(1953 අගෝ:12 හර්තාල් ජන අරගලයට පණ දුන් 'සමසමාජ' පක්ෂ නායක එන්.එම්. සහෝදරයාගේ 44 සමරුව 2023 අගෝ: 14 ට යෙදීම නිමිත්තෙනි.)
මගේ තිඹිරි ගෙය වූයේ සොයිසා ලයිනිං හෝම් එක වුවද මා හැදුණේ වැඩුණේ කළුබෝවිල ගමේ මගේ අම්මාගේ මහ ගෙදරය. සිය නෑ කෝරලේ කන්නිමහර ගමේ උපන් මගේ තාත්තා සල්පිටි කෝරලේ අම්මාගේ මහ ගෙදර බින්න බැස හුන් හෙයිනි. බිරියගේ කිරිබත්ගොඩ මහ ගෙදර බින්න බැසීමෙන් මම තාත්තාගේ නොට්ටිගෙ පුතෙක් (Naughty Son)නොවීමි. පාසල් වියේදීම මට මාක්ස්වාදයේ ඉඳුල ගැන්වුණේ කළුබෝවිල අපේ ගමේ සමසමාජ තරුණ සමිතියෙනි. නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ පාසල් සගයෙකු සේම එක ගමේ කුලුපගයෙක් වූ ගිල්බට් ද කෝස්තා සහෝදරයා මගේ පළමු සමසමාජ ආභාස උල්පත විය. එකල අපේ ගම අයත් වුණු වැල්ලවත්ත ගල්කිස්ස පාර්ලිමේන්තු ආසනයේ මන්ත්‍රීවරයා වූයේ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා සහෝදරයාය. ලංකා සමසමාජ පක්ෂයේ පැරණි සාමාජිකයෙකු මෙන්ම කොළඹ යුගයේ ප්‍රකට කවියෙක් වූ නිමල් හොරණ සහෝදරයා මා පළමු වරට හඳුනා ගත්තේ ගිල්බට් සහෝදරයා මගිනි.
1968 අවුරුද්දේ මුල් කාලයේ දෙවන වරට පටන් ගත් 'ජන දින' හා 'ජන සතිය' වාමාංශික පුවත්පත් දෙක පළ කළ 'සූරිය' ප්‍රකාශන ආයතනයේ පාලකයා වූයේ ආචාර්ය එන්.එම් . පෙරේරා සහෝදරයාය. මා 'ජනදින' හා 'ජන සතිය' පුවත්පත්වලට මෙන්ම ආචාර්ය එන් .එම් . පෙරේරා සහෝදරයාටද ළං කළේ මගේ සන්මිත්‍ර නිමල් හොරණ සහෝදරයාය. 1968 අවුරුද්දේ මුල හරියේ මා එම පුවත්පත් කතු මඬුල්ලට බැඳෙන විට නිමල් හොරණයෝ 'ජනදින" අග සකසු වූහ. 'ජන සතිය' අග සකසු පදවි දැරුවේ කොළඹ යුගයේ පතළ කිවි බටුවන්දර ගුණවර්ධන සහෝදරයාය. නිමල් සහෝදරයා විසින් කලක් 'ජන දින' පුවත්පතේ ප්රවෘත්ති කතු තනතුරද අනතුරුව එහි විචිත්රාංග කතු තනතුරද මවෙත පවරන ලද්දේ ආචාර්ය එන් . එම් සහෝදරයාගේද අභිමතය අනුවය.
'සූරිය' ප්‍රකාශන ආයතනයේ 'ලොක්කා' එහි සේවක ජනයාට සහෝදරයා විය. එන්.එම්. සහෝදරයා පෞද්ගලික වශයෙන් දැන හැඳින ගැනීමේ භාග්‍යය මට උදා වූයේ ඒ දිනවලය. පුවත්පත්
කතු කමට අමතරව තවත් වැදගත් රාජකාරියක් මටම පැවරී තිබුණි. එනමි එන්.එම්.සහෝදරයා විසින් 'ජන දින" හා 'ජන සතිය" පත්තර දෙකට මෙන්ම වෙනත් අවස්ථා සඳහාද ඉංග්‍රීසි බසින්
ලියැවුණු නොයෙක් ලිපි සිංහලට නැගීමේ කාරියයි. මෙහිදී එක් වැදගත් කරුණක් අවධාරණය කළ යුතුය. ඒ සියලු සිංහල පරිවර්තනයක්ම ඉතා පරීක්ෂාවෙන් කියවා බැලීමට ඔහු ප්‍රෝත්සාහී වීමය. තම ඉංග්‍රීසිය නිදොස් ලෙස හෙළයට පෙරැළී ඇද්දැයි නිශ්චය කර ගනු රිසියෙනි. එය නිදොස් බැව් නිසැක ලෙස පසක් කර ගත් කල මුව පුරා පැසසූ ඔහු සදොස් තැන් වෙතොත් එය නිදොස් කරවීම කෙරෙහිත් වෙසෙස් සැලකිල්ලක් දැක්විය.
දිනක් උදේ වරුවේ එන්.එම්. සහෝදරයා කොළඹ උසාවිය පාරේ පිහිටි 'ජන දින' කන්තෝරුවට පැමිණියේ මුද්‍රණ අංශයේ ප්‍රශ්නයක් ගැන කරුණු සොයා බලන්නටය. රාත්‍රී සේවයේ යෙදී සිටි මැෂින් මයින්ඩර් වරයා මුණ ගැසී කතාබහ කිරීමට ඔහුට අවශ්‍ය විය. එළි වන තුරු නිදි මැරූ මැෂින් මයින්ඩර් සහෝදරයා මැෂින් කෑල්ලේම කොනක වැතිරී නිදා සිටිනු ඔහු දකී.පියදාස බාසුන්නැහැ ඔහු අවදි කිරීමට ගියා මට මතකය. "කතා කරන්න එපා! ඇහැරුණාම ඒ සහෝදරයට ඇවිත් මාව හම්බ වෙන්න කියන්න."
එක් නිවාඩු දිනයක එන්.එම්. සහෝදරයා භදිසියේ කන්තෝරුවට එන විට එවකට එහි ආරක්ෂක කාරියේ නිරතව සිටි ගුණතිලක අයියා උඩ තට්ටුවට නගින පඩි පෙළ මුදුනේ හරහට වැතිරී තද නින්දක වැටී සිටියේය. එන්.එම්. සහෝදරයා ගුණතිලක අයියා නමැති කඩුල්ල පැන ගෙන තම මේසය වෙත ගොස් යම් කිසි වැඩක යෙදී සිට යළි ඒ කඩුල්ල පැන ගෙනම ආපසු ගියේ ඔහුගේ නින්ද නොකඩමිනි.මේ සිද්ධිය දැනගත් ගුණතිලක අයියා පසු දිනම එන්. එම් සහෝදරයාගේ කොටා රෝඩ් ගෙදරට ගොස් ඔහු අසල එකත්පස්ව සිටියේ තම නිදහසට කරුණු කීමටය. හිස පාත් කර ගෙන මේසය ළඟ යමක් ලියමින් සිටි ඔහු තමා දුටු සැණින් කෝපයෙන් වියරුව බැණ වදින අයුරු ගුණතිලක අයියාගේ සිතේ මොහොතකට මැවී යයි. හිස ඔසවා බලන එන්.එම් සහෝදරයා ගුණතිලක අයියා හඳුනා ගනී.
" මොකද ගුණතිලක?"
"සර් එදා කන්තෝරුවට එන වෙලාවේ මට නින්ද ගිහිල්ලා හිටියෙ. හෙම්බිරිස්සා අමාරුවට ඔළුව උස්ස ගෙන ඉන්න බැරි හින්දා. සර් ඇවිල්ල යනවවත් මං දන්නෙ නෑ. මං ඒක කියන්නයි ආවෙ."
"ෂැහ්! පිස්සුද අයිසෙ! ඕක කියන්නද ආවෙ? මං හිතුවෙ කන්තෝරුවෙ මොකක් හරි උවමනාවක් කියන්න ආවයි කියලා!"
'ජන දින' මුද්‍රණාලය බාර පියදාස බාසුන්නැහැ දිනක් කන්තෝරුවට දුව ගෙන ආවේ හිස ගිනි ගත්තෙකු ලෙසිනි. ඔහු එන විට එන්. එම්. සහෝදරයා මේසය අසල හිඳ ගෙන වැඩක යෙදෙමින් සිටියේය.
"මොකද පියදාස සහෝදරයා කලබලෙන්?"
"මගේ අයියා හදිස්සියේ අන්තරා වුණා."
"දැන් මොනවද අපෙන් කෙරෙන්න ඕනෑ"
" කන්තෝරුවෙන් සල්ලි ටිකක් ඉල්ල ගන්නයි ආවෙ."
මුදල් භාර කාර ප්‍රනාන්දු උන්නැහේගෙන් මුදල් තත්ත්වය විමසූ එන්.එම්.සහෝදරයාට එවේලේ කන්තෝරුවේ එතරම් මුදලක් නොමැති බව දැනගන්නට ලැබුණි. කිසි කතා බහක් නැතිව තම පෞද්ගලික චෙක් පොත අතට ගෙන චෙක් පතක් ලියු ඔහු එය වහා මාරු කොට පියදාස බාසුන්නැහැට අවශ්‍ය මුදල් ලබා දෙන ලෙස ගුණතිලක අයියාට කීය.
දිනක් උදය වරුවේ එන්.එම්. සහෝදරයා කන්තෝරුවට රැගෙන
ආ ඔහුගේ රියැදුරු ආපසු මෝටර් රථයද ගෙන එවෙලේම පිටත්ව ගියේය. දවල් කෑම වෙලාව කිට්ටු වන තුරුම කන්තෝරුවේ රැඳී සිටි ඔහු පඩි පෙළ දිගේ පහළට බැස්සේ කන්තෝරුව ඉදිරි පිට නවතා තිබෙන තම මෝටර් රථයේ නැගී නිවස බලා පිටත් වීමටය. වෙන දා රිය නවතා තිබෙන තැන එය නැත. තම රියැදුරු මෝටර් රථය ගෙන එතැයි මඳ වේලාවක් කන්තෝරුවේ පඩිපෙළ දොර කඩ හිටගෙනම ගුණතිලක අයියා සමග කතා කරමින් සිටි ඔහුට රිය එන ලකුණකුදු නොපෙනුණි. අත රැඳි බෑගයෙන් තම තට්ට හිස වසා ගත් ඔහු අව් කාස්ටකේ උසාවිය පාරට බැස ගමන් කරයි. ගුණතිලක අයියා සමග කතා බහ කරමින් 'දවස' කන්තෝරුව ඉදිරිපිට බස් නැවතුම් පළට ගිය ඔහු කොටා රෝඩ් හරහා යන බසයක නැගී ගෙදර යයි. එහෙත් තමා අතර මං කිරීම ගැන රියැදුරු සේවයෙන් නෙරපා හැර දැමූ බව කෙසේ වෙතත් ඔහුට බැණ වැදුණ බවක් වත් අපට අසන්නට
නොලැබුණි.ඉන් පසුවද එන්.එම්. සහෝදරයා ගමන් ගියේ අර රියැදුරු සමගමය.
එන්.එම්.සහෝදරයා එක්තරා දිනක 'ජන දින' කන්තෝරුවේ තම මේසය ළඟ හිඳ යම් කිසිවක් ලියයි. පක්ෂයේ කම්කරු සහෝදරයෙක් හදිසියේ ඔහු වෙත පැමිණ යම් කිසි වෘත්තීය ප්‍රශ්නයක් ගැන නිර්දය විවේචනයක් එල්ල කරයි. එවේලේ කතු මඬුල්ලේ සිටි අප කීප දෙනාට ඔහුගේ බලවත් චිත්තාවේගය මැනවින් පසක් වන්නේ නොනැවතී එල්ල වන වාග් ප්රහාරයෙනි. දෑස පියා ගෙන මාපටැඟිලි හා දබරැඟිලි තුඩින් නළල පිරිමදිමින් එන්. එම්. සහෝදරයා මුවින් නොබැණම කම්කරු සහෝදරයාට සවන් දී හිඳියි. තම නායකයාගෙන් එකද වදනකුදු නෑසූ කම්කරු සහෝදරයා දැල්වුණු කෝපයෙන් පිටව යයි. එදින සවස් වරුවේ නිමල් හොරණයන් සහ මා එන්. එම්. සහෝදරයා සිටි මේසය අසලට ගියේ පුවත් පතට සම්බන්ධ යම්කිසි කරුණක් ගැන සාකච්ඡා කිරීමටය. ඉන් අනතුරුව නිමල් හොරණයෝ තම පක්ෂ නායකයාගෙන් මෙසේ ඇසූහ.
"සහෝදරයට තිබුණනෙ අර කම්කරු සහෝදරයාගෙ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න."
"සහෝදරයා , මම ආනන්ද විද්‍යාලයෙ ඉගෙන ගන්න කොට මට සිංහල ඉගැන්නුවෙ බලංගොඩ ආනන්ද මෛත්‍රේය හාමුදුරුවො. ඒ හාමුදුරුවො ඉගැන්නුවා සුභාෂිතයෙ කවියක්.ඒ කවි උපදේසෙ මං තාම පිළිපදිනවා.
"තමන් හට නොසමයන් වන
කලට සම
මුවෙන් නොබැණ ඉවසනු සුදන
ගරු කම"
"ඒ සහෝදරයා හිටියෙ හොඳටම කේන්තියෙන්.කේන්තියෙන් ඉන්න මිනිහෙකුට කරුණු ඒත්තු ගන්නන්න බෑ. මං ඒ සහෝදරයට ඇහුම් කන් දීලා ප්‍රශ්නෙ තේරුම් ගත්තා.දැන් එයා ගෙන්නලා ප්‍රශ්නෙ විසඳන්න ලේසියි."
තහනමෙන් පසු යළි ඇරඹූ 'ජන දින' පුවත් පතට අවුරුද්දක් පිරීම නිමිත්තෙන් 1969 පෙබරවාරි 15 වැනි දා කොළඹ නව නගර ශාලා භූමියේ පැවැති සල්පිල අවසානයේ හිටිවන කවි සන්ධ්‍යාවක් විය.රෑ කල පුරහල් බිම් කෙළවරකට වී කවි රස විඳිමින් සිටි අපි රැස්ව හුන් සෙනග අතර දිස් වුණු රුව එක් වරම හඳුනා ගත්තෙමු.එන් .එම් .
සහෝදරයා ඒ මේ අත සක්මන් කරමින් කවි රස විඳියි. ජනතාව සමග සුහද ලෙස කතා බස් කරමින් එකට සතුටු වෙමින් ඔහු ඒ රැය ගෙවූ අයුරු දැනුදු මගේ සිතේ මැවී පෙනේ.මගේ ඇතැම් මිතුරන් ඔහුට එල්ල කළ විවේචනයක් ඇත.එනම් ඔහු සාහිත්‍යය හා කලාව ගැන අවධානයක් යොමු නොකළ බවයි.ඔහු කලකට පෙර බර්නාඩ් ෂෝ පිළිබඳව අගනා ලිපියක් ලියූ බව මා ඇසූයේ මගේ ළෙන්ගතු මිත්‍ර අතීත ලංකා සමසමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ හුන් සරත් නාවාන සහෝදරයා ගෙනි.එන් .එම්. සහෝදරයා තුළ වූ සෞන්දර්ය කාමය පිළිබඳ මහා ගාන්ධර්ව අමරදේවයන්ගේ අමර සමර මෙයුරුයි.
"සිය මනස තුළ නිතර රජයන විප්ලවකාරී සිතිවිලි අතර සෞන්දර්ය හැඟීම්වලටද මනා ඉඩකඩක් තිබුණේය. වරක් මගේ සංගීත සංදර්ශනයක් පැවති අවස්ථාවක දළදා මාලිගාවේ මහ මළුවේදී මගේ 'සසර වසන තුරු' ගීතය දෙවරක්ම ඔහු මා ලවා ගායනා කරවූයේය. තමාගේ ජනප්‍රිය ගීතයක් වන්නේ 'සසර වසන තුරු' ගීතය යැයි එදා කීවේය. තිසා වැවේ රැළි අතරින් ,මහ බෝ සෙවණින්, සීගිරියෙන් ඔහුගේ හදවතේ රිද්මය දේශ වාත්සල්‍යයෙන් පිරී යන ආකාරය මම එදා දුටුවෙමි."
ව්‍යායාම සඳහා එන්.එම්. සහෝදරයා බෙහෙවින්ම කළේ ටෙනිස් ක්‍රීඩාවය. ඇමති රාජකාරියට නිල රථය පාවිච්චි කළ ඔහු ටෙනිස් ක්‍රීඩාවට ගියේ පෞද්ගලික මෝටර් රියෙනි.ගමන් යද්දී රියැදුරු අතින් සිදු වන ප්‍රමාද දෝෂයන් ගැන මුවින් නොබැණ සිට නිවසට පැමිණි පසුවම අවවාද කිරීම ඔහුගේ සිරිතය. එසේම තමා වරක් කියූ දෙයක් එය ඇසූ තැනැත්තා සිය වරක් පැමිණ ඇසුවත් එම අමතක වීම ගැන නොකිපී නොබැණ එය ඒ අයුරින්ම යළි යළිත් ඒ තැනැත්තාට කියා දීම ඔහුගේ සිරිතය. අවුරුදු ගණනකින් මුණ නොගැසුණු හිතෛෂීයෙකු යළි හමු වූ විට ඔහුට නමින්ම අමතා දුක සැප ඇසීමද සිරිතක්මය. කවර තරාතිරමක පුද්ගලයෙකු වුවත් ඔහු අවංක කෙනෙකු බව තම සිතට එකඟව පිළිගැනී ඇත්නම් කවුරු කෙසේ කීවත් එන්.එම් .සහෝදරයාට ඔහු අවංක තැනැත්තෙකි. ඒ තත්ත්වය වෙනස් වන්නේ ඔහු වංක කෙනෙකු බව කවදා හෝ තමාටම පසක් වූ පසුවය. වංචාවක් හෝ කපටිකමක් කර අසුවූ පුද්ගලයා ඔහුට මෝඩයෙකි. සුළු අසනීප ගතියක් ඇති වුණු හැම විටම ඉඟුරු කොත්තමල්ලි තම්බා බී ගුණාගුණ බලා මිස වෛද්‍යවරයෙකු සොයා දිවීමට නොසිතූ එන්.එම්.සහෝදරයාගේ එම ජාති ගතිය බටහිරින් ලබා ගත් ඉරට්ටේ ආචාර්ය උපාධියෙන් බිඳකුදු නොසෙල්වුණි.
දිනක් මා එන්.එම් සහෝදරයාගේ නිවසේ ඔහු සමග සම්මුඛ සාකච්ඡාවක නිරත වෙමින් සිටින අවස්ථාවේ සමසමාජ පක්ෂයේ වෘත්තීය සමිති නායකයෙක් වූ ඩී.ජී.විලියම් සහෝදරයා එතැනට පැමිණියේය. 'එක්ස්කියුස් මී' යැයි පැවසූ ඔහු තම පක්ෂ නායකයා සමග කතා කරන්නට පටන් ගත්තේ දුබල ඉංග්රීසියකිනි.එම ඉංග්‍රීසියෙන් කරුණු පැහැදිලි කරන කම්කරු සහෝදරයාගේ කතාවට උභය ආචාර්ය උපාධි ධර කම්කරු පක්ෂ නායකයා සවන් දුන්නේ සාවධානව මිස සාවඥව නොවේ. ඉංග්‍රීසියේ අඩුව තඹ දොයිතුවකටවත් ගණන් නොගෙන විලියම් සහෝදරයා කී දේ අවංක උනන්දුවකින් අසා සිටි එන් .එම් . සහෝදරයා ඔහු තමාගෙන් සමුගෙන ගිය පසු යළි මා සමග කතාබහ ඇරැඹුවේ කිසිම අමුත්තක් නොපෙන්වමිනි. වෘත්තීය සමිති නායක ගෝල්ෆේස් විලියම් සහෝදරයා අධ්‍යාපන වරප්‍රසාද නොලත් සමාජ පන්තියට අයත් තැනැත්තෙකු බව මැනවින් දන්නා එන්.එම්.සහෝදරයා ඔහු දිරි ගෙන ඉංග්‍රීසි බස හුරු කර ගැනීමට දරන තැත අවංකවම අගය කරන්නට ඇත. මේ පීඩිත පන්ති නායකයාගේ දැක්ම එතරම් පුළුල්ය. හදවත එතරම් විසල්ය. විලියම් සහෝදරයා හදිසියේ මිය ගිය මොහොතේ එන්. එම්. සහෝදරයා සිටියේ පිටරටය.සමසමාජ පක්ෂයේ ප්‍රධාන පෙළේ වෘත්තීය සමිති නායකයෙකු වශයෙන් තම මුළු ජීවිතයම පක්ෂය හා පීඩිත පන්තිය වෙනුවෙන් කැප කළ ගෝල්ෆේස් විලියම් සහෝදරයාගේ හදිසි අභාවය පිළිබඳ පුවත අසා බලවත් කම්පාවට පත් ඔහු වහා මවු බිමට පැමිණි සැටි මට අද මෙන් මතකය.
'ජන දින' පත්තර කන්තෝරුව මගින් පළ කරන ලද 'ජන කවි' පත්තරයේ අග සකසු වූයේ පී. බී .අල්විස් පෙරේරා කිවිඳුය. ඔහු හදිසියේ මිය පර ලොව ගිය වේලේ එන්. එම්. සහෝදරයා දැඩි සේ කම්පාවට පත් වූ අයුරු මට තවමත් මතකය. කිවිඳුගේ අවමඟුල් උත්සව සභාව අමතමින් ඔහු පැවැත්වූ හද හඬවන කතාව එකිවිඳුන් කෙරෙහි පමණක් නොව ලෝ සියල් සාහිත්‍යය හා කලාකරුවන් කෙරෙහි ඔහු තුළ පැවති ස්නිග්ධ ස්නේහය ධ්වනිත කරන්නකි.
1965 හත් හවුල් ආණ්ඩුවේ පළමු අයවැය ලේඛනය අරබයා එන්.එම් සහෝදරයා ඉදිරිපත් කළ දැඩි විවේචනයට එ.ජා.ප නිල පුවත්පත වන 'සිය රට' අවඥා කළේ 'තොට ළඟ මාටියාගේ බොරු ගණන්' යන තම මුල් පුවත් සිරස්තලයෙනි. එදා පාර්ලිමේන්තු සභා ගැබ තුළ උත්තුංග ප්‍රඥා පෞරුෂ්යයකින් නැගී සිටි එන්.එම්. සහෝදරයා අල්ප මාත්‍ර හීන මානයකිනුදු නොමැඬී මේ අභිමානවත් ඓතිහාසික ප්රශස්ත ප්‍රකාශය කළේය.
" මට මාටියා කීමේ කිසි වරදක් නෑ මං මාටින් නිසා. ඒත් මගේ පියාට කළ අපහාසය මට දරා ගන්න බෑ. මං ඉපදුණේ පොඩි පැල්පතක. මගේ තාත්තා පොඩි මිනිහෙක්. පුංචි කොණ්ඩයක් බැඳලයි හිටියෙ. සමහර දවස්වලට තාත්තා මට කියලා කොණ්ඩෙ තෙල් ගාව ගෙන පීරවල බන්ද ගන්නවා. මම ඒක කරන්නෙ ලොකු සතුටකින්. සතෙන් පටන් අරන් බොහොම අමාරුවෙන් දියුණු වෙන්න උත්සාහ කළ එයා සමාජවාදියෙක් නෙමෙයි. ඩඩ්ලි සේනානායක මහත්තයගෙ තාත්තා වලව් කාරයෙක්. බෝතලේ වලව්වෙ මහාමාන්‍ය ඩී. එස්.සේනානායක මහත්තයා තමන්ගේ පුතා වැඩි දුර ඉගෙන ගන්න එංගලන්තෙට යැව්වා. තොට ළඟ සුළු කඩ වෙළෙන්දෙකු වන අබරන් මුදලාලිත් වැඩිදුර අධ්‍යාපනය ලබා දෙන්න තමන්ගෙ පුතත් එංගලන්තෙට යැව්වා. ඉතින් ඩඩ්ලි සේනානායක මහත්තයයි මායි දෙන්නම ඉගෙන ගත්තේ එංගලන්තෙ. එයා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙ. මම ලන්ඩන් විශ්ව විද්‍යාලයෙ. අන්තිමට එයා පෝලෝ ක්‍රීඩාවෙන් සමත් වුණා. පෝලෝ කියන්නෙ ධනපති මිනිස්සු අස්සයො පිට නැගලා කරන සෙල්ලමක්. මං පී.එච්.ඩී විභාගෙන් සමත් වුණා. අපි දෙන්නා අතරෙ වෙනස ඒකයි."
'ඩබල් ඩොක්ටර්' යන තම කීර්ති නාමයට හේතු වූ එන්. එම්. සහෝදරයා සතු ආචාර්ය උපාධි දෙක පිළිබඳව බොහෝ දෙනා තුළ ඇත්තේ සාවද්‍ය වැටහීමකි. ඔහු ශූර අර්ථ ශාස්ත්රඥයෙකු නිසා ඒ උභය උපාධියම අර්ථ ශාස්ත්‍ර විෂයට අයත් සේ සැලකීම බහු සම්මතය වී ඇත.එහෙත් ඉන් එකක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා විෂය පාදක කර ගත්තක් බව බොහෝ දෙනා නොදනිති. හිට්ලර් විසින් පෙරළා දමන ලද 'වයිමර්' නම් ජර්මන් සමූහාණ්ඩුවට [Weimar Republic - (1919-1933)] අයත් ව්‍යවස්ථාව විෂය කර ගෙන ඔහු විසින් සම්පාදිත විශිෂ්ට ආචාර්ය උපාධි පර්යේෂණ නිබන්ධය වූකලී අදද
ලොව පුරා ව්‍යවස්ථා විශේෂඥයන්ගේ අඛණ්ඩ පරිශීලනයට පාත්රව පවත්නා ප්‍රාමාණික ග්රන්ථයකි.
1978 අගෝ: 31 වැනි දා ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව තෑගි කළ ව්‍යවස්ථා කටුකම්බි වැටේ පැටලී ඉන් ගැලවී ගත නොහැකිව අද මුක පූට්ටු වී දඟලන සකල ලක් වැසි ජනතාවට මේ නස්පැත්තිය පිළිබඳව මුල්ම අනාවැකිය පළ කළ දේශපාලන අනාගත වක්තෘ වරයා වූයේ එන්.එම්.සහෝදරයාය. ඔහු ඒ අනා වැකිය පළ කළේ ඉංග්‍රීසි
පුස්තිකාවක් මගිනි. එය වූකලී Socialist Nation යන ඉංග්‍රීසි පත්‍රයට ඔහු ලියූ ලිපි පෙළක එකතුවකි. එය තම මව් බසට නැංවීම සඳහා බාර කළේ විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ පුස්තකාලයාධිපතිව සිටි ටී.ජී.පියදාස සහෝදරයාටය.සිංහලට පරිවර්තිත කෘතිය 1981දී 'විවේචනාත්මක විශ්ලේෂණයක්' නමින් පළ විය. (78) ව්‍යවස්ථා ශාපයේ අනිවාර්ය පල විපාක වශයෙන් හටගත් ජන පීඩනය හා ප්රජාතන්ත්රවාදී නිදහසේ විනාශය පිළිබඳව සසාධකව සකාරණව තර්කානුකූලව කරුණු හෙළිකරන එවන් යථාර්ථවාදී විවේචනාත්මක දේශපාලන විශ්ලේෂණයක් එදා මෙදා තුර
පුස්තිකාවක් වශයෙන් වුව මෙරට ප්‍රකාශයට පත්ව ඇද්දැයි නොදනිමි.
එන්.එම් සහෝදරයාගේ ඉංග්‍රීසි පුස්තිකාවේ සිංහල පරිවර්තනයට 'පෙරවදන' ලියන කොල්වින්.ආර්.ද. සිල්වා සහෝදරයා එහි ලා පවසන මෙබස් ඔබ හැම ඇසින් අසත්වා!.
"ආචාර්ය පෙරේරා තම ග්‍රන්ථයෙන් පෙන්වා දී ඇති පරිදි ඇමෙරිකානු ආකෘතියේ නාමයෙන් අපට ඇත්ත වශයෙන්ම දී ඇත්තේ, ශ්‍රී ලංකාවේ ධනපති පංතියේ අවශ්‍යතාවයන්ට සුදුසු වන සේ සකස් කරන ලද, නොයෙකුත් ජනාධිපති ක්රමයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවල, ආචාර්ය පෙරේරාගේම වචනවලින් කියතොත්, අවුල් ජාලයකි. එම අවුල් ජාලය පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයක් නොව, පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයේ ඇඳුම් ආයිත්තම් පැළඳගත්, ව්‍යවස්ථානුකූල ජනාධිපති ඒකාධිපතිත්වයකි."
එන්.එම් සහෝදරයා තම පුස්තිකාවට ලියා ඇති 'ප්‍රස්තාවනාව' අවසන් කොට ඇත්තේ පහත එන අනාවැකි පාඨයෙනි.
"බලය දූෂ්‍ය අතර නියත බලය නියත වශයෙන්ම දූෂ්‍ය වන්නේය. එබැවින් ඇමෙරිකානු සමුහ ආණ්ඩු ඒකාධිපති භාවයෙන් දුඹුල් වීම වටහා ගත හැකිය. සීමිත කාල පරිච්ඡේදයක් තුළ අසීමිත බල පරාක්‍රමයෙන් හෙබීමට ජනාධිපති ක්‍රමය අවස්ථා සලසන්නේය. එහෙත් බලය බුක්ති විඳීමෙන් වර්ධනය වන රසය හා තෘෂ්ණාව පහසුවෙන්
සංසිඳවිය නොහැක. ශ්‍රී ලංකාව වැනි පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය ගැන විශාල අත්දැකීම් සමුදායක් ලබා ඇති, සාර්ථක අන්දමින් එහි මුල් අවධියේ වූ
අර්බුදවලින් ජය ගත් රටක්, දැන් එය ව්‍යවස්ථා අර්බුදයේ පල්ලමට පෙරලා දමමින්, අවසානයේදී ප්රජාතන්ත්රය පවා උවදුරට පත් කිරීම ඛේද ජනකය."
(78) ව්‍යවස්ථාව පර සක්වළ ගසමැයි වහසි බස් දොඩමින් ආ හැම එකාම
එය නොකළේත් ඉදිරියේදී එය කරන බවක් වැරදිලා වත් නොකියැවෙන ලෙසට දැන් ඉන්න හැම එකාම කට පරිස්සම් කර ගෙන ඉන්නේත් අර බලය බුක්ති විඳීමෙන් වර්ධනය වන රසය හා තෘෂ්ණාව පහසුවෙන් සංසිඳවිය නොහැක්කක් වන නිසාවත්ද?
සත් මසින් මෙලොව එළිය දුටු එන්.එම්. කිරි සප්පයා හදා වඩා ගෙන ඇත්තේ පාන්කඩේකින් කිරි පොවමිනි. එහෙත් ඔහු පසුව ප්රතාපවත් ප්රාඥයෙකු බවට පත් විය. මෙරට පහළ වූ අසාමාන්‍ය ගණයේ පුරුෂ ශ්‍රේෂ්ඨයෝ දෙදෙනෙක් එකම නාමයෙන් කීර්තිමත් වූහ. එක් අයෙක් නානායක්කාර පතිරගේ මාටින් පෙරේරා හෙවත් එන්.එම්. පෙරේරාය. අනික් තැනැත්තා
මාර්ටින් වික්‍රමසිංහ සූරීහුය. දෙදෙනාගේ අභාවප්රාප්තියේද විශේෂ සමානත්වයක් විය. එනම් අවසානය ළඟා වෙද්දී දෙදෙනාගේම සිරුරුවල සියලුම අවයවයන් නැවතුණු පසුවත් හදවත් දෙක පමණක් දින ගණනක් යන තුරුම එක සේ නියම රිද්මයෙන් ස්පන්දනය වීමය. තම ජීවිතයේ කිසිදු අවස්ථාවක හෘදයාබාධයකට ගොදුරු නොවූ එන්.එම්. සහෝදරයා සහ මාර්ටින් වික්‍රමසිංහ සූරීහු මෙරට ජන හද රිද්මයටආදරයෙන් සවන් දුන් ළතෙත් මානව හිතවාදීන් දෙදෙනෙකු නොවූහයි කාට නම් කිව හැකිද?
කරුණාරත්න අමරසිංහ