COP 30 හරහා තව දුරටත් මතුවන දේශගුණ උණුසුම

cop-30

අප මේ මොහොතේ මුහුණ දෙමින් සිටින බරපතලම ගෝලීය අර්බුදය වන දේශගුණික විපර්යාසය අප සිතනවාටත් වඩා වේගයෙන් අපගේ අවසානය ළඟාකරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය මගින් නිකුත් කෙරුණු අවසන් තත්ත්ව වාර්තාව මගින්ද අවධාරණය කෙරුණේ 2022 වසරේදී ය. නමුත් එතැන් සිට පවා මේ දක්වා එම ව්‍යසනය ආපසු හැරවීමට ලෝක නායකයින් ගනු ලැබූ කැපී පෙනෙන ක්‍රියාමාර්ගයක් නම් නැත. මේ වන විට වාර්ෂික කතා පෙට්ටියක් පමණක් බවට පත්ව ඇතිදැයි සිතෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සම්මුතියේ පාර්ශව කරුවන්ගේ 30 වැනි සැසි වාරය (COP30) එසේත් නැතිනම් එකසත් ජාතීන්ගේ දේශගුණ සමුළුව පසුගිය දස වැනිදා බ්‍රසීලයේ බෙලෙම් හිදී ආරම්භ වූයේ එවැනි පසුබිමකය. මෙවර එම සමුළුව ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගනු ලැබුවේ ඇමර්සන් වනාන්තරය නිජබිම කරගත් ස්වදේශිකයන් ප්‍රමුඛ විරෝධතාකරුවන් පිරිසක් තම ඉල්ලීම් ඉල්ලා සමුළුව ආක්‍රමණය කිරීමත් සමගය.

ආදිවාසී ආක්‍රමණය

සමුළුවේ දෙවන දිනයේදී ස්වදේශිකයන් විසින් මෙහෙයවන ලද විරෝධතාවයකට සිය ගණනක් ජනයා ඒකරාශීවී තිබූ අතර සමුළුව ස්වදේශිකයන්ගේ හඬට විවෘත බවට බ්‍රසීල රජය සිදුකළ ප්‍රකාශයත් සැබවින්ම ලබාදී තිබූ ප්‍රවේශයත් පරස්පර වීම ආතතිය වර්ධනය කළේය. සිය ගණනක් ජනයාගේ සහභාගීතත්වයෙන් සමුළුව පැවැත්වෙන හැන්ගර් සම්මේලන මධ්‍යස්ථානය දෙසට ආරම්භවූ පාගමනට සහභාගීවූ පිරිසෙන් කොටසක් අඟහරුවාදා සවස සමුළුවට බලහත්කාරයෙන් ඇතුළු වූහ.

බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා මෙම වසරේ COP30 සාකච්ඡා වලදී ආදිවාසී ප්‍රජාවන් ප්‍රධාන පාර්ශවකරුවන් ලෙස ඉස්මතු කලත් එය හුදෙක් දේශපාලන ප්‍රෝඩාවක් මිසි අන් යමක් නොවීය. ඔහුගේ ජනාධිපති ධුර කාලය තුළම කර්මාන්ත ගණනාවක් ඇමර්සන් වැසි වනාන්තරය තවදුරටත් ආක්‍රමණය කිරීම දිගටම කරගෙන යන පසුබිමක මෙම විරෝධතා මතුවූ අතර ඔහුගේ චාටු බස් වලින් ස්වදේශික ජනයා රැවටීමට නොහැකි බව මෙම ආක්‍රමණය මගින් පැහැදිළි විය. ලූලා පසුගිය සතියේ නායකයින්ගේ සමුළුවේදී ද පැවසුවේ COP30 ට සහභාගිවන්නන් "ආදිවාසී ජනතාව සහ සාම්ප්‍රදායික ප්‍රජාවන්ගෙන් ආභාෂය ලබනු ඇති බවත් - තිරසාරභාවය සැමවිටම ඔවුන්ගේ ජීවන රටාවට සමාන පදයක් වී ඇති බවත්” ය. සමුළුව ආක්‍රමණය කළ ස්වදේශීය ජන නායකයන්ගේ ප්‍රමුඛ ඉල්ලීම වූයේ "අපට අපගේ ඉඩම් කෘෂි ව්‍යාපාර, තෙල් ගවේෂණය, නීති විරෝධී පතල් කැනීම් සහ නීති විරෝධී දැව කපන්නන්ගෙන් නිදහස් කරගැනීමට අවශ්‍යයි" යන්නය. සමුළුව අතරතුර බොහෝ රැස්වීම්වලදී දේශගුණික මූල්‍යකරණය කෙරෙහි අවධාණය යොමුවීම පිළිබඳව කනස්සල්ල පලකල ඔවුන් විමසා සිටියේ "අපට මුදල් කන්න පුළුවන්ද?" යනුවෙනි.

