බලය පැවති මහින්ද රජය සමයේ වෘත්තීය සමිිති නායකයින් රැසකට ජනාධිපති සම්මානයෙන් පිදුම් කරන විට, වැඩකරන ජනතාවට ස්වාධීන ගමන් මගක් මිසක් මැතිවරණ දේශපාලන නායකයින් අතින් සම්මාන ගැනීම නොවටින බවට අදහෙස් දක්වමින් එය උත්සවය මගහැර සිටියේය.

සැබැඳි පුවත්

තම්පෝ සහෝදරයාගේ ජීවිතයේ තවත් එක් අවස්ථාවක ඔහුගේ දැඩි බව හා අකලංකත්වය විදහා දැක්වීමක් පෙන්නුම් කලේය. එය සිදු වූයේ ඔහුගේ බිරිද වූ මේ සහෝදරියගේ අවසන් කටයුතු සිදු වූ බොරැල්ල කනත්තේදී සිදු වූ ක්‍රියාදාමයන් සමගය.  සියලු සැරසිලි රතුකොඩි දමා සැමගේ උරහිසින් පහලට වන ලෙස සරසා තිබුනි.  රතු ඇදුමින් සැරසුනු කම්කරුවන් දේහය පෙලපාලියෙන් ඔසවා ගෙන පැමිණ සාමාන්‍ය පරිදි පිටිකාවේ රදවා තැබුනි. අවමංගල්‍ය උත්සවය ඉතා චාම් විය. එයට බොහෝ දෙනා ගුණාකථන කිරීමට සැදී පැහැදී සිටිනු දක්නට ලැබුනි. කාන්තා ව්‍යාපාරය ගැන කථාවක් කිරීමට නිමල්කා සහෝදරියට ආරාධනය ලැබුණි. ඉන් පසුව සියලු දේශපාලන පක්ෂ හා 4 වෙනි ජාත්‍යන්තරය  වෙනුවෙන් වූ කථාව පිරිනැමුනේ වාසුදේව සහෝදරයාටය. වෙනත් කථාවක් සිදු කලාදැයි මට මතක නැත.  ලංකා වෙළද සේවක සංගමය (CMU) වෙනුවෙන් කථාව පැවැත්වුයේ තම්පෝ සහෝදරයාය. එය ඉතා අනුවේදනීය ලෙන්ගතු දෙනෙතට කදුලු උනන කථාවක් විය. ඔහුත් ඇයත් එක්ව විප්ලවකාරී සමාජ වෙනසක් වෙනුවෙන් ආදරවන්තයින් ලෙස ඇරඹූ විප්ලවකාරී ව්‍යාපාරයත් සමග මොරටුව තනි කාමරයක් සහිත නිවසක රැදී සිටිමින් ගත කල කාලයත් ඉන්පසුව සමිති ව්‍යාපාරයේ කටයුතු කරන විට ඔහුගේ ලඟම මිතුරිය හා සහකාරිය ලෙස කටයුතු කල මේ සහෝදරියගේ වෙන්වීම දැරිය නොහැකි පාඩුවක් ලෙස කියා සිටිමින්, අප පැතූ ලෝකය අපට දැක ගැනීමට නොහැකි වුවත් ඉදිරි පරපුර එය දකිනු ඇතැයි පවසමින් එබැවින් ප්‍රතිපත්ති මත පිහිටා අපි ගමන් කළ යුතු බව විශාල කදුලු කැට පිස දමමින් ඔහු සිදුකල උදාර කථනය සියලු දෙනා වික්ෂිප්තව බලා සිටියේය. ජනප්‍රිය පාර්ලිමේන්තු නායකයෙක් වූ විපක්ෂයේ මන්ත්‍රිවරයෙක් ලෙස මහින්ද මහතා එම සභාවට පැමිණියත් ඔහුට විශේෂ වූ ප්‍රභූ ආමන්ත්‍රණයක්වත් එම සභාවේදී තම්පෝගේ කථාවෙන් සිදු නොකරන ලදි.   එයයි ඔහුගේ දේශපාලනය හා ප්‍රතිපත්තිය බව එම මොහොතේදීද පෙන්නුම් කලේය.

තම ජීවිතයම සීඑම්යූ ට කැප කිරීම

තම්පෝ සහෝදරයා ගැන මෙවැනි දිගු සටහනක් ලියනු ලැබුවේ එය වැඩකරන ජනතා ව්‍යාපාරයේ සමිති සංවිධාන පවත්වා ගෙන යනු ලබන සියලු දෙනාගේ දැනගැනීම වෙනුවෙනි. තම ඉල්ලීම් අනුව රජය සමග සාකච්ඡා සම්මුතියකට පැමිණීමට වඩා වැඩවර්ජනය කෝකටත් තෛලයක් ලෙස වඩා විශ්වාසය තබමින්   ජනතාවගේ අපහසුතා නොතකා වෘත්තීය සමිති නායකයින් වර්තමානයේදීද සිදු කරන ක්‍රියාදාමය ගැන නැවත සිතා බැලිය යුතුය.  සමිති නායකයෙක් ලෙස තම්පෝ සහෝදරයාගෙන් වැඩකරන ජනතා ව්‍යාපාරයට ලැබුණු ආදර්ශය ඉතා වැදගත්ය. ඔහු අප රටේ සිටි කීර්තිමත් වෘත්තීය සමිති නායකයෙක් බව දැන ගැනීමට මටද දශක 4 ක පමණ කාලයක් ගත කරන්නට සිදු විය. ඔහු ඇත්තවශයෙන්ම ගෞරවයට පාත්‍රවිය යුතු වෘත්තීය ලාංකික  සමිති නායකයෙක් පමණක් නොව ජාත්‍යන්තරය පිලිගනු ලැබූ දැවැන්ත සමිති නායකයෙකි.

| ජී. වී. ඩී. තිලකසිරි