බ්‍රසීලයේ ආදිවාසී ජනතාවගේ සන්ධානයට අනුව, දේශගුණ සමුළුවකට මෙතෙක් සහභාගීවූ  විශාලතම ආදිවාසී නියෝජිතයින් සංඛ්‍යාව, 2,500 ක් පමණ, මෙවර  සහභාගී වනු ඇතැයි අපේක්ෂා කලද නිල සාකච්ඡා සඳහා සීමිත ප්‍රදේශය වන නිල් කලාපය සඳහා ප්‍රවේශය ලබාදී ඇත්තේ 14% කට (පුද්ගලයන් 360 ක්) පමණක් වීම මෙම ආතතියට ප්‍රධාන හේතුව බව නිසැකය.

බ්‍රසීලය දේශගුණ සමුළුවක් පවත්වන පළමු අවස්ථාව මෙය වන අතර, ඇමර්සන් වැසි වනාන්තරයේ දොරටුව වන බෙලෙම් තෝරා ගැනීම සංකේතාත්මක වැදගත්කමක් දරයි. මෙම ස්ථානය නිවර්තන වනාන්තරවල වැදගත්කම, ජෛව විවිධත්වය සහ සොබාදහම මත පදනම් වූ දේශගුණික විසඳුම්වල කාර්යභාරය අවධාරණය කරයි. දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය තාන්ත්‍රික නායකත්වය ශක්තිමත් කිරීමට සහ ගෝලීය දේශගුණික ප්‍රතිපත්තියේ එහි පැතිකඩ ඉහළ නැංවීමට බ්‍රසීලය මෙම සමුළුව උපයෝගී කර ගනු ඇතැයි බොහෝ දෙනාගේ අදහසයි.

මෙවර සමුළුවේ ප්‍රධාන තේමාවක් ලෙස "ක්‍රියාවට නැංවීම" අවධාරණය කෙරෙයි, එනම් අතීත සාකච්ඡා සහ තීන්දු තීරණ සංයුක්ත ක්‍රියාවන් බවට පරිවර්තනය කිරීමයි. ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය පොරොන්දු ඉටුකිරීමේ හදිසි අවශ්‍යතාවය අවධාරණය කරයි. දැනට පූර්ව කාර්මික යුගයට වඩා සෙල්සියස් අංශක 1.1 කින් ඉහළ ගොස් ඇති මිහිතලයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 ට වඩා වැඩිවීම නවතා ගැනීමේ ඉලක්කය තවමත් කේන්ද්‍රීයව පවතින අතර මෙම සමුළුව ඒ සඳහා වේගවත් වීමේ සහ පොරොන්දු ඉටුකිරීමේ දසකයක ආරම්භය වීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අපේක්ෂාවයි.

අපේක්ෂා ඉටුවේද?

දේශගුණ විපර්යාස අවම කිරීම හා ඊට අනුහුරුවීම සඳහා අවශ්‍ය කැපකිරීම් සිදුකිරීමේ යුතුකම හා වගකීම ඉටුකරනු වෙනුවට ‘ලිප ගිනි මොලවන තෙක් දිය සැළියේ, සැපයක් යයි කකුළුවා දිය කෙළියේ’ කියන්නා සේ තවදුරටත් දේශගුණ විපර්යාසය කඩිනම් කිරීමට දායකවන පොසිල ඉන්දන කොම්පැනිකරුවන් එක්සත් ජාතීන්ගේ දේශගුණ සමුළුවේ බඩපිණුම් ගැසීම කෙරෙහි අවධානය යොමු වූයේ අසර්බයිජානයේ බකු හිදී ඉකුත් වසරේ පැවති 29 වැනි සැසිවාරයේදී (COP29) ය. අවම වශයෙන් ගල් අඟුරු, තෙල් සහ ගෑස් ලොබිකරුවන් 1,773 දෙනෙකුට එම සමුළුව සඳහා ප්‍රවේශය ලබා දී ඇති බව අනාවරණය වූයේ සමුළුව ආරම්භ වීමට ඔන්න මෙන්න කියා තිබියදීය. ඒ වඩාත්ම දේශගුණික අවදානමට ලක්විය හැකි රටවල් 10 නියෝජනය කරමින් සමුළුවට ප්‍රවේශය ලබා තිබුණේ නියෝජිතයින් 1,033 ක් පමණක්වූ පසුබිමකය. තවද සමුළුවට අවම වශයෙන් තෙල් හා ගෑස් සමාගම්වල ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 132 කට ආරාධනා කර තිබූ අතර, ඔවුන් ජනාධිපතිවරයාගේ ආරාධිතයන් බව දැක්වෙන විශේෂ ලාංඡන ද ලබාදී තිබුණි. එමගින් සමුළුවේ එකඟතා සඳහා මෙම මිහිතලය උණුසුම් කිරීමේ කර්මාන්තයේ බලපෑම කොතරම්ද යන්න මොනවට පැහැදිළි විය.

එසේම මෙම වසරේදී ද, දේශගුණික සමුළු ඉතිහාසයේ පළමු වතාවට, ලොව විශාලතම ඓතිහාසික විමෝචකයා වන ඇමරිකා එක්සත් ජනපදය, සාකච්ඡා සඳහා නියෝජිත කණ්ඩායමක් සහභාගී නොකිරීමෙන් ඇති වන්නේ අපේක්ෂා භංගත්වයකි. ඔවුන් ඉතිහාසයේ අනෙක් සෑම දේශගුණ සමුළුවකටම සහභාගී වී ඇති අතර ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පළමු ජනාධිපති ධුර කාලය පුරාම පවා එය නොකඩවා සිදුවිය. ජනවාරි මාසයේදී, අලුතින් දිවුරුම් දුන් ජනාධිපති ට්‍රම්ප් දෙවන වරටත් පැරිස් ගිවිසුමෙන් එක්සත් ජනපදය ඉවත් වීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ලිපියක් අත්සන් කළේය. මෙම ක්‍රියාවලිය තවමත් සම්පූර්ණ වී නොමැති වුවද, බ්‍රසීලයේ බෙලෙම් හි පැවැත්වෙන COP30 සමුළුවට "ඉහළ මට්ටමේ නිලධාරීන්" සහභාගී නොවන බව ධවල මන්දිරය මේ මස මුලදීම තහවුරු කළේය.

රටවල (සමුළුවේ පාර්ශව) නියෝජිතයින්ට පසුව, සාමාන්‍යයෙන් දේශගුණ සමුළු වල ඊළඟ විශාලතම කණ්ඩායම වන්නේ නිරීක්ෂකයින් වන අතර COP30 සඳහා නිරීක්ෂකයින් 12,000 කට වඩා සහභාගීවන බව වාර්තාවේ. ඒ අතරින් අතිමහත් බහුතරය රාජ්‍ය නොවන සංවිධාන (NGO) නියෝජනය කරයි. විශාලතම රාජ්‍ය නොවන සංවිධාන නිරීක්ෂක දූත පිරිස ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය නියෝජනය කරමින් පැමිණෙන 148 ක පිරිසය. මෙම වසරේ පළමු වරට, සමුළුවට ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියට සහභාගීත්වය සඳහා නිරීක්ෂකයින්ට අරමුදල් ලැබෙන ප්‍රභවය(න්) හෙළි කිරීමට සිදුව තිබුණේ ඉකුත් වසරේ ඇතිවූ අප ඉහත කී සංවාදයද හේතුවෙන් විය හැකිය. නමුත් ලියාපදිංචි වූ රාජ්‍ය නොවන සංවිධාන නිරීක්ෂකයින් 11% ක් අරමුදල් හෙළිකර නොතිබුණි. වඩාත් පොදු අරමුදල් සපයන්නන් වූයේ රාජ්‍ය නොවන සංවිධාන (57%) සහ අධ්‍යයන හෝ පර්යේෂණ ආයතන (11%) ය. නමුත් ඒවායේ ද පාරදෘශ්‍යභාවය පිළිබඳව ගැටළු ඇති බව නිරීක්ෂකයන් පෙන්වා දෙති.

බිහිසුණු අනතුර

දේශගුණික බිඳවැටීම බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් සිදුවීම සහ පියවර ගැනීමට ඇති කවුළුව වේගයෙන් වැසී යාම විසින් දේශගුණික විපර්යාසයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩු වලට සහ පෞද්ගලික අංශයේ ක්‍රියාකාරීන්ට දැඩි ලෙස බලකරයි. මිහිතලයේ ජීවත්වෙන මිනිසා ඇතුළු මුළුමහත් ජීවී සමූහයාටම මුහුණදීමට සිදුවී ඇති ගෝලීය අභියෝගය දේශගුණික විපර්යාසයයි. එය පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් එසේය. දේශගුණික විපර්යාසයේ බලපෑම් වලින් මේ පෘථිවි ගෝලයට දැනට සිදුවී ඇති සහ ඉදිරියේදී සිදුවීමට නියමිත ව්‍යසනයන් සමග සලකා බලන විට, ලෝක යුද්ධ වලට පවා ඊට අලගු තැබීමටවත් නොහැකිය. එවැනි පසුබිමක අප රට තුල නිර්මාණය වී ඇති ප්‍රශ්න ගැටළු පිළිබඳව කතාකර පලක් නැත. කුඩා නිවර්තන කලාපීය දූපත් රාජ්‍යක් ලෙස සහ දේශගුණික අවදානම් දර්ශකයේ ඉහළ ස්ථානයක සිටින රටක් ලෙස ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාසයන්ගේ අහිතකර බලපෑම් වලට නිරන්තරයෙන් ගොදුරු වෙමින් පවතින බව පරිසර අමාත්‍යාංශයේ දේශගුණ විපර්යාස ලේකම් කාර්යාලය මගින් සකස්කර ඇති ‘ශ්‍රී ලංකාවේ දේශගුණ විපර්යාසය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය’ මගින්ද අවධාරණය කරයි.

නමුත් අපට තවමත් රටක්, ජනතාවක් ලෙස ඒ ගැන වගේ වගක් නැත. ඊට හේතුව අපේ දේශගුණික සාක්ෂරතාවයේ දොසක් මිස දේශගුණික විපර්යාසය බොරුවක් වීම නොවේ. මුහුද වේගයෙන් ගොඩබිම් ගිල ගනිද්දී, ගංවතුර, නියං, නාය යාම්, කුණාටු වැනි විපත් උත්සන්න වෙද්දී, ගොවිතැන් පාලු වෙද්දී, වනජීවී - මිනිස් ගැටුම් ඔඩු දුවද්දී, රෝග පීඩා උත්සන්න වෙද්දී මිනිස්සුන්ට ඒ බව නොදැනෙනවා නොවේ. නමුත් මේ සියල්ල ලොව පුරා සිදුවන දේශගුණික විපර්යාසයේ බලපෑම් බව හඳුනා ගැනීමේ දේශගුණ සාක්ෂරතාවය ඔවුන්ට ඇත්තේ නැත. ලෝකයට හරිතාගාර වායු විමෝචනය විශාල ලෙස කපා හැර අනුහුරුවීම් සඳහා වියදම් සැලකිය යුතු ලෙස ඉහළ නැංවිය හැකි නම්, එමගින් යම් ව්‍යසන ප්‍රමාණයකට අගුලු දැමීමට හැකිය. නමුත් එක්සත් ජාතීන්ගේ දේශගුණ සමුළුව වැනි සාමූහික ගෝලීය ක්‍රියාකාරීත්වයන්ගෙන් ද ඒ සඳහා අපේක්ෂිත දායකත්වය ප්‍රශ්නාර්ථයක්වී ඇති පසුබිමක සුරක්ෂිත ලෙස මේ මිහිතලයේ ජීවත්වීමට හැකි අනාගතයක් පිළිබඳ පුංචිම පුංචි බලාපොරොත්තුවද වේගයෙන් අපට අහිමි වෙමින් යන බව කණගාටුවෙන් නමුත් ලියා තැබිය යුතුය.

Supun Lahiru20220504 1

| සුපුන් ළහිරු ප්‍රකාශ